2019 මැයි 04 වන සෙනසුරාදා

ආරක්ෂාවේ ආරෝව

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 232

මෙරට හිටපු යුද හමුදාපතිවරයකු වන ජෙනරාල් දයා රත්නායක දේශයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී අපූරු කරුණක් කියා තිබිණි. අපේ රටේ ජාතික ආරක්ෂාව සමහරැන්ට පෙනෙන්නේ ජාතික අපරාධයක් වශයෙන් යැයි ඔහු කළ එකී සඳහන ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටේ සියලුම නායකයන්ගේ ඇස් අරවන්නකි. කොටින්ට එරෙහි යුද සමයේදී හමුදාපති ධූරය වරක් ඉසිලූ ජෙනරාල් රත්නායක ජාතික ආරක්ෂාව ගැන මොනවා කිව්වත් ඒ කියන සෑම දෙයකම ලොකු බරක් රුඳී තිබෙන බව පිළිගත යුතුය.

ඇත්තටම කිව්වොත් මේ රජය ජාතික ආරක්ෂාව ගැන වඩාත්ම කතා කිරීමට පටන් ගත්තේ නොසිතූ විරෑ ත්‍රස්ත බෝම්බ වැල පිපිරී යාමෙන් පසුවය. රජයේ ඇතැම් බලධාරීන් විසින්ම කියා තිබුණේ මේ ප්‍රහාරය ගැන තොරතුරැ ලැබුණත් එය අනපේක්ෂිත ප්‍රහාරයක් වූ බවය. තවත් සමහරැන් කියා තිබුණේ මේ තරම් දරැණු ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි කවදාවත් නොසිතූ බවය. මේ සියලු කියමන් සිදුවෙන්නේ ඉන්දියාවේ රහස් ඔත්තු සේවා වලින් මේ ආකාරයේ දරුණු ප්‍රහාරයක් එල්ලවන බවට සියලු තොරතුරැ ලබා දී තිබියදී වීම ලොකුම ඛේදවාචකයයි. එය දැන් අතීතයට අයත් විනාශයකි. එහෙත් ජාතික ආරක්ෂාවේ වැදගත්කම බොහෝ දෙනකුට මතක් වුණේ මේ ප්‍රහාරයෙන් පසුව බව වසා දැමිය නොහැකි සත්‍යයයි.

ජාතික ආරක්ෂාව පිළිබඳව විවෘතව සාකච්ඡා කෙරෙන්නේ පාර්ලිමේන්තුවේදී නොවේ. රටේ ආරක්ෂාවට අදාළ ඉතා සංවේදී තොරතුරු හෙළිවීමට තිබෙන ඉඩකඩ වසා දැමීම අවශ්‍ය නිසා මේ බොහොමයක් අවශ්‍යම තොරතුරු සාකච්ඡා වෙන්නේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් වලදීය. එහි ප්‍රධානත්වය උසුලන්නේ රටේ නායකයා, සියලු හමුදාවල සේනාධිනායකයා සහ රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා ද වන ජනාධිපතිවරයාය. රටේ අගමැති, සියලු හමුදාපතිවරැ, පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන්, රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ඇතුළු විෂයට අදාළ සෙසු මැති ඇමැතින් ජාතික ආරක්ෂක කවුන්සිලයේ රුස්වීම්වලට කැඳවනු ලැබේ. එහෙත් බෝම්බ පිපිරීමෙන් පසුව රටේ ජනතාව දැනගත්තේ පසුගිය මාස 06ක කාලයක් තිස්සේ රටේ අගමැතිවරයා හෝ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා හෝ මේ රුස්වීම්වලට කැඳවීම් නොලැබූ බවය. එයට හේතු කුමක්දැයි යන්න රටේ ජනතාවට අදාළ නැත. එහෙත් මෙවැනි ප්‍රහාරයක් පිළිබඳ තොරතුරැ තමන්ට දැනගන්නට නොලැබුණු බව කීමට අග්‍රාමාත්‍යවරයාට ඒ නිසා අවස්ථාවක් ලැබිණි. ඉන් පසුව ඒ ගැන සිදුවූ කතාබහද අතීතයට එක් වී හමාරය.

ජාතික ආරක්ෂක කවුන්සිලය රුස්වෙන්නේ බෝම්බ පුපුරණ බවට හෝ වෙනත් ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව හෝ කල් තබා දැනුම් දීමට පමණක් නොවේ. ඊට අදාළ වෙනත් බොහෝ මාතෘකා තිබිය හැකිය. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි මෙරට ඉතිහාසයේ එක් දිනක් තුළ එල්ල වූ දරුණුම ත්‍රස්ත ප්‍රහාරයකින් රටේ ආරක්ෂාවට ඉතාම බරපතළ තර්ජනයක් එල්ල වී තිබියදීත් රටේ ජාතික ආරක්ෂක කවුන්සිලය රුස්වීමට ඉඩක් ලැබී නැත. එයට හේතුව එක එල්ලේ කුමක්දැයි කිව නොහැකි වුවත් සිද්ධිය වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරැවේ සිටීමත් අග්‍රාමාත්‍යවරයා විසින් ආරක්ෂක කවුන්සිල සාමාජිකයන් හමුවීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමත් මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. කොටින්ම රටේ ජනතාවගේ ආරක්ෂාව සහ ආරක්ෂක හමුදාවල කාර්යය පහසු වීම සඳහා වහාම ගනු ලබන එක් පියවරක් වන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කිරීම පවා ප්‍රමාද වෙමින් තිබූ බවත් අවසානයේ දෙහිවල සහ දෙමටගොඩ බෝම්බ පිපිරීම් වලින් පසුව අග්‍රාමාත්‍යවරයා විසින් වහාම ඇඳිරි නීතිය පනවන්නැයි පොලිස්පතිවරයාට නියෝග කළ බවත් සඳහන්ය. අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී සිදුවී ඇති බරපතළ අතපසුවීම් ගැන මීට වඩා කතා කළ යුතු නැත. කොටින්ම ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීම සඳහා ජාතික ආරක්ෂක මණ්ඩල සාමාජිකයන්ට එදින (21) සවස 3.00ට පැවැත්වෙන රුස්වීමට පැමිණෙන්නැයි කළ ඉල්ලීම ද කාර්යබහුල බැවින් ඉටුකළ නොහැකි බවට දැනුම් දීමක් කෙරැණු බවද දැනගන්නට තිබේ. මෙය අවාසනාවන්ත සහ කනගාටුදායක තත්ත්වයක් බව හොඳින්ම පැහැදිලිය.

ආණ්ඩුවේ ඇතුළත බරපතළ මත ගැටුම් පැවතීම රටේ පැවැත්මට අහිතකර බලපෑම් ඇති කරන බවට ප්‍රකාශ වී ඇත්තේ වරක් දෙවරක් නොවේ. එම මතගැටුම් මැදට රටේ ආරක්ෂාව සම්බන්ධ කාරණා හසුවීම දැඩි විපතකට හේතු වී තිබෙන බව පැහැදිලිය. විශේෂයෙන් රටේ ජාතික ආරක්ෂාවේ ප්‍රබලම පුරැක වන බුද්ධි අංශ ආණ්ඩුව ඇතුළත කඹ ඇදීම්වලට හසුවන විට එයට උපරිම ධාරිතාවෙන් කටයුතු කිරීම අපහසු වෙයි. බෝම්බ පිපිරීම් සිදුවීමෙන් පසුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ රජයට දැඩිව චෝදනා කළේ බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමා රටේ ඔත්තු සේවාවල කොන්ද කඩා දැමීමේ වරදින් රටේ අහිංසක ජනතාව සිය ගණනින් මරැට බිලි වූ බවය. මේ අදහස විපක්ෂයේ සෙසු පක්ෂ නායකයන් විසින් ද දැඩිව මතුකර පෙන්වා දෙනු ලැබීය. මෙහිදී ජනාධිපතිවරයා ද සඳහන් කළේ මේ ප්‍රහාරයේ වගකීම තමන් ද ඇතුළුව රජය බාරගත යුතු බවය. &එන්.ජී.ඕ. බාස්ලා* ගැන ද දැඩිව විවේචනය කළ ජනාධිපතිවරයා බුද්ධි අංශ අඩපණ කිරීම මීට හේතුවක් බවද සඳහන් කළේය. බුද්ධි අංශ දුර්වල කිරීමත් හමුදාපතිවරැන් උසාවියට පැමිණවීමත් ඔහුගේ ප්‍රබල විවේචනයට ලක් විය.

එහෙත් මේ චෝදනා යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුව දැඩිව ප්‍රතික්ෂේප කළේය. ඔවුන් කියා සිටියේ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කළ බවට විපක්ෂය නගන චෝදනා අසත්‍ය බවත් යම් යම් වැරදි සම්බන්ධයෙන් සැකපිට සිටින කිහිප දෙනකු හැර වෙනත් බුද්ධි නිලධාරීන්ට තම රජය යටතේ හානියක් සිදුනොවූ බවත් දහස් ගණනක් බුද්ධි නිලධාරීන් සිටියදී විසි තිස් දෙනකු පමණක් සේවයෙන් ඉවත් කර තිබීම බරපතළ ප්‍රශ්නයක් නොවන බවත්ය.

මේ මතභේදකාරී අදහස් දේශපාලනඥයන් විසින් ප්‍රකාශ කෙරෙද්දී රටේ ආරක්ෂක හමුදා සහ පොලීසිය එක්ව ඉතාම සාර්ථකව මෙහෙයුම් කරමින් සිටින බව දැකගත හැකිය. 21 වැනිදා ප්‍රහාරයෙන් පසුව රටේ සියලුම කටයුතු එක තැන නතර වී තිබිණි. මුළු රට බිය සහ සැකයෙන් වෙලී ගියේය. නමුත් ආරක්ෂක හමුදා මෙහෙයුම් හේතුවෙන් දින 10ක් පමණ ගතවන විට රටේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් හොඳ අතට හැරෙමින් තිබිණි. රටේ බොහෝ ප්‍රදේශවලින් පුපුරණ ද්‍රව්‍ය, අවි ආයුධ, කඩු සහ පිහි, බෝම්බ ද සැක කටයුතු වාහන ගණනාවක් ද වටලා අල්ලාගෙන තිබිණි. මේ සියල්ලටත් වඩා දැනට තහනම් කර තිබෙන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයන් ගණනාවක් ද එහි නායකයා වශයෙන් සැලකෙන මරාගෙන මැරැණු බෝම්බකරැ සහ්රාන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් ද අත්අඩංගුවට ගැනීමට හැකිවීමද ආරක්ෂක හමුදාවල ජයග්‍රහණයකි. නැගෙනහිර කල්මුණේ සහ සම්මන්තුරෙයි ප්‍රදේශවලදී සිදුකෙරුණු වැටලීම් ද මේ අතරින් කැපී පෙනෙයි. මේ බොහොමයක් වැටලීම් සාර්ථක කර ගැනීමට මුස්ලිම් ජනතාවගේ සහාය ලැබීම ලොකු රැකුලක් විය. ඒ තොරතුරැ බුද්ධි අංශවලට ඉතාම වැදගත් වූ බව මේ දිනවල සිදුවන මෙහෙයුම් වලින් පැහැදිලි වෙයි.

කෙසේ වුවද රජය මෙහිදී ජනතාවගේ දැඩි දෝෂාරෝපණයට ලක්වෙන කාරණයක් ද තිබේ. බොහෝ දෙනකු ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන්ට එරෙහිව නැගෙන චෝදනා ගැන කිසිම විභාග කිරීමක් සිදුනොවන බවය. ඇතැම් පරීක්ෂා කළ යුතු ප්‍රදේශ පරීක්ෂා කිරීම සමහර මැති ඇමැතින් විසින් වළක්වන බවය. මේ තත්ත්වය ගැන බොහෝ දෙනකු කියන්නේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ඡන්ද ලබාගැනීමේ අරමුණින් සමහර දේශපාලනඥයන් මෙසේ හැසිරෙන බවය. රටේ ආර්ථිකය, සමාජය, සංචාරක ව්‍යාපාර ඇතුළු දෛනික ජීවිත රටාවම තැලී පොඩි වී ඇද වී තිබෙන තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයක් පිළිබඳව බහුතරයක් ජනතාව තුළ තවමත් ලොකු කතාබහක් නැත. එහෙත් දේශපාලනඥයන් එසේ සිතන්නේ නැත. සියලු දෙනා බලන්නේ එළැඹී ඇති අවස්ථාව තමන්ගේ වාසියට යොදවාගන්නේ කෙසේද කියන එකය.

ජනාධිපතිවරයා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ ඒකාබද්ධ මන්ත්‍රී කණ්ඩායම මුණගැසෙන්නේ මේ පසුබිමේය. ජනාධිපතිවරණය පිළිබඳ කතාබහේදී ඒකාබද්ධ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයකගේ සහාය ගෝඨාභය රාජපක්ෂට හිමිවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තුළ එතරම් ප්‍රසාදයක් නැති බව පෙනෙයි. මීළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ හා ශ්‍රීලනිපයේ පොදු අපේක්ෂකයා වීමට තිබෙන ඉඩකඩ ගැන ජනාධිපතිවරයා තවමත් ගණන් හදන්නේ නැත්නම් ඒ ගැන පුදුම විය යුතුය. මහින්දට ද ජනාධිපතිවරයා සමඟ පවත්වන සම්බන්ධ එලෙසම පවත්වාගෙන යාම දේශපාලන වශයෙන් වාසිදායකය. සියලු දෙනා බැලන්ස් කරගැනීමේ දේශපාලන කලාවේ කෙරැම්කාරයා වන මහින්ද නම් කීයටවත් ජනාධිපතිවරයා අත්හරිනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක.

යූ.එන්.පී.ය ද පවතින තත්ත්වය යටතේ ඉදිරියට යාගත හැකි මාර්ග සෙවීමේ යෙදී සිටින බව පැහැදිලිය. යූ.එන්.පී සභාපති කබීර් හෂීම් ඇමැතිවරයාගේ නිවෙසේ පසුගියදා ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුගේ හමුවක් සිදු වී තිබුණේ මේ පසුබිමේය. එතැන සිටි පිරිස අතර මලික්, මංගල, රන්ජිත් මද්දුමබණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ ද වූහ. පසුව පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ද ඒ සාකච්ඡාවට එක්විය. බෝම්බ ප්‍රහාරයෙන් පසුව ජනාධිපතිවරණ සැලැස්ම යළි සකස් කර ගත හැකි ආකාරය එහිදී කතාබහ වී යැයි ද පක්ෂයේ කටයුතුවලට සෘජුවම මැදිහත් වී වගකීම් බාරගෙන කටයුතු කරන්නැයි සජිත්ගෙන් ඒ පිරිස දැඩිව ඉල්ලා සිටියේ යැයි ද දැනගන්න තිබේ. එම ඉල්ලීමට සජිත් දක්වන ප්‍රතිචාරය ඉදිරියේදී බලාගත හැකිවනු ඇත.

මේ සියල්ලටම පෙර රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ජෙනරාල් දයා රත්නායක කළ ප්‍රකාශය ගැන නායකයන්ගේ අවධානය යොමු විය යුතුය.

I ශශීන්ද්‍ර