2019 ජුනි 01 වන සෙනසුරාදා

ඉන්දියාව වගේද ලංකාව!

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

අපේ අසල්වැසි මහා රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් නරේන්ද්‍ර මෝදි පසුගිය 30 වැනිදා බ්‍රහස්පතින්දා දිවුරුම් දුන්නේය. මෝදි දෙවැනිවරටත් එරට අගමැති පදවියට පත්වීම වෙනම කතාවකි. ඔහු පළමුවරට වඩා විශාල ජයග්‍රහණයක් දෙවැනිවර ලබාගත්තේ කොහොමද යන්න තවත් රසවත් කතාවකි. එහෙත් මේ අවස්ථාවේදී අපට වඩාත් වැදගත් වන්නේ මෝදි අගමැති වීම හෝ ඔහුගේ ඉතිහාසගත ජයග්‍රහණය හෝ නොවේ. ඔහු තම ඇමැති මණ්ඩලය පත්කළ ඇමැතිවරුන්ගේ සංඛ්‍යාවය. එය 24 දෙනකුට සීමා විය.

මෝදි තම ඇමැති මණ්ඩලයට 24 දෙනකු පමණක් පත්කර ගත්තේ ගණං හිලව් වරද්දා ගැනීම හේතුවෙන්දෝ කියා ලංකාවේ දේශපාලනඥයන්ට නම් සිතෙන්නට ඇත. හේතුව ඉන්දියාවේ ජනගහණය කෝටි 137ක් තරම් විශාල වීමය. ඉන්දියාවේ මැතිවරණය සැලකෙන්නේද ලෝකයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සිදුකෙරෙන මැතිවරණය වශයෙනි. එවන් සුවිසල් මැතිවරණයකින් ජයගෙන කෝටි 137ක ජනගහණයක් සිටින තම රටේ පාලනය සඳහා ඇමැතිවරැන් 24 දෙනකු පමණක් පත්කර ගැනීමට මෝදි ක්‍රියාකළේ ඔහුගේ මොළේ කොළොප්පන් වීම නිසා විය යුතු යැයි අපේ රටේ ඇතැම් දේශපාලනඥයන් සිතනවා විය යුතුය. යන්තම් කෝටි 2ක් ඉක්ම වූ ජනගහනයක් සිටින ලංකාවේ ඇමැති මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විය යුතු බවට ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන සලසා තිබෙන තත්ත්වයක් තුළ එසේ සිතාගැනීම සාධාරණය. එම සංඛ්‍යාවද ජාතික රජයක් පිහිටුවීමේදී සීමා රහිතව වැඩිකළ හැකිය. අවශ්‍ය නම් රජයට එකතු වන ඕනෑම අයකුට ඇමැති පදවියක් පිරිනැමීමටද හැකියාව තිබේ. ඒ අයුරින් කැබිනට් ඇමැති පදවි වෙන්දේසියේ දමා ආණ්ඩුව, ජාතික ආණ්ඩුවක් බවට පත්කරගෙන සියලු වරප්‍රසාද සහ වරදාන ලබාගෙන කටයුතු කිරීමට කැසකවන නායකයන්ට මෝදි ලබාදී තිබෙන්නේ ඉහළම ආදර්ශයකි.

ඉන්දියාවේ ජනගහණයට සාපේක්ෂව බැලුවොත් එක් ඇමැතිවරයෙක් ආසන්නව කෝටි 05කට අධික ජනතාවක් නියෝජනය කරයි. ලංකාවේ එම තත්ත්වය හැම කෝටි 01කටම ඇමතිවරැ 15ක් වශයෙනි. ජාතික ආණ්ඩුවකදී එම තත්ත්වය ඇමැතිවරැ 22ක් දක්වා ඉහළ යයි. ගණං වරද්දාගෙන ඇත්තේ කවුරැන්දැයි සොයාගැනීමට වෙනත් අටුවා ටීකා අවශ්‍ය නැත.

රාජ්‍ය ඇමැතිවරැන් 33ක්ද සමඟ සමස්ත ඉන්දීය ඇමැති මණ්ඩලය 57 දෙනකුට සීමා වී තිබේ. ලංකාවේ සාමාන්‍ය තත්ත්වය යටතේ එම සංඛ්‍යාව 70ක් වන අතර ජාතික ආණ්ඩුවක තත්ත්වයේදී 100ක් ඉක්මවා යාමටද නීතියෙන් තහනමක් නැත. එය නවතින්නේ මහජනතාවගෙන් නැගෙන උද්ඝෝෂණ හේතුවෙන් මිස ආණ්ඩුවේ උවමනාවට නොවේ. මෙතැනදී බලයේ සිටින ආණ්ඩුවට පමණක් දොස් පැවරීමද පළක් නැත. බලය ලබාගැනීමට සිටින දේශපාලන පක්ෂ නායකයන් තුළද ඇමැති මණ්ඩලයේ සංඛ්‍යාව අඩුකර ජනතාව මත පැටවෙන බර අඩුකිරීමට තමන් තුළ පවතින කැමැත්ත කවදාවත් පෙන්වා නැත. මෙරට දේශපාලන අතීතයේ සිටම මෙය පැහැදිලිව දැකගත හැකි තත්ත්වයකි.

ඉන්දියාව වැනි අති විශාල බලවත් රටක් පාලනයට ඇමැතිවරැන් 24 දෙනකු පමණක් සිටීම ප්‍රමාණවත්දැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් එය ප්‍රමාණවත් බව මෝදිගේ ආණ්ඩුව පසුගිය ධුර කාලයේදී පෙන්වා දී තිබේ. එය එරට ජනතාව විසින්ද අනුමත කර තිබෙන බව මෝදිට වඩාත් ඉහළ ජයග්‍රහණයක් මෙවර ලබාදීම තුළින් පෙනී යයි.

ඇමැති පදවියක් යනු තමන් වරප්‍රසාද සහ වරදාන ලබාගැනීමට ජනතාව විසින් ලබාදෙන වරමක් වශයෙන් සලකන තාක් මෙරට දේශපාලනඥයන් තුළින් ඇමැති පදවිවලට කෑදරකම තුරන් වී නොයනු ඇත. මේ කෑදරකමේ අනුග්‍රහයෙන් ආණ්ඩු හදන මජර ක්‍රමයට තිත තබන තාක් අපේ රටට කිසිදු සුගතියක් නම් අත් නොවනු ඇති බවත් ඒ සමඟම පැවසිය යුතුය. රටට සැබෑ සේවයක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඇමැති පදවියක්ම අවශ්‍ය නැත. කිසිදු පදවියක් නැතුවම රටට නිහඬව සේවය කළ දේශපාලනඥයන් පිරිසක් අතීතයේ නම් සිටි බවත් දැන්නම් එවැනි තත්ත්වයක් දැකගැනිමට පවා නොමැති බවත් සඳහන් කරන්නේ කනගාටුවෙනි.

ලෝකයේ බොහෝමයක් දියුණු රටවල් පාලනය කෙරෙන්නේ මහ විශාල ඇමැති මණ්ඩලයක් මගින් නොවේ. රටක් කොතරම් ලොකු වුවත් එම රටට ලොකු ඇමැති මණ්ඩලයක් අවශ්‍ය නොවන බවට උදාහරණය ඉන්දියාව පමණක් නොවේ. අමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඒ සඳහා උදාහරණය. එම රටවල පාලනය ඉන්දියාවටත් අපටත් වඩා වෙනස් බව සැබෑය. එහෙත් ඒ සියලු රටවල් ඉතාම ඉහළ දියුණුවක් ළඟාකර ගෙන ඇත්තේ මහ ලොකු ඇමැතිවරුන් පිරිසක් සිටියදී නොවන බව යථාර්ථයයි. ඇමැති පදවිවලට සුවිශේෂ වරප්‍රසාද නොලැබෙන්නේ නම් මේ ප්‍රශ්නයෙන් අපේ රටටත් ගොඩයාමට අපහසුවක් නැත. එහෙත් එවැනි පියවරක් ගැනීම සඳහා අවශ්‍ය කරන දේශපාලන ධෛර්යයක් තිබෙන නායකයන් අප අතර නොමැතිවීම එවැනි ගොඩයාමකට තිබෙන අවස්ථාව අපේ රටට අහිමිකර තිබේ.

ප්‍රශ්නය ඇත්තේ කැබිනට් මණ්ඩලය සංඛ්‍යාත්මකව වැඩිවීම පමණක් නොවේ. දේශපාලනයට සම්බන්ධ නැති විද්වතුන් සහ බුද්ධිමතුන් කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර ගැනීමට මෙරට නායකයන් තුළ නැඹුරැවක් නොමැති වීමද තවත් ගැටලුවකි. එය රටේ දියුණුවට හරස් කපා තිබේ. ඉන්දියාවේ සීමිත කැබිනට් පදවි ලැබූවන් අතර දේශපාලනඥයන් නොවන බුද්ධිමතුන් ගණනාවක්ද සිටිති. හිටපු විදේශ ලේකම් ආචාර්ය සුබ්‍රමනියම් ජායිශංකර් එවැනි එක් අයෙකි. වෙනත් දියුණු රටවල්ද මේ ක්‍රමයම අනුගමනය කරයි. එහෙත් අපේ රටේ දේශපාලනඥයකු නොවන බුද්ධිමතකුට ඇමැති පදවියක් හිමිවීම නම් සිහිනයක්ම පමණි. එහි පාඩුව සමස්ත රටටමය.

මෝදි නායකත්වය දෙන භාරතීය ජනතා පයේ තේමාපාඨය වී තිබුණේ අවම කැබිනට්ටුව-උපරිම පාලනය යන්නයි. අපටනම් කියන්න වෙන්නේ උපරිම කැබිනට්ටුව- අවම පාලනය මිස වෙන කුමක්ද?