2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

විගණන පනතට එරෙහි වෙන්නෙ හොරු

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 496

බරපතළ මූල්‍ය වංචා පිළිබඳ ජනාධිපති කොමිසමේ ආරම්භක ලේකම්වරයා වූයේ ලැසිල් ද සිල්වා මහතාය. මේ වනවිට ඔහු එහි සේවය නොකළ ද කොමිසමේ අතීත අත්දැකීම් සහ ආණ්ඩුවේ නව දේශපාලන ගමන් මාර්ගය පිළිබඳව ඒ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.

 

ඔබ බරපතළ වංචා පිළිබඳ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම්. නැවත හැරිලා බලද්දි ඔබට මොකද හිතෙන්නේ?

ඇත්තටම නව රජය පත්වෙනකොට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පොරොන්දුවක් දුන්නා මේ දූෂණ වංචාවලට තිත තබනවා කියලා. විශේෂයෙන් දේශපාලනඥයන්ගේ මඩි තර කරන ක්‍රමවේදය අවසන් කරනවා කියලා පොරොන්දු වුණා. ඒ සඳහා ඉතාම ශක්තිමත් ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවන බවත් පැවසුවා. විශේෂයෙන් ඒ වෙනකොට රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට දේශපාලන ඇඟිලි ගැසීම් වැඩිවෙලා තිබුණේ. ඒ සියලු දේවල්වලින් මිඳිලා වැඩ කරන්න පුළුවන් යාන්ත්‍රණයක් සහිත කොමිසමක් හදන එක තමයි මට පැවරිලා තිබුණු රාජකාරිය. මම ඒ දේ සිදුකළා. මාව ඉවත් කරන කොට නිවැරදි යාන්ත්‍රණයකට කොමිසම වැඩ කරමින් සිටියේ.

එහෙනම් ලැසිල්ව එලෙව්වේ ඇයි?

ඒක ඇයි කියන්න මම දන්නේ නෑ. ඒත් මම නිවැරදි ලෙස වැඩ කළා. ඒ ගැන ගොඩක් සතුටුයි.

ඔබ කොමිසමේ හිටියට වඩා දැන් ගොඩක් සතුටෙන්ද ගෙදර ඉන්නේ?

ඇත්තටම සතුටක් තියෙනවා මේ නිදහස ගැන. හැබැයි රට ගැන හිතද්දී මට දැනෙනවා තවත් මේ රටට සේවයක් කරන්න පුළුවන්කමක් තිබ්බානම් හොඳයි කියලා. ඒක ඊටත් වඩා සතුටුයි.

ඔබ වැඩ කරපු කොමිසමේ අද තත්ත්වය දැක්කම මොකද හිතෙන්නේ?

මෙහෙමයි. රාජ්‍ය මුදල් වැය කරලා තමයි ඔය කොමිෂන් නිර්මාණය කරන්නේ. රාජ්‍ය මුදල් එහෙම යොදවන කොට ඒ වියදමට එහා ගිය ප්‍රතිලාභයක්, ප්‍රතිඵලයක් අපි දෙන්න ඕන රජයට. ඒක අපේ වගකීමක්. සමස්තයක් හැටියට ගත්තාම මට කියන්න තියෙන්නේ අද එම කොමිසම තුළ සතුටුදායක තත්ත්වයක් නෑ කියලා. ඒ වගේම ප්‍රතිඵල පේන්න නැ කියලා.

මොකක්ද ඒකට හේතුව කියලා ඔබ හිතන්නේ?

ජනාධිපතිවරණයේ ප්‍රධාන අරමුණ තිබ්බේ මේ දූෂණ වංචා හොයලා ඉක්මනින් රටට ප්‍රතිඵල පෙන්වන එක. ඒ දවස්වල එතුමා මාව හමුවුණාමත් කියනවා මේ කොමිසමේ තිබෙන යාන්ත්‍රණය හොඳයි. හැබැයි යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක ගැන ගැටලුවක් තිබෙනවා කියලා.

ඔබ ඉන්න කාලයේ ඔය යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වුණාද?

ඇත්තටම ඔව්. ඉහළ මට්ටමක ඒක ක්‍රියාත්මක වුණා. ඒක රටේ මහජනතාවත් දන්නවා. අපි කරපු ඇතැම් පරීක්ෂණ නිසා මහජනතාවට රජය ගැන විශ්වාසයක් තිබ්බා. ඒ වගේම රජයට ශක්තියක් වුණේ අපි පොරොන්දු ඉටුකරන ආයතනයක් හැටියට. අද එහෙම එකක් නෑ. මේ රජයේ ආරම්භයේදී අපි කරපු දේවල් නිසා රජය බැබලුණා. ඒත් දැන් වෙන කිසි දෙයක් පැහැදිලි නෑ. සම්පූර්ණයෙන් කඩා වැටිලා තියෙන්නේ මේ කොමිසම. ඒ විතරක් නෙමෙයි, රජයේ දූෂණ විරෝධී අරමුණත් කඩා වැටිලා වගේ තමයි මට පේන්නේ.

ඔබ දූෂණ වංචාවන් අල්ලන කොමිසමක හිටපු අයෙක් හැටියට මේ රජයට ඔය කියන පැහැදිලි වුවමනාවක් තිබ්බද දූෂණයට වැට බඳින්න?

මම හිතනවා සියයට සියයක පැහැදිලි වුවමනාවක් තිබෙනවා ජනාධිපතිවරයාට දූෂණය පිටු දකින්න. ඒකට හොඳම උදාහරණය තමයි මම අවශ්‍ය පොලිස් නිලධාරීනුයි, වාහනයි ඉල්ලලා ජනාධිපති ලේකම් කාර්යාලයට දැන්නුවා. ඒත් ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිම නිලධාරියෙක් ඊට සහය දුන්නේ නෑ. ඊට පස්සේ ජනාධිපතිවරයා හමුවුණාම තමයි මට ඒ අවශ්‍ය කරන දේවල් ලබලා දුන්නේ. ඒ වගේම මට යම් ප්‍රශ්නයක් වුණත් ජනාධිපතිවරයාට දැනුම් දුන්නම ඉක්මනින් ඒ සඳහා විසඳුම් ලබාදුන්නා.

මොකක්ද අර ඔබ කිව්ව ජනාධිපති ලේකම් කාර්යාලයේ ගැටුම?

මම පැහැදිලිව කියනවා ඔවුන් මට සහයෝගය ලබාදුන්නේ නෑ. විශේෂයෙන් ලේකම් කාර්යාලයේ වැඩ කරන කිහිප දෙනකුට විරුද්ධවත් පරීක්ෂණ තිබ්බා. ඒ ඉස්සෙල්ලා ආණ්ඩුවේ සිදුවුණු දූෂණ වංචා සම්බන්ධයෙන්. මම බොහෝ අවස්ථාවල ඒ පරීක්ෂණවලට සහයෝගය ඉල්ලලා ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපි යැව්වා. කිසිදු සහයෝගයක් ලබාදුන්නේ නෑ. 

මේ බව  ඔබ ජනාධිපතිවරයාව දැනුම්වත් කළේ නැද්ද?

දැනුම්වත් කළා. මම එතුමාට කිව්වා මෙහෙම දේවල් වෙනවා කියලා. ඒ නිසා ඔබතුමාගේ නමත් කැත වෙනවා කියලා කිව්වා. පරිස්සම් වෙන්න කියලත් මම දැනුම් දුන්නා.

දැන් ඔබ කියන ආකාරයට ජනාධිපතිවරයාට විතරද වුවමනාවක් තිබ්බේ දූෂණය පිටු දකින්න. අගමැති ප්‍රමුඛ කැබිනට්ටුවට එහෙම කැමැත්තක් නැද්ද?

සමහර ආණ්ඩුවේ ඇමැතිවරු මට කතා කරලා කිව්වා ලැසිල් ඔයා ඔහොම කරන්න එපා කියලා. බාධා කිරීම් කළා. බලපෑම් කළා. නමුත් ඒවා ඉවසගෙන වැඩ කළා. සමහර ඇමැතිවරු දුරකතන ඔස්සේ ඉල්ලීම් කළා. නමුත් මම ඒ දේවල් අහගෙන හිටියා විතරයි. ඉෂ්ඨ කරන්න ගියේ නෑ.

එතකොට ඔබ කියන්නේ මේ ආණ්ඩුවේ හොරු රකින අය ඉන්නවා කියලද?

මේ තත්ත්වය ඇතිවුණේ මහ මැතිවරණයෙන් පස්සේ සිදුවුණු වටපිටාවත් එක්ක. විශේෂයෙන් දූෂණය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වෙච්ච අය පාර්ලිමේන්තුවට ආවා. ඇතැම් අයට ඇමැතිකම් පවා ලැබුණා. මේ අයට විරුද්ධවත් අපි පැමිණිලි විභාග කළා. වි‍ශේෂයෙන් රාජ්‍ය මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් වගේ කාරණා ගැන. මේ නිසා ඇතැම් අයට ප්‍රශ්න තිබ්බා. තවමත් ප්‍රශ්න තියෙනවා. ඒත් මම කවදාවත් ඒ පරීක්ෂණ දියාරුවෙලා යන්න ඉඩ දුන්නේ නෑ.

ඔබ විශාල වෙහෙසක් ගත්තා මේ කොමිසමට බලතල ලබාගන්න. ඇයි ලබාගන්න බැරිවුණේ?

මට කොමිසම ලැබෙන කොට බලතල තිබ්බේ 2010 ජනවාරි ඉඳලා 2015 ජනවාරි දක්වා අතර සිදුවූ දූෂණ ගැන හොයන්න. ඒත් මට විශාල වශයෙන් පෙත්සම් ලැබිලා තිබ්බා මේ ආණ්ඩුවේ අය ගැනත් හොයන්න. ඇතැම් පෙත්සම් මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ සිදුවුණු දූෂණ වංචා ගැන. ඒ නිසා මට වුවමනාවක් තිබ්බා ඒ පෙත්සම්වලටත් සාධාරණයක් ඉෂ්ඨ කරන්න. ඒත් ඒ බලතල ලැබුණේ නෑ. හැබැයි දුන්නා නම් ඉතා වටිනවා. එහෙම වුණානම් නීතිය ඉදිරියේ සාධාරණ වෙනවා. පිරිසකට විතරක් නෙමෙයි, අපි හැමෝටම විරුද්ධව කටයුතු කරනවා කියලා රටේ මතයක් හැදෙනවා.

ඔබට හිතෙන හැටියට මේ ආණ්ඩුවට දූෂණ මර්දනය කරගන්න බැරිතරම් තැනකට වැටිලා තියෙන හේතුව මොකක්ද?

ප්‍රධාන වශයෙන් මට පේන්නේ රටට පොරොන්දුවක් දුන්නම ඒ පොරොන්දුව ඉෂ්ඨ කරපු දේශපාලනඥයන් මෑත ඉතිහාසයේ බිහිවෙලා නෑ. එලෙස පොරොන්දු කැඩීම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය කාලයෙත්, මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේත් සිද්ධ වුණා. එවැනි පසුබිමක් තුළ මෙලෙස සිදුවීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම අපේ නීති පද්ධතිය තුළත් යම් යම් දෝෂ සහිත තැන් තියෙනවා. මේ නිසා ඇතැම් පරීක්ෂණ අතරමගදී නවතිනවා. ඒ වගේම ඇතැම් දූෂණ චෝදනාවලට සම්බන්ධ මන්ත්‍රීවරු කාලයකදී ආණ්ඩුවට එකතුවෙනවා. ඒ නිසාත් දූෂණ මර්දන වැඩපිළිවෙළවල් ඇන හිටිනවා. මේ ආණ්ඩුවටත් මට හිතෙන්නේ එහෙම තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ කියලා.

ඔබ හිටිය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක්. මේ ආණ්ඩුවේ ඇතැම් අය පහුගිය කාලයේ රාජ්‍ය නිලධාරීන්ට යම් යම් බලපෑම් කරන්න ගත්තා. විශේෂයෙන් විගණකාධිපතිවරයාට වගේ අයට. මොකක්ද ඒ ගැන අදහස?

අපි විගණකාධිපතිවරයා ගැන කතා කරමුකෝ. දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක විගණකාධිපතිවරයා ස්වාධීන බවට පත්කළා. ඒක මේ රජය ගත්ත ප්‍රශංසනීය පියවරක්. ඒකෙම දිගුවක් තමයි විගණන පනත. ඒ පනතේ තියෙන වගන්ති 57න් හතළිස් ගණනක්ම මේ ආණ්ඩුවේ අය විසින් දියාරු කරන්න යනවා. බලාපොරොත්තු වුණේ 19 වැනි සංශෝධනයෙන් පස්සේ විගණන පනත සම්මත කරගන්න.  ඒත් මාස ගාණක් ගිහිල්ලා තවම කරගන්න බැරිවෙලා තියෙනවා. ඒකට මූලික හේතුවක් තියෙනවා. මේ විගණන පනතට එරෙහි වෙන්නේ හොරු. එහෙම නැත්නම් දූෂිතයෝ ඒ වගේ අය තමයි මේ විගණකාධිපතිවරයාව විවේචනය කරමින් පහර ගහන්නේ. මෙතන කියන විදිහට එයාලගෙන් අහලා තමයි වැඩ කරන්න ඕන. එතකොට පනතකින් පවරලා තියෙන බලතල වත් ක්‍රියාත්මක කරන්න අයිතියක් ලැබිලා නෑ. එහෙම වැඩකරන්න බෑ.

හැබැයි යහපාලන අණ්ඩුව ආරම්භ කළේ ඒ ස්වාධීනත්වය අගය කරන්න?

ඔය යහපාලන කියලා පටන් ගත්ත ජාතික ආණ්ඩු සංකල්පයත් නීතියට පටහැනියිනේ. මේ අය කියන විදිහට ප්‍රධාන පක්ෂ දෙකක් එකතු වුණාම ජාතික ආණ්ඩුවක් බිහිවෙනවා වගේ. නමුත් ඒක එහෙම නෙමෙයි. ආණ්ඩුවක් පිහිටුවන්න බහුතරය හදාගන්න පක්ෂ දෙක එකතු වුණත් ඒක ජාතික ආණ්ඩු සංකල්පය යටතට ගන්න බෑ. ඒ නිසා මේ ආණ්ඩුවත් පොරොන්දු දුන්නා. ඒවා උපරිම මාස දෙකයි, තුනයි. දැන් ඒ ස්වාධීන බව පොරොන්දු ඉටුකිරීමේ කැමැත්ත ආණ්ඩුව තුළ පෙන්න නැහැ. ඒවා දියාරුවෙලා.

ඔබ කියන විදිහට මේ රාජ්‍ය නිලධාරීන් සුදෝ සුදු චරිතද?

රාජ්‍ය සේවා කොමිසන් සභාව 1972 අහෝසි කළා. නැවත එය පිහිටුවන්නේ 1978 ඒත් අර සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලැබිලා තිබුණු බලතල ඒ කොමිසමට පැවරැණේ නෑ. ආණ්ඩුව ව්‍යවස්ථාවේ 55 වැනි වගන්තියට අනුව රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් පත්කිරීමේ බලතල ලබාදීලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩලයට. ඒ නිසා රාජ්‍ය සේවය දිගින් දිගටම දේශපාලනඥයගේ අතකොලුවක් බවට පත්වුණා. රටක් හැටියට ඉස්සරහට යන්න නම් ශක්තිමත් රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍යයි. එතකොටයි රාජ්‍ය නිලධාරීන්ට කොන්ද පණ තියාගෙන වැඩ කරන්න පුළුවන් වෙන්නෙ. නමුත් දැන් වෙලා තියෙන්නේ අමාත්‍යංශයක ලේකම්වරයෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම දේශපාලනඥයෙක් පස්සේ යන්න ඕන. එහෙම නැතුව වෙන්න බෑ. කොච්චර දක්ෂයෙක් වුණත් දෙන්නේ නෑ.

ඔබ කියන ආකාරයේ ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති කරන්න මොනවද කරන්න ඕන?

විශේෂයෙන් රටට, ජනතාවට ආදරය කරන දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට ගේන්න ඕන. ඔවුන් හරහා රාජ්‍ය සේවය ස්වාධීන බව ඇති කරන්න පුළුවන්. නැත්නම් දූෂිත දේශපාලනඥයන් ආපුවම රාජ්‍ය නිලධාරීනුත් දූෂිත වෙනවා. රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනෙක් කරන්නේ ඔය දූෂිත දේශපාලනඥයන්ගේ නියෝග ඉටුකරන එක. අන්න එහෙම නොවෙන්න රජයක් හැටියට වගබලා ගන්න ඕන. එවැනි තත්ත්වයකට අනාගතය ගැන සුබපෙරනිමිති දකින්න පුළුවන්.


 ගයාන් ගාල්ලගේ
සේයාරුව | සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00