2019 මැයි 18 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 86

ජනපතිගේ නැගෙනහිර ගමනේ ටී.වී. විකාශයේ ඉස්සරහින්ම හිස්බුල්ලා

ඉකුත් සතියේදී ජනාධිපතිවරයා නැගෙනහිර පළාතේ සංචාරයක යෙදුණේය. එම සංචාරයට පෙර උපදේශකයන් පිරිසක් ජනාධිපතිවරයාට උපදෙස් ලබාදී තිබුණේ මේ ගමනට කිසිදු දේශපාලනඥයකු කැටුව නොයන ලෙසය.

එහෙත් දේශපාලනඥයකු වන මෛත්‍රීපාල සිරිසේන මහතා එම උපදෙස් පිළිගත්තේ නැත. එහි ප්‍රතිඵලය වී තිබුණේ ජනාධිපතිවරයාගේ නැගෙනහිර සංචාරය තුළදී මඩකලපුවේ ෂරියා විශ්වවිද්‍යාලයේත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් පුපුරුවාගන්නා ලද නිවෙසේත් ඔහු සමඟම නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සෑම රූපවාහිනී දර්ශනයකම කැපීපෙනෙන සේ දැකගන්නට ලැබීමය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අයි.එස්. අනුග්‍රහය ලබන මුස්ලිම් කණ්ඩායම සමඟ සබඳතා දක්වන බවට ඇති චෝදනා නිසා හිස්බුල්ලා මහතා මතභේදයකට ලක්වී සිටින්නෙකි. එම සතියේ සිකුරාදා මුළු ත්‍රිකුණාමලය නගරයම අඩපණව ගියේ හිස්බුල්ලා මහතාට එරෙහි හර්තාලය හේතුවෙනි. නගරයේ කඩසාප්පු වසා තිබූ අතර හිස්බුල්ලා මහතා ධූරයෙන් පහකරන්නැයි ඉල්ලා ජනතාව උද්ඝෝෂණය කළහ. කෙසේවුවද හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් කිසිදු වැරැද්දක් කර නැති බවය.

පුනානිහි ඉදිකර ඇති විශ්වවිද්‍යාල පරිශ්‍රයට ද ගිය ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක ආයතනයක් වශයෙන් එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවය.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ හිස්බුල්ලා මහතාගේ පුත්‍රයාට එම විශ්වවිද්‍යාලයේ රුපියල් කෝටි 50ක් වටිනා කොටස් හිමිවූ ආකාරය සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කෙරෙන බවය.

I  සන්ඩේ ටයිම්ස්