2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

අමතක කරලමු පැරැණි කතා

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

 

ආර්ථිකය යන වචනය පවා ඇලර්ජික් වන තරමට ආණ්ඩුවට රටේ ආර්ථිකය මහා වදයක් වෙමින් තිබේ. ආණ්ඩුව ආර්ථිකය හදන බවට කොතරම් පොරොන්දු දුන්නත් පසුගිය සිකුරාදා වනවිට ඩොලරයේ අගය රුපියල් 154ක් දක්වාම ඉහළ නැග තිබුණේය. රුපියල කවදාවත් මෙතරම් පහළ ගොස් නැත. එකදිගට පහත වැටෙමින් තිබෙන රුපියල හමුවේ රටේ ආර්ථිකය හසුරුවා ගැනීමට ආණ්ඩුව මහත් වෑයමක් දරයි.
ආණ්ඩුව කියන්නේ ඩොලරයේ අගය හදිසියේ මෙතරම් ඉහළ ගියේ ටෙම්පල්ටන් අරමුදලේ මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාම බවය. මෙම අරමුදල අමෙරිකානු මුදල් ආයෝජනයකි. අමෙරිකාව තුළ ඩොලරය හදිසියේම අවප්‍රමාණය වීම මෙසේ ඩොලර් ඉවතට ඇදීමට හේතුව බව රජය කියයි. කෙසේ වුවද සිකුරාදා වනවිට ටෙම්පල්ටන් අරමුදල ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ ඩොලර් බිලියන 8ක මුදලක් ආපසු ගෙන ගොස් තිබුණේය. මෙය වසරකට  විදෙස් ශ්‍රමිකයන් මෙරටට එවන මුදලට සමානය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි එක්ලක්ෂ විසිදහසක් තරම් වන අතිවිශාල මුදලකි. මෙතරම් මුදල් ප්‍රමාණයක් එකවර ආපසු ගැනීම රටට බරපතළ ලෙස බලපාන බව පැහැදිලිය.

ඩොලරය මේ ආකාරයට ඉහළ යාම හේතුවෙන් රටේ ආර්ථිකය සමබරව පවත්වාගෙන යාම අපහසු වන බව විශේෂඥයන්ගේ අදහසය. එක් ආර්ථික විශේෂඥයකුට අනුව ඩොලරයේ අගය රුපියල් 160 දක්වා තරම් මට්ටමකට යන තෙක් එය රටට දරාගත හැකියි. එහෙත් එතැනින් තවත් ඉහළට යන්නේ නම් ඒ පිළිබඳව ඉක්මන් පියවර ගැනීමට අවශ්‍යය. රට මේ තරම් බරපතළ තත්ත්වයකට මුහුණ දී සිටින්නේ ඩොලරයේ අගය වැඩිවීමේ වාසිය රටට ලබාගත හැකි මට්ටමින් ක්‍රියාත්මක වීමට නම් ආයෝජන ගලා ඒමට අවශ්‍ය වුවද එය සිදුනොවීමය. එසේම රටින් එතෙරට යැවෙන අපනයන භාණ්ඩවල කිසිදු ඉහළ යාමක් නොසිදුවීමය. කෙසේ වුවද විදෙස් ශ්‍රමිකයන් විසින් රටට උපයා දෙන සංසන්දනාත්මක අතිවිශාල ආදායම ද ඩොලරයේ අගය වැඩිවීමට සාපේක්ෂව ඉහළ යමින් තිබේ. තේ ඇතුළු වෙනත් භාණ්ඩ අපනයනයෙන්ද ලැබෙන ආදායම ඉහළ යයි. නමුත් අපනයනයට වඩා ආනයනයෙන් කප් ගසා සිටින අපේ රට ආනයනය කරන සෑම භාණ්ඩයකටම වැඩි මිලක් ගෙවීමට සිදුවීම ආර්ථිකයේ රතු එළි දල්වමින් තිබේ. ඒ සමඟ පසුගිය වසර දෙක තුළදී රජයේ සේවක වැටුප් වැඩිවීම්, දීමනා ඉහළ දැමීම් හේතුවෙන් ද ආර්ථිකයට දැරිය නොහැකි පීඩනයක් එල්ල කරන බව ඇතැම් විශේෂඥයන්ගේ අදහසය. ප්‍රායෝගික නොවන මැතිවරණ පොරොන්දු ලබාදී ඒවා ඉටුකරන්නට යෑමේ ප්‍රතිඵල මේ ආණ්ඩුව හොඳින් භුක්ති විඳිමින් සිටින බව පෙනෙයි.

ආර්ථිකය සම්බන්ධයෙන් පමණක් නොව, වෙනත් විෂයයන් සම්බන්ධයෙන්ද තීන්දු ගැනීමේදී සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මේ රජය උපන් ගෙයි දුර්වලකමක් දක්වන බව එක් දේශපාලන විචාරකයෙක් මෑතකදී ප්‍රකාශ කර තිබුණේය. ආණ්ඩුවේ පළමු දින සියය තුළදීම එහි ලක්ෂණ පෙනෙන්නට තිබිණි. පොරොන්දු වූ දිනයට මහා මැතිවරණය පැවැත්වූයේ නැත. එයට බලපෑ ප්‍රායෝගික කරුණු කුමක් වුවද කියූ වෙලාවට ඡන්දය නොතැබීමේ පල විපාක අද ආණ්ඩුවට දැනෙමින් තිබිය යුතුය. පුංචි ඡන්දය පවා පවත්වා ගැනීමට නොහැකි මට්ටමට රටේ දේශපාලන වාතාවරණය වෙනස් වීමට මහා මැතිවරණය වෙලාවට නොතැබීමේ තීරණය බලපෑ බව රහසක් නොවේ. රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරද්දී, තෙල් මිල, ගෑස් මිල බස්සද්දී, තෝරාගත් භාණ්ඩ කීපයක මිල ද පහත දමද්දී ඒවා වෙනුවෙන් පෙනී සිටීමට ඇමැතිවරැන් අතර තරගයක් තිබූ බව කාටත් මතකය. එහෙත් අද බරපතළ තත්ත්වයකට ආර්ථිකය ඇද වැටී තිබෙන විට ඒ ගැන එහි වගකීම ගැනීමට කිසිදු ඇමැතිවරයකු ඉදිරිපත් වන්නේ නැත. මේ අපේ රටේ දේශපාලනයේ ස්වභාවයයි.

ආර්ථික ගැටලුත් සමඟම රට ඇතුළේ දේශපාලනයේද යම් වෙනස්කම් සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. විමල් වීරවංශ පසුගිය 22 වැනිදා (බදාදා) පාර්ලිමේන්තුවේදී තම පක්ෂයට ස්වාධීන වීම අවශ්‍ය යැයි සඳහන් කරමින් මෙසේ ප්‍රකාශයක් කර තිබුණි.

මීට මාස කීපයකට පෙර ඔබතුමාට ලිපියක් බාර දුන්නා, ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරැන් පස්දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ තිබෙන සියලු දේශපාලන බැඳීම් අතහැර ස්වාධීනව පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න ඉඩ දෙන්න කියලා. මේ පිළිබඳව ඔබතුමා එජනිස ප්‍රධානීන්ගෙනුත් විමසා මට දැනුම් දෙන බව පසුගිය කාලයේ ප්‍රකාශ කර තිබුණා. මේක තවමත් දැනුම් දීලා නෑ. එසේ නොකිරීම නිසා මන්ත්‍රී කණ්ඩායමක් ලෙස අපට හිමි අයිතිවාසිකම් නැති වී ගොස් තිබෙනවා. එම නිසා අපගේ ඉල්ලීම පිළිගෙන අපට හිමි අනන්‍යතාවය ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා.

කතානායකවරයා ප්‍රකාශ කළේ තමන්ට මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ගන්නට සිදුවී ඇති බවය. එසේම මේ ගැන සන්ධානය සමඟ සාකච්ඡා කොට තීන්දුවක් ලබාදෙන බව කතානායකවරයා කියා තිබිණි. මේ පිළිබඳව ඇදී ගිය කතාබහේදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාද විමල් පක්ෂව අදහස් දක්වා තිබිණි. දිනේෂ් ගුණවර්ධනද විමල්ට සහාය පළ කරමින් කතා කළේය.

රිමාන්ඩ් භාරයේ සිටිමින් පාර්ලිමේන්තුවට එන විමල් තවමත් ආපසු යන්නේ නිවෙසට නොව, රිමාන්ඩ් සිරගෙදරටය. ඔහු දැන් සති කීපයක් තිස්සේ රිමාන්ඩ් භාරයේ සිටී. ඔහු තම පක්ෂයට ස්වාධීන වීම අවශ්‍යයි කියන කතාවට රටේ සියලු දෙනාගේ අවධානය යොමුවීම ස්වභාවිකය. ඔහු පවසන්නේ තමන් මේ ඉල්ලීම කළේ මීට මාස කිහිපයකට පෙර තමා මේ ඉල්ලීම පාර්ලිමේන්තුවේදී මතුකළ බවය.

විමල්ගේ දේශපාලනය ඊතල වැනි වචන හරඹ සමඟ ගැට ගැසී තිබෙන්නකි. ඔහුගේ මේ ඉල්ලීම, තම පක්ෂයට ස්වාධීන වීමට අවශ්‍ය යැයි පැවැසීම එම දේශපාලනයට සම්බන්ධදැයි කීමට තවම කල් වැඩිය. එසේ වුවද මහින්ද යළි දේශපාලනයට කැඳවාගෙන ඒමේදී විමල් ලොකු කාර්යභාරයක් ඉටු කළේය. එයද සිදුකළේ පිරිස් බලයකින් නොව, තම කටේ බලයෙනි. එසේම මහින්දගේ වේදිකාවේ කස පුපුරණ හඬ බවට පත්ව තිබුණේද විමල්ගේ හඬය. මේ නිසා විමල් ස්වාධීන වන්නට යාම වෙනත් මන්ත්‍රීවරයකු ස්වාධීන වීමට අවශ්‍ය යැයි කියනවාට වඩා වෙනස්ය. විමල්ගේ ඉල්ලීම ගැන අගමැති රනිල් 23 වැනිදා (බ්‍රහස්පතින්දා) මෙසේ කිව්වේය. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට මා ස්තූතිවන්ත වෙනවා. එතුමා කිව්වා ජාතික නිදහස් පෙරමුණ සන්ධානයේ කොටසක් නොවෙයි කියා. එහෙනම් මෙතැන ඉන්න ඒ පක්ෂයේ සාමාජිකයන් සන්ධානයෙන් ඉවත් වෙනවා නම් ඒ අය ස්වාධීන සාමාජිකයන් ලෙස සලකන්නයි තියෙන්නේ. ඔවුන් පක්ෂයක් හැටියට සලකන්න බැහැ. ස්වාධීනව වාඩිවීම අපට නතර කරන්න බැහැනේ.

එතුමත් පිළිඅරගෙන තිබෙනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙ නායකත්වය එක්ක තවත් ඉදිරියට යන්න බැහැ කියලා. මම එතුමාට ඒ ගැන ස්තූතිවන්ත වෙනවා.

අගමැතිවරයා එසේ කිව්වත් විමල් ඉන්පසුව පැවැසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂය සමඟ තමන් කරන අරගලය ඒ තුළ තමන්ගේ නියෝජනය අත්නොහරින බවය.

විමල්ගේ පක්ෂය ස්වාධීනව කටයුතු කිරීම හරහා කරන්නට යන්නේ කුමක්ද යන්න දැන්ම තීරණය කිරීම අපහසුය.

මේ වාගෙම එස්.බී. පසුගියදා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන්ද දේශපාලන කරළිය කැළඹී ගියේය. ඔහු පසුගිය 21 වැනිදා තම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම ඉවත් නොකිරීමට ශ්‍රී.ල.නි.ප.ය තීරණය කර ඇති බවය. එසේම නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට පසුගිය මහ මැතිවරණයේදී මෙරට ජනතාව ශ්‍රී.ල.නි.ප.යටවත් එ.ජා.ප.යටවත් බලය නුදුන් බවය. මේ නිසා ඒකාබද්ධ රජයක් ලෙසටද සම්පූර්ණයෙන් නව ව්‍යවස්ථාවකට යාමට ඉඩ ලබාදී නැති බවද ඔහු සඳහන් කර තිබිණි.

යහපාලන රජයේ වම් අත කරන දේ දකුණු අත නොදන්නේ යැයි මීට කලකට පෙර කියා තිබුණේ මෙරට ප්‍රකට දේශපාලන විචාරකයෙකි. එය අදටත් වෙනස් වී නැති බව එස්.බී.ගේ ප්‍රකාශය හොඳම උදාහරණයකි. විධායක ජනාධිපති ක්‍රමය මෙරට සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයම උඩුයටිකරු කළ විනාශකාරී ක්‍රමයක් වශයෙන් හඳුන්වා දෙමින් එකම වේදිකාවක් හදා එම වේදිකාව හරහා මහින්දගේ ආණ්ඩුව ගෙදර යැවීමට ලොකුම සටන් පාඨයක් බවට පත් කරගෙන තිබූ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම මේ වනවිට අත්තනෝමතික බලතල ඉවත් කිරීම වැනි තැනකට ලඝුවී තිබේ. එසේම වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනපති පදවියට පත්වී ජාතිය අමතා කළ පළමු කතාවේදී ද ප්‍රකාශ කළේ තමන් ජනාධිපති පදවියට යළි තරග නොකරන බවය. එහි තේරැම වූයේ මීළඟට යළිත් ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවය.

දැන් මේ අදහස් දෙකම වෙනස් වෙමින් තිබේ. තමන් යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මෛත්‍රීපාල ජනාධිපතිවරයා කියන්නේ නැත. එහෙත් ජනපතිට සමීප ජ්‍යෙෂ්ඨ ශ්‍රී.ල.නි.ප. සාමාජිකයන් හැම තැනම කියන්නේ තමන්ගේ මීළඟ ජනපති අපේක්ෂකයා වන්නේ මෛත්‍රීපාල මහතා බවය. ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන බවද ජනපතිවරයා කියන්නේ නැත. එහෙත් ඔහුට සමීප දේශපාලනඥයෝ එසේ කියති. මෙහි ඇති ලොකුම හාස්‍යය නම් පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ භූමිකාව දැඩි ලෙස විවේචනය කළ, පට්ට ගැසූ එස්.බී.ලාත් අද මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ මීළඟ ජනපති අපේක්ෂකයා යැයි ප්‍රකාශ කිරීමටය.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාද පසුගිය බදාදා (22) පැවැති ශ්‍රීලනිප ආසන සංවිධායකවරැන්ගේ හමුවකදී කළ ප්‍රකාශයක්ද මේ කතාබහට සම්බන්ධතාවක් තිබේ. ඔහු ප්‍රකාශ කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ටද ශ්‍රීලනිපය සමඟ එක්ව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැති බවය. තමා කිසිවකුට තහංචි පනවා නැතැයිද ජනපතිවරයා සඳහන් කර තිබිණි. තමාට කිසිවකු සමඟ වෛරයක් හෝ තරහක් නැති බවද තම අපේක්ෂාව සියලු දෙනා එකට එක් කරගෙන පක්ෂය ශක්තිමත් කිරීම බවද ජනපතිවරයාගේ ප්‍රකාශයට ඇතුළත් වී තිබිණි.

තම ආසන සංවිධායකවරැන් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශයක් සිදුකරන්නට ජනපතිවරයාට කරුණු ගණනාවක්ම බලපාන්නට ඇතැයි සිතිය හැකිය. මෙතෙක් කාලයක් යහපාලන ආණ්ඩුව ශක්තිමත් කිරීම ගැන කතා කළ ජනපතිවරයා දැන් ශ්‍රීලනිපය ශක්තිමත් යාන්ත්‍රණයකින්, නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාම ගැන කතා කරයි. පක්ෂය තුළ සිටි, පක්ෂයේ සමගියට බාධා කරන සාමාජිකයන් ගැන දැඩිව විවේචනාත්මකව කතා කළ ජනපතිවරයා දැන් සියලු දෙනා එකට එක් කරගෙන පක්ෂය ශක්තිමත් කිරීම ගැන කතා කරයි. එසේම ඔහු තවත් වැදගත් ප්‍රකාශයක්ද එහිදී සිදු කළේය. හොරකම් සහ වැරැදි කළ පුද්ගලයන් පසුගිය පාලන කාලයේ සිටියා මෙන්ම, මේ පාලන කාලයේද හොරකම් කරන වැරදි කරන අය සිටින බවය. පසුගිය ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ තිබූ පරතරය දැන් ටිකෙන් ටික අඩුවෙමින් පවතින්නේ යැයි කිසිවකුට හැඟුණොත් ඒ ගැන පුදුම වීමට දෙයක් නැත. මෙ ගැන එක් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් තම මාධ්‍ය සගයකුට කියා තිබුණේ මේ ආණ්ඩු දෙක අතර එකම වෙනස පවුල පමණක් බවය.

මේ අතර මහත් විවාදයකට තුඩුදුන් මාතෘකාවක් වූ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැලීමට පත් කෙරුණු බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය ආරම්භ වූයේ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් සාක්ෂි විමසීමෙනි. ඔහු පසුගිය අඟහරැවාදා (21) මුලින්ම සාක්ෂි දුන්නේය.  

කෙසේ වුවද කොමිසමේ ගැසට් නිවේදනයේ දිනය ගැන ගැටලුවක් හේතුවෙන් එහි කටයුතු නාවකාලිකව අතිහිටුවීමට පසුගිය 23 වැනිදා තීන්දුවක් ගනු ලැබීය. ඒ වනවිට සාක්ෂි දෙමින් සිටි මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග මහතාගෙන් සාක්ෂි විමසීම 27 වැනිදා දක්වා නැවැතිණි.

බැඳුම්කර ගනුදෙනුව මෙරට කෝප් කමිටු ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පත්ව තිබේ. කෝප් කමිටු වාර්තාවක් මෙතරම් දුර ඇදී ගොස් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් දක්වා ගෙන යනු ලැබුවේ පළමු වතාවටය. ආණ්ඩුව පිහිටුවා මාස 2ක් ඉක්මවා යන්නටත් පෙරම කතාබහට ලක්වූ බැඳුම්කර ගනුදෙනුව වසර 2ක් ගතවීමෙන් පසුවද තවම අවසානයක් නැත. මෙවැනි සිදුවීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින පිරිස් පවසන්නේ අනාගතයේදී හෝ මේ ආකාරයේ ප්‍රශ්න සහගත ගනුදෙනු සිදුවීමට තිබෙන ඉඩකඩ අපුරා දැමිය යුතු බවය. කෙසේ වුවද ආණ්ඩුව පිහිටුවා ගැනීමට දායක වූ ඇතැම් සංවිධාන පවසන්නේ බැඳුම්කර ගනුදෙනුවේ ඇත්ත නැත්ත හෙළිකර ගැනීම අවශ්‍ය වුවද ඒ හේතුව නිසා යහපාලන ආණ්ඩුවට හානියක් වීමට ඉඩ නොතැබිය යුතු බවය. මේ අවස්ථාවේදී එසේ සිදු කිරීම මහින්ද පාලනයේ සිටි ඇතැම් දූෂිත පුද්ගලයන්ට පාවාඩ එළීමක් වනු ඇතැයි ඔවුන්ගේ අදහසය.

මහින්ද රාජපක්ෂ නම් පවසන්නේ යුද්ධය, ආර්ථික අර්බුද රටට එල්ල වූ විවිධ බලපෑම් මැද තම රජය රටට ජාතික සම්පත් එකතු කළා මිස රටේ සම්පත් විකුණා දැමීමට ක්‍රියානොකළ බවය. ඔහු යූ.එන්.පියට පමණක් නොව ආණ්ඩුව සමඟ සිටින ශ්‍රීලනිප පාර්ශ්වකරුවන්ටද මෙහිදී එම පාප කර්මයට කරගසා ඇතැයි චෝදනා කළේය. 

මේ අවුල් වියවුල් මැදින් යන ගමනින් පෙනෙන්නේ යහපාලන ආණ්ඩුව පිහිටුවා ගැනීමට මූලික වූ හේතු කාරණා ආණ්ඩුවේ පාර්ශ්ව දෙකේම සමහර බලවතුන්ට අමතක වී ඇති බවය. මෙසේ දිගින් දිගටම අමතක වීමට එක් ප්‍රබල හේතුවක් වී ඇත්තේ පුංචි ඡන්දය කල්යාම බවට සැකයක් නැත. රාජපක්ෂ පාලන කාලයේ නම් ඡන්දයක් නොමැතිව වසර දෙකක කාලයක් ගත නොවූ තරම්ය. හැම වසරේම ඡන්ද පැවැත්වීම පමණක් යහපත් ලක්ෂණයක් නොවුවද අඩුම තරමින් රටේ මිනිසුන්ට සීමා සහිතව හෝ තමන් පිළිබඳව බලවතුන්ට මතක් කිරීමේ නිවේදන නිකුත් කිරීමට එම ඡන්ද හරහා අවස්ථාව සැලැසුණේය. නමුත් මේ ආණ්ඩුවට නම් තවමත් එවැනි මහජන සිහිකැඳවීම් ගැන වගේ වගක් නැත. 

 ශශීන්ද්‍