2019 මැයි 04 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

රට කළමනාකරණය නියම කණ්ඩායමකට බාර දෙමු

වර්තමානයේ අපේ රට මුහුණ දී සිටින දුක්ඛිත තත්ත්වය මැදින් අපි එක් සුබවාදී ප්‍රවෘත්තියක් දැකගතිමු. ලබන ඔක්තෝබරයේ පටන් ඉදිරි වසරට ක්‍රියාත්මක වන පරිදි මාලිබෝන් ක්‍රිකට් සමාජය විසින් තමන්ගේ සභාපතිවරයා වශයෙන් කුමාර සංගක්කාර පත්කර ඇති බවය.

පළවී තිබෙන වාර්තාවලට අනුව මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ඉතිහාසයේම බ්‍රිතාන්‍ය ජාතිකයකු නොවන පුද්ගලයකුට මෙම ධූරය පිරිනමා ඇත්තේ ප්‍රථම වතාවටය.

අපි සියලුදෙනාම ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය විසින් බිහිකරන ලද විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් සිය ටෙස්ට් තරග දිවිය තුළදී පෙන්නුම් කරන ලද දස්කම් විස්කම් පිළිබඳව අසා ඇත්තෙමු. එහෙත් මේ කිසිම ක්‍රීඩකයකුට කුමාර සංගක්කාර විසින් හිමිකර ගන්නා ලද මේ ගෞරවයට හිමිකම් කීමට අවස්ථාවක් ලැබී නැත.

අනෙක් අතට නිදහස ලබා වසර 70ක කාලයක් ගතවී තිබුණද මෙරට ජනතාව මුහුණ දෙන සාමාජයීය ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට අපේ දේශපාලන නායකයෝ අසමත්ව සිටිති.

මේ තත්ත්වය සලකා බලා මේ යෝජනාව ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. ඉදිරි වසර 10ක ස්ථාවර කාලයක් සඳහා අපගේ දේශපාලන රාමුවට ප්‍රබල වෙනසක් ඇති කිරීමට පියවර ගනිමු. ඒ සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවා කුමාර් සංගක්කාර විධායක ජනාධිපති වශයෙන් පත්කරමු. විවිධ කේෂත්‍රවල විශේෂඥ දැනුමැති වෘත්තීයවේදීන් සහ බුද්ධිමතුන් පිරිසකගෙන් සමන්විත ශක්තිමත් කණ්ඩායමකගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් ද පත්කර ගනිමු.

අපේ රට බරපතළ ගැටලුවලට මුහුණ දී සිටි 2005 වසරේ මාර්තු 15 වැනිදා සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට මෙවැනිම ප්‍රකාශයක් කළෙමි. ලීට හෝ මැන්ඩෙලාට අපේ රට පාලනය කරන්නැයි කියමු. සිරස් තලයෙන් පළවූ එහි මෙසේ සඳහන් වී තිබිණි. 

නිදහසින් පසු අප රට පාලනය කළ දේශපාලන නායකයන් බොහෝමයක් දෙනා විසින් ශ්‍රී ලංකාව ආපස්සට ඇද දමා ඇතැයි හැට්න් නැෂනල් බැංකු සභාපති රියෙන්සි ටී. විජේතිලක ඊයේ ප්‍රකාශ කළේය. රාජ්‍ය තාන්ත්‍රික භාවය පෙන්නුම් කළ නායකයන් සිටියේ අතලොස්සකි. දේශපාලන පක්ෂවල බෙදීම් හේතුවෙන් රට මේ තත්ත්වයට වැටී තිබේ. දූෂණය සහ වැරදි කළමනාකරණය අඩුකොට සම්පත්වලින් නිසි ප්‍රයෝජන ගෙන රට පාලනය කිරීමට දෙපැත්තේම දේශපාලන නායකයෝ අසමත් වී සිටිති. මේ රට කළමනාකරණය කිරීමේ වගකීම ඒ සඳහා හැකියාව ඇති පුද්ගලයකුට හෝ කණ්ඩායමකට වසර 05 සිට 10 දක්වා කාලයකට බාර දිය යුතුය. මේ සඳහා නෙල්සන් මැන්ඩෙලා හෝ ලීක්වාන් යූ මෙවැනි වගකීමක් පැවරිය හැකි සුදුසු පුද්ගලයන් වශයෙන්ද ඔහු හඳුන්වා දුන්නේය.

අපේ රටේ අනාගතය වෙනුවෙන් කිසිදු පැකිලීමකින් තොරව එම යෝජනාවම යළිත් වරක් ඉදිරිපත් කිරීමට මට අවශ්‍යය.

(ඩේලි එෆ්.ටී. පුවත්පතට බැංකු ක්ෂේත්‍රයේ හිටපු ප්‍රවීණයකු වන රියෙන්සි විජේතිලක සැපයූ ආරාධිත තීරැලිපියෙන් උපුටා ගැනිණි.)

ට්‍රම්ප්ට වෙච්ච වස වැරැද්ද

පාස්කු ඉරිදා (21) සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය රාජ්‍ය නායකයන් ඇතුළු සකල ලෝකයේම ප්‍රබල හෙළාදැකීමට බඳුන් විය.

අමෙරිකානු ජනාධිපති ද තමන්ගේ ජනප්‍රියම මාධ්‍යය වන ට්විටර් හරහා පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රහාරය දැඩිව හෙළාදැක ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට ද කැමැත්ත ප්‍රකාශ කළේය. කෙසේ වුවද ඔහු තම පණිවුඩයේ අකුරැ ටයිප් කිරීමේදී බරපතළ ප්‍රමාද දෝෂයක් සිදු කර තිබිණි. මේ හේතුවෙන් පණිවුඩයේ මෙසේ සඳහන් විය. පල්ලිවලට සහ හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ශ්‍රී ලංකාව තුළ මිලියන 138ක ජනතාවක් මරාදමනු ලැබ තිබෙන අතර 600කට වඩා වැඩි පිරිසක් දැඩි ලෙස තුවාල ලබා සිටිති. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ජනතාවට අමෙරිකාව සිය හෘදයාංගම කනගාටුව පළකරයි. ආධාර කිරීමට අපි සූදානමින් සිටිමු.

කෙසේ වුවද පසුව එම පණිවුඩය ඉවත් කළ ජනාධිපති ට්‍රම්ප් ඒ වෙලාව වනවිට වාර්තා වී තිබූ මරණ සංඛ්‍යාව 138ක් වශයෙන් සඳහන් පණිවුඩය තබා තිබිණි. මෙවැනි සිනහ උපදවන වැරැදි සිදුකිරීම ඔහු විසින් දිගටම සිදු කරමින් සිටී.

- සන්ඩේ ටයිම්ස්