2019 ජුනි 15 වන සෙනසුරාදා

කැබිනට්ටුවේ දොර වැසීම

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

මේ රටේ පාලකයන් ක්‍රියා කරන ආකාරය ඇසෙන පෙනෙන විට රට මේ තරමින් හෝ ඉතිරිව තිබීම ගැන දෙවියන්ට ස්තූති කළ යුතුය. කාලයක් තිස්සේ හැංගි හැංගී දේශපාලන අං කෙළියක යෙදී සිටි ජනාධිපතිවරයා ප්‍රමුඛ විධායකයත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායකයත් මේ වනවිට සිටින්නේ ගල උඩ සටනක යෙදෙමිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට රටේ ප්‍රධාන පරිපාලන හා ආර්ථික තීන්දුවලට පණපොවන කැබිනට් මණ්ඩලය සතියකට ක්‍රියා විරහිත විය. 

විශේෂ හේතුවකින් තොරව කැබිනට් රුස්වීම් නොපැවැති සතියක් වශයෙන් ගෙවී ගිය සතිය රටේ දේශපාලන ඉතිහාසයට එක්වී හමාරය. රට තිබෙන තත්ත්වයේ හැටියට හරි නම් දවසකට දෙක ගානේ කැබිනට් රුස්වීම් තිබ්බත් මදිය. ප්‍රශ්න ඒ තරමට ගොඩ ගැහිලාය. එහෙත් කැබිනට්ටුව වසා යතුර ජනාධිපතිවරයා අතට ගත් බැවින් අග්‍රාමාත්‍යවරයාටද කළ හැකි දෙයක් නැත.

කැබිනට් මණ්ඩලය සතියකට වරක් රැස්වෙන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පෞද්ගලික ප්‍රශ්න විසඳාගැනීමට නොවේ. හැම පැත්තෙන්ම තැලෙමින් පොඩිවෙමින් ජීවත් වීමට පුදුම කට්ටක් කන රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමටය. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වන චම්පික රණවක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ කැබිනට් රැස්වීම නොපැවැත්වීමෙන් පසුගිය සතියේ පමණක් කැබිනට් පත්‍රිකා 104ක් සාකච්ඡාවට ගැනීමට නොහැකි වූ බවය. මේ තත්ත්වය ඉදිරියේදීත් පැවතුණොත් සිදුවිය හැකි බරපතළ අනතුරක් එයින් ප්‍රකාශ විය. රට ගෙන යාමට අවශ්‍ය සියලු ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් නොවන විට රටම එකම තැනක පල් වෙයි. පල් වූ රටක නායකයන් යැයි කියනවාට වඩා මොන බාධක ආවත් ඒවා මැඩගෙන ඉදිරියට යන නායකයන් යැයි හඳුන්වා ගැනීමට අපේ රටේ නායකයන්ට අවශ්‍යතාවක් නොතිබීම රටේම අවාසනාවකි.

රටක් එකවරම අරාජික වෙන්නේ නැත. අරාජික වූවාට පසුව යළිත් රටේ පාලනය හරි පීල්ලට දමාගැනීමද පහසු නැත. දැනට පවතින තත්ත්වය යටතේද මහපාරේ සිට තමන් රට පාලනය කරන බවට සිදුකෙරෙන තර්ජන, අභියෝගවල හඬ ඇසෙන විට දිගටම කැබිනට් රැස්වීම් පැවැත්වීමට එකඟතාවක් ඇතිකරගත නොහැකි වුවහොත් රටම භයානක අනතුරක වැටීමට ඉඩ තිබේ. ඒ බව සියලු නායකයන් දැනගත යුතුය. යමක් සිදුවීමෙන් පසුව මාධ්‍ය සාකච්ඡා තබා නිදහසට කරුණු කීමෙන් පළක් නැත. එවැනි මාධ්‍ය මෙහෙයුම් සහ සංදර්ශන දැන් මේ රටේ ජනතාවට අහලා දැකලාම තිත්ත වෙලාය.

මේ රටේ පාලනය භාරව සිටින්නේ රජ පරපුරකින් උරැම වූ බලයක් ඇති පිරිසක් නොවේ. ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් මේ සියලු බලය ලබාදී තිබෙන්නේ රටේ මහජනතාව විසිනි. අඩුම වශයෙන් තමන්ට බලය දුන් මේ මහජනතාවට දක්වන ගෞරවයක් ලෙස සලකා හෝ සියලු මතවාදී ගැටුම් යටපත් කර රට හරියට ඉදිරියට ගෙන යාම නායකයන් දෙදෙනාගේම වගකීමකි. ඒ වගකීම ඉටුවනු වෙනුවට රටේ ජනතාව දැන් දකින්නේ විධායකය සහ ව්‍යවස්ථාදායකය ඍජුවම ගැටුම්කාරී මාවතකට අවතීර්ණ වී සිටින බවය. තේරීම් කාරක සභාව නවත්වා දමනතුරු කැබිනට් රැස්වීම්වලට තමන් නොඑන බව ජනාධිපතිවරයා කරන ප්‍රකාශයේ අවසන් වින්දිතයා වන්නේ රටේ ජනතාවය. අප කලින් කිව්වාක් මෙන් කැබිනට් මණ්ඩලය යනු පෞද්ගලික තීන්දු ගන්නා තැනක් නොව ජනතාවගේ ගැටලු විසඳීමට අවශ්‍ය තීරණ ගන්නා තැනක් බව අමතක කළ යුතු නැත. ආණ්ඩුවද ජනාධිපතිවරයා බිත්තියටම තල්ලු කිරීමේ දේශපාලන වෑයමක් දැරීම යුක්ති සහගත නැත. ඇතුළේ ප්‍රශ්න විසඳාගත යුත්තේ ඇතුළේදී මිස එළිමහනේදී නොවේ.

මෙතැනදී ආණ්ඩුව දරණ ස්ථාවරය වන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු පාලනය කිරීමට ජනාධිපතිවරයාට අයිතියක් නැති බවය. ව්‍යවස්ථානුකූල තත්ත්වය එය නම් ඒ බව කවුරැත් පිළිගත යුතුය. එහෙත් මේ රටේ අයිති නැති වැඩ සිදුවූ අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් සොයාගත හැකිය. නමුත් සිදුවිය යුත්තේ අතීතය හාර හාරා කුණු ගොඩගැනීම නොව තිබෙන තත්ත්වය හැකි තරම් ඉක්මනට සමනය කර ගැනීමය. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළක් වෙනුවට අපට දකින්නට ඇත්තේ තත්ත්වය තවත් සංකීර්ණ වන තරමට වැඩ සිද්ධවෙමින් පවතින බවය.

ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් වෙනුවට ජනාධිපතිවරයා විසින් වැඩබලන ඇමැතිවරුන් පත්කිරීම එවැනි එක් අවස්ථාවකි. එම පත්වීම්වලින් පසුව අගමැති ජනපතිට ලියා දැන්වූයේ මේ ආකාරයට වැඩබලන ඇමැතින් පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බවය. දැන් මේ පත්කිරීම්ද විශාල අර්බුදයකට යන බවක් පෙනෙන්නට තිබේ. කැත්තට පොල්ල මෙන් කටයුතු කරමින් ආණ්ඩුවක් ගෙන යාමට නොහැක. දේශපාලනයේ මළපොතේ අකුරක් හෝ නොදන්නා අයකුට වුවද ඒ බව වටහාගැනීම අසීරු නැත.

මේ රජය බලයට පත්වන විට වයස අවුරුදු 15, 16 සිටි යෞවනයෝ මේ වනවිට 20 වැනි විය ඉක්මවා ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති. ඊට වසරකට දෙකකට අඩු පිරිස්ද ඊළඟ ජනාධිපතිවරණයේ ඡන්ද දායකයෝ වෙති. ලක්ෂ ගාණක් වන මේ තරුණ පිරිස රටේ ඊළඟ නායකත්වය පිළිබඳ තීරණ ගන්නේ වත්මන් නායකයන්ගේ ක්‍රියාකාරීත්වය හොඳින් විමසා බැලීමෙන් පසුවය. පැරුණි කාලයේ මෙන් තාත්තලා අම්මලා කියන ආකාරයට ඡන්දය ප්‍රකාශ කිරීමට මේ බොහෝ දෙනා කැමැත්ත දක්වන්නේ නැත. ඒ වාගේම නවීන සන්නිවේදන ක්‍රම හරහා තොරතුරු ලබාගැනීම අතින්ද ඔවුහු සන්නද්ධව සිටිති. නායකයන් එළිපිට ගහගන්නා තත්ත්වයට පත්ව සිටිනු දකින විට ඔවුන්ට සමස්ත ක්‍රියාවලියම එපාවී ප්‍රජාතන්ත්‍රවාදය වහකදුරැ වීමටද ඉඩ තිබේ. එහි ප්‍රතිඵල භයානක විය හැකි බවට උදාහරණ අපේ රටේ දේශපාලන ඉතිහාසයෙන් ඕනෑ තරම් සොයාගත හැක. 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00