2019 ජුනි 08 වන සෙනසුරාදා

උපවාසයේ ඝෝෂාව

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 154

රතන හාමුදුරුවෝ මේ රටේ දේශපාලනය තුළ වරින්වර කැපි පෙනෙන පුවත් මැවූ චරිතයකි. මේ චරිතය මුලින්ම වඩාත් හොඳින් රටට දැනුණේ සුප්‍රසිද්ධ මාවිල්ආරු සටනිනි. සාමයේ කඩතුරාවට මුවා වී තම සේනා සංවිධානය කරගත් ප්‍රභාකරන් ශ්‍රි ලංකා හමුදාවට ඇඟේ හැප්පී ගහන්නට කතාකළේ මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙනි. එතැනින් ඇරැඹුණු සටන ප්‍රභාකරන්ගේ අවසන් සටනද යුද්ධයේ නිමාවද සටහන් කළේය. මේ යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ රතන හාමුදුරුවන්ගේ භූමිකාව වැදගත් කාර්යභාරයක් ඉටුකළේය. බය නැතුව හැකිතරම් දුරට ගොස් හමුදාවටත් රටටත් ලොකු මොරාල් එකක් ලබාදුන්නේය. එදා සිට අද දක්වාම රතන හාමුදුරුවෝ පාර්ලිමේන්තුව නියෝජනය කළහ.

මාවිල්ආරු සටනේ පෙරමුණේ සිටි රතන හාමුදුරැවෝ ඒ කාලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් විය. එහෙම වුණත් පසුකාලයක රාජපක්ෂ පාලනයෙන් රතන හාමුදුරුවන්ට පලා බෙදනු ලැබීය. එය අවසන් වූයේ 2015 ජනාධිපතිවරණය සමගිනි.

ජනාධිපතිවරණයට මහින්ද ඉල්ලන විට රතන හාමුදුරැවන් ඒ කාලයේ රනිල්ගේ නායකත්වයෙන් තිබූ විපක්ෂයට ලොකු හයියක් ලබාදෙමින් පොදු අපේක්ෂකයා තෝරන සටනේ ලොකු භූමිකාවක් ඉටු කළේය. ඒ වෙනුවෙන් විවිධ සිවිල් සංවිධාන ඇතුළු වෘත්තිකයන්ද එකතු කර වේදිකාවක් හදා ඒ වේදිකාවට ගොඩ වී මහින්ද මහත්තයා පැරදවිය යුතුයි* කියා මහහඬක් නැගුවේය. ඇත්තෙන්ම එදා බොහොමයක් නායකයන් කියා කියාගැනීමට බය වී සිටි මහින්ද පරද්දන්න ඕනෑ කතාව රතන හාමුදුරැවන්ගේ කටින් කියන විට ඒ බොහෝදෙනකුගේ බය නැතිවී ගියේය. ඊට පස්සේ බයක් නැතුව මහින්ද පරාද කරමු කියා කැගැසූ බොහෝ දෙනා අද ඉන්නේ ආණ්ඩුවේය. සමහරු ඇමැතිවරුය. හැබැයි මුලින්ම කෑගැසූ රතන හාමුදුරුවෝ නම් දැන් ආණ්ඩුවේත් නැත. විපක්ෂයේත් නැත.

රතන හාමුදුරුවෝ ජනාධිපතිවරණයේදී කොතරම් ලොකු භූමිකාවකට පණපාවා සිටියත් මහා මැතිවරණයේදී ඡන්දය ඉල්ලීමට ඉදිරිපත් වූයේ නැත. ඒ තමන්ට ඡන්ද ප්‍රමාණවත් තරම් නොලැබේ යැයි කියා සිතුණු නිසාදැයි කියන්න බැරිය. අවසානයේ රතන හිමිට පිහිට වූයේ යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහය. රනිල් අගමැති වනවිට රතන හාමුදුරුවෝ චම්පිකගේ හෙළ උරුම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණියහ. එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලැබුණේ චම්පිකගෙන් රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. 

රතන හාමුදුරුවෝ ජාතික දේශපාලනයේ කොතරම් භූමිකා ඉටුකළත් යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කොතරම් දරදිය ඇද්දත් මේ වනවිට පාර්ලිමේන්තුව තුළ සිටින්නේ ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙනි. ජාතික දේශපාලනය තුළ විවිධ වේදිකාවලට ගොඩවූ රතන හාමුදුරැවන් දෙස බොහෝදෙනා සැකයෙන් බලන්නේ උන්වහන්සේගේ දේශපාලනය තුළ දැකිය හැකි අපැහැදිලි ස්වභාවය හේතුවෙනි. බොහෝ දෙනා රතන හාමුදුරුවන්ට කියන්නේ කාගේ හෝ දේශපාලන කොන්ත්‍රාත් ඉටුකරන තැනකට අද උන්වහන්සේ පත්ව සිටින බවය. මුලින් මහින්ද ළඟ සිට ඉන්පසුව යූ.එන්.පී.ය හරහා මෛත්‍රීපාල ජනාධිපතිවරයාට කිට්ටු වී පසුව යූ.එන්.පී. ආධාරයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාගෙන දැන් යළිත් මේ ඉටු කරන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ කොන්ත්‍රාත්තුවක්දැයි යන සැකයද බොහෝදෙනා තුළ පවතී. තවත් සමහරැන්ගේ මතය රතන හාමුදුරැවෝ දැන් යළි මහින්දට කිට්ටු වී වෙනම සූත්‍රයක් දේශනා කිරීමට සැරසෙන බවය. උපවාසය එහිම කොටසක් බවය.

උපවාසය ආරම්භ කරන තුරු එය කරන බවට රටටම නොඅඟවා සිටීමට තරම් රතන හාමුදුරුවන් මෙහිදී සූක්ෂම වූ බවද පැහැදිලිය. ඒ බව හොඳින්ම තේරුම් ගත හැක්කේ ඥානසාර හිමියන් රතන හාමුදුරුවන්ගේ උපවාසය නිම කිරීමෙන් පසුව මාධ්‍යයට කී කතාවෙනි. රතන හාමුදුරුවන් මේ උපවාසය සිදුකළ යුතුව තිබුණේ අප්‍රේල් 21 වැනිදාට පසුදින වලදීම බව ඥානසාර හාමුදුරැවන් කිව්වේ උපවාසය හේතුවෙන් රට තුළ ඇතිවූ දේශපාලන කැළඹිල්ල හොඳට කිරා මැන ගැනීමෙන් පසුව බව පැහැදිලිය. උපවාසයත් සමඟ රත්වූ දේශපාලනයට උණකටුව තැබූ ඥානසාර හිමිට පසුගිය දිනවල තමන් දෙසට ආකර්ශනය වෙමින් තිබූ ජනරැල්ල රතන හිමියන් දෙසට ආපසු කැරකී කැරකී යනු බලා සිටීම අපහසු දෙයක් විය. සමහරැන්ගේ මතය වූයේ ඥානසාර හිමියන් සිරෙන් නිදහස් කිරීමේ දේශපාලන ගැම්ම ජනාධිපතිවරයා දෙසට හැරෙන එක වැළැක්වීමටද රතන හිමිගේ උපවාසය හේතුවූ බවය. 

ඒ කොහොම වුණත් රතන හිමිගේ උපවාසයෙන් අරමුණු කරගෙන තිබූ කාරණා ගණනාවක් හරි ගියේය. රටේ ජනතාවගේ දැඩි විරෝධයට ලක්වූ අසාද් සාලි සහ හිස්බුල්ල ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීමත් (නැතහොත් බලෙන් ඉල්ලා අස්වීමට සැලැස්වීමත්) ආණ්ඩුවට රටේ ජනතාව තුළ තිබෙන විශ්වාසය මැන බැලීමත්, තමන් කෙරෙන් ප්‍රබල ලෙස ඉවත්ව යමින් තිබූ ජනතාවගේ ආකර්ෂණය යළි ළඟා කර ගැනීමත් ඒ අතුරින් කිහිපයකි. එහෙත් මෙහිදී රතන හාමුදුරුවන්ට වඩා යූ.එන්.පී. නායකත්වය සූක්ෂමව කටයුතු කළ බව පෙනී ගියේ බලාපොරොත්තු වූ ආකාරයට ආණ්ඩුකාරවරුන් සමඟ රිෂාඩ් ඇමැතිවරයා ඉල්ලා අස් නොවීම හේතුවෙනි. ඒ හේතුවෙන් රතන හිමියන්ගේ ප්‍රධාන ඉල්ලීමෙන් ඉටුවූයේ කොටසක් පමණි. එහෙත් උපවාසය නැවතුණේය.

ඇමැති රිෂාඩ් අස්වීම වෙනුවට සිදුවූයේ සියලුම මුස්ලිම් ඇමැතිවරුන් සිය තනතුරුවලින් අස්වීමය. මෙය රටේ ජාතික දේශපාලනය තුළ මෙතෙක් දැකිය නොහැකි වූ සිද්ධියක් විය. සාමාන්‍යයෙන් සිදුවන්නේ කොතරම් දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද කිසිදු ඇමැතිවරයකුට අස්වෙන්න කිව්වත් අස් නොවී සිටීමය. විශේෂයෙන් මැතිවරණයක් ආසන්නව නැති අවස්ථාවක සුළුජන පක්ෂවල නායකයන් කවදාවත් ආණ්ඩුවේ ඇමැති පදවිවලින් ඉල්ලා අස්වී නැත. මේ සිද්ධිය රටේ දේශපාලනය තුළ විශාල කැළඹීමක් ඇති කළේ එබැවිනි.

රටේ ජාතික දේශපාලන භූමිකාවෙන් සුළු ජාතික පක්ෂ ඉවත්වීම අනාගතයේදී බරපතළ ප්‍රශ්න ඇති කිරීමට හේතුවන බවට සැකයක් නැත. මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව සිදුකරන සටන මුස්ලිම් ජාතික සියලු දේශපාලනඥයන්ට එරෙහිව සිදුකරන සටනක් බවට පරිවර්තනය කර ගැනීම ඒ සියලුදෙනාම අන්තවාදයට තල්ලු කිරීමේ මූලික පියවරක් විය හැකි බව අවබෝධ කර නොගන්නා පිරිසක්ද රටේ සිටීම කනගාටුදායකය. 1983 වසරේදී එවකට පාර්ලිමේන්තුවේ උතුරු නැගෙනහිර නියෝජනය කරමින් සිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙන් පිටවී මන්ත්‍රීකම් අතහැරදා යන අවස්ථාවේදී එය වසර 30ක් කල් පවතින යුද්ධයක ආරම්භක පියවරක් වනු ඇතැයි මේ රටේ බහුතරයක් දෙනා විශ්වාස කළේ නැත. අඩුම වශයෙන් පාර්ලිමේන්තුව එවකට නියෝජනය කරමින් සිටි ප්‍රධාන පක්ෂ දේශපාලනඥයන්ද ඒ ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්වූයේ නැත. රටේ පමණක් හෝ ලෝකය තුළ පවතින දේශපාලන ප්‍රවණතා හඳුනා නොගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵල අවසානයේ මුළු රටම කරා පැමිණියේ බිහිසුණු යුද්ධයක් වශයෙනි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ රුඳී සිටින දේශපාලන පක්ෂ එම ප්‍රවාහය තුළම රඳවා ගැනීම අත්‍යාවශ්‍යය. එය එසේ නොවුණහොත් ඔවුන් ඊළඟට හැරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිවිරුද්ධ දිශාවටය. එය ප්‍රචණ්ඩත්වය මුසු අන්තවාදයයි.

මේ රටේ දැනට පවතින ගැටලුව එතරම් තත්ත්වයක් දක්වා දුරදිග යාමට තවමත් ඇත්තේ ඉතා සුළු ඉඩකඩකි. එහෙත් එම ඉඩකඩ පවා අහුරා දැමීම රජයේත් විපක්ෂයේත් වගකීමයි. රජයේ නායකයන් විශේෂයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙන වෙනම හෝ පවතින තත්ත්වයේ යථා ස්වභාවය හඳුනාගෙන කටයුතු කරන බව පෙනී යයි. එහෙත් තමන්ට අවනත නොවන පිරිස් විසින් මෙහෙයවන කටයුතු පාලනය කිරීමට මේ දෙදෙනාම දක්වන අසමත්කම බොහෝ ගැටලු ඇතිකර තිබේ. ඥානසාර සහ රතන හිමිවරැන්ගේ භූමිකාවද පාලනය කිරීමට නොහැකි වුවහොත් ඒ දෙදෙනා විසින් රටේ පාලකයන් මෙහෙයැවෙන තත්ත්වයක් ඇතිවුවොත් රටම විශාල අනතුරකට මුහුණ දෙනු ඇති බවට සැකයක් නැත. මෙහිදී ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන්ගේ කතා සහ කෙරුවාවද බරපතළ ගැටලු ඇතිකරන බවත් පැහැදිලිය. සියලු දෙනාටම හොඳ අවබෝධයකින් කටයුතු නොකළොත් එම අනවබෝධය ඊළඟට ගලා ගෙන යන්නේ ජනතාව අතරටය.

මේ ගැටලු මැද ජනාධිපතිවරයා සහ යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුව පසුගිය දින කිහිපය තුළදී කරන ලද ඇතැම් කතා සහ ගන්නා ලද ඇතැම් පියවරද අර්බුදකාරී බවක් පෙන්නුම් කරයි. ඥානසාර හිමියන් රටේ විවිධ ස්ථානවලට ගොස් සිදුකරන කතා පාලනය කිරීමට කිසිම පියවරක් ගෙන නැත. එසේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තුළ සිදුකෙරෙන කාර්යභාරය, ප්‍රශ්න කිරීම් යූ.එන්.පී.යේ සතුටට හේතු වුවද එය ජනාධිපතිවරයාගේ බලවත් නොකැමැත්තට හේතු වී තිබෙන බව පැහැදිලිය. එය ඇතැම් විට පාර්ලිමේන්තු සැසිවාරය අහෝසි කරන මට්ටම දක්වා ඇදී යාමටද ඉඩ තිබෙන බව සිකුරාදා (07) වනවිට දැනගන්නට ලැබිණි. රාජ්‍ය මාධ්‍ය ආයතනයක් පවරා ගැනීමේ කතාව එන්නේද ඒ සමඟමය. ඒ අතර ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ඉන්දීය අගමැති මෝදිගේ පරිවාර ඇමැති වශයෙන් ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස නම් කිරීම යූ.ඒ.පී. නායකත්වයේ නොකැමැත්තට හේතු වී තිබෙන බවද කියති.

මේ සියල්ල මැද ජනාධිපතිවරයා යළිත් තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු යැයි ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් ලිඛිත ඉල්ලීමක් පසුගිය බ්‍රහස්පතින්දා (06) ජනාධිපතිවරයා අතට ලැබිණි. ජනාධිපතිවරයා එම ලිපිය බාරගත්තේය. ඔහුගේ අපේක්ෂකත්වය ජනතාව කොතරම් දුරකට බාරගනු ඇතිදැයි පැවසීමට තවම වේලාසන වැඩිය.

- ශශීන්ද්‍ර

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30