2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

වරදේ අයිතිකරු?

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 232

සිකුරාදා සාමාන්‍යයෙන් මේ රටේ ඉතාම කාර්යබහුල දිනයකි. කොළඹ ඇතුළු ප්‍රධාන නගරවලට වෙනදාට වඩා බොහෝ ජනකායක් එකතු වන දවසකි. පසුගිය වසර දහයක කාලය තුළ තිබූ ඒ ගතිය පසුගිය සිකුරාදා (26) මුළුමනින් වෙනස්ව තිබිණි. වෙනදාට නොවරදවාම මුස්ලිම් පල්ලිවල සිරිත් පරිදි සිදුකෙරෙන ජුම්මා යාච්ඥා එදා පැවැත්වුණේ නැත. කොළඹ නගරය පාළුවට ගොස් තිබිණි. දැනගන්නට ලැබුණු අන්දමට රුකියා හෝ වෙනත් කටයුතු සඳහා හෝ වෙනදා කොළඹට පැමිණෙන මුස්ලිම් ජාතිකයන් බොහෝ දෙනකු එදින පැමිණ නැත.

පුපුරා ගිය පාස්කු ඉරිදා (21)වෙන් පසුව එළඹුණු පළමු සිකුරාදා දිනය එය වීම මේ වෙනසට හේතුව විය. තවමත් රට පුරා සියලු කතෝලික පල්ලි ඇත්තේ වසා දැමූ ගමන්ය. ඒවායේ යාච්ඥා මෙහෙය පැවැත්වීම නැවත දැනුම් දෙන තුරැ නවතා තිබේ. රජයේ සහ පෞද්ගලික කාර්යාලවල සේවයට වාර්තා කිරීම් සිදුවන්නේ 50%ක තරමින් බවද ප්‍රකාශ විය. ඒ හේතුව නිසාම බස් ධාවනය ද අඩකින් පමණ අඩුවී තිබෙන බව කියයි.

යුද්ධය නිමාවෙන් පසුව මේ රට තුළ ක්‍රමක්‍රමයෙන් පිබිදෙමින් පැවැති නිදහස මේ ආකාරයට පුපුරා ගියේ පසුගිය 21 වැනිදාය. මෙවැනි ව්‍යසනයක් සිදුවනු ඇතැයි අඩුම තරමින් එදින උදෑසන 8.30ට පෙර මේ කිසිවකුත් නොසිතූ බව පැහැදිලිය. මෙවැනි මහා ඛේදවාචකයක් සිදුවිය හැකි බවට රටේ ආරක්ෂාව භාරව සිටි කිහිප දෙනකු හැර කිසිවකුත් දැන නොසිටි බව මේ වනවිට සනාථ වී තිබේ. තොරතුර දැන සිටි කිහිප දෙනා ද මේ තරම් විනාශයක් සිදුවනු ඇතැයි නොසිතූ බවත් මේ දරුණු ප්‍රහාරය අනපේක්ෂිත දෙයක් බවත් වරින්වර කළ ප්‍රකාශවලින් පැහැදිලි විය. දැන් මේ සියල්ල අතීතයට එක්වී හමාරය.

මේ වගේ ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි තමන් කිසිසේත් නොසිතූ බව කියන කතාව මේ රටේ ජනතාව පිළිගනියිද? ඔවුන් දක්වන ප්‍රතිචාරවලින් නම් පේන්නේ එසේ නොවන බවය. ඒ සාමාන්‍ය ජනතාවය. එසේ නම් දැන උගත් පුරවැසියන් ඒ ගැන කෙසේ සිතනු ඇද්ද? ඒ ගැන සොයා බැලීමට මඳක් අතීතයට යා යුතුය.

දැනගන්නට තිබෙන අන්දමට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ් මෙවැනි ත්‍රස්ත කණ්ඩායමක් සම්බන්ධයෙන් 2015 වසරේ දී රජයේ බලධාරීන් දැනුම්වත් කර තිබේ. එහෙත් ආණ්ඩුව කිසිම පියවරක් ගෙන නැත.

අප්‍රේල් මාසය මුලදී ඉන්දියාව මගින් ත්‍රස්ත ප්‍රහාර, ඒවායේ ඉලක්ක, පුද්ගල නම් ගම්, අන්තවාදී පිරිස් සැඟවී සිටින ස්ථාන, ඔවුන්ගේ දුරකතන අංක පවා ඇතුළත් අනතුරැ ඇඟවීම් ලිපියක් මෙරට ආරක්ෂක ප්‍රධානීන්ට ලබා දී තිබූ බව සඳහන්ය. මේ හෙළිදරව්ව පසුගියදා කරනු ලැබුවේ එන්.ඩී.ටී.වී ප්‍රවෘත්ති සේවය මගිනි. එහෙත් ආණ්ඩුව එවර ද නිහඬ විය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ප්‍රකාශ කර තිබුණේ තමන් මේ තොරතුරැ සම්බන්ධයෙන් දැනුම්වත් නොකළ බවය. මේ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිකුරාදා (26) පැවැති මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් හමුවේදී සඳහන් කළේය. (එහි විස්තර පහත වෙනම පළවෙයි.)

මේ වසරේ ජනවාරි මාසයේ 16 වැනිදා පුත්තලම් - මන්නාරම් පාරේ වනාතවිල්ලුවේ විශාල ඉඩමක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය, පිපිරැම් කාරක ඇතුළු තවත් විනාශකාරී භාණ්ඩ රුසක් ද සොයා ගැනීමට අපේ ආරක්ෂක අංශ සමත් විය. මේ සොයාගැනීම් සිදුකර තිබුණේ බුද්ධි අංශවලට ලැබුණු තොරතුරැ අනුව බවද ප්‍රකාශ විය. එහෙත් එම සිද්ධිය ද යටපත් කරනු ලැබීය. මේ යටගැසීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ විට තමා බේසමේ කිඹුල්ලු දකිනවා යැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා චෝදනා කළ බව විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එසේම 2016 වසරේ දී ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ එයට එක්වී සිටින අන්තවාදී පිරිස් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ අවස්ථාවේදීද ආණ්ඩුව එය ගණන් නොගත් බවද ඔහු සඳහන් කර තිබිණි. මේ සියලු අවස්ථාවලදී ආණ්ඩුව අවශ්‍ය පියවර ගත්තා නම් 21 වැනි මේ මහා ව්‍යසනය සිදුවීම වළක්වාගත හැකිව තිබූ බව ඉතාම පැහැදිලිය.

එහෙත් ඒ වෙනුවට සිදුවී ඇත්තේ වනාතවිල්ලුවේදී සැකපිට අත්අඩංගුවට පත් කිහිප දෙනකු නිදහස් කිරීමට පොලීසියට සිදුවීමය. එසේ එක් අයකු මරාගෙන මැරැණු බෝම්බකරැවකු යැයි මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ යූ.එන්.පී. සභාපති ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වන කබීර් හෂීම්ය. එය එසේ නම් අඩුම තරමින් දැන් හෝ එම බෝම්බකරු නිදහස් කිරීමට බලපෑම් කළ බලවතා හෝ බලවතුන් හෝ සොයා ගැනීමට පියවර ගත යුතුය. එය ඉදිරියේ දී සිදුවිය හැකි තවත් විනාශයක් වළක්වාගත හැකි ක්‍රියාවක් වනු ඇත. නමුත් මෙතැනදීද සිදුවිය හැක්කේ ආණ්ඩුව නිහඬ වීමය.

වනාතවිල්ලුවේ සිද්ධිය වූයේ පසුගිය දෙසැම්බර් 26 වැනිදා මාවනැල්ලේ බුදුපිළිම සිරස්වලට හානි කිරීමේ සිද්ධියට සති දෙක තුනකට පසුවය. එහිදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරැවන් නිදහස් කරන්නැයි බලපෑම් එල්ල වූ බවටද චෝදනා නැගුණේය. ඉන් දින කිහිපයකට පසුව කබීර් හෂීම් ඇමැතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුගේ නිවෙස තුළට මහ රූ පැමිණි පිරිසක් ඔහුගේ හිසට වෙඩි තබා තිබිණි. ඔහු තවමත් බරපතළ තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ගනිමින් පසුවෙයි. මේ පුද්ගලයාට වෙඩි තැබුවේ ඔහු මාවනැල්ලේ බුදුපිළිම සිරසවලට හානිකළ සිද්ධියේ සැකකරැවන් පිළිබඳ තොරතුරු පොලීසියට ලබාදීම හේතුවෙන් බවට සැක කෙරෙයි. එහෙත් ආණ්ඩුව මේ තොරතුරැ පසුපසින් හඹා ගිය බවක් පෙනෙන්නට නැත.

මේ බරපතළ අතපසුවීම්වලට වගකිව යුතු කවුදැයි දැන් සෙවීමට යාමෙන් පළක් වන්නේ නැත. එවැනි සොයා යාම් බොහෝවිට නවතින්නේ තවත් ප්‍රශ්න ඉතුරැ කරමිනි. සියලු දේශපාලන නායකයන් මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ යළිත් මෙවැනි ව්‍යසනයක් සිදුනොවීමට කටයුතු යෙදීමය. ඒ සඳහා මෙරට සියලුම අන්තවාදී නොවන මුස්ලිම් සංවිධානවල සහාය ලබාගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවයයි. බුද්ධි අංශවල රාජකාරියට එය මහත් පහසුවක් වනු ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් පසුගිය සිකුරාදා (26) පුවත්පත්වල සම්පූර්ණ පිටුවක පළකර තිබූ මුස්ලිම් විද්වතුන්ගේ ප්‍රකාශනය මේ සහාය ඔවුන්ගෙන් ලැබෙන බවට සලකුණකි. එම දැන්වීමේ මෙසේ ද සඳහන් විය.

මෙම පිළිකුල් සහගත ක්‍රියාව නොමග ගිය ශ්‍රී ලාංකික මුස්ලිම් කණ්ඩායමක් විසින් සිදුකළ බව දැනගැනීමට ලැබීමෙන් අපි පුදුමයටත් ශෝකයටත් පත් වූයෙමු. නොමග ගිය මුස්ලිම් කණ්ඩායමේ මෙම ක්‍රියාවෙන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික ජන සමාජයට බද්ධ වී සිටින සහ මාතෘභූමිය වෙනුවෙන් ඇප කැප වූ ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ ඇදහීම්, වුවමනාවන් සහ අපේක්ෂාවන් කිසිසේත් නියෝජනය වන්නේ නැත. ශ්‍රී ලාංකිකයන් ලෙස හැඳින්වෙන අපි එම අනන්‍යතාවය ගැන ආඩම්බර වන්නෙමු.

එසේම එහි තවදුරටත් කියා තිබුණේ මෙම අමානුෂික අධම ත්‍රස්තවාදී ක්‍රියාව හද පත්ලෙන්ම හෙළා දැක්වීමට සෙසු ජනතාව හා එක්වන බවත් මෙම අපරාධය ගැන පුළුල් කඩිනම් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවන මෙන් අදාළ සියලු රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවත්ය. මෙය යහපත් ප්‍රවණතාවකි. රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමකින් තොරව මෙවැනි සිද්ධියක් යළි ඇති නොවන බවට කිසිදු සහතිකයක් නැත. ඒ සඳහා මේ විනාශකාරී ක්‍රියාවන්ට සහභාගි වූ සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒම වැදගත්ය. නමුත් එවැනි අවස්ථාවලදීද බලපෑම් කිරීමට ඉදිරිපත් වන බලවතුන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටීම ආණ්ඩුවේ ලොකුම වගකීමකි. එසේ වනවිට අපි දැනගෙන සිටියේ නෑ වැනි කතා කීම අවශ්‍ය වන්නේ ද නැත.

මේ සියලු අතීත වර්තමාන කතාවලින් පැහැදිලි වන සත්‍යය නම් බෝම්බ වැල පත්තු වීමට පෙර කාලයක සිට ඒ සඳහා පෙර සූදානමක් තිබූ බවත් ඒ පිළිබඳ ලැබුණු තොරතුරු මත බලධාරීන් වාඩිවී සිටි බවත්ය. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ සියලු විශේෂඥයන්ගේ මතය වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය වත් කොළඹ නගරය තුළ එකවර මේ තරම් සංවිධානාත්මක, සම්බන්ධීකරණය කරන ලද, තිතට සැලසුම් කළ බෝම්බ පිපිරවීමක් සිදුකිරීමට අසමත් වූ බවය. එයට එක් ප්‍රධාන හේතුවක් වූයේ එකල වඩාත් ශක්තිමත් සහ මනාව සම්බන්ධීකරණය කර තිබූ ආරක්ෂක අංශවල බුද්ධි තොරතුරු ජාලය බව දැන් වඩාත් හොඳින් සනාථ වී තිබේ. ගිය හකුරට නාඬා තිබෙන හකුර රැකගැනීමේ තත්ත්වයට අද ආණ්ඩුව වැටී තිබෙන බව පැහැදිලිය.

I ශෂීන්ද්‍ර