2019 මැයි 25 වන සෙනසුරාදා

නොපෙනෙන අනතුර

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:28 88

සෘණ ආර්ථිකයක් පවතින රටක ජීවත් වීමට කිසිම පුද්ගලයකු කැමැති නැත. එවැනි තත්ත්වයකට රටක් නිකම්ම වැටෙන්නේ නැත. ත්‍රස්තවාදය හෝ සිවිල් යුද්ධ හෝ රටක ආර්ථිකයට ප්‍රබල සෘණාත්මක බලපෑම් එක්ක කළත් ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නේ නැත. වසර 30කට ආසන්න ත්‍රස්තවාදයට එරෙහි දරුණු යුද්ධයක අප රට පැටලී සිටියත් ආර්ථිකය සෘණ තත්ත්වයට වැටුණේ 2001 වසරේදී පමණි. එයට බල පෑ ප්‍රබලම හේතුව වූයේ යුද්ධය නොවේ. අමෙරිකාව ඇතුළු ප්‍රබල රටවල පැවති ආර්ථික අවපාතයේ බලපෑම් එල්ල වීමත්, කටුනායක ගුවන් තොටුපොළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් එවකට පැවති චන්ද්‍රිකා රජයේ අසාර්ථක භාවයත් එයට හේතු වූ බව ප්‍රකට කරුණකි.

අපේ රටේ දැනට පවතින ආර්ථික තත්ත්වය ද නුදුරු අනාගතයේදී ඇතිවිය හැකි බරපතළ අවපාතයක පෙර නිමිති පහළ කරන බව මෙරට ඇතැම් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. 2019 වසර තුළදී අපට ළඟ කරගත හැකි වන්නේ සියයට 04කට අඩු ආර්ථික සංවර්ධනයක් බව දේශීය සහ ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන් මේ වසර මුලදීම ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කය වී තිබුණේ එය සියයට 3.5ක අගයක පවතිනු ඇති බවටය. එහෙත් අප්‍රේල් 21 දා සිදු වූ මහා ප්‍රහාරය විසින් මේ සියලු ගණන් හිලව් පොළොවේ ගසා හමාරය. මේ වසරේ පළමු කාර්තුවේදී යම් ප්‍රගතියක් පෙන්වා තිබූ ආර්ථිකය දෙවැනි කාර්තුවේදී සෘණ අගයක් ගත හැකි බවට මෙරට ඇතැම් ආර්ථික විශ්ලේෂකයෝ දැන් අනතුරු අඟවා සිටිති. එය තවමත් සීමා වී ඇත්තේ අනාවැකියකට පමණි. එහෙත් එය යථාර්ථයක් බවට පත්වීමට ලොකු ඉඩ හසරක් පවතින බව පැහැදිලිව පෙනී යයි.

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට කලින් පවා රටේ ආර්ථිකයේ ගමන් මග පැවතුණේ අඩාලවය. රුපියල බරපතළ කඩා වැටීමකට ලක්වූ අතර සෘජු විදේශ ආයෝජන පිළිබඳ තිබූ බලාපොරොත්තු ඉලක්කම්වලට, සංඛ්‍යාලේඛනවලට පමණක් සීමා වීමත් එම තත්ත්වය තවත් සංකීර්ණ බවට හරවා තිබිණි. අපනයන අඩු වී ආනයනය ඉහළ යාම ආර්ථික වර්ධනය පිළිබඳ බලාපොරොත්තු බිඳ දමා තිබේ. ආණ්ඩුවේ ගැටලුවලින් ගොඩ ඒම සඳහා මහත් බලාපොරොත්තු තබා තිබූ සංචාරක ව්‍යාපාරයේ හදවතටම බෝම්බ ප්‍රහාරයේ බලපෑම් එල්ල වීමත් සමඟ ඒ බලාපොරොත්තු කෑලි කැඩී ගොස් තිබේ.

බෝම්බ ප්‍රහාරයේ ප්‍රතිවිපාක දැනෙන විට ආර්ථික වර්ධනයේ සියලු අපේක්ෂා බිඳ වැටීම බලාපොරොත්තු විය යුත්තකි. මිනිස් ජීවිත හානි වීම, විශාල පිරිසක් තුවාල වීම, දේපොළ හානිය පිටින් දැකගත හැකි ප්‍රතිවිපාක වුවත් අප නොදකින එක්වරම නොපෙනෙන ආර්ථික හානිය ඉතාම බරපතළ බව ආර්ථික විශේෂඥයන් ගණනාවකගේ මතය වී තිබේ. එයින් ගොඩ ඒමට ක්‍රමානුකූල, විධිමත් වැඩපිළිවෙළක් නොමැති වුවොත් ආර්ථිකය සෘණ වීම වළක්වාගත නොහැකි වන බව පැහැදිලිය. එසේ නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. එහෙත් එවැනි ප්‍රාර්ථනා රටේ පවතින යථාර්ථය සමඟ ගලපා ගැනීම පහසු නැත.

අපේ රටේ මෑත ඉතිහාසයේ හොඳම ආර්ථික වර්ධනය වාර්තා කර ඇත්තේ සියයට 8ක් ඉක්මවා ගිය බවට සඳහන් 2010 සහ 2012 අතර කාලයයි. යුද්ධයේ නිමා වූ විගසම කාල සීමාව එයයි. සියයට 08 අගය ඇතැම් ආර්ථික විශ්ලේෂකයන්ට අනුව මවා පෑ අගයක් බවට ප්‍රකාශ වී තිබුණත් ඒ කාලයේ රටේ කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් දකින්නට තිබිණි. සෑම පක්ෂයකම නව ආර්ථික විහිදීමක් ඇතිවෙමින් තිබිණි. එහෙත් එම තත්ත්වය දිගටම පවත්වා ගැනීමට එවකට තිබූ ආණ්ඩුවටත් වත්මන් ආණ්ඩුවටත් දෙකටම නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ 2018 වනවිට ආර්ථික වර්ධන වේගය සියයට 5කටත් අඩු ප්‍රතිශතයට ඇද වැටීමයි. එයට තීරණාත්මක ලෙස වගකිව යුතු වන්නේ වත්මන් ආණ්ඩුව මුල සිටම පෙන්වූ හිතුවක්කාරී දඩබ්බර තීන්දු ගැනීම්ය. 
රටේ ආදායම වැඩි කිරීමේ ක්‍රියාමාර්ග වෙනුවට දේශපාලන තීන්දු මත පමණක් පදනම් වෙමින් කටයුතු කිරීම විශාල කඩා වැටීමකට හේතු විය. නිෂ්පාදන ආර්ථිකයක් සකස් කරනු වෙනුවට විදෙස් ආයෝජන ලැබෙනතුරැ නිකම් බලා සිටීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම රටේ ආර්ථිකය එක තැනක හිර කරනු ලැබීය. බෝම්බ ප්‍රහාරය සිදුවන විට ද රටේ ආර්ථිකය තිබුණේ බරපතළ අනතුරක යන්න තිත්ත ඇත්තය.

රටට විදෙස් මුදල් ලැබීමේ ප්‍රධාන මාර්ගයක් බවට පත්වෙමින් තිබූ සංචාරක ව්‍යාපාරයට බෝම්බ ප්‍රහාරය මගින් එල්ල කර ඇති බලපෑම් තරම ගණන් බැලීම පහසු නැත. මේ දැන් පවතින්නේ සංචාරක අවාරය (ඕෆ් සීසන්) වැනි තැනකට සියලු ප්‍රශ්න ලඝු කළ නොහැක. සංචාරකයන්ගේ නොපැමිණීම පමණක් නොව ඒ හා බැඳුණු ලක්ෂ ගණනාවකගේ ජීවනෝපාය ඇහිරී ගොස් තිබෙන ආකාරය පිළිබඳ නිවැරදි තක්සේරුවක් අවශ්‍යය. මේ තත්ත්වය පිළිබඳ නිවැරදි තක්සේරුවක පිහිටා කටයුතු නොකළහොත් ආර්ථිකය සෘණ වීම වළක්වාගත නොහැකි වනු ඇත.

රටේ ආර්ථිකය ආපස්සට හැරුණොත් දැනට පවතින තත්ත්වය වඩාත් බරපතළ වෙයි. රැකියා අවස්ථා අහිමි වීම, උසුලාගත නොහැකි තරමට භාණ්ඩ මිල වැඩි වීම, සුබ සාධන කටයුතු කපා හැරීමට සිදුවීම, බදු වැඩි කිරීම එවැනි අවස්ථාවකදී බලාපොරොත්තු විය යුතුය. එහෙත් මේ අවස්ථාවේදී ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ විය යුත්තේ රටේ ආර්ථිකය තවදුරටත් පිරිහීම වළක්වා ගැනීමට නිවැරදි තීන්දු ගැනීමය. තව මාස කිහිපයකින් එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් ආණ්ඩුව තවදුරටත් සුබ සාධන කටයුතු සඳහා ලොකු බරක් යෙදවීමට කටයුතු කරනු ඇත. එහෙත් එවැනි පියවර ගතහොත් එය පවතින තත්ත්වය තවදුරටත් බැරෑරුම් අතට හැරී ගොඩ ඒමක් පිළිබඳ ඇති සියලු බලාපොරොත්තු කඩා බිඳ දමනු නිසැකය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00