2019 මැයි 11 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

කාදිනල්තුමාගේ මාධ්‍ය හමුව

මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පසුගිය බ්‍රහස්පතින්දා (09) මාධ්‍ය හමුවක් කැඳවූහ. කාදිනල්තුමන් හමුවීම පිණිස තම පුතුගේ විවාහ මංගල්‍යය අතරතුර පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ දොරගුළු වසාගෙන පැවැති සාකච්ඡාවකට පසුව කෙලින්ම මේ මාධ්‍ය හමුව පැවැත්විණි.

එකී මාධ්‍ය හමුවේදී කාදිනල්තුමා පැවැසුවේ පූර්ව තේරීමකින් තොරව සියලු ස්ථාන පරීක්ෂා කරන්නැයි තමන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවය. එසේම දේශපාලන වෙනස්කම් සහ නිලධාරීවාදය පසෙක දමා කටයුතු කළේ නම් මේ ඛේදවාචකය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවද කාදිනල්තුමා සඳහන් කළේය.

කෙසේ වුවද ආරක්ෂාව සහතික කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්වන්නේදැයි කළ විමසුමකට පිළිතුරු දුන් කාදිනල්තුමා ප්‍රකාශ කළේ මහජනතාවගේ ආරක්ෂාව සහතික කරදීමට රජය උත්සාහ දරණ බවය. ඒ පිළිබඳව තමන් සෑහීමකට පත්වන බව කීමෙන් කාදිනල්තුමා වැළැකුණේය.

මීගමුවේ සෝදිසි මෙහෙයුම් සිදුවන ආකාරය ගැන අප්‍රසාදය පළකරමින් කාදිනල්තුමා ප්‍රකාශ කළේ අප කිව්වේ මීගමුවේ සියලුම නිවාස පරීක්ෂා කරන්න කියලා. නමුත් සිදුවුණේ නිවාස සෝදිසි කළත් සියලුම නිවාස බව සෝදිසියට ලක් නොවීමයි. මේ නිසා ගැටුම ඇතිවූ වහාම නිවෙස්වල තිබූ කඩු සහ කිණිසි ඇදගෙන ආවා යනුවෙනි. කෙසේවුවද තියුණු ආයුධ එහිදී භාවිත නොවූ බවට පොලිස් වාර්තාවල සඳහන් වන බව පෙන්වාදුන් විට කාදිනල්තුමා අවධාරණය කළේ සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන්ගේ ප්‍රකාශවලට අනුව සහ තමන්ට ලැබුණු තොරතුරු අනුව කඩු සහ කිණිසි භාවිත කර ඇති බවය.

පෞද්ගලික කතෝලික පාසල් විවෘත කිරීම රටේ පවතින ආරක්ෂක තත්ත්වය මත තීරණය වනු ඇතැයිද පැවැසූ කාදිනල්තුමා තත්ත්වය යහපත් නම් ලබන 14 වැනිදා (අඟහරුවාදා) පාසල් විවෘත කරන බවත් එසේ නොවුණොත් පාසල් විවෘත කිරීම වෙසක් උළෙලින් පසුවට කල්යනු ඇති බවත් කීය.

- ඩේලි එෆ්.ටී.


අනතුරු ඇඟවීමකට ගිය කල

මෙය විශ්වාස කිරීමට අපහසු නමුත් සත්‍යයකි. සංචාරයක් සඳහා යුරෝපා රටක අගනුවරට මෙරට හෝටල් කර්මාන්තයේ ප්‍රබල ව්‍යාපාරිකයෙක් ගියේය. එහිදී ඔහුට හිටපු රාජ්‍ය නිලධාරියකු ද වන ශ්‍රී ලංකා තානාපතිවරයකු මුණගැසුණි.

තමන් කොළඹ සිටියදී තමන්ට ලැබුණු වාර්තාවක්ද රැගෙන දේශපාලන නායකයකු හමුවීමට ගිය බව ඔහු තානාපතිවරයා හමුවේ පැවසීය. ත්‍රස්තවාදී වැඩට නැඹුරුවක් ඇති අන්තවාදී මුස්ලිම් කණ්ඩායමකගේ ක්‍රියාකාරකම් එම වාර්තාවේ ඇතුළත්ව තිබී ඇත.
තානාපති හමුවේ ඔහුගේ පැමිණිල්ල වූයේ අදාළ දේශපාලනඥයා තමාව නිහඬ කරමින් මෙසේ පැවසූ බවය. ඕක තියාගන්න. මුස්ලිම් ප්‍රජාවගේ හිත් රිදෙන කිසිම දෙයක් කරන්න එපා.

- සන්ඩේ ටයිම්ස්

හදිසි නීති ගැසට්ටුවේ භාෂා වැරදි 33ක්!

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කලින් ලැබුණු අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ක්‍රියාකළ ආකාරය ප්‍රශ්න කිරීම්වලට ලක්විය. තවදුරටත් සිදුවන අතපසුවීම් ගැනද ඒ සමඟ අවධානය යොමු වී තිබේ.

එවැනි එක් සිද්ධියක් වන්නේ ප්‍රහාරයෙන් දවසකට හදිසි නීති පනවමින් නිකුත් කළ ගැසට්ටුව සම්බන්ධයෙනි. එයින් තවත් දවසකට පසුව ඊට අදාළව තවත් ගැසට් නිවේදනයක් නිකුත් විය. එය ප්‍රකාශයට පත්කර තිබුණේ හදිසි නීති ප්‍රකාශයට පත් කරමින් නිකුත් කෙරැණු ඔරිජිනල් ගැසට් පත්‍රයේ භාෂා වැරදි 33ක් නිවැරදි කිරීම සඳහාය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් ලියැවිල්ලක් වන මේ ගැසට් පත්‍රය පිළිබඳව නිලධාරීන් ටිකක් වැඩිපුර අවධානයක් යොමුකළා නම් එම වැරදි බොහොමයක් මගහරවා ගැනීමට ඉඩ තිබිණි.

එහි එක් වැරැද්දක් මෙසේය.

The Commander of the Army - (Commissioner of the Army)

- ද සන්ඩේ ටයිම්ස්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00