2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

රූපවාහිනී සභාපති තනතුරට ජනපති - අගමැති ගුවන් ගැටුමක

ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය අතර ජාතික රූපවාහිනී නාලිකාව වන ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාව සම්බන්ධයෙන් ගැටුමක් හටගෙන තිබේ. ඇතැම් නිලධාරීන් මෙය හඳුන්වන්නේ ගුවන් යුද්ධ (Air Wars) වශයෙනි.

සංස්ථා සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී සභාපති ධූරයෙන් ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය මහතාට අවශ්‍ය විය. ඒ තනතුර සඳහා මාධ්‍යවේදී, ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ශාන් විජේතුංග පත්කිරීම අග්‍රාමාත්‍යවරයාගේ අවශ්‍යතාව වී තිබිණි. කෙසේ වුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණේ ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ධූරයෙන් ඉවත් කිරීමට බලපෑ හේතූන් මොනවාදැයි තමාට දැනගැනීමට අවශ්‍ය බවත් තමා එම ධූරය වෙනස් නොකරන බවත්ය.

අග්‍රාමාත්‍යවරයා ද සහභාගී වී සිටි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ව්‍යාපාරය එළිදැක්වූ උළෙල සජීවී ලෙස විකාශ්‍ය කිරීමේදී ප්‍රමාණවත් තරමින් අග්‍රාමාත්‍යවරයා නොපෙන්වූ බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනිය අග්‍රාමාත්‍යවරයා වෙත කනගාටුව ප්‍රකාශ කළේ ඊට කලින් සතියේදීය. ඒ බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් වාර්තා කෙරිණි.

ඉකුත් සතියේ කැබිනට් රුස්වීම් අවසානයේදී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ සහ යූ. එන්. පී. සභාපති කබීර් හෂීම් මහත්වරු මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවූහ. ජනාධිපතිවරයා රැඳී සිටි ඉහළ මාලයේ කාර්යාලයට ඔවුන් යනවිට යූ.එන්.පී නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ජනාධිපතිවරයා සාකච්ඡාවක යෙදී සිටියේය. අගමැති සහ යූ.එන්.පී. සභාපති විසින් අදාළ ප්‍රශ්නය ජනාධිපතිවරයා වෙත එහිදී යොමු කෙරිණි.

ඊළඟ සතියේදී ජනාධිපතිවරයා සියලු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් හමුවිය. රෑපවාහිනී සංස්ථාවේ ආදායම් පහළ බැසීමෙන් ආයතනය බලවත් මූල්‍ය දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවත් සේවක වැටුප් ගෙවා ගැනීමට පවා ගැටලු මතු වී ඇති බවත් එහිදී ජනාධිපතිවරයාට දැනගන්නට ලැබිණි.

ඉනෝකා සත්‍යාංගනී රෑපවාහිනී සභාපති තනතුරට පත්කරෙනු ලැබුවේ මංගල සමරවීර මහතා මාධ්‍ය ඇමැති වශයෙන් පත්කරනු ලැබීමෙන් පසුවය. ජනාධිපතිවරයා පසුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමක් පරිදි අමාත්‍ය මංගල සමරවීරගෙන් මාධ්‍ය අමාත්‍ය ධූරය ඉවත් කරන ලද බවය.

- සන්ඩේ ටයිම්ස්

මහින්දගේ දත

ඉකුත් සතියේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුවේ සංචාරයක යෙදී සිටි අවස්ථාවේ දතක ආබාධයක් පැන නැගිණි. ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පොළොන්නරුව රජයේ රෝහලට යාමට ඔහුට සිදුවිය. එහිදී දන්ත වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රතිකාර ලබාදුන්හ.

ඒ අවස්ථාවේ තමන්ට හමු වූ පිරිසට රාජපක්ෂ මහතා පැවසුවේ පොළොන්නරුව රෝහලෙන් ලබාදුන් සේවය &විශිෂ්ට තත්ත්වයක පැවැති බවත් කාර්ය මණ්ඩලය ඉතාම ආචාරශීලී වූ බවත්ය.

එය ජනාධිපති මෛතීපාල සිරිසේන මහතාට ලැබුණු නම්බුනාමයක් විය. ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිවරයා වී සිටි අවධියේ මෙම රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීමට ඔහු පියවර ගෙන තිබිණි. ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේ පොළොන්නරැව දිස්ත්‍රික්කයෙනි.

- සන්ඩේ ටයිම්ස්

ගෝඨාභයගේ නඩු දෙක

ගෝඨාභය රාජපක්ෂ මහතාට අමෙරිකාවේදී සිතාසි හෝ නොතීසි බාර දීම මෙරට දේශපාලන කරළිය තුළ ලොකු කැළඹීමක් ඇති කරනු ලැබ තිබේ. ඔහු අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන කටයුතු අවසන් කරගත් බවටත් අදාළ අයැදුම්පත මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයට බාර දී ඇති බවටත් ඇඟවෙන පුවත් පසුගිය සති කිහිපය තුළදීම මෙරට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එම පසුබිම තුළ ගෝඨාභය අමෙරිකාවේ සංචාරයක යෙදීම මෙරට දේශපාලන වේදිකාවේ ප්‍රබල කතිකාවක් ඇති කර තිබිණි. මීළඟ ජනාධිපතිවරණයේදී මහින්දගේ ආශිර්වාදය ඇතිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනාධිපති අපේක්ෂකයා වන්නේ ගෝඨාභය බවට බොහෝ දෙනා තුළ තිබෙන බලාපොරොත්තුව මේ කතිකාවට ලොකු උත්තේජනයක් සපයා තිබිණි.

කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සංචාරයක යෙදීමට තෝරාගත් කාල සීමාව දේශපාලන වශයෙන් කිසිසේත් යහපත් නොවන බව බොහෝ දෙනකුගේ පිළිගැනීම විය. රාජපක්ෂ පවුලේ ඇතැම් සාමාජිකයන් ද මේ ගමනට කැමැත්ත පළ නොකළ බවත් අමෙරිකාවේදී තමන් ළඟට නොගත යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් අවවාද පවා ලබා දී තිබූ බවත් දැනගන්නට තිබේ. මෙය දේශපාලන වශයෙන් තීරණාත්මක කාලසීමාවක් බැවින් ශ්‍රී ලංකාවේ රැඳී සිටීම වඩාත් උචිත යැයි ඔහුට දැනුම් දී තිබූ බව කියයි.

ගෝඨාභය අමෙරිකාවට ගිය හේතුව කුමක් වුවද එය පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුතුවලදී අදාළ නැති බව පැහැදිළිය. ඔහු ගමනේ යෙදී තිබුණේ අමෙරිකානු පාස්පෝට් එක භාවිත කරමිනි. මේ නිසා කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි සුප්‍රකට ට්‍රේඩර් ජෝ සුපර් මාර්කට් ජාලයේ සාප්පුවක රථවාහන අංගනයේදී නඩුවක නොතීසිය භාරදුන් අවස්ථාවේ ඔහු අමෙරිකානු පුරවැසියෙකි. අදාළ නොතීසිය ඝාතනය කෙරුණු ලසන්ත විකුමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග තම පියාගේ මරණය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියා දිස්ත්‍රික් උසාවියක පැවරූ නඩුව සම්බන්ධයෙනි. කැලිෆෝනියා නීතියට අනුව නොතීසි බාර දීමට පෞද්ගලිකව ආයතන නිලධාරියකුගේ සේවය ලබාගත හැකිය.

එදා ට්‍රේඩර් ජෝ රථ ගාලේදී සිදු වී තිබුණේ එකී නියමිත ක්‍රියාපටිපාටිය ක්‍රියාවට නැංවීමයි.

කැලිෆෝනියා අධිකරණයේම තවත් නඩුවක් ගෝඨාට එරෙහිව පවරා තිබෙන අතර එය පවරා ඇත්තේ රෝයි සාමදානම් නැමැති ශ්‍රී ලාංකිකයකු වන දැනට කැනඩා පුරවැසියකු විසිනි. 2007 සැප්තැම්බරයේදී තමන් අත්අඩංගුවට ගෙන කායික හා මානසික වධ බන්ධනවලට ලක්කළ බවට එමඟින් චෝදනා කර තිබේ.

මේ නඩු දෙක මේ ආකාරයට පවරා ඇත්තේ ගෝඨාභය තවමත් අමෙරිකානු පුරවැසියකු බැවිනි. එහෙත් එම නඩුවට පෙනී සිටිනවාද නැද්ද යන්න තීරණය කිරීමට ගෝඨාභය මහතාට අවස්ථාව තිබේ. එසේ ඔහු නඩුවට පෙනී නොසිටිය ද ඔහු අනභිමුඛයේ නඩුව විභාග කිරීමට හැකියාව තිබේ. ගැටලුව ඇත්තේ මේ නඩු දෙක ඔහුගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ක්‍රියාවලියට කෙසේ බලපානු ඇතිද යන්නය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00