2019 ජුනි 29 වන සෙනසුරාදා

ව්‍යවස්ථා පළහිලව්ව!

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

කොරේ පිටට මරේ කිව්වාක් මෙන් දැන් රටට ව්‍යවස්ථා සංශෝධනයක්ද අවශ්‍ය බවට යෝජනාවක් ඇවිත් තිබේ. බඩු මිල බරෙන්, බදු බරෙන්, රැකියා විරහිත බවෙන් ඇතුළු බොහොමයක් ගැටලු එසේම තිබියදී ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතු බවට කෙරෙන යෝජනාව මේ සියලු බරවලින් පීඩා විඳින ජනතාව මතට කඩා පාත්වෙන හැබෑම මරාලයකි. මේ කිසිදු යෝජනාවකින් විසඳෙන්නේ තමන්ගේ ප්‍රශ්න නොව ඒ ඒ අයගේ ප්‍රශ්න බව ඔවුන් හොඳාකාරව දන්නා බැවිනි.

19 වැනි සංශෝධනය ගෙන ඒමෙන් සිදුවූ වැරැද්ද හරිගස්සා ගැනීම සඳහා එය අහෝසි කළ හැකි නම් එය යහපත් බවත් තවත් මාස හතරකින් ස්ථිර ලෙසටම එන ජනාධිපතිවරණයට පෙර එය සිදුකළ හැකි නම් එය රටට සැපතක් වනු ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. පසුගිය බදාදා (26) ජනාධිපති කාර්යාලයේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත්වූ හමුවේදී ජනාධිපතිවරයා මේ බව කියමින් 19 වැනි ව්‍යවස්ථාව දැඩි ලෙස විවේචනය කර තිබිණි. එම සංශෝධනය හේතුවෙන් ජනාධිපති කාර්යාලයේ එක් ආණ්ඩුවකුත් අරලියගහ මන්දිරයේ තවත් ආණ්ඩුවකුත් නිර්මාණය වී ඇති බවද ඔහුගේ කතාවේදී සඳහන් විය. ඊට අමතරව 19 සංශෝධනය රටට ශාපයක් වී ඇති බවත් එය ගෙන ඒම වැරැද්දක් බවත් එම සංශෝධනය හේතුවෙන් රට අස්ථාවර වී ඇති බවත් ඇතුළු තවත් ප්‍රබල විවේචනයක් එල්ල කළ ජනාධිපතිවරයා එය අහෝසි කරන්නැයි පාර්ලිමේන්තුවේ අගමැති, විපක්ෂ නායක, ටී.එන්.ඒ. නායක සහ ජවිපෙ නායක යන අයගෙන් ඉල්ලීමක්ද කළේය. මේ කතාවේ වැඩිදුර තොරතුරු සියලු මාධ්‍යවල පළ විය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවේ 18 වැනි සංශෝධනය අහෝසි කිරීමේ වැඩපිළිවෙළ යටතේය. එය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාද නායකත්වය දුන් 2015 ජනවාරි 08 යහපාලන ආණ්ඩුව බිහි කිරීමේ ඡන්ද සටනේ ප්‍රධාන සටන් පාඨයක්ද වී තිබිණි. 18 අහෝසි කර 19 සම්මත කර ගැනීමට මැතිසබය තුළ සිදුකෙරැණු මහා ව්‍යායාමයේ ජනාධිපතිවරයාද ප්‍රධාන කොටස්කරුවෙක් වී සිටියේය. අගමැතිවරයාද සමඟ එදින එක්ව කටයුතු කරමින් මන්ත්‍රීවරුන් 215 දෙනකුගේ අනුමැතියෙන් එදා සම්මත කරගත් 19 සංශෝධනය අද පිළිකාවක් වශයෙන් ජනාධිපතිවරයාට පෙනී යමින් තිබේ. ඔහුගේ මතයට අනුව එම සංශෝධන දෙකම පිළිකා වශයෙන් සළකා ඉවක් කිරීම හැර වෙනත් පිළියමක් නැත.
රටක ව්‍යවස්ථාවක් සකස් විය යුත්තේ ඒ රටේ පොදු මහජනතාවගේ අවශ්‍යතා සහ අභිලාෂ ඉටුකෙරෙන ආකාරයට මිස නායකයන්ට පමණක් අවශ්‍ය පරිදි කටයුතු කිරීමට නොවේ. නායකයන්ට පමණක් අවශ්‍ය වන ආකාරයට කටයුතු කිරීමට නම් ඒ සඳහා ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත. ඕනෑම ඒකාධිපති නායකයකුට තමන්ගේ සිතැඟි පරිදි රටක් සහ ජනතාවක් මෙහෙයවාගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ තුවක්කු සහ උණ්ඩත් අණ දෙන පමාවෙන් කොකා ගස්සන හමුදාවකුත් පමණි. නමුත් අපේ රට එසේ නොවේ. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියෝ වෙමු. එබැවින් රටේ මූලික නීතිය වන ව්‍යවස්ථාව තිබිය යුත්තේ රටේ සියලු ජනකොටස්වල ගෞරවය රැකෙන අරමුණු ඉටුකෙරෙන ආකාරයකට මිස නායකයන්ට අවශ්‍ය ආකාරයට එය නවමින් ක්‍රියාවේ යෙදවීමට නොවේ. හායි කියා ගේන්නත් &බායි* කියා යවන්නත් සංශෝධන අවශ්‍ය නැත.

මේ රටේ නිදහස ලැබීමටත් පෙර සිටම ශක්තිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය වී තිබිණි. එය ඉංග්‍රීසින්ගෙන් ලැබුණත් මේ රටට ගැලපෙන ආකාරයට හැඩතල සකස් කරගෙන 1973 දක්වාම ක්‍රියාත්මක විය. ඒ කාලය තුළ එකම නායකයකුගෙන්වත් මෙවැනි විවේචනයක් අසන්නට ලැබුණේ නැත. 1973 දී පළමු ජනරජ ව්‍යවස්ථා සංශෝධනය සිදුකෙරැණු අතර එයින් රටේ පාලනය බ්‍රිතාන්‍ය කිරැළෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම සිදුවිය. එම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 1978 විධායක ජනාධිපති ව්‍යවස්ථාව හඳුන්වා දෙන තුරැම රට පාලනය විය. ඒ කාලය තුළදීද ව්‍යවස්ථාව සම්බන්ධ විවේචනයක් නොතිබිණි. සංශෝධන එකතු වීමක්ද සිදු නොවීය.

එහෙත් 1978 හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන පාලන කාලය තුළදීම වරින් වර සංශෝධනය විය. කොටින්ම එය &වාර ප්‍රකාශනයක්* තරමට හෑල්ලු වී ගියේය. මේ ඇතැම් සංශෝධන සිදුකෙරැණේ කාලානුරෑපව රටේ සිදුවිය යුතු වෙනස්කම්වල අවශ්‍යතා අනුව නොව පාලනය භාරව සිටි නායකයන්ගේ දේශපාලනික අවශ්‍යතාවලට අනුවය. එහි ප්‍රතිඵලය වූයේ තිබුණු ප්‍රශ්න ඩබල් වී රටේ නැති ප්‍රශ්නද ඇතිවීමය. 1988 වනවිට රටේ උතුරේත් දකුණේත් ඇවිලී යමින් තිබූ යුද්ධය එයට එක උදාහරණයක් පමණි. 

මේ කිසිම සංශෝධනයකින් රටේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් නොලැබීම මෙහිදී කැපීපෙනෙන සාධකයකි. මෙය තනිකරම විධායක ජනාධිපති ක්‍රමයේ හෝ එහි සංශෝධනවල හෝ වැරුද්ද යැයි පැවැසීමට අපි ඉක්මන් නොවෙමු. එවැනි නිගමනයට ඒමට සෑහෙන ගැඹුරැ අධ්‍යයනයක් අවශ්‍යය. එහෙත් බැලූ බැල්මට පෙනෙන සත්‍ය නම් මේ රටේ සිදුකෙරෙන ව්‍යවස්ථා සංශෝධන රටේ ප්‍රශ්න විසඳන ඒවා නොව ඒ ප්‍රශ්න අර්බුද දක්වා ප්‍රසාරණය කරන ඒවා බවය. 18 වැනි සංශෝධනයද මේ තත්ත්වයෙන් මිදෙන්නේ නැත. ජේ.ආර්. ජයවර්ධනගේ කාලයේදී සිදුවූවාක් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී සිදුවූ 18 වැනි සංශෝධනයද පෞද්ගලික ඕනෑ එපාකම් අරමුණු කර ගනිමින් සිදුවී තිබීම 19 වැනි සංශෝධනයට මඟ පෑදුවේය. 19 වැනි සංශෝධනය තුළ යහපත් යෝජනාද තිබුණත් එහි යටිපෙළේ දේශපාලන ගේම්වලට ඉඩකඩ තැබීම අද රටම අවුල් ජාලයක් බවට පත්කර තිබේ. සංශෝධනයක් ගෙන ඒමේ චේතනාවට ඉඳුරාම පටහැණි මෙවැනි ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් රටට හෝ ජනතාවට සිදුවන යහපතක් නැත. යථාර්ථය නම් මේ බව ජනාධිපතිවරයාට පෙර රටේ ජනතාව දැන සිටීමය.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00