2019 ජුනි 29 වන සෙනසුරාදා

දහනවයේ අපලය

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 134

අපේ රටේ සියලු දේශපාලන කටයුතු මෙගා ටෙලිනාට්‍යයක් බවට පත්වී තිබේ. මෙගා ටෙලිනාට්‍යවල තිබෙන කතා මේ ලෝකේ සිදුවෙන දේවල් නොවේ. හිතන්නත් බැරි කතාය. ඒවායේ චරිත ඒ ආකාරයේමය. මෙගා ටෙලිනාට්‍යයක් බැලීමෙන් පසුව ඉතිරි වන දෙයක් නැත. අද මෙරට දේශපාලනයේ රඟ දැක්වෙන්නේද එවැනි මොලෝ රහක් නැති මෙගා ටෙලිකතාවකි. 

මේ ආණ්ඩුව බලයට එන්නේ යහපාලනයක් ගැන කප්පරකට පොරොන්දු දෙමිනි. මහින්දගේ කාලයේ තිබුණේ අයහපත් පාලනයක් බවත් එයට වඩාත්ම හේතු වූයේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයද ඇතුළු විධායක ජනාධිපති ක්‍රමය බවත් මුලින්ම කිව්වේ මාදුළුවාවේ සෝභිත හිමියන්ය. වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් සෝභිත හිමියන් රත් කළ තැටියෙන් උණු උණුවේම රොටිය බා ගෙන තැටිය පැත්තකට දැමූහ. යහපාලනයකට කොතරම් දරදිය ඇද්දත් ඒ වැඩේ තමන් සිතාගෙන සිටින විදියට නොකෙරෙන බව දැනුණු සෝභිත හාමුදුරැවෝ වැඩි දවස් යන්නට කලින්ම කිව්වේ අපි තැටිය රත් කරලා දුන්නේ ගිනි තපින්න නොවන බවය. සෝභිත හිමියන් එයින් අදහස් කළේ මහින්දගේ ආණ්ඩුව වෙනස් කිරීමේ ලොකුම අරමුණක් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොකෙරෙන තැනට වැඩ සිදුවෙමින් පවතින බව දැනුණු නිසාය. ඒ වෙනුවට සිදුවුණේ 19 වැනි සංශෝධනය හඳුන්වාදී විධායක ජනාධිපති ක්‍රමය ආපසු හැරවීමෙන් වැළකී සිටීමය.
මේ කියන 19 වැනි ව්‍යවස්ථාව මෛත්‍රීපාල සිරිසේන මහතා රට ඉදිරියට වඩම්මාගෙන ආවේ එදා පාර්ලිමේන්තුවේ සිටි 225 දෙනා අතරින් 215කගේ සාදුකාර හඬ මැද්දේය. හැබැයි අද සිරිසේන මහතා කියන්නේ 19 පිළිකාවක් බවය. ආණ්ඩුව නරක් වුණේ 19 නිසා බවය. 19 නිසා රට අස්ථාවර වී ජනාධිපති මන්දිරයෙත් අරලිය ගහමන්දිරයේත් ආණ්ඩු දෙකක් බිහිවී තිබෙන බවය. රටේ මාධ්‍ය ප්‍රධානීන් ඉදිරියේ ජනාධිපතිවරයා එදා වඩම්මාගෙන ආ 19 පට්ට ගැසුවේ දැන් රටේ පාලනයේ සියලු වැරදිවලට හේතුව එම සංශෝධනය බවට චෝදනා කරමිනි. එදා හොඳ වූ 19 තමන්ගේ ධුරකාලය අවසන් වීමට ආසන්න අවස්ථාවේ මේ තරම් නරක විදියට දකින්න ජනාධිපතිවරයාට සිදුවුණේ ඇයි?

මේ ගැන හොයන්න වැඩිදුරක් යා යුතු නැත. පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වෙන වෙනම සිදු කරගත් විවේචන පිරික්සා බැලීම පමණක් ප්‍රමාණවත්ය. පසුගිය වසර හතරක පමණ කාලය තුළදී විවිධ හැල හැප්පීම් ඇති වූවා නම් පසුගිය මාස කිහිපය ඒවා උච්ඡ ස්ථානයටම ආවේය. මේ රටේ ආණ්ඩු දෙකක් ඇති බව ජනාධිපතිවරයා කෙළින්මත් අගමැතිවරයා ව්‍යංගයෙනුත් කියන තරමට දැන් තත්ත්වය උත්සන්න වී තිබේ. මේ තත්ත්වයෙන් රට ඉදිරියට යාමට කිසිම හැකියාවක් නැත. සිදුවෙන්නේ එකම තැන කැරකීම පමණි.

19 ව්‍යවස්ථාව නරකයි කියා ජනාධිපතිවරයා කොතරම් කිව්වත් විධායක ජනාධිපති ක්‍රමයේ තිබූ ඒකාධිපති ස්වරෑපය අඩු කිරීමට එය හේතු විය. බලය අතැතිව සිටියදී අතේ තිබෙන බලය අඩුකර ගැනීමට තමන් කළ කැපවීම යූ.එන්.පී. නායකයන් විසින් නොසලකා හැරීම ගැන ඇතැම් විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තුළ කලකිරීමක්ද මුලසිටම තිබුණා විය හැකිය. වෙන රටවල කෙසේ වෙතත් මේ රටේ නම් එවැනි බලය අඩුකර ගැනීමක් සිදුකළ එකම නායකයා වූයේ සිරිසේන මහතාය. නමුත් රටේ සෙසු කටයුතුවලදී ජනතාවගේ ප්‍රසාදයට ලක්වෙන ආකාරයට කටයුතු කිරීමට නොහැකි වීමේ පාඩුව ජනාධිපතිවරයාට අයහපත් ලෙස බලපා තිබේ. ජනාධිපතිවරයා ගන්නා ඇතැම් පියවරවල අරමුණු හොඳ වුණත් ඒවා දේශපාලන අපේක්ෂා ඉටුකර ගැනීම සඳහා ගනු ලබන බවට ජනතාව තුළ පැතිර තිබෙන මතයකි. පසුගිය සතියේ හදිසියේම ක්‍රියාත්මක කළ මරණ දඬුවම ද එවැනි විවේචනවලට හසුවෙමින් තිබේ.

ව්‍යවස්ථාව මේ රටේ නායකයන් විසින් විවිධ කාල වකවානුවලදී තමන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් යොදවා ගැනීම මේ බොහොමයක් ගැටලුවලට හේතු වී තිබේ. ජේ.ආර්.ට තනියම රජ කිරීමට ව්‍යවස්ථාව අවශ්‍ය වූ අතර පසුව ජනාධිපති පදවියට පත්වී දෙවැනි ධුර කාලය සම්පූර්ණ කරමින් සිටි චන්ද්‍රිකාද බැලුවේ ඉන්පසුව විධායක අගමැති වී රටේ පාලනය දිගටම ගෙනයාමටය. චන්ද්‍රිකා බලයට ආවේ වසරක් තුළදී විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට පොරොන්දු පත්‍රයකට අත්සන්ද තබමිනි.  එහෙත් වසර 10ක් අත්සන එසේම තිබියදී චන්ද්‍රිකා උත්සාහ කළේ අන්තිමට ව්‍යවස්ථාව වෙනස් කොට විධායක අගමැති වීමටය. ඒ බව සඳහන් ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තු සභා ගැබ ඇතළේදීම ගිනි තැබීම ඒ කාලයේ තලු මරමින් කතා කළ සිද්ධියක් බවට පත්විය.

එතැනින් පසුව මෙතෙක් විධායක ජනාධිපති පදවිය ඉසිලූ වඩාත්ම ජනප්‍රියම නායකයා වශයෙන් සැලකෙන මහින්දට අවස්ථාව ලැබුණි. ඔහු යුද්ධය දිනාගැනීමෙන් පසුව රටේ අසීමිත ජනප්‍රියත්වයක් ලැබූවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට රටට වඩාත් ගැලපෙන ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය වන පාර්ලිමේන්තු ක්‍රමයට යාමට තිබූ අවස්ථාව අත්හැරියේය. ඒ වෙනුවට ඔහු කළේ ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවේ ඒකාධිපති පාලනයෙන් ප්‍රජාතාන්ත්‍රික පාලනය වෙනස් වන එකම වගන්තිය වූ දෙවරකට වඩා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම වැළැක්වීමේ නීතිය ඉවත් කිරීමය. වත්මන් ජනාධිපතිවරයා 18 වැනි සංශෝධනය වශයෙන් ලෙලි අරින්නේ එයයි. එවැනි අසීමිත බලයක් ආරෝපණය කරගත්තත් එය සීමා වූයේ වසර කිහිපයකට පමණි. එතරම් ජනප්‍රියත්වයක් තිබූ මහින්දගේ පරාජයට හේතු වූ ජනාධිපතිවරණයේ එක් ප්‍රධාන සටන් පාඨයක් වූයේ 18 සංශෝධනයයි. 19 පැමිණීම එහි ප්‍රතිඵලය විය.

දැන් ප්‍රබල විවේචනයකට හසුව තිබෙන 19 ව්‍යවස්ථාව හරහා අග්‍රාමාත්‍යවරයාට විශාල බලයක් පැවරී තිබීම රට විශාල අස්ථාවරභාවයකට ඇද දමා තිබෙන බව පැහැදිලිය. මේ සංශෝධනය සකස් කළේ මක බාස්*ලා දැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කරන්නේ ඒ හේතුවෙනි. අගමැතිවරයාට බලය පැවරැණත් වත්මන් ජනාධිපතිවරයාටද ඇතැම් බලතල එසේම තිබීම මේ කලබැගෑනියට පාර කපා තිබේ. එය 19 වැනි ව්‍යවස්ථාවේ 51 වැනි වගන්තිය කියවා බැලීමෙන් පැහැදිලි කරගත හැක. එහි දැක්වෙන්නේ මෙසේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැණිව කුමක් සඳහන් වුවද මේ පනත ආරම්භ වන දිනයේදී ජනාධිපතිවරයා ලෙස ධුර දරන තැනැත්තා එසේ ජනාධිපති ධුරය දරණ තාක්කල් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවායේ කර්තව්‍ය තමන්ගේ භාරය වෙත පවරා ගැනීමද එකී කාර්යය සඳහා ඔහු වෙත පවරා ගත යුතු අමාත්‍යංශ තීරණය කරනු ලැබීමද කළ හැකි වන අතර ඒ අනුව එකී විෂය හෝ කර්තව්‍ය පවරනු ලැබ ඇති අමාත්‍යවරයාට යම් ලිඛිත නීතියක කරනු ලබන යම් සඳහනක්, ජනාධිපතිවරයාට කරනු ලබන සඳහනක් ලෙස කියවා තේරැම් ගනු ලැබිය යුත්තේය.

මෙයින් පැහැදිලිව කියවා ගත හැක්කේ පවතින තත්ත්වය යටතේ ඕනෑම අමාත්‍යංශයක් ජනාධිපතිවරයාට පවරා ගත හැකි වන බවය. ඒ පවරා ගත යුතු අමාත්‍යංශ තීරණය කිරීමේ අයිතිය පවා ජනාධිපතිවරයාට පැවරී තිබෙන විටෙක අග්‍රාමාත්‍යවරයාගේ බලතල සමඟ බරපතළ ගැටීම් ඇතිවීම වැළැක්විය නොහැක. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයාට වඩා බලතල භාවිත කිරීමට කොතරම් උත්සාහ කළත් දෙදෙනා අතර අන්‍යෝන්‍ය විශ්වාසය බින්දුවටම වැටී තිබෙන අවස්ථාවක එය කිසිසේත්ම කළ නොහැකිය. ආණ්ඩුව පිහිටුවූ දවසේ පටන්ම සුළු වශයෙන් පැවැති වාද භේද මහ මැතිවරණයෙන් පසුව උත්සන්න වූ අවස්ථාවේදී හෝ නායකයන් දෙදෙනා තමන්ගේ මතවාදී ගැටුම් සමථයකට පත්කර ගැනීමට කටයුතු කළේ නම් අද රටේ පාලනය මෙගා ටෙලිනාට්‍යයක් බවට පත්වන්නේ නැත. ජනතාව අමාරැවේ වැටෙන්නේද නැත.

කෙසේ වුවද මෙයින් පසුව පත්වෙන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් 51 වගන්තිය අදාළවන්නේ නැත. එහි 43 වගන්තියෙන් පැහැදිලිව සඳහන් වන ආකාරයට ජනාධිපතිවරයාට කිසිම අමාත්‍ය ධුරයක් දැරීමට අවස්ථාවක් නැත. 43 වගන්තියේ (2) මෙසේ සඳහන් වෙයි.

43-(2) ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යංශ භාරව කටයුතු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් අතුරින් අමාත්‍යවරයන් පත්කළ යුත්තේය. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන කෙනකුට අමාත්‍ය ධුරයක් දැරිය නොහැකිය. ජනාධිපතිවරයා මන්ත්‍රීවරයකු නොවන බැවින් ඔහුට හෝ ඇයට අඩුම තරමින් ආරක්ෂක අමාත්‍ය ධුරයවත් හිමිවන්නේ නැත. එවැනි තත්ත්වයක් තුළ 19 ව්‍යවස්ථාව අහෝසි කිරීමෙන් පළක් වෙයිද? 
විධායක ජනාධිපති ධුරය මෙරටට හඳුන්වා දීමෙන් පසුව ව්‍යවස්ථා සංශෝධන 19ක් හඳුන්වා දී ඇති අතර ඉන් 13-18 සහ 19 වඩාත්ම මතභේදවලට ලක්වූ රටේ විශේෂ අවස්ථාවලදී හඳුන්වා දෙනු ලැබූ ඒවා වශයෙන් පෙනී යයි. 13 ව්‍යවස්ථාව හඳුන්වා දුන්නේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට ඉන්දියාව මැදිහත් වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එය හඳුන්වාදීම හේතුවෙන් යුද්ධය නැවතුණේ නැත. ප්‍රශ්නය විසඳුණේ නැත. ඒ වෙනුවට සිදුවූයේ ඉන්දියාවට රජීව් ගාන්ධිත් ශ්‍රී ලංකාවට ප්‍රේමදාස ඇතුළු ජාතික නායකයන් කිහිප දෙනකුත් අහිමි වීමය.

ඉන්දියාවට කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මේ එලෙස ජාතික නායකයන් අහිමිවීමෙන් සිදුවූ අඩුපාඩුව පිරිමසා ගත නොහැකි තරම් බවද පැවසිය යුතුය. එය අද වනවිට තදින් දැනෙමින් තිබේ. ඒ තත්ත්වය කොහොම වුණත් රටේ යුද්ධය විසඳුණේ ප්‍රභාකරන් මරා ගැනීමෙන් පසුවය. එහෙත් 13 තවමත් පවතින්නේ පළාත් සභා පිහිටුවීම හැර අක්‍රීය මට්ටමිනි.

18 ව්‍යවස්ථාව හඳුන්වා දුන්නේ යුද ජයග්‍රහණයත් සමඟය. ඒ අවස්ථාවේදී රටේ ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමට තිබූ අවස්ථාව මුල් තැනක් නොදී ආණ්ඩු බලය ගැන පමණක් සිතා කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ එම ව්‍යවස්ථාව හඳුන්වා දීමට මුල් වූ මහින්දට ගෙදර යාමට සිදුවීමය. ජනාධිපතිවරයා 18 ව්‍යවස්ථාව අද දැඩිව විවේචනය කළත් ඔහුද එයට අනුමැතිය දුන්නේය. එදා මහින්ද සමඟ සිටි සියලුම මැති ඇමැතිවරු එයට තම ඡන්දය ලබාදුන්හ. නමුත් යූ.එන්.පී.ය එදා 13 ව්‍යවස්ථාව හඳුන්වා දුන් අවස්ථාවේ කිහිප දෙනකුම එයට විරෝධය පා ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු බවද සඳහන් කළ යුතුය.

මේ සියලු ව්‍යසනවලට හේතු වන්නේ ජනතාවගේ මතය නොවිමසා ඔවුන්ට කොළේ වසා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම තනිකරම දේශපාලනඥයන් විසින් තම අතට ගැනීම නිසාය. 19 සම්මත කර ගත්තේද ජනමත විචාරණයකට යා යුතු වගන්ති ඉවත් කර දමමිනි. ඒ සඳහා ජනාධිපතිවරයත් අගමැතිවරයාත් දෙදෙනාම දායක වූහ. අද ඒ ගැන රටේ ජනතාව ඉදිරියේ ගහ බැණ ගැනීමෙන් පළක් නැත.

I ශශීන්ද්‍ර