2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

නින්ද සහ රිය අනතුරු

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 137

අලුත් අවුරුද්දක ලොකුම ප්‍රවෘත්තිය ලෙස මාරක රිය අනතුරක් පිළිබඳ අසන්නට ලැබීමත් අවාසනාවකි. එහෙත් එකී අවාසනාවන්ත ප්‍රවෘත්තිය අපට මෙවර අසන්නට සිදුවිය. දසදෙනකු මරාගනිමින් බදුල්ල ජාතික පාසල ඉදිරිපිටදී පසුගිය 17 වැනිදා අලුයම සිදු වූ බස් - වෑන් අනතුර ඒ ප්‍රවෘත්තිය විය. මියගිය පිරිස අතර කුඩා දැරියන් තිදෙනකු සිටීම මේ අනතුර පිළිබඳ ප්‍රවෘත්තියට වඩාත් සංවේදී බවක්, කම්පනයක් එකතු කර තිබිණි.

අලුත් අවුරැදු කාලය තුළ මේ අනතුර ඇතුළු සෙසු මාර්ග අනතුරැවලින් මියගිය පිරිස 42ක් බවද සඳහන් වෙයි. එතරම් සංඛ්‍යාවක් මියයන විට ඊට කිට්ටු සංඛ්‍යාවක් තුවාල ලබා සිටින බව අමුතුවෙන් පැවසිය යුතු නැත. සතියක් වැනි කාලයක් ඇතුළත මාර්ග අනතුරැවලින් මේ තරම් විනාශයක් සිදුවීම වළක්වා ගත නොහැකි වූයේ මන්දැයි සිතා බැලීම අවශ්‍යය. එහෙත් රිය පැදවූ පිරිස අතේ ද වැරුද්දේ සෑහෙන වගකීමක් තිබෙන බවත් ඒ සමඟ පැවසිය යුතුය.

බදුල්ලේ මහා අනතුර සිදු වූ ආකාරය මේ රටේ බොහෝ දෙනා විශේෂයෙන් රිය පදවන පිරිස දැන සිටිය යුතු බව අපි විශ්වාස කරමු. අනතුර සිදුවන්නේ අලුයම 1.30ට පමණය. මහ රූ බස් රථ ධාවනය වීම අරැමයක් නොවුණ ද විනෝද ගමන් යන වෑන් රථ මහ රෑ යාමයේ ධාවනය වීම නම් මාරක අනතුරැවලට අත වැනීමකි. ප්‍රධාන නගරවල සිට දුර පළාත්වලට සහ දුර පළාත්වල සිට ප්‍රධාන නගරවලට මගී බස් රථ මහ රෑ සහ අලුයම් කාලයේ ධාවනය කිරීම අප දන්නා කාලයක සිටම සිදුවන්නකි. ඒවාද අනතුරැවලට ලක්වන අවස්ථා තිබෙන නමුත් වෙනත් පෞද්ගලික වෑන් රථ සහ කාර් රථ ද මෝටර් සයිකල් ද මහ රූ සහ අලුයම් කාලයේ අනතුරැවලට ලක්වීම තරම් ඒ සිදුවීම් සුලභ නැත. දැන් අපට බොහෝ විට අසන්නට ලැබෙන්නේ  මහ රෑ සහ අලුයම් කාලයේ වෑන් - කාර් - මෝටර් සයිකල් අනතුරැවලට ලක්වීමත් ඒ හේතුවෙන් මිනිස් ජීවිත හානි වීම් සහ බරපතළ තුවාල වීම් සිදුවීමත් බහුලව සිදුවන බවය. මෙය වළක්වා ගතයුතු ඛේදවාචකයකි.

අදාළ බොහොමයක් මාරක අනතුරු සිදු වී ඇතැයි පැවසෙන්නේ රියදුරැට නින්ද යාම හේතුවෙන් බව සඳහන් වෙයි. රියදුරන්ට නින්ද යන්නේ මහ රූ සහ අලුයම් කාලයේ ධාවනය කිරීමේදී බව පැහැදිලිය. හදිසි ගමනකදී රාත්‍රී කාලයේ වාහනයක ගියත් විශාල පිරිසක් ද සමඟ විනෝද ගමන් යාමේදී රාත්‍රී සහ අලුයම් කාලය යොදවා ගැනීමෙන් වැළකී සිටිය හැකිනම් එය මෙවැනි මාරක අනතුරු අඩු කරගැනීමට හේතුවක් වනු ඇත. මේ ගමන්වලදී වෑන් රියේ හෝ කාර් රථයේ සිටින සෙසු පිරිස නොදැනුවත්වම නින්දට වැටෙන අතර රියැදුරුට ද සිදුවන්නේ ඉබේම නින්දට වැටීමය. ඊළඟට සිදුවන්නේ මහා වින්නැහියකි. රාත්‍රී ගමන්වලදී රියැදුරුට නින්ද යාමෙන් වළක්වා ගැනීමට ක්‍රමයක් යොදා ගත නොහැකි නම් එවැනි ගමන්වලින් වැළකීම ගතහැකි හොඳම ක්‍රියාමාර්ගයයි. නමුත් අවාසනාව වන්නේ බොහෝ දෙනකුට හොඳම ක්‍රියාමාර්ග සිහියට නැගෙන්නේ වෙන්න ඕනෑ දේ වුණාට පසුව වීමය. අනෙක් අතට රියදුරන්ගේ වගකීම ද වන්නේ තමන්ට රාත්‍රී කාලයේ හෝ අලුයම් කාලයේ ධාවනය කිරීමේදී නිදිමත දැනෙන්නේනම් ඒ බව සෙසු පිරිසට පවසා වාහනය නවත්වා නිදා ගැනීමය. එම තීරණය ජීවිතයත් මරණයත් අතර ඇති එකම විසඳුම බව තේරැම් ගැනීම අවශ්‍යය.

හදිසි අනතුරැ වළක්වා ගැනීම සඳහා රථ වාහන පොලීසියේ උකුසු ඇස පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා අනිවාර්යයෙන්ම රියැදුරන් තුළ ස්වයං විනයක් පැවැතීම අත්‍යාවශ්‍ය වෙයි. වයසින් තරැණ වුවද තෙහෙට්ටුව සහ නිදිමත මගහැර යා නොහැක. තවත් කාරණාවක් වන්නේ අධික වේගයෙන් රිය පැදවීමය. බොහොමයක් වාහන අනතුරැවලදී ජීවිත හානි වඩාත්ම සිදුවන්නේ අධික වේගය හේතුවෙන් රියේ පාලනය ගිලිහී යාමය. මෙහිදී ද රියැදුරා පිම්මේ යනවානම් ඔහුට ඒ පිළිබඳව දැනුම් දීම වාහනයේ ගමන් ගන්නා සෙසු පිරිසගේ ද වගකීමක් වෙයි. රියැදුරු සහ වාහනයේ ගමන් කරන සෙසු පිරිස අතර පවතින එවැනි සබඳතා අනතුරු වළක්වා ගැනීමට ප්‍රධාන සාධකයක් සේ ක්‍රියාකරන බව තේරැම් ගත යුතුය.

මෙහිදී විශේෂයෙන් අවධානයට ගතයුතු කාරණාවක් වන්නේ හදිසි අනතුරක් සිදු කිරීමෙන් පසුව ඒ ගැන නිදහසට කරුණු කීමෙන් පළක් නොවන බවය. එසේම නින්ද යාම හදිසි අනතුරක වගකීමෙන් මිදීමට හේතුවක් නොවන බවය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ බොහෝ රටවල නින්ද යාම හේතුවෙන් රිය අනතුරැ සිදු කරන රියැදුරන්ගේ බලපත්‍රය තහනම් කරන නීති පනවා තිබෙන බවය. එහෙත් අපේ රටේ එවැනි තද නීති ක්‍රියාත්මක වන්නේ නැත. අධික වේගය, බීමතින් රිය පැදවීම වැනි රථ වාහන වැරදිවලට පනවා ඇති දඩ මුදල් වැඩි කිරීමට නීති සකස් වෙමින් තිබුණත් නින්ද යාම හේතුවෙන් සිදුවන රිය අනතුරැවලදී රියැදුරැ ජීවිතය බේරාගෙන සිටියොත් එවැනි රියදුරන්ට එරෙහිව ක්‍රියාත්මක වන කිසිදු නීතියක් නැත. එය බලවත් අඩුපාඩුවක් බව පෙන්වා දිය යුතුය.

අවසානයේ කිව යුතු වන්නේ රටක රිය අනතුරැ බහුල වීම අදාළ රටේ ආර්ථික සහ සමාජයීය ගැටලු ද ඇති කරන බවය. අනතුරැ නිසා සිදුවන ජීවිත සහ දේපළ හානිය ද තුවාල ලබන පුද්ගලයන් නිසා දරු පවුල්වලට ඇතිවන පීඩනය ද මෙයට හේතු වෙයි. මේ තත්ත්වය වළක්වා ගැනීමට රියදුරන් තුළ ස්වයං විනය ඇතිකරගැනීම වඩා වැදගත් බව පැහැදිලිව පෙනී යයි. රථවාහන පොලිස් නිලධාරීන් පාරේ දකින විට පමණක් නීතිගරැක වන, අනෙකුත් වේලාවට මාර්ග නීති ගණන් නොගෙන රිය පදවන රියැදුරන් මෙහිදී වඩාත් සැලකිලිමත් වීම අවශ්‍ය බව පෙන්වා දීමට කැමැත්තෙමු.