2019 මැයි 11 වන සෙනසුරාදා

හොරගල් ඇහිලීම

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 165

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළේ අන්තවාදී කල්ලියකි. එවැනි ම්ලේච්ඡ වැඩ කරන ත්‍රස්ත සංවිධානවලට රටක මැතිවරණ යනු සංවේදී මාතෘකාවක් නොවේ. ත්‍රස්තයෝත් අන්තවාදියෝත් මැතිවරණ කෙරේ විශ්වාසය තබන්නේ නැත. මැතිවරණ ඔවුන්ට තවත් ප්‍රහාරක ඉලක්කයක් පමණි.

ත්‍රස්තයන්ට එසේ වුවත් දේශපාලනඥයන්ට එසේ නැත. දේශපාලනඥයන්ගේ මාතෘකා අතර අංක එක මැතිවරණයි. මොන ත්‍රස්ත ක්‍රියාවක් සිදුවුණත් මැතිවරණ සූදානමට එය හරස් කර ගැනීමට අවස්ථාවක් නැත. එවැනි ක්‍රියාවල දේශපාලන වශයෙන් පවතින වාසි - අවාසි ගැන හොඳටම ගණං හදාගැනීමෙන් පසුව වේදිකාවට ගොඩවීම මේ බොහොමයක් නායකයන්ගේ සම්ප්‍රදාය වී තිබිණි.

මේ සම්ප්‍රදායම දැනට සිටින නායකයන් ද අනුගමනය කරන්නේදැයි කීමට දන්නේ නැත. එහෙම වුණත් උපරිම වශයෙන් තව දින 160-165ක කාලයක් තුළදී මේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙයි. මොන මැතිවරණය නොපැවැත්වුවත් ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය නොපවත්වා සිටීමට හැකියාවක් නැත. ජනාධිපතිවරණයට රටේ නායකයන් සියලු දෙනාගේ සිත් යොමුවී තිබුණත් ඒ බවක් ඔවුන් නොපෙන්වන බවද පැහැදිලිය. අනෙක් පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි හරියටම දැනගන්නා තුරැ මේ කිසිම පක්ෂයක නායකයකු තමන් ඡන්දයට එන බව ප්‍රසිද්ධියේ කියන්නේ නැත.

එසේ වුවද වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නම් ඉදිරි දිනවලදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවකට එළඹීමට සිදුවනු ඇත. හේතුව තම ධූර කාලය ඉදිරි දින 160කදී පමණ අවසන් වන බැවිනි. මෙරට දේශපාලන ඉතිහාසයේ හයවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් 2015 ජනවාරි 08 වැනිදා තේරී පත්වූ සිරිසේන මහතා තමා ධූරය දරන්නේ එක් වතාවක් පමණක් බව කියා සිටි එකම ජනාධිපතිවරයාය. එය හරියටම ක්‍රියාවේ යෙදවෙනවා නම් එවැනි තීන්දුවක් ගත් එකම ජනාධිපතිවරයා වශයෙන් සිරිසේන මහතාගේ නම මේ රටේ දේශපාලන ඉතිහාසයේ විශේෂයෙන් ලියැවෙනු ඇත. එහෙත් එහෙම වෙයිද? පෙනෙන්නට තිබෙන හැටියට නම් එසේ නොවී ජනාධිපතිවරයා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හොඳටම ඉඩ තිබේ.

මෙතෙක් මෙරට සිටි ජනාධිපතිවරැන් අතරින් ඩී.බී. විජේතුංග හැරුණුවිට අනෙක් පස්දෙනාම පත් වූයේ මහජන ඡන්දයෙනි. විජේතුංග පමණක් ප්‍රේමදාස ඝාතනයෙන් පසුව දිව්රුම් දී මාස කිහිපයකට ජනාධිපති ධූරයට පත් විය. එසේම ප්‍රේමදාස ජනාධිපතිවරයා හැරැණුවිට මහජන ඡන්දයෙන් තේරී පත්වූ ජේ.ආර්., චන්ද්‍රිකා, මහින්ද තිදෙනාම ධූර කාල දෙකම ගත කළේ ඡන්දයෙන් ජය ගනිමිනි. එසේ නම් මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් එක ධූර කාලයකින් සෑහීමකට පත් වෙයිද? එසේ නොවීමට වඩාත් ඉඩකඩක් තිබෙන බව පැහැදිලිය.

ත්‍රස්ත ප්‍රහාරයේ කම්පනය නොවන්නට මේ ගැටලුව මේ වනවිට තීරණාත්මක පැත්තකට තල්ලු වීමට ඉඩ තිබිණි. ඊට ලොකුම හේතුව ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ අමෙරිකානු පුරවැසිභාවය අතහැරි බවට නිල වශයෙන් ඔහු විසින්ම ප්‍රකාශ කර තිබීමය. ගෝඨාභය ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමට ලොකුම බාධාව වශයෙන් සැලකුණේ ඔහුගේ අමෙරිකානු පුරවැසිකමය. තවත් බාධාවක් තිබිණි නම් ඒ රාජපක්ෂ පවුලේ ඇතැම් සාමාජිකයන්ගෙන් සහ පොහොට්ටුවේ සිටින ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුගෙන් එල්ල වෙමින් තිබූ විරෝධයයි. ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධයේ දිග පළල දැනගැනීමට තවම හැකියාවක් නැත. එහෙත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගෙන් එල්ල වූ බව කියන විරෝධය නම් සෑහෙන දුරකට සමතයකට පත්වී තිබෙන බවක් බැලූ බැල්මට පෙනී යයි. මේ නිසා ජනාධිපති සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්න ගැන ශ්‍රීලනිපයත් පොහොට්ටුවත් ඉන්නේ කිසියම් දෙගිඩියාවකින් බව පැහැදිලිය.

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් සිරිසේන මහතා කෙළින්ම ප්‍රකාශ කරන්නේ නැත. එහෙත් ඔහුට සමීප ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් දිගටම ප්‍රකාශ කරන්නේ සිරිසේන මහතා තරගයට පැමිණෙන බවය. ඔහු තමන්ගේ අපේක්ෂකයා බවත් ඔහුට යූ.එන්.පී. විරෝධී සියලු දෙනාගේ සහාය ලැබිය යුතු බවටත් දයාසිරිලා දිගටම කියා සිටිති. කොළඹ ශ්‍රීලනිප ජාතිකප ලැයිස්තු මන්ත්‍රීවරයකු මෑතකදී පැවැති පින්කමකදී බෝම්බ සිද්ධියෙන් පසුව ක්‍රියා කළ ආකාරය හේතුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිරෑපය එසවී ඇතැයි ජනාධිපතිටම කියා තිබූ බවද දැනගන්නට තිබේ. ප්‍රතිරෑපය එසවී ඇතිද නැතිද යන්න ගැන අදහසක් ගැනීම මේ දිනවල නම් පහසු නැත. එහෙත් බෝම්බ සිද්ධියෙන් පසුව ජනාධිපතිවරයා යුහුසුළුව ක්‍රියා කරමින් රටේ තත්ත්වය බොහෝ දුරට සාමාන්‍ය අතට හැරවීම ඉතාම කෙටි කලකින් සිදුකළ හැකි වූ බව අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කළේය. කතෝලික පල්ලියේ මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් අවස්ථා ගණනාවකදීම හමු වූ ජනාධිපතිවරයා නැගෙනහිරට ගොස් එහි ආණ්ඩුකාර හිස්බුල්ලා ද හමු විය.

මරාගෙන මැරුණු බෝම්බකරැවන් පසුගිය 26 වැනිදා බෝම්බ පුපුරැවා ගත් කාත්තන්කුඩියේ නිවෙස ද බැලීමට ද ගිය ජනාධිපතිවරයා සයින්දමරැදු ප්‍රදේශයට ගොස් පැවසුවේ ප්‍රදේශය සාමකාමී සහ නිදහස් බවට පත් කළ නිසා තමන්ට මෙහි පැමිණීමට හැකි වූ බවය. ගත වූ සති දෙකේ සාර්ථකත්වය ඉදිරියට ගෙනයාම සඳහා කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා කියා තිබිණි. ආරක්ෂක හමුදාවලට සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්තූති කළේය.
ජනාධිපතිවරයා මේ කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ සහාය දිනාගැනීමට කටයුතු කිරීමක් බව කෙනකුට තර්ක කළ හැකිය. එහෙත් ඒ බවක් එක එල්ලේ කිව නොහැක. නමුත් නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සම්බන්ධයෙන් රටේ සෙසු පළාත්වල ජනතාව තුළනම් තිබෙන්නේ එතරම් සුබවාදී ආකල්පයක් නොවේ. එයට ලොකුම හේතුව ඔහුගේ දායකත්වයෙන් ඉදිවෙන ෂරියා විශ්ව විද්‍යාලයයි. මෙවැනි ආයතන මගින් නැගෙනහිර මුස්ලිම් අන්තවාදී අදහස් තරැණ පරපුර අතර ප්‍රචාරය කිරීමට උපකාර කරන බවට ප්‍රබල මතයක් දැන් රට පුරා පවතී. එසේම මේ විශ්ව විද්‍යාලයේ භාරකරැවන් වන්නේ හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍රයාය. සෞදි අරාබියේ පදනමකින් මේ විශ්ව විද්‍යාලය ඉදිකිරීම සඳහා රැපියල් කෝටි 45කට අධික මුදලක් ලබා දී ඇති බවද සඳහන්ය.

මේ සියලු කාරණා රටේ ජනතාව ගලපාගත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමඟිනි. මඩකලපුවේ ෂරියා නීතිය උගන්වන අරාබි බසින් කටයුතු කරන විශ්ව විද්‍යාලයක් ඉදිවීම රටේ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව බොහෝ දෙනා සැක පහළ කිරීම බලාපොරොත්තු විය යුතුය. ඒ සැක - බිය තුරන් කර නොගෙන හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා සමඟ සන්ධාන ගතවීම රටේ සෙසු ජනතාව කෙසේ පිළිගනු ඇතිදැයි ඉදිරියේදී බලාගත හැකි වනු ඇත. බස්නාහිර මහ ඇමැති අසාත් සාලි සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙවැනිම ගැටලුවලට මුහුණ දෙනු ඇති බවට බොහෝ පෙර නිමිති තිබේ. මෙවැනිම ගැටලුවකට යූ.එන්.පී.යද මුහුණ දී සිටී. ඒ ඇමැති රිෂාඩ් බදුයුදීන් සහ මුජිබර් රහමන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙනි. මේ දෙදෙනාට එරෙහිව යූ.එන්.පී. පාක්ෂිකයෝ පවා දැඩිව විරෝධය ප්‍රකාශ කරති. එය යූ.එන්.පීයට ඍණාත්මක බලපෑමක් ඇති කිරීම වැළැක්විය නොහැක.  

යූ.එන්.පී.යට එරෙහිව ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සහ ශ්‍රීලනිපය යන දෙපක්ෂයම නියෝජනය කරමින් ගෝඨාභය ඉදිරිපත් වන්නේ නම් පොහොට්ටුව ඇතුළේ ශ්‍රීලනිපය දියවීයාම කිසිවකුටත් වැළැක්විය නොහැකි වනු ඇත. ජනාධිපතිවරයා සමඟ රුඳී සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරැන් කිහිපදෙනාට ද සිදුවනු ඇත්තේ පොහොට්ටුවේ කෙනෙහිලිකම් මැද එයටම එකතු වී දේශපාලන අනාගතය හදාගැනීමය. එය පහසු කාර්යයක්නම් නොවන බව පමණක් කිව හැක.

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාම හොරගල් අහුලමින් යූ.එන්.පී. විරෝධී වේදිකාවේ අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුව දිගින් දිගටම තබාගත්තොත් සිදුවිය හැක්කේ කුමක්ද? දෙදෙනා සමගි සන්ධානයකට එළැඹී එක් අයකුට අවස්ථාව ලබාදීමට සිදුවනු ඇත. එහිදී රාජපක්ෂ පවුල ඇතුළු පොහොට්ටුවේ සියලු සාමාජිකයන්ගේ කැමැත්ත ලැබෙනු ඇත්තේ ගෝඨාභයට මිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොවේ. එසේ වූවොත් මෛත්‍රීපාල සිරිසේන මහතා ගෝඨාභය මහතාට සහාය දෙමින් කටයුතු කරනවාට වඩා ඉඩ ඇත්තේ ශ්‍රීලනිප අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වී තරග කිරීමටය. යූ.එන්.පී.ය මේ වෙලාවේදී බලාපොරොත්තු වෙමින් සිටින තත්ත්වය ඒකය.

පාස්කු ඉරිදා බෝම්බයෙන් වඩාත්ම පීඩනයට පත්ව සිටින්නේ යූ.එන්.පී සහ ශ්‍රීලනිපය බව පැහැදිලිය. මේ දෙපක්ෂයම ආණ්ඩුවේය. විපක්ෂය මෙහෙයවන්නේ මහින්ද රාජපක්ෂය. මහින්ද රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කරන ඕනෑම ප්‍රකාශයක් රටේ බහුතර ජනතාවගේ පිළිගැනීමට ලක්වීම බලාපොරොත්තු විය යුතුය. මව්බිමේ ආරක්ෂාව මහින්දගේ වඩාත්ම ප්‍රබල සටන් පාඨයයි. එම සටන් පාඨයට දැන් එළැඹ ඇත්තේ හොඳම කාලයකි. 2015දී ජාතික ආරක්ෂාවට නොතිබූ තැනක් දැන් ලැබී තිබීම ගෝඨාභයට ද සුබවාදී ලකුණකි. එහෙත් මේ සියල්ලටම කලින් හොරගල් ඇහිලීම නවත්වා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එන්නේ තමාද එයාද කියා මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාම විසින් තීරණය කළ යුතුය. දෙන්නාම ඉල්ලුවොත් එය යූ.එන්.පීයට බෝනස් එකකි.

 ශශීන්ද්‍ර

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30