2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

සජිත් - කරු සහ සම්මාන ප්‍රදානය

යූ.එන්.පී. නියෝජ්‍ය නායක සහ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 30 වැනිදා මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මාහිමියන් විසින් “සාසන දීප අභිමානි ශ්‍රී ලංකා ජනරංජන ගෞරව සම්මානයෙන් පුදනු ලැබීය. එම උත්සවයේදී කැපීපෙනුණු සියුම් වෙනස්කම් කිහිපයක්ම දැකගත හැකිවිය.

ඊට පෙර සති කිහිපය තුළදීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගී වූ උත්සව ගණනාවකදීම සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ද දැකගතහැකි වූ අතර දෙදෙනා එකට ඡායාරෑප සහ වීඩියෝ ගත කිරීම් ද සිදුවිය. මහනුවර උළෙලට සහභාගී වීම සඳහා කොළඹින් පිටත්ව යාමට පෙර ජනාධිපතිවරයා උත්සවය සජීවී ලෙස විකාශය කරන ලෙසට රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට නියෝග කර තිබිණි. ධූරාවලියට අනුව එය පටහැණි දෙයකි. සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් ඇමැතිවරයකු පමණක් වන අතර ඔහු පක්ෂයේ නියෝජ්‍ය නායකයා ද බැවින් සජීවී විකාශයකට ඔහු සුදුසුකම් නොලබයි. මේ සජීවී විකාශය සඳහා ඉතා විශාල ගාස්තුවක් ගෙවනු ලැබුවද එය ඍජුවම රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ ගැටීමක් බැවින් එවැනි විකාශයක් සඳහා ඉහළම බලධාරීන්ගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍යය.

පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා ද මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මාහිමියන් විසින් මාර්තු මාසයේ 19 වැනිදා ගෞරව සම්මානයෙන් පුදන ලැබූ අවස්ථාවේදී දක්නට තිබුණේ මීට වඩා හාත්පසින්ම වෙනසකි. ඔහුට ලබාදුන් සම්මානය සාසන කීර්ති ශ්‍රී දේශාභිමානී නම් විය. ඊට පෙර විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන සහ සාරත දර්ශී ජනතා නායක යන ගෞරව සම්මාන දෙකින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් කරු ජයසූරිය මහතා පුදනු ලැබීය.
ඔහුගේ සම්මාන ප්‍රදානයට සජීවී විකාශයක් නොලැබිණි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කථානායකවරයා ධුරාවලියේ 3 වැනියාය. ජනාධිපති සහ අගමැති පමණක් ඔහුට ඉහළින් වෙති. එහෙත් ඔහුට සජීවී විකාශයක් නොලැබිණි.
සජිත් ප්‍රේමදාස මහතාගේ සම්මාන ප්‍රදානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ වම්පසින් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දකුණු පසින්ද සිටිමින් පන්සිල්හි පිහිටු වූ නමුත් කථානායකවරයාගේ උත්සවයේදී ඔවුහු එසේ නොසිටියහ. තම බෑණා වූ අමාත්‍ය සහ යූ.එන්.පී. ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ඔහුට පසුපසින් සිටියේය. ප්‍රේමදාස මහතාගේ සම්මාන උළෙලේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීමට සහාය දක්වන ඉදිරිපෙළේ පිරිසක් ද සහභාගී වී සිටියහ. ඔවුන් තම හිස් ඔසොවමින් ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම්වලට පෙනී සිටිනු දකින්නට ලැබුණි.

දින 10ක් තුළදී සිදුකෙරුණු සම්මාන පිරිනැමීමේ උත්සව දෙකේදී කථානායක ජයසූරියට වඩා අමාත්‍ය සජිත් ප්‍රේමදාසට වැඩිපුර අවධානයක් සහ වැදගත්කමක් ලබාදුන්නේ ඇයි?

- සන්ඩේ ටයිම්ස්

පොහොට්ටු - ශ්‍රීලනිප කතා නවතින හැඩයි

ශ්‍රීලනිප සහ ශ්‍රීලපො.පෙ. (පොහොට්ටුව) පසුගිය 10 වැනිදා සාකච්ඡාව සඳහා එකට අසුන් ගත් නමුත් දෙපාර්ශවය අතර එතරම් ඇයිහොඳයියක් පෙනුණේ නැත. පසුගිය දිනවල ඇති වූ දේශපාලන උණුසුම සහ ක්‍රියාකාරකම් ඊට බලපාන්නට ඇත.
අයවැයට ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාවේ ඡන්දය දීමෙන් වැළකී සිටීමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණය පොහොට්ටුවේ විරෝධයට ලක්විය. රන්ජිත් ද සොයිසා සහ ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රී බොහෝ පිරිසක් ශ්‍රීලනිපය සමඟ ඉදිරියේදී සාකච්ඡා පවා අවශ්‍ය නැතැයි කියා තිබිණි. ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස තීරණාත්මක අවස්ථාවලදී යූ.එන්.පීය සමඟ එකට සිටගන්නා බවට ඔවුන්ගේ අදහසක් තිබිණි.

තිලංග සුමතිපාල ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල ගන්නා දේශපාලන තීන්දුවල මතුපිට පෙනුමට වඩා ගැඹුරක් පවතින බවය. ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේ පිහිටුවූ අවස්ථාවේ යූ.එන්.පීයෙන් ඉවත් වී පැමිණි මන්ත්‍රීවරුන් 06 දෙනාගේ දේශපාලන අනාගතය පිළිබඳව ජනාධිපතිවරයා සිතා බැලිය යුතු බවද සුමතිපාල කීය. මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය ලබාදීමේදී ඉතාම වැදගත් භූමිකාව ඉටුකළේ ජනාධිපතිවරයා බව කිසිවකුත් අමතක නොකළ යුතු බවද ඔහු කීය.

ශ්‍රීලනිප මහාලේකම් දයාසිරි ජයසේකර මහතා මේ රැස්වීමට පැමිණියේ විනාඩි 40ක් ප්‍රමාද වීය. පොහොට්ටු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊට තම අකැමැත්ත පළකළේ මේ තරම් වැදගත් සාකච්ඡාවකට ප්‍රමාද වී පැමිණීම හොඳ නැති බව ප්‍රකාශ කරමිනි. ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මුලසුන දැරූ සාකච්ඡා මතකයට නැගෙන බවය. කුමාරතුංග මහත්මිය මහජන රැස්වීම්වලට පමණක් නොව නිල සාකච්ඡාවලට ද ප්‍රමාද වී පැමිණීමේ නරක පුරුද්ද සම්බන්ධයෙන් නම් දරා සිටියාය.

ජනාධිපතිවරයා තම පස් අවුරුදු ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් වන බවට දයාසිරි ජයසේකර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහාචාර්ය පීරිස් දැඩිව විරෝධය පළ කළේය. මෙය ජනාධිපතිවරණය කල්දැමීමේ උත්සාහයක් වශයෙන් හැඳින්වූ මහාචාර්ය පීරිස් ජනපතිවරයාගේ ධුර කාලය අවසන් වන දිනය 19 වැනි ව්‍යවස්ථාව අනුව ඉතා පැහැදිලි බවත් එය 2020 ජනවාරි 08 බවත් කී ඔහු මෙය පදනම් විරහිත තීරණයක් බවද සඳහන් කළේය.

දයාසිරි ජයසේකර එහිදී පිළිතුරු දුන්නේ ආරක්ෂාකාරී පිළිවෙතකිනි. එය තමන් කීමට අදහස් කළ දේ නොවන බවත් මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුරක් පමණක් බවත් ඔහු කීය.

දෙපාර්ශවය අතර මීළඟ සාකච්ඡාව මැයි මාසයේ දිනයක යොදාගැනීමට තීරණ කෙරුණද දෙපිරිස අතර පවතින විරසක භාවය නිසා සාකච්ඡා ඇනසිටීමට වඩාත් අවස්ථාවක් පවතින බව පැහැදිලිය.

- ඩේලිමිරර්