2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

අාණ්ඩුවක් වුණාම ඉතිං හොරු එක්ක ඉන්න වෙනවා

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 149

 

වත්මන් ආණ්ඩුවේ පාර්ශව දෙක ප්‍රසිද්ධියේම එකිනෙකා විවේචනය කරනවා. රටට පෙන්නේ මේක නාට්‍යයක් වගේ?

නෑ... නාට්‍යයක් නෙවෙයි. එහෙම පේන්නේ දේශපාලනය පිළිබඳ අවබෝධය අඩු අයට. පක්ෂ දෙකේ පදනම පිළිබඳ අවබෝධයක් නැති අයට. එහෙම පෙනෙනවා නම් පේන්නේ පක්ෂ දෙකට ප්‍රතිපත්ති දෙකක් තියෙන නිසා.

ඒ කාලේ රටේ ජනතාවට මෛත්‍රීපාල සිරිසේන මහතා දුන්න පොරොන්දුවක් තමයි විධායකය අහෝසි කරනවා කියන එක. දැන් මේ ඇයි වචනේ වෙනස් කරලා?

නෑ.... විධායකය අහෝසි කරනවා කිව්වේ නෑ. ඒක තමයි ඔය මාධ්‍යවේදීන්ට තියෙන ප්‍රශ්නය. අපි ජනාධිපති මෛත්‍රීපාල මැතිඳුන්ට උදව් කළේ නෑ. අපි එතුමාට විරුද්ධව හිටියේ. එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ කියනවා මම අත්තනෝමතික විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කියලා. එතුමා ඒක කරලා ඉවරයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කළේ ඒක. මෛත්‍රීපාලනයක් පොත කියෙව්වද.

ඔව්. කියවලා තියෙනවා. ඔබ සෝභිත හිමිගේ ආදාහන උත්සවයට සහභාගී වුණාද?

ඔව්.

ඔබට මතකද එතෙන්දි ජනාධිපතිවරයා පොරොන්දුවක් දුන්නා සෝභිත හාමුදුරැවන්ගේ ඉල්ලීම වුණේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම හා තමන් අනිවාර් යෙන් එය සිදු කරන බවට?

ඒක තමයි කළේ එයා.

ඒ වෙනකොට 19 වැනි සංශෝධනයෙන් ඔය කියන 19 වැනි සංශෝධනය කරලා ඉවරයි?

නෑ... නෑ... ඒ නිසා තමයි. ඒ පොරොන්දුව නිසා තමයි අද අපි සංශෝධනයන් පිළිබඳ කතා කරන්නේ. තවත් මොනවා හරි මේ අත්තනෝමතිකදේ ජනාධිපතික්‍රමයේ තියෙනවා නම් ඒ ගැනත් කතා කරන්න පුළුවන්. මෛත්‍රීපාල මැතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව කිව්වා මම අත තියන්නේ නැහැ ජනමත විචාරණයකට යන දේකට කියලා. ජනමත විචාරණයකට යන්නේ නැතිව විධායකය සම්පූර්ණයෙන් අහෝසි කරන්න බෑ.

ඔය කියන තර්කය ඡන්දය කාලේ කිව්වේ නෑ නේද? මේක මේ ජනතාවට කොළේ වහලා ගහපු ගේමක්ද?

කොළේ වහලා ගැහුවද නැද්ද මම දන්නේ නෑ. හැබැයි මේ හදපු ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් ඉල්ලුවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එයාගේ මැතිවරණ ප්‍රකාශනයේ කියනවා ජනමත විචාරණයකට හේතු වෙන දෙයක් කරන්නේ නෑ කියලා. ඒ කියන්නේ අපිට ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන්න බෑ.

ඔබ කිව්වා විධායක ජනාධිපතිධූරයේ තියෙන අත්තනෝමතික බලතල අඩුකළා කියලා. හැබැයි මතකද පහුගිය දවස්වල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහාධිකරණ විනිසුරුවරයෙක් තමන්ගේ ජනාධිපති බලතල භාවිත කරලා පත්කිරීමේ සිද්ධිය?

හොඳ ප්‍රශ්නයක් ඒක. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 112 වගන්තිය අනුව ජනාධිපතිතුමාට ඕන කෙනෙක්  විනිසුරුවරයෙක් ලෙස පත්කරන්න පුළුවන්. ඔයාවත් පත් කරන්න පුළුවන්. ඒක තමයි අපි නීතිඥයෙක් නොවන ශිරාණිව ගෙනාවේ. ශිරාණිව ගේන යෝජනාව කැබිනට් එකට ජී.එල්. එක්ක මමයි ගෙනාවේ. ඒ කාලේ මම පක්ෂයේ මහලේකම්. ඒක ජනාධිපතිවරු කළා. ඒක ජේ.ආර්. කළා. ප්‍රේමදාස කළා. විජේතුංග කළා. චන්ද්‍රිකා මැතිනිය කළා. මහින්ද කළා. හැබැයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා කළේ නෑ. 

ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරයෙක් පත් නොකළාට මහාධිකරණයට අත දැම්මා කියලා කියලා තමයි ජනතාව නම් කියන්නේ?

ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය කියලා උත්තරීතර ආයතන තුනක් තියෙනවානේ. ඒකෙත් අධිකරණය කියන එකට අංශ තුනක් තියෙනවා. විනිශ්චයකරුවන්, නීතිපති දෙපාර්තමේන්තුව හා නීතිඥ සංගමය. නීතිඥ සංගමය කියන්නේ නිත්‍යකූල ආයතනයක් මිසක් වෘත්තීය සමිතියක් නෙවෙයි. නීතිඥ සංගමය ජනාධිපතිතුමාට යෝජනාවක් කරනවා. ජනාධිපතිතුමා බෑ කියනවා. ආයෙත් ඒ යෝජනාව කරනවා.

යෝජනා කරන්නේ මේ කියන මහාධිකරණ විනිසුරුවරයා පත් කරන්න කියලා?

ඔව්. දෙමළ භාෂාව කතා කරන්න පුළුවන් මහාධිකරණ විනිසුරුවරයෙක් පත් කරන්න කියලා.

නම කියලා අහවලා පත් කරන්න කියන්නේ නෑ?

නෑ... නමත් කියලා තමයි ඉල්ලිම කරන්නේ. ඒ ඉල්ලීම කරන්න ඒ අයට අයිතිය තියෙනවා. ඉස්සර ජනාධිපතිවරු එහෙම ඉල්ලා සිටින අය නෙවෙයි පත් කළේ. එයාලට ඕන අයව. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉතාම නිත්‍යනුකූලව ඒ ඉල්ලීම යැව්වා අධිකරණ සේවා කොමිසමට. කවුද ඒකේ ඉඳගන්නේ. ඉඳගන්නේ අගවිනිසුරු හා ජේෂ්ඨ්‍යතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ තුන් දෙනෙක්. අධිකරණ සේවා කොමිසම මේක අනුමත කරලා එවනවා. ඊට පස්සේ නීතිපතිට යවනවා. නීතිපති කියනවා ඒක කරන්න කියලා. 

මහින්ද රාජපක්ෂ ගෙදර යැව්වට පස්සේ අද වෙනකොට රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 21කින් බාල්දු වෙලා. රටේ ආර්ථිකය බලාගෙන ඉද්දී වැටෙනවා කියලා තමයි බැලු බැල්මට පෙනෙන්නට තියෙන්නේ?

ඒකට ලාංකික හේතු තියෙනවා. ආසියාතික හේතු තියෙනවා. ගෝලීය හේතු තියෙනවා. අපේ රටේ කොටස් වෙළදපොළේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල තිබුණු මුදල් විදේශිකයෝ අරගෙන ගියා.

ඇයි විදේශික ආයෝජකයෝ රටින් යන්නේ?

ඉදිරිපත් කළ අයවැය දෙක පිළිබඳව ආයෝජකයින්ට තිබුණ සැක බිය. අනෙක් පැත්තෙන් අෙමරිකාව දැන් ආර්ථික අතින් නැගලා එනවා. වඩා ලාභදායි ඒ මුදල් අමෙරිකාව වගේ රටකට ගෙනියන එක. ඒ වගේම ආසියාකරයේ අද වෙද්දි චීනයත් අර්බුදයක ඉන්නවා. චීනෙන් තමයි අපිට හුඟක් සල්ලි ආවේ. මේ කාරණා එක්ක දේශීය කාරණා එකට එකතුවෙලා රටේ අර්බුදයක් තියෙනවා.

ඔබ පිළිගන්නවා එහෙනම් දැන් රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා?

කවුද පිළිගන්නේ නැත්තේ. ඇස් තියෙනවා නම්, ආර්ථික විද්‍යාව දන්නවා නම්, ඒක පිළිගන්න ඕන. ඒකට මුහුණ දෙන්න ඕන. ඒකට මුහුණ දෙන්න ලංකාවට ශක්තිය තියෙනවා.

මහින්ද ගත්ත ණයලු මේකට හේතුව. ආණ්ඩුවේ එක්සත් ජාතික පාර්ශවය කියනවා?

නෑ... මහින්ද අරගෙන නොපෙන්වපු ණය. ඒක ප්‍රධාන හේතුවක්. 

ඒ ඇරුණාම මොනවද තියෙන හේතු?

රටේ ආර්ථිකය පිළිබඳ සැකයක් බයක් තියෙනවා මිනිස්සුන්ට. අයවැය දෙක ආවාට පස්සේ දේශිය හා විදේශිය ආයෝජකයෝ බය වුණා. ඔය වගේ ආර්ථික පැත්තෙන් අපේ අතින් සිද්ධ වුණ වැරදි. රාජපක්ෂලාට තියෙන බරපතළ චෝදනාම තියෙන අය මේ ආණ්ඩුවෙත් ඉන්නවා දැන්.

ඔබත් ඉන්නෙ ඒ ආණ්ඩුවේ හොරු එක්ක වාඩි වෙලාද?

ඔව්. එහෙම තමයි ඉතින් ආණ්ඩුවක් වුණාම. ආණ්ඩුවක්, පක්ෂයක් එක්ක ඉද්දී කිසි පුද්ගලයෙක්ට තමන්ගේ මතය 100% ක්‍රියාත්මක කරන්න බෑ. හැබැයි දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඕනෑ වෙලා තියෙනවා ඒ තිබුණ දූෂණය, භීෂණය හා ඒ ඒකාධිපතිවාදය නවත්තන්න.

දූෂණය, භීෂණය තියෙන කාලේ වගේ නෙවෙයි දැන් හාල් කිලෝවක් රුපියල් සීයටත් වැඩියි?

මම නම් ඕක ගැන මහ ලොකු ප්‍රශ්නයක් විදියට හිතන්නේ නෑ.

ඔබ කියන විදියට හාල් කිලෝව රුපියල් 100ක් වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි?

මගේ ප්‍රශ්නය නෙවෙයි මම කිව්වේ. මට හාල් තියෙනවා ගෙදර කන්න. අපි හොඳට ගොවිතැන් කරන මිනිස්සු. අපි ගොඩක් එළවළු හදනවා. ඒ නිසා අපි එළවළු මිල ඉහළ යනකොට සතුටු වෙනවා. හාල් මිල ඉහළ යනකොට සතුටු වෙනවා. මොකද එතකොට අපේ හාල්වලට මිලක් එනවා. උඩරට වී ගොවිතැන පාඩුයි. උඩරට වී ගොවිතැනේ වියදම පියවගන්න පුළුවන් වෙන්නේ වී ටික ගෙදර තියාගෙන ඉඳලා හාල් මිල ඉහළ ගියාම හාල් කරලා විකුණලා.

ගොවියන්ගෙන් පැත්තෙන් එහෙම වුණාට පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවාම තත්ත්වය ඔතරම් සැහැල්ලු නෑ?

මේ කලාපයේම තිබුණා විශාල නියඟයක්. ඒ නිසා කලාපීය වශයෙන් වශයෙන් වී අස්වැන්නේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඉපදිලත් නෑ. 1972-1974 කාලයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නීතියක් දැම්මා සිකුරාදා සහ අඟහරුවාදා බත් ඉවීම තහනම් කියලා.

රට ස්වයං පෝෂිත කිරීමේ අපේක්ෂාවෙන් නෙවෙයිද ඒ නීතිය දැම්මේ?

නෑ... නෑ... ඒ වෙලාවෙත් එහෙම කලේ නියඟය නිසා. ඒ කාලේ හාල් පොල්ලක් දාලා තිබුණා. හාල් සේරු දෙකක් අරන් ගියාම අල්ලනවා. මිරිස් රාත්තල් දෙකක් අරන් ගියාම අල්ලනවා. මේ සැරේ ලංකාවේ වගාකළ යුතු ඉඩම් වලින් තුනෙන් එකයි වගා වුණේ.

ඔබට මතකද රවී කරුණානායක ඇමැතිවරයා එදා ආණ්ඩුව පිහිටුවලා කිව්වා. වී වගා කරන එක පාඩුයි. වී වගා කරන්න එපා කියලා?

ඒක එයාගෙන් අහන්න.

කෘෂිකර්ම ඇමැතිවරයාත් මේ කතාවම එදා කිව්වා?

ඒකත් එයාගෙන් අහන්න.

ඔබ කිව්වා ඔබ හොඳ ගොවියෙක් කියලා. මේ ආණ්ඩුව පොහොර සහනාධාරය කප්පාදු කිරීම ආණ්ඩුව කළ විශාල වැරැද්දක් කියලා සමහරු කියනවා. ඔබ මොකද හිතන්නේ?

නෑ... ඔය බොරු කතා පත්තරවල ලියන්න එපා. පොහොර සහනාධාරය කපලා නෑ. ඒකට වෙනදාටත් වඩා මුදල් මේ ආණ්ඩුවෙන් දීලා තියෙනවා. ඒක ඉතාම නිවැරදි තීන්දුවක්. එදා ආණ්ඩුවෙන් පොහොර සහනාධාරය හරහා පොහොර දීම තුළින් වුණේ මිනිස්සු මහ පොළොවට ඔහේ රසායනික පොහොර එකතු කළා. ඔය දැන් ලංකාවේ තියෙන වකුගඩු රෝගයටත් එක හේතුව වුණා. මේ ආණ්ඩුව රසායනික පොහොර බෙදන්නේ නැතිව ඒ වෙනුවට සල්ලි දුන්නා. දැන් අවශ්‍ය අය රසායනික පොහොර ගහාවී. අනිත් අය කොම්පෝස්ට් පොහොර යොදාවී.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2020දි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් සහාය දක්වනවාද?

ඔව්. අපි දැන් එතුමාව යෝජනා කරලා තියෙනවා අපේ අපේක්ෂකයා හැටියට.

අපිට මතකයි එදා ජනාධිපතිධූරයේ දිව්රැම් දෙන වෙලාවේ නම් කිව්වේ නැවත ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්නේ නෑ කියලා. දැන් බලද්දී මෛත්‍රීපාල ජනාධිපතිවරයා කියලා තියෙන්නේ බොරුවක්ද?

ඒක ඉතින් එතුමාගෙන් අහන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ මතය එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හැටියට වැඩ භාරගත්තට පස්සේ එතුමා තමයි අපේක්ෂකයා කියන එක.

එතුමාත් ඔය යෝජනාවට එකඟ ඇති නේද?

අපි තවම එතුමා එක්ක කතා කරන්න ගියේ නෑ. අපි කතා කරන්න යන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මොකද එතුමාට අමාරුයි මේ තත්ත්වයේ හැටියට උත්තර දෙන්න.

හැබැයි ඩිලාන් පෙරේරා ඇමැතිතුමා කියලා තිබුණා පංති භේදය නිසා 2020 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්න රනිල්, මහින්ද, චන්ද්‍රිකා තුන් දෙනාම කැමැති නෑ කියලා?

කවුද කැමැති කවුද අකමැති කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න මම ආස නෑ. ඩිලාන් පෙරේරා ඇමැතිතුමාගෙන්ම අහන්න.

දැන් ඔය නිදහස් පක්ෂයේ ඉන්න අනෙක් පිරිසත් 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රී ඉදිරිපත් කරන්න කැමැතිවේවිද?

අපේ පක්ෂයේ දැනට ආණ්ඩුවත් එක්ක ඉන්න අය විතරක් නෙවෙයි, මහින්ද රාජපක්ෂත් එක්ක ඉන්න අයත් ගොඩ දෙනෙක් කැමතියි ඒකට.

ඔබ හදවතට එකඟවද ඒ කතාව කිව්වේ?

ඔව්. ඊයේ රූත් කතා කළා එහා පැත්තේ පස් හය දෙනෙක් එක්ක. ඒ අයට විකල්පයක් නෑනේ වෙන. මහින්ද රාජපක්ෂට එන්න බෑ. එතකොට බැසිල්ද ඒ අයගේ අපේක්ෂකයා.

ඔබ දේශපාලනයේ හොඳින් පදම් වූ අයෙක්. ඔබ හිතනවාද මේ යන විදිහට මෛත්‍රීපාල ජනාධිපතිවරයාට 2020දි ජනාධිපතිවරණයක් දිනාගන්න පුළුවන් වේවි කියලා?

අපොයි ඔව්. ඉතාම පැහැදිලිව. මොකද්ද ඔබ කියන මේ යන විදියට කිව්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්දදායකයෝ බහුතරයක් ඉන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමඟ කියලා බැලූ බැල්මට පේනවා. ඔබ පක්ෂය පැවත් වූ රැලි පවා ඒකාබද්ධ විපක්ෂයට සාපේක්ෂව අසාර්ථකයි කියලා කියනවා?

අපේ රැලි එකක්වත් අසාර්ථක නැහැ.

ඊළඟ කැබිනට් සංශෝධනයෙන් ඔබට කොයිවගේ ඇමැති ධූරයක් හම්බවේවිද?

ඒකට මම උත්තර දෙන්න කැමතිත් නෑ ඒ ගැන මට කිසිම වැදගත්කමකුත් නෑ.

ඔබ හදපු සමෘද්ධිය දැන් ඔබටම බාරවෙලා. ඔබට මතකද ඔබට ඒ කාලේ චෝදනාවක් එල්ල වුණා සමෘද්ධි මුදල්වලින් පොළොව යට මාළු ටැංකි තියෙන මහා මන්දිරයක් හැදුවා කියලා?

බොරැ මවන්න එපා. මට එහෙම චෝදනාවක් තිබුණේ නෑ. අපේ ගෙදර ෆොටෝ එකක් ගහලා මෙන්න සමෘද්ධි මාලිගාව කියලා කිව්ව එක ඇරෙන්න මට කිසිම චෝදනාවක් තිබුණේ නෑ. ඔව් ඉතින් ඒක ලස්සන ගේ. එදා කරකියාගන්න දෙයක් නැතිව මගෙත් එක්ක තිබුණ තරහට මගේ වත්කම් ගැන පරීක්ෂණයක් පැවැත්වුවා. ඒකෙනුත් මම සම්පූර්ණයෙන් නිදහස් වුණා. 

ඔබ ඔය සමෘද්ධි ඇමැතිකමට වඩා උසස් අධ්‍යාපන ඇමැති ධූරයට කැමතිද?

නෑ... මම කැමතියි කියන්නේ නෑ. හැබැයි මම හිටියා නම් මම ඔහොම ළමයින්ට නටන්න දෙන්නේ නෑ.

නවකවදයත් දරුණු ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය වෙලාගෙන තියෙනවා?

ඔබ 1972 -1974 පත්තර අරගෙන බලන්න. මම අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ සභාපතිවෙලා ඉද්දී ලංකාවේ විශ්ව විද්‍යාලවල සම්පූර්ණයෙන්ම නවකවදය නැති කළා. අපි කැවුම් කිරිබත් උයලා ළමයි පිළිඅරගත්තේ. නවකවදය දෙන්න ආපු අයට ගැහුවා. අස් කරලා දැම්මා විශ්ව විද්‍යාලවලින්.

මහා ශිෂ්‍ය සංගමේ සභාපතිට පුළුවන්ද විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් අස් කරන්න?

අන්න ඒක තමයි ඔයා දන්නේ නෑ කියන්නේ. ඒ කාලේ විශ්ව විද්‍යාල සේරම පාලනය කළ මහාධිකාරි මණ්ඩලය කියලා එකකින්. ඒකේ සභාපතිවරයා වුණේ ජනාධිපතිවරයා. ඒකේ ලංකාවේ පළමු හා අවසාන වතාවට එක් ශිෂ්‍ය නියෝජිතයෙක් හිටියා. ඒ මම. මට කාර් එකක් පවා රජයෙන් දීලා තිබුණා. මගේ කාමරේට ටෙලිෆෝන් එකක් හයිකරලා තිබුණා.

සයිටම් එක ආරම්භ වුණේ ඔබේ කාලයේ නේද?

ඔව්. මම තමයි ඒකට උපාධි ප්‍රදානය කිරීමේ බලය ගැසට් එකක් මඟින් දුන්නේ. 

ඔය වෛද්‍ය උපාධිය ප්‍රදානය කිරීමේ බලය දීම නේද මේ ගැටලුවට මුල?

නෑ. මෙතන කිසි ගැටලුවක් නෑ. මට තව දෙක තුනකට දීගන්න කාලය තිබ්බේ නෑ. නැත්තම් තව පහක්වත් දෙනවා. අපි ඉංජිනේරු උපාධිය පිරිනමන්න ආයතන 7කට දීලා තියෙනවා. මමයි ඒ 7ම ගැසට් කළේ.

ඔබ මේ ළඟදි වෛද්‍ය පීඨ පීඨාධිපතිවරැන්ගේ දරුවන් ගැන කළ ප්‍රකාශය මඩක්ද?

කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිගේ දරුවා නේපාලයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය හදාරනවා. එයාගේ සැමියා වැඩ කරන්නේ මැලේසියාවේ. එයා මෙහෙන් ළමයි අරගෙන ගිහින් මැලේසියාවේ වෛද්‍ය පීඨවලට දාන එක්කෙනෙක්. රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිගේ දරුවත් එහෙමයි.

මේ නිදහස් අධ්‍යාපනය රැකගන්න නේද රාජ්‍ය විශ්ව විද්‍යාලවල දරුවන් පාරට බැහැලා තියෙන්නේ?

මේ නිදහස් අධ්‍යාපනය නැති කරන්න කරන දෙයක්. 

රජයේ වෛද්‍යවරු හා වෛද්‍ය සිසුන් චෝදනා කරනවා ඉස්සරහට සයිටම් වෛද්‍යවරු නිසා ලෙඩ්ඩු මැරේවී කියලා?

මෝඩයෝ නේ. සයිටම් නෙවෙයි, ඔය පාදෙණියලා එහෙම විභාග සමත් වුණ ආකාරය පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට ඔය ප්‍රමිතිය ගැන දැනගන්න පුළුවන්.

 විමුක්ති රත්නමලල
සේයාරුව | සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00