2019 ජුනි 08 වන සෙනසුරාදා

ගොඩයන මග

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 67

ලංකාවේ දේශපාලනය දැන් එකම අල හොද්දක් බවට පත්වී තිබේ. මේ අල හොදි තත්ත්වයෙන් රට ගොඩගැනීමට නම් වහාම මැතිවරණයක් අවශ්‍ය බව බොහෝ දෙනාගේ මතය වෙයි. එහෙත් ළඟම තිබෙන, සහතික වශයෙන් පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයයි. එය පැවැත්වෙනු ඇත්තේ දෙසැම්බර් 07 වැනිදා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේදී කියා තිබිණි. ඒ අනුව නම් ඉදිරි මාස 06ක කාලයද රට පවතිනු ඇත්තේ මේ අල හොදි තත්ත්වයෙනි. එය රටේ පැවැත්මට හොඳ නැත.

ජනාධිපතිවරණයට මෙපිටින් පැවැත්විය හැකි මැතිවරණ දෙකක්ද තිබේ. ඉන් එකක් නම් මහා මැතිවරණයයි. අනෙක දැන් මාස ගණනාවක් තිස්සේ කිසිවකු විසින් හෝ හොරාකමින් තිබෙන පළාත් සභා මැතිවරණයයි. මේ හොරා කෑමට මැතිවරණ කොමිසම වගකිව යුතු නැති බව අපි පැහැදිලිවම ප්‍රකාශ කරමු. ඒ සමඟම පළාත් සභා ඡන්දය හොරා කන්නේ කවුදැයි සඳහන් කිරීමටද අපි ඉක්මන් නොවෙමු. මේ නිසා ඊළඟට කතා කළ යුතු වන්නේ මහා මැතිවරණයයි.

මහා මැතිවරණයක් පැවැත්වීම අවුරුදු හතර හමාරක ව්‍යවස්ථාමය තහනමකට ලක්ව සිටින එකම රට ශ්‍රී ලංකාව විය හැකිය. මේ රටේ ජනාධිපතිවරයාට විධායක බලතල තිබුණද මොනම හදිසියකදී හෝ පාර්ලිමේන්තුව විසුරැවා හැර මහා මැතිවරණයකට යාමට ඉඩක් නැත. එය වළක්වා ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙනි. 19 සංශෝධනය ගෙඩි පිටින්ම රටේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම්වලට එරෙහිව යන බවක් අපි නොකියමු. එහෙත් මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන වගන්තිවලට සළු වීමට ඉඩහැර තිබෙන තත්ත්වයක් තුළ 19 සංශෝධනය කෙරෙහි සැක පහළ කිරීමට ඕනෑ තරම් කරැණු තිබේ. රටේ පාලනය අයාලේ යන තත්ත්වයකදී පවා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ ඡන්දයකට යාමට ඇති අවස්ථාව අහුරා තිබීම ඊට එක් උදාහරණයකි. නායකයන්ට හිතෙන හිතෙන වෙලාවට ඡන්ද පැවැත්වීමටත් රටට අවශ්‍යම මොහොතකදී ඡන්ද පැවැත්වීමට නොහැකි වීමත් බරපතළ අඩුපාඩුවකි.

අඩුපාඩු එසේ පවතිද්දී වුවද මහ මැතිවරණයක් අවශ්‍ය නම් එය පැවැත්වීමට පුංචි ඉඩකඩක්ද තිබේ. එනම් පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරැන්ගේ තුනෙන් දෙකක සම්මතයකින් ගෙන එන යෝජනාවක් අනුව පාර්ලිමේන්තුව විසුරැවා හැර ඡන්දයකට යා හැකි වීමය. අද අපේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයෙන් ප්‍රකාශ වන්නේ එවැනි වැඩපිළිවෙළක්, උත්සාහයක් සඳහා දේශපාලන පක්ෂ නායකයන් තිරය පිටුපස සිටිමින් කටයුතු කරන බවය. මෙවැනි සාකච්ඡා බොහොමයක අවසන් ප්‍රතිඵලය වශයෙන් අප බොහෝවිට දකින්නේ කිසිම ප්‍රතිඵලයක් නොලැබීම හැටියටය. එහෙත් පාර්ලිමේන්තුව විසුරැවා හැර මහ ඡන්දයකට යාම අවශ්‍ය නම් රටේ පාලනය භාර නායකයන්ටත් විපක්ෂ නායකයා ඇතුළු සෙසු පක්ෂ නායකයන්ටත් ඒ තීන්දුව ගත හැකිය. ඒ පිළිබඳ පවතින සාකච්ඡා සාර්ථක වී ඉක්මන් මහ මැතිවරණයකට යාම රටේ සියලු ප්‍රශ්න විසඳන ඇලඩින්ගේ පුදුම පහනක් විය හැකිද යන්න ඊළඟට පැන නගින ප්‍රශ්නයයි.

දැනට නම් පෙනෙන්න තිබෙන්නේ රටේ ජනතාව හමුවේ දිනෙන් දින උග්‍රවෙමින් පවතින ප්‍රශ්න යටපත්ව යමින් අතරමගදී කඩාවැටුණු මරාල පස්සේ ආණ්ඩුවත් විපක්ෂයත් දුවමින් සිටින බවය. රට තුළ පාලනය දුර්වල වී කඩාවැටුණොත් එයින් විපක්ෂයට අයිති වන විශේෂ වාසියක් නැති බව විපක්ෂය විසින් මෙහිදී තේරැම්ගත යුතු යථාර්ථයයි. තැල්ල බැඳීමට බෙල්ල තිබිය යුතු බව අපගේ බොහෝ විපක්ෂ දේශපාලනඥයන් විසින් භාවිතයට ගන්නා ප්‍රකට කියමනකි. අපට කියන්න තිබෙන්නේත් ඒ ටිකමය. එකම ප්‍රශ්නයක් මත්තේ නැසෙමින් සිටීම රටේ ප්‍රගතියට හේතුවක් නොවන බවත් මහ ඡන්දයකදී හෝ බලය ලබාගෙන පාලනය කිරීමට නම් රට ශක්තිමත්ව සහ ස්ථාවරව පැවැතිය යුතු බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.

මුස්ලිම් මැති ඇමැතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමත් එය රතන හිමිගේ මාරාන්තික උපවාසය හා සමගාමීව සිදුවීමත් සරල කාරණා සේ සලකා බැහැර කළ යුතු නැත. අපේ රට නිදහස ලැබූදා පටන් මේ දක්වා පැවැති ආණ්ඩුවල දමිළ සහ මුස්ලිම් දේශපාලනඥයන්ගේ හවුල්වීම් දැකිය හැකි විය. රටේ ජාතික ප්‍රශ්නවලදී යුග මෙහෙවරක් ඉටුකළ දමිළ සහ මුස්ලිම් නායකයෝ සිටියහ. මේ සියලු දේශපාලන කාරණා අමතක කොට මහ මැතිවරණයකට යාම සුදුසුද එයින් අරමුණු කර ගන්නා වූ අදහස් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සුදුසු වාතාවරණයක් ගොඩනගා ගත හැකිද වැනි සැබෑ තත්ත්වයන් කෙරෙහි වඩාත් අවධානය යොමුවීම අවශ්‍යය.

අපේ රට මේ සිටින්නේ මල් පිබිදෙන එක වසන්ත සමයක නොවන බව රටේ නායකයන්ද නායකත්වයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන සියලු දෙනාද තේරැම්ගත යුතුය. ජාතිවාදී, ආගම්වාදී අදහස් ඇවිස්සීමෙන් රටකට කළ හැකි හානිය කොතරම්දැයි මේ සියලු දෙනාටම හොඳ අවබෝධයක් ඇතැයි අපි සිතමු. මහනුවර පැවැත්වෙන මාරාන්තික උපවාසයට සහාය දැක්වීම පිණිස අනෙකුත් නගරවලද උද්ඝෝෂණ, පෙළපාළි හා පාරට බැසීම් සිදුවීම අවස්ථාවේ හැටියට බොහෝ දෙනා තුළ කිසියම් උත්තේජනයක් ඇතිකරන බව නොරහසකි. එහෙත් ඇතැම් අවස්ථාවලදී උපවාසය අවසන් වුවද එයට සහාය දැක්වීමට පටන්ගත් සිද්ධීන් කෙටියෙන් අවසන් නොවීමටද ඉඩ තිබේ. මේ පිළිබඳ සැබෑ අවබෝධයකින් කටයුතු කිරීම මේ අවස්ථාවේ හැටියට හොඳම විසඳුමය.

අල හොදි තත්ත්වයක සිටිමින් රටක් පාලනය කිරීමට කිසිදු ආණ්ඩුවක් කැමැති නැත. ඒ වෙනුවට විසඳුම මහ මැතිවරණයක් නම් මැතිවරණයට යාමට පෙර රට හැකි ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම අත්‍යවශ්‍ය කොන්දේසියකි. එසේ නොවුණොත් සිදුවන්නේ අල හොද්ද ඇඟ පුරාම හලාගැනීම පමණි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00