2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

අවුරුදු අපේක්ෂා

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

සිංහල සහ දමිළ අලුත් අවුරුදු උදාවත් සමඟ රටේ ජනතාව පසුවන්නේ ප්‍රබෝධමත් සිතකිනි. අතට මිටට රුපියල් සත තිබුණත් නැතත් මේ අලුත් අවුරුදු දවස් යැයි සිතීම පවා බොහෝ දෙනකුට සතුටක් ගෙන දෙයි. සල්ලිය බාගේ යහමින් තිබෙන පිරිසට නම් හැමදාම අවුරුදු වගේ වුණත් මේ දවස් වෙනදාට වඩා ප්‍රබෝධයකින් ගෙවී යන බව ඔවුන්ට වුවද දැනෙනු ඇත. කෙසේ නමුත් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව එළඹෙන ඊළඟ කාලසීමාවටද අලුත් අවුරුද්දේ ප්‍රබෝධමත් බව ගෙන යාමට හැකි නම් එය නියම අවුරැදු සැමරීමක් වනු ඇත. එහෙත් එසේ නොවන බව අපි අත්දැකීමෙන් දනිමු.

මාසික වැටුපෙන් දිවිගෙවන බොහෝ දෙනකුට ඊළඟ වැටුප ලැබෙන්නේ මැයි මාසේ අග භාගයේදීය. අලුත් අවුරැදු වෙනුවෙන් අප්‍රේල් මාසයේ වැටුප ද කලින්ම අතට ලැබීම ඊට හේතුවය. එසේ කලින් ලැබෙන වැටුප කලින්ම ඉවර කර ගැනීම නිසා බොහෝ දෙනකුට අවුරුදු මාසය අවසන් වනවිට සිදුවන්නේ ණය තුරැස් වීමටය. අවුරුද්දට ලැබුණු දේවල් කා, බී, ඇඳ පැළඳ ගැනීම පමණක් ප්‍රමාණවත් නැත. එතැනින් එහාට ද ජීවත් වීමට තිබෙන බවත් ඒ සඳහා මුදල් තිබීම අවශ්‍ය බවත් තේරැම් ගැනීම අවශ්‍යය. එහෙත් මේ වනවිට රට තුළ උද්ගතව පවතින බරපතළ ආර්ථික අහේනිය හේතුවෙන් මුදල් අවශ්‍යතාව කොතරම් තිබුණත් ඊට පිළියම් යොදාගැනීමට හැකියාවක් නොමැති වීම ලොකුම ගැටලුවය. ඒ තත්ත්වය බොහෝ කාලයක් තිස්සේ අපි අත්විඳිමින් සිටිමු. එහෙත් ඊළඟ අවුරුද්දේ හෝ මේ පඹගාලෙන් ගොඩ ඒමට කිසිදු සැලැස්මක් සකස් කිරීමට අපි සමත්ව නොසිටිමු. එහි වැරුද්ද රටේ පොදු මහජනතාවගේ නොව එකී ජනතාව විසින් තමන්ව පාලනය කිරීමට පත්කර ගන්නා ලද පිරිසගේ බව යළි යළිත් කිවයුතු නැත.

සැලසුම් හරියට සිදුවී නම් අලුත් අවුරුද්දේ ප්‍රධාන තැනක් හිමිවන වී ගොවියා මේ වනවිට සිටිය යුත්තේ ඉහළම තත්ත්වයේ අලුත් අවුරුදු සමරමිනි. එහෙත් එසේ සිදුවී නැත. බත බුලතින් සරු කතා කිව්වත් වී ගොවියා අදත් අලුත් අවුරුදු සමරන්නේ මීට පෙර වසරවලදී සැමරුවාක් මෙන්ම ඊළඟ කන්නයේ කුමක් කළ යුතුද යන දෙගිඩියාවෙනි. ඔවුන්ගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුමක් නැත. ඔක්කොම ලැබෙන්නේ පැලැස්තර විසඳුම් පමණි. වී වලට ලැබෙන සහතික මිල ගැන හැමදාමත් පවතින්නේ වාද විවාදය. ඒ අතරේ සීමිත ගොවි මහත්වරැන් පිරිසක් ආණ්ඩුවේ ගබඩාවලට සහතික මිලට වී ටික අලෙවි කර ගනිති. එහෙත් වැඩි දෙනකුට ඒ චාන්ස් එක ලැබෙන්නේ නැත. ඔවුන්ට වී විකුණා ගැනීමට සිදුවන්නේ පෞද්ගලික වෙළෙන්දා ඉල්ලන ගාණටය. මේ ක්‍රියාදාමයේ අවසානයේ සිටින සහල් පාරිභෝගිකයාට ද මෙයින් අත්වන වාසියක් නැත. සහල් මිල අඩුවන්නේ නැත. කන්න කිහිපයක් ඉඩෝරයට හසුවීමෙන් පසුව ලැබුණු වැසිවලින් අනතුරැව මෙවර කන්නය ඉතාම සරැසාර වීම හේතුවෙන් රටේ මෙවර වී නිෂ්පාදනය ඉතා ඉහළ මට්ටමක පවතී. එහෙත් ඒ හේතුවෙන් වී ගොවියාගේත් පාරිභෝගිකයාගේත් අලුත් අවුරැද්දෙන් පසුව කාලය වෙනස් නොවීම කනගාටුවට කරුණකි.

එළවළු ගොවීන්ගේ තත්ත්වය ඊට දෙවැනි නැත. ඔවුන්ට ඒ ඒ අවස්ථාවලදී කළ යුතු වගා පිළිබඳව උපදෙස් ලබාදීමට කෙනකු නැත. මීට පෙර ප්‍රකාශ වී තිබුණේ පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම හේතුවෙන් ප්‍රාදේශීය මට්ටමේ මන්ත්‍රීවරැන්ගේ පාලනය ගිලිහී යාම ඊට හේතු වූ බවය. දැන් පළාත් පාලන ආයතනවලට මන්ත්‍රීවරුන් තේරී පත්වී වසරකටත් වඩා වැඩිය. එහෙත් එළවළු ගොවීන්ගේ අලුත් අවුරුද්ද වෙනස් වී නැත. ඔවුන්ගේ ප්‍රශ්න එදා වගේම අදත් පවතී. මේ තත්ත්වය වෙනස් කර ගැනීමට නිසි පියවර ගත හැකි නම් එය ඊළඟ අලුත් අවුරුද්දේ විශාල වෙනසක් ඇති කිරීමට හේතුවනු ඇත. එහෙත් එවැනි බලාපොරොත්තුවක් හෝ තබාගැනීමට ඉඩක් නැති බව අපට පෙනෙන්නට තිබෙන සත්‍යයයි. කිරිගොවීන් සහ අලුතින් ගෙන්වූ කිරිහරක් අයිතිකරැවන් සම්බන්ධයෙන් කතා නොකිරීම වඩාත් සුදුසු යැයි ඒ සමඟම පවසමු.

මොනම රටක වුවද යටිතල පහසුකම් සපයා දීමට උරදෙන ප්‍රජාව ආර්ථික වශයෙන් ශක්තිමත් නොකර අලුත් අවුරුද්දේ ඉදිරියට යාමක් බලාපොරොත්තු වීම අසීරුය. ගොවීන්, කම්කරැවන්, රියැදුරන් (ලක්ෂ ගණන් පඩි ගන්නා දුම්රිය රියැදුරන් නොවේ) සුළු රැකියාවල නියුතුවුවන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කරන්නවුන්, මේ සියලු දෙනා එම කාණ්ඩයට අයත් වූවෝ වෙති. අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ කිසිවකු තුළත් අලුත් බලාපොරොත්තු ඇතැයි සිතීමත් අපහසුය. ඔවුන්ගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළ කොතරම් ඉදිරිපත් වුවද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොතිබීම ඊට හේතුවය. මේ පිරිසගේ ජීවිත ගොඩනැගීමට ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා තුරැ මේ ගැටලු විසඳෙන්නේ නැත. අඩුම තරමින් ලබන අලුත් අවුරැද්දේ හෝ මේ ගැටලු විසඳීමට නිසි ක්‍රියාමාර්ග ගත හැකි නම් එය අලුත් අවුරැදු පැතුම් ඉටුවීමකි.

අලුත් අවුරුද්දේ අප රටේ සිදුවන එක් සුබවාදී ක්‍රියාවක් වන්නේ පවුලේ සියලු දෙනා එකතු වීමට අවස්ථාවක් උදාවීමය. ඒ සඳහා නම් අගහිඟකම්, නැතිබැරිකම් බලපාන්නේ නැත. කෙසේ හෝ අතට හසුවන යමක් තෑගිබෝග වශයෙන් මිලදී ගෙන ගම රට බලා ගොස් මාපියන්, සොහොයුරන්, සමීප ඥාතීන් හමුවීම සඳහා අලුත් අවුරුද්දේ යෙදෙන නිවාඩු දින කිහිපය බොහෝ දෙනා ප්‍රායෝජනයට ගනිති. මොන දේ නොවුණත් මේ එකමුතුව ඊළඟ අලුත් අවුරුද්දේත් ඒ ලෙසටම සිදුවන බව නම් සහතිකය.
කෙසේ වුවත් කුමන බාධා, හිරිහැර, ආර්ථික පීඩන යෙදුණත් ඒවා නොතකා හරිමින් පුළු පුළුවන් ආකාරයට කිරිබතක්, කැවුම් කොකිස් ටිකක් හදාගෙන අලුත් අවුරැද්ද සැමරීමට අපි සියලු දෙනා එක්වෙමු. එසේ සමරන අතරවාරයේ මීළඟ අවුරැද්දේ මීට වඩා සෞභාග්‍යමත් ආකාරයට අලුත් අවුරුද්ද සැමරීමට අදිටන් කර ගනිමු.