2017 මාර්තු 04 වන සෙනසුරාදා

සැකකරුවන්ට ගැහුවොත් අපි නිකම් ඉන්නෙ නැහැ

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 168

විනය, කල්ක්‍රියා හා නීති භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

මේ දිනවල දැඩි සමාජ අවදානයක් පොලිස් දෙපාර්තමේන්තුවට යෙමුව ඇත. අපරාධ, උද්ඝෝෂණ, රථවාහන පාලන කිරීම් සම්බන්ධයෙන් විවිධ විවේචන මේ නිතර පොලිසියට එල්ල වෙයි. එම විවේචන සහ වර්තමාන තත්ත්වය පිළිබඳ විනය, කල්ක්‍රියා සහ නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් ප්‍රශ්න කළෙමු.

පොලිස්පතිවරයා පසුගිය දවසක කිව්වා පොලිස් නිලධාරීන්ට මෛත්‍රී භාවනාව කරලා වැඩපටන් ගන්න කියලා. දැන් ඔබත් භාවනා වඩනවද?

ඔව්. ඒක ඉතාම හොඳ දෙයක්. අද මුළු ලෝකයම මේ භාවනාවට, යෝගාවලට හුරුවෙලා තියෙනවා. ඒක හොඳ දෙයක්.

එතකොට අර භාවනාව උපරිම ගිහිල්ලද පෑලියගොඩ පොලිසියේදී කොල්ලෙක්ට ගහලා මැරුවා කියලා චෝදනා එල්ල වෙන්නේ?

මෙහෙමයි. සංවිධානයක් ගත්තම ඒ සංවිධානයේ විවිධ කොටස් ඉන්න පුළුවන්. ඔය අතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්..

කළුතර බන්ධනාගාරයේ ඉඳලා අරගෙන යන රැඳවියන් වගයකට වෙඩි තිබ්බා. හතක් මැරුණා. වගකීම පොලීසිය භාරගන්න ඕන කියලා බන්ධනාගාර ඇමැතිතුමා කිව්වා?

ඒකට නීතිය හා සාමය ඇමැතිතුමා හොඳ ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා.

ඒ ඇමැතිවරයානේ පොලිස් දෙපාර්තමේන්තුවේ මතය ඒක වෙන්න බෑනේ?

ඇත්තටම නීතිය හා සාමය කියලා කතා කරනකොට ඕනෑම දේකට පොලීසියට තියෙන වගකීමෙන් ගැලවෙන්න බෑ. නමුත් අපි අතර මෙවැනි දේකදි හොඳ සම්බන්ධතාවයක් සහයෝගයක් තියෙන්න ඕන.

භාවනාවෙන් තමයි ‍නිලධාරින්ගෙ හිත දියුණු වෙන්නේ

හැබැයි කට්ටිය නම් කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ නම් පාතාලය මර්දනය වුණා කියලා?

පාතාලය කියලා ලංකාවේ කොහේවත් කියනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. පිළිගන්නෙත් නෑ. හැබැයි යම් යම් සංවිධානාත්මක, අවිගත් කණ්ඩායම් ඉන්නවා. නමුත් ඔය කින කාලෙත් විවිධ සිදුවීම් සිදුවුණා. සමහර තැන්වලත් පුද්ගලයන් පස් හයදෙනා මරලා දාලා තිබුණු සිදුවීම් තිබ්බා.

ඒ කියන්නේ එහෙම පාතාල මර්දනයක් ඒ කාලේ තිබ්බේ නැද්ද?

නෑ. යම් ආකාරයක මර්දනයක් තිබ්බා කියන එක පිළිගන්නවා.

ගිය ආණ්ඩුවේ සුදුවෑන් ක්‍රියාත්මක වුනා ඒවා දන්නවද?

නෑ. මම ආණ්ඩුවෙන් ක්‍රියාත්මක වුණා කියලා කියන්නේ නෑ. යම් යම් සිද්ධි ඇතිවුණා. ඒවා පොලිසිය විසඳුවා.

ඒවා පොලිසියට හැංගි හොරද වුණේ පොලිසිය දැනුම්වත්වද වුණේ?

නෑ. පොලිසීය දැනුම්වත්ව වුණේ නෑ කිසිදෙයක්.

අද සුදු වෑන් නෑ. හැබැයි පොලිසියෙන් පාතාල මර්දනයක් නෑ. මොකද ඒ?

අදත් මර්දනය වෙනවා. බන්ධනාගාර සිද්ධි දෙක ඇරුණාම එහෙම ලොකු සිද්ධි පහුගිය කාලයේ වාර්තා වුණේ නෑ.

තව දේවල් සිද්ධ වුණේ නෑ කියන්න බෑනේ. සමහර සිද්ධි පොලිසිය පෙනි පෙනී වුණා. පොලිසියට ඉවක් නැද්ද?

ඉවක් තියෙනවා. මේ අය කාලයක් අපරාධකාරයෝ හැටියට වැඩකරලා ඒ අය අතර තියෙන ප්‍රශ්න. ඒවා අද විතරක් නෙමෙයි කවදටත් තිබ්බ ප්‍රශ්න.

හැබැයි ඔබ පෙර පැවැති ආණ්ඩුව හොඳට සුද්ද කළා. ඔබ පෙනී සිටියේ පොලීසිය වෙනුවෙන් නෙමෙයි ආණ්ඩුව වෙනුවෙන් කිව්වොත්?

නෑ. හැමදාම මම ආරක්ෂා කළේ පොලීසිය. පොලීසියේ හොඳ වැඩ තමයි පෙන්වලා දුන්නේ රටට. පොලීසිය නරක වැඩක් කළොත් ඒකත් පෙන්නලා දුන්නා.

කතාව නම් ගියේ ආණ්ඩුවේ ඉහළින් ආපු ඕඩර් නිසා එහෙම කතා කිව්වා කියලා?

කිසිම බලපෑමක්, ඕඩරයක් මට ලැබිලා නෑ. මම ස්වාධීන අදහස් පළකළා කියන තැන මම ඉන්නේ.

හැබැයි එදා දුන්න ප්‍රකාශ සමහර අපරාධ එක්ක බලද්දී අද වෙනකොට වෙනස්. විශේෂයෙන් තාජුඩීන් සිද්ධි වගේ දේවල්?

කිසිම අපරාධයක් සම්බන්ධයෙන් මම දුන්නු ප්‍රකාශ ගැටලු සහගත තත්ත්වයට ඇවිත් නෑ. ඒක මම වගකීමෙන් පිළිගන්නවා.

එදා ඔබ ඔය ප්‍රකාශ දෙනකොට ඔබට උඩින් හිටිය නිලධාරීන් දැන් කූඩුවෙලා ඉන්නවා. ඉතිං කොහොමද ඒවා ජනතාව විශ්වාස කරන්නේ?

ලෝකයේ ඕනෑම රටක, සමාජය, සංවිධානයක ඔය වැනි අතලොස්සක පිරිසක් ඉන්න පුළුවන්. ඒක හැමතැනම එහෙමයි.

එහෙම කියලා අත පිහිදගන්න බෑනේ පොලීසිය වගේ ආයතනයක්?

පරිණත වුණත් සමහර පුද්ගලයන්ගේ තියෙන චර්යාවන් ගති පැවතුම් ජීවන රටා වෙනස් වෙන්නේ නෑ. 83000ක් ඉන්න පොලීසිය තුළ දැනට එක්කෙනෙක් වගේ ඉන්න පුළුවන්. ඒක සමාජයේ හැටි.

දැන්වත් ඒ වගේ දේවල් නවත්වන්න වැඩපිළිවෙළක් නැද්ද?

අනිවාර්යයෙන් තියෙනවා. ඔබ කිව්වා වගේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරන්න තමයි ලෝකයේ පිළිගත්ත භාවනාව, යෝග වගේ දේවල් හඳුන්වලා දීලා තියෙන්නෙ. විශේෂයෙන් නවීන තාක්ෂණය, විද්‍යාත්මක ක්‍රමවේද හඳුන්වලා දීලා තියෙන්නේ.

පාතාලයක් නැහැ ඉන්නෙ අවිගත් පිරිස් 

දැනට තියෙන පැරණි නීති පද්ධතිය වෙනස් කරන්න ඕන කියන තැන ඔබ ඉන්නවද?

අනිවාර්යයෙන්ම. ඒ නීති පද්ධතිය වෙනස් කරන්න අධිකරණ ඇමතිතුමා කමිටුවක් දාලා තියෙනවා. මාත් ඒ කමිටුවේ ඉන්නවා.

දැන් මොනවද වෙනස් වෙන්න ඕන?

මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වැඩිවෙන්න ඕන. ඒ වගේම නව තාක්ෂණය යොදාගෙන සිදුකරන අපරාධ නවත්වන්න මර්දනය කරන්න නීති පද්ධතිය ශක්තිමත් කරන්න ඕන. විශේෂයෙන් පිටරටවල තියෙන ක්‍රමවේද හඳුන්වා දෙන්න අවශ්‍යයි.

ඒකේ කොටසක් හැටියටද පොලිසියේ ඉන්න සැකකරුවකුට නීතිඥ සහයක් ලබාගන්න අවස්ථාව හදලා දීලා තියෙන්නේ?

තවම ක්‍රියාත්මක වුණේ නෑ ඒක. ඒත් ඒ ගැන කතා කරනවා.

ආරංචිය හැටියට නම් පොලීසිය ඒ අලුත් නීතියට කැමැති නෑ?

පොලීසියේ මට්ටමේ සිටින සැකකරුවකුට නීතිඥ සහයෝගයක් ලබාගැනීමේ ක්‍රමවේදයක් ලෝකයේ තියෙනවා. යුරෝපයේ වගේ විශේෂයෙන් භාවිතවෙනවා. හැබැයි ඒක භාවිත කළාට කමක් නෑ යුරෝපයේ තියෙන සම්පූර්ණ ක්‍රමවේදයත් එක්ක. බාගෙට බෑ. සැකකරුවකු අත්අඩංගුවට ගත් තැනින් ඉඳන් නීතිඥයකුට ඉන්න පුළුවන් නම්, සැකකරු ප්‍රකාශයක් දෙනකොටත් ඉන්න පුළුවන් නම්. හැබැයි ඒ ප්‍රකාශය අධිකරණය මගින් පිළිගන්න ඕන කියන තැනයි මම ඉන්නේ. එහෙම නැතුව එක පැත්තක් දීලා අනෙක් පැත්ත නොදුන්නොත් ඒකේ වාසිය ලැබෙන්නේ විත්තිකාරයාට. ඒ නිසා ඒ ප්‍රකාශය බාරගන්න ඕන. මොකද එතකොට සැකකරුවාට පහර දෙන්න බෑ. බලපෑම් කරන්න බෑනේ. ඒ නිසා ඒ ප්‍රකාශය පිළිගන්න ඕන කියන තැන මම ඉන්නේ.

ඇත්තටම පොලීසියට සැකකරුවකුට ගහන්නැතුව ප්‍රශ්න කරන්න බැරිද?

කිසිසේත් ඒක අනුමත කරන්නේ නෑ අපි. ලංකාවේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරු ගෙනැල්ලා ඇපි දැනුම් දුන්නා. පොලිස් අධිකාරිවරුන්ට, සහකාර පොලිස් අධිකාරිවරුන්ට දැනුම් දුන්නා. එහෙම කවුරු හරි කරනවා නම් ඒ අයට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ගත් අධිකරණ ක්‍රියාමාර්ගත් ගන්නවා කියලා දැනුම් දුන්නා. අපි වෘත්තීමය පොලීසියක් හැටියට සැකකරුවන්ට පහරදීම සියයට සීයක් බැහැර කරලා තියෙන්නේ. එහෙම කරනවා නම් ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.

හැබැයි පොලිස්පතිවරයා නම් කියන්නේ නීතිය නවලා හරි කමක් නෑ කරන්න තියෙන දේ කරන්න කියලා?

පොලිස්පතිතුමා සහභාගි වෙලා පැහැදිලිව කිව්වා සැකකරුවන්ට පහරදීමෙන් මිදිලා වෘත්තීය පොලිස් සේවයක් සඳහා යන්න ඕන කියලා.

මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීම නීතියට පිටින් නේද සිදුකළේ? ඒක අවලංගු කරන්න ඕන කියල සමහරු කියනවා?

ඒ ගැන මතයක් කියන්න මට බෑ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් විභාග වෙනවා.

අද පවතින සමාජයක් එක්ක හැප්පෙන්න පුළුවන් පොලිස් නිලධාරීන් නෑ නේද? ඉන්න අය සාම්ප්‍රදායිකයි කියලා පිළිගන්නවාද?

ඉතා හොඳ ප්‍රශ්නයක් ඒක. අපේ අරමුණත් ඒකයි. නවීන තාක්ෂණයත් එක්ක යා හැකි පොලිසියක් හඳුන්වාදෙන්නයි අපේ අරමුණ. ඒ වගේම අපි මේ වෙනකොට සියලු පොලිස් ස්ථාන අන්තර්ජාලය සමඟ එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේම ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු ක්‍රමවේදය හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා සැබවින්ම තාක්ෂණය තමයි අත්‍යවශ්‍ය වෙන්නේ විමර්ශනයට.

අලුත් රථවාහන නීතියක් හැටියට ගේන්න ආපු හෙල්මට් නීතියෙන් පොලිසිය ඇණගත්තා නේද?

ඒ සම්බන්ධයෙන් නඩුවත් විභාග වන නිසා කතා කරන්න බෑ.

නඩුව පැත්තකින් තියලා කතා කළොත් පොලිසිය හිතන්නේ හෙල්මට් තහනම් කරලා රටේ අපරාධ අඩුකරන්න පුළුවන් වෙයි කියලද?

ඇත්තටම ෆුල් ෆේස් හෙල්මට් රටේ ගොඩක් අපරාධවලට යොදාගෙන තියෙනවා. ඒ නිසා අපේ රටේ ඒක පාවිච්චි කරන්නේ ඔළුව බේරගන්න විතරක් නෙමෙයි. අපරාධ කරන්නත් භාවිතා කරනවා. විද්‍යාත්මකව සොයාගෙන තියෙන දේ තමයි ෆුල්ෆේස් භාවිතා කළා කියලා මිනිස්සුන්ට ලොකු ආරක්ෂාවක් නෑ.

දැන් මේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ලක් ඇතිවෙලා. පොලීසිය ගිහිල්ලා කඳුළු ගෑස් වතුර ගහනවා. ආණ්ඩුවේ කුණු පොලිසිය කරේ දාගන්නවා කියලා හිතෙන්නේ නැද්ද?

අපිට එහෙම කරන්න නැතුව ඉන්න බෑ. සමහර උද්ඝෝෂණ නිසා මහජනතාව අසරණ වෙනවා. මහජන දේපළ විනාශ වෙනවා. පොලිසියට මහජනතාවගේ සල්ලි ගෙවන්නේ නිකන් බලන්න ඉන්න නෙමෙයි. මහජනතාවට අවහිරයක් වෙනවා නම් ඒක වළක්වන්න එක පොලිසියේ යුතුකමක්. 

සමාජයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා පොලිසිය අල්ලන මත්ද්‍රව්‍යවලට මොකද වෙන්නේ කියලා. ඇත්තටම කෝ ඒවා?

ඒ නිසා එවැනි කරුණු සාවද්‍යයයි. හැබැයි මේ අතර යම් යම් අක්‍රමිකතා වෙන්න පුළුවන් මම නෑ කියන්නේ නෑ. හැබැයි විශාල වශයෙන් අත්අඩංගුවට ගත්ත විශාල මත්ද්‍රව්‍ය තොගවලට නම් එහෙම වෙන්නේ නෑ. මොකද ඒවා ස්ථාන ගොඩකට යනවා පරීක්ෂණ සඳහා.

දැන් පොලීසියට තියෙන ලොකුම ප්‍රශ්නය ඇඳුමද?

නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ.

එහෙනම් පාට වෙනස් කරන්න යන්නේ?

නෑ. අපි පොඩි සමීක්ෂණයක් කරලා බලනවා. මොකද අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ ඉඳලා ලැබිච්ච මේ ඇඳුම ගැන මහජනතාවගේ, පොලිසියේ අදහස් අපි විමසලා බලනවා. හැබැයි ලෝකයේ ප්‍රජා පොලිස් සේවයට නැඹුරු වුණු ගොඩක් රටවල පොලිස් ඇඳුම, තුවක්කුව, මාංචු කුට්ටම පවා වෙනස් කරලා තියෙනවා. ඒ නිසා එහෙම වෙනස් වෙන්න ඕන වුණොත් වෙනස් වෙනවා.

♦ ගයාන් ගාල්ලගේ
සේයාරුව I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00