2019 මැයි 18 වන සෙනසුරාදා

ඉඟුරු-මිරිස් ආණ්ඩු

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 134

අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාරයෙන් රටේ තත්ත්වය උඩු යටිකුරු නොවන්නට මේ සති අන්තයේ ප්‍රධාන දේශපාලන මාතෘකාව වීමට නියමිත වූයේ යුද ජයග්‍රහණයේ දසවස් සැමරුමය. වෙසක් උත්සවය ද මේ සති අන්තයට යෙදී තිබුණත් යුද ජයග්‍රහණය සැමරීමට එය බාධාවක් වීමට ඉඩක් නොතිබිණි. ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව කියන ආකාරයට 21 දා ප්‍රහාරය එල්ල වූයේ ඔවුන් නොදැනය. පසුගිය සතියේ ඇවිලී ගිය ගැටුම් ද එලෙස ඇතිවීමට ඉඩ තිබූ බවක් ආණ්ඩුව නොදැන සිටියාදැයි නොදනිමු. එහෙත් රටේ ආරක්ෂක තත්ත්වය තවමත් යහපත් අතට හැරී නැති බව යථාර්ථයයි. වයඹ සහ ගම්පහ සිදුවීම් පෙන්නුම් කළේ එහි සැබෑ ස්වරූපයයි. බෝම්බ පුපුරා සති තුනක් ගතවී තිබියදීත් මෙසේ තත්ත්වය පාලනය කර ගන්නට නොලැබීම ආණ්ඩුව පැත්තෙන් පෙන්වා දෙන්නේ විශාල පසුබැසීමකි.

රටකට එල්ල වූ ලොකුම ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වා ගැනීමට නොහැකි විමේ වගකීමෙන් මේ ආණ්ඩුවට කවදාවත් ගැලවීමක් ලැබෙන්නේ නැත. ජනාධිපති සහ අගමැති අතර පවතින විරසකය මේ ඛේදවාචකයට මූලිකම හේතුව බව ඉතාම පැහැදිලිය. ත්‍රස්තවාදය පිනුම් ගසන්නේ ආරක්ෂාව දුර්වල වන තැනකදී බව අපේ රටේ නායකයන් නොදැන සිටිය නොහැක. පසුගිය වසර කිහිපය තුළදීම මුස්ලිම් අන්තවාදී කල්ලියක් විසින් මහා විනාශයකට අරඅඳින බවට රජයේ ඉහළම තැන්වලට තොරතුරු සපයා තිබූ බව අවස්ථා කිහිපයකදීම සඳහන් විය. එසේ තිබියදීත් රටේ ජාතික ආරක්ෂාවට ඉතාම වැදගත් වන්නා වූ එම තොරතුරැ කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොකෙරුණේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින දේශපාලන මතගැටුමේ ප්‍රතිඵලයක් හැටියට බව පැහැදිලිය.

යහපාලන ආණ්ඩුව ආරම්භයේ සිටම ඇවිලී ගිය නායකයන් දෙදෙනාගේ මේ මත ගැටුම අවසානයේ ඔක්තෝබර් 26දා ආණ්ඩු වෙනසක් සිදුකිරීම දක්වාම ඇදී යාම මේ සියලු කතාවල කේන්ද්‍රය බවට සැක කළ හැක. ඒ අවස්ථාවේදී වුවද තමන්ගේ අග්‍රාමාත්‍ය ධූරය අහිමිවන බව රනිල් වික්‍රමසිංහ මහතා දැන සිටියේ නැත. ජනාධිපතිවරයා හැරුණුවිට ඒ බව දැන සිටියේ මහින්ද පමණි. එහෙත් මේ තුන්දෙනාම මුස්ලිම් අන්තවාදී කල්ලියක් විසින් නුදුරේදීම මහා විනාශයක් කරන බව නම් දැන සිට නැත. නමුත් වසර කිහිපයක සිට එවැනි විනාශයක් කිරීමේ අරමුණකින් ක්‍රියා කරමින් සිටි සහ්රාන්ගේ කල්ලියට නම් ඒ අවස්ථාව මගහැරී නැති බව පැහැදිලිය. තමන් බලා සිටි ප්‍රහාරයට අවස්ථාව උදාවෙමින් පවතින බව එවැනි ලේ පිපාසිත අන්තවාදියකු ඇසිල්ලකින් වටහා ගනු ඇත.

ඔක්තෝබර් 26 වැනිදායින් පසුව ගෙවී ගිය දින 52ක කාලය බලපෑම් කළේ මේ රටේ දේශපාලන වටපිටාවට පමණක් නොවේ. රටේ ජාතික ආරක්ෂාවටද විශාල බලපෑමක් එල්ල කර තිබුණි. ඒ බව වැටහුණේ අප්‍රේල් 21 වැනිදාය. තමන්ගේ ආග්‍රාමාත්‍ය ධුරය අහිමි වන බව එදා නොදැන සිටි අග්‍රාමාත්‍යවරයා රටේ විශාල විනාශයක් සිදුකරමින් බෝම්බ පුපුරා යා හැකි බවද දැන සිටියේ නැත. එහෙත් ජනාධිපතිවරයා එසේ නොවේ. රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති පදවිය අහිමි වන බවත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා දැන සිටියේය. නමුත් අප්‍රේල් 21 වැනිදා බෝම්බ පුපුරණ බවට වන තොරතුරැ සිරිසේන මහතා දැන සිට නැත. රටක් තුළ පවතින දේශපාලන අස්ථාවර භාවයකට කළ හැකි විනාශය කොතරම්ද යන්නට වෙනත් උදාහරණ අවශ්‍ය නැත.

ප්‍රහාරයේ වගකීමෙන් මිදෙන්නට තමන්ට නොහැකි බවත් වරද බාරගන්නා බවත් පැවසීම පමණක් මේ අවස්ථාවේදී ප්‍රමාණවත් නැත. ජනාධිපතිවරයා මේ සියලු ප්‍රශ්න මැද චීනයේ සංචාරයක නිරත වීම රටේ බොහෝ දෙනා තුළ ප්‍රසාදයක් ඇති නොකළේද ඒ නිසාය. රටේ ජනතාව තුළ බලවත් ගැටලු රාශියක් පවතිද්දී රටේ නායකයාට විදෙස් සංචාරයක නිරත විය හැකිද යන්න බොහෝ දෙනා විසින් ප්‍රශ්න කරනු ලැබීය. එම ගමනෙන් ලැබෙන ඵල ප්‍රයෝජන වෙනම කතාවකි. එහෙත් රටේ පාසලක්වත් විවෘත කරගත නොහැකිව පවතින තත්ත්වයක් තුළ රටේ නායකයා විදෙස් සවාරිවල යෙදීම ජනතාවගේ කැමැත්තට කිසිසේත් හේතු වන්නේ නැත. ජනාධිපතිවරයා එතෙර ගොස් සිටියදී රට තුළ ඇති වූ තත්ත්වය මීට හොඳම උදාහරණයකි. තමන්ගේ ආරක්ෂාවට ඉන්නේ කව්ද යන ප්‍රශ්නය සෑම ජන කොටසකින් නැගෙන්නේ මේ කරැණු හේතුවෙනි.

රටේ පවතින තත්ත්වය මේ තරමට බැරූරැම් වී ඇත්තේ මෙය මැතිවරණ වසරක් වීම හේතුවෙන් බවද පැහැදිලිය. අත හරින්න බැරිකමට ගෙනයන දීගයක් සේ පවතින ජනාධිපති සහ අගමැති පාලනය අවසන් වීම ඉදිරි ජනාධිපතිවරණය ප්‍රකාශ වීමත් සමඟ සැබෑවටම සිදුවනු ඇත. එහෙත් ඊළඟට බලයට පත්වීමට අවශ්‍ය වන මුස්ලිම් ඡන්ද පදනම තමන්ගේ නමට ලියවා ගැනීමට ජනාධිපති, අගමැති සහ විපක්ෂනායක තිදෙනාටම උවමනාව තිබේ. මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටත්  ජනාධිපතිවරණයේදී ජය ගැනීමටත් මුස්ලිම් ඡන්දවල බලපෑම තීරණාත්මකය. 2015 මැතිවරණය පැවැත්වීමට මාස කිහිපයකට ඉහතදී බේරුවල අලුත්ගම ප්‍රදේශවල ඇතිවූ සිංහල, මුස්ලිම් දෙපිරිසක් අතර ගැටුම මහින්ද රාජපක්ෂට මැතිවරණයේදී බලපෑවේ අවාසි සහගතවය. එය බේරැවල පමණක් නොව මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වල මුස්ලිම් ඡන්දවලටද ලොකු බලපෑමක් එල්ල කළේය. මේ හේතු නිසා මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතාටද ක්‍රියා කිරීමට සිදුව ඇත්තේ ඉතාම සීරැවෙනි. රිෂාඩ් බදියුදීන් ඇමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ සලකා බැලිය යුත්තේ මේ පසුබිමේ සිටිමිනි.

මේ විශ්වාසභංග යෝජනාව පසුගිය බ්‍රහස්පතින්දා (16) කතානායකවරයාට බාරදෙනු ලැබීය. එකී යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානයෙන් ඉදිරිපත් වුවද අතුරලියේ රතන හිමියෝද පසුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාශීලීව කටයුතු කළහ. එහෙත් ඊට ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය එල්ල වූයේ රතන හිමියන් සිරිසේන මහතා පොදු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් කරවීමටත් ඉන්පසුව ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කිරීමත් හේතුවෙනි. මේ සියලුදෙනාම කටයුතු කරන්නේ තම තමන්ගේ දේශපාලන අභිමතාර්ථයන් ඉටුකර ගැනීම සඳහා බව පැහැදිලිය.

කෙසේ වුවද රිෂාඩ් ඇමැතිට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව අර්බුදයකට යැවීමට හේතුවිය හැකිය. යූ.එන්.පී. ප්‍රමුඛ එ.ජා.පෙ. ආණ්ඩුවේ මන්ත්‍රී ධුර 05ක් රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයට හිමිය. ඔහු තම කණ්ඩායම සමඟ ඉවත් වුණොත් ආණ්ඩුව නිසැකවම බහුතරය පවත්වා ගැනීමේ අර්බුදයකට යනු ඇත. මේ නිසා රිෂාඩ් ඇමැති රුකගැනීම සඳහා කටයුතු කිරීම හැර යූ.එන්.පී.යට ඇත්තේ වෙනත් එක විකල්පයක් පමණි. එනම් මේ යෝජනාව විවාදයට ගැනීමට පෙර රිෂාඩ්ට ඇමැති පදවියෙන් අස්වෙන්නැයි කීමය. එහෙත් ඇමැති පදවියක් නොමැතිව ආණ්ඩුවේ සිටීමෙන් පළක් නොවන බැවින් ඔහු තම මන්ත්‍රී කණ්ඩායමද සමඟ ස්වාධීන වීමට හෝ රජයෙන් ඉවත්වීමට හෝ කටයුතු කළොත් එය ආණ්ඩුවට බලවත් පහරක් වනු ඇත.

ඒකාබද්ධ විපක්ෂයට වුවද මේ යෝජනාවේදී කටයුතු කිරීමට සිදුවන්නේ රුවුලයි කැඳයි දෙකම බේරාගැනීමේ ප්‍රතිපත්තියකට අනුගත වෙමිනි. රිෂාඩ් ඇමැතිට එරෙහිව රටපුරා සිංහල බෞද්ධ ජනතාවගේත් තරමක් දුරට මුස්ලිම් පිරිසකගේත් පවතින විරෝධය තමන්ට තුරැම්පුවක් කරගත හැකි වුවද ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මක වන මුස්ලිම් ඡන්ද අහිමි කර ගැනීමද ඔවුන්ට කළ හැකි දෙයක් නොවේ. සිදුවූ විපත හේතුවෙන් මේ අවස්ථාවේදී ඡන්දයට වඩා වැදගත් වන්නේ ජාතික ආරක්ෂාව බවටත් වැරුදි කළ අයට සහ ත්‍රස්තවාදීන්ට රුකවරණ දුන් බවට චෝදනා ලැබූවන් හට එරෙහිව දඬුවම් කළ යුතු බවටත් ඔවුන්ට තර්ක කළ හැකිය. එහෙත් අවසන් ගණන් බැලීමේදී ඔවුන්ට මුස්ලිම් ඡන්ද අහිමි කරගත නොහැක.

ඒ කෙසේ වුවත් අද රටේ සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ සුළු පක්ෂවල මේ කේවල් කිරීමේ උගුලේ පැටලී සිටින්නේ දේශපාලන නායකයන්ගේම වරදිනි. එක් එක් ආගම් වශයෙන් දේශපාලන පක්ෂ බිහිවන විට නීති සැකසෙන විට ඒ අය රටේ සෙසු ජනතාවගෙන් වෙනස් වූ ජන කොට්ඨාසයක් බවට පත්වෙති. එම ජන කොටසේ ඡන්ද සංඛ්‍යාව වැඩිවන විට එය ජාතික දේශපාලනයේ තීරණාත්මක සාධකයක් වීම වැළැක්විය නොහැක. මීට දශක තුනකට පමණ ඉහතදී මෙරට රජුන් තනන්නන් සිටියේ එක් අයෙකි. ඒ තොණ්ඩමන් පමණි. එහෙත් පසුව එය වෙනස් විය. දැන් රජුන් තනන්නෝ දෙතුන් දෙනෙක් සිටිති. නමුත් ප්‍රශ්නය වී තිබෙන්නේ මේ රජුන් තනන්නන් අතුරින් යම් යම් කොටස් අන්තවාදී වෙමින් මරාගෙන මැරෙන බෝම්බකරැවෝද බිහිකිරීමය. මේ රටේ ප්‍රධාන පක්ෂවල බලලෝභී දේශපාලනයේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ එයයි. නමුත් අවාසනාව නම් මරාගෙන මැරෙන බෝම්බකරැවන් බිහිවන තුරු මේ විනාශකාරී බලලෝභී දේශපාලනයෙන් මිදීමට මේ රටේ කිසිම දේශපාලන නායකයකුට දැක්මක් නොතිබීමය.

අද මේ රටේ සැබෑ දේශපාලන අවශ්‍යතා කතා කිරීම දේශපාලන නායකයන්ගේ අතින් ආගමික නායකයන් අතට පත්ව ඇත්තේ මේ හේතුවෙනි. පාසල් ඇරියත් සිසුන් නොඑන තත්ත්වයක් පැවැතීම ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසයේ තරම පෙන්නුම් කරයි. පාසල් අරින්න තරම් ආරක්ෂාවක් තවම නැතැයි කියන්නේ මහනායක හිමිවරුය. කාදිනල් තුමාය. මේ අතරවාරයේ හමුදාපතිවරයාද දේශපාලන අදහස් ප්‍රකාශ කරයි. මුස්ලිම් පල්ලිවලින් කඩු, කිණිසි මතුවීමට බලපෑ හේතුවල සිට ඇමැතිවරැන් වෙනස් කිරීම දක්වා ඒ කතා විහිදෙයි. මෙහෙම තත්ත්වයක් මීට පෙර නම් අපේ රටේ දකින්නට තිබුණේ නැත. කොටි කොළඹ බෝම්බ පුපුරුවන කාලයේත් ළමයි පාසල් නොගොස් ගෙදර සිටියේ නැත. රජයේ කාර්යාලවල වැඩ මෙතරම් අඩපණ වූයේ නැත. කොටින්ම සංචාරක ව්‍යාපාරයද මේ තරමට වැටුණේ නැත.

එහෙම වෙන කාලයේ තිබුණේ ඒකාධිපති පාලනයක් බවට චෝදනා නැගුණි. ජේ.ආර්.ලාට පමණක් නොව මහින්දගේ පාලනයටද මේ චෝදනා එල්ල විය. මේ පාර ආණ්ඩුව වෙනස් කෙරුණේ ඔය කියන ඒකාධිපති පාලනයෙන් රටමුදා ගැනීමටය. එහෙත් දැන් සිදුවෙමින් පවතින දේ දකින ජනතාව කියනවා ඇත්තේ අපි ඉඟුරු දීලා මිරිස් ගත්තා කියා විය යුතුය.

I  ශශීන්ද්‍ර