2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

ෂෙන්සෙන් හා චුංචිං

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

ආර්ථික වශයෙන් චීනය කොතරම් දියුණු වුවත් එහි ප්‍රතිලාභ මුළු රට පුරාම එක ලෙස බෙදී ගොස් නැත. ඊට හේතුව මුල් පියවර වශයෙන් ඔවුන් අපනයනයෙන් වඩාත්ම වාසි ලබාගත හැකි මර්මස්ථානවලට නිෂ්පාදනය සීමා කිරීමයි. සංවර්ධනය වූයේ ඒ පළාත්ය.  දැන් එම පියවර සාර්ථකව සම්පූර්ණ කර ඇති නිසා රජය ප්‍රතිලාභ රට ඇතුළේ ඇති නොදියුණු ප්‍රදේශ වලටත් යොමු කිරීමේ පියවර ගැනීමට පටන්ගෙන තිබේ. බටහිර රටවල් දැන් ගෝලීයකරණයෙන් පිටවීමට මාන බලන අවධියක චීන නිෂ්පාදන ධාරිතාවය අඩු නොකිරීම සඳහා ඔවුන් දැන් අභ්‍යන්තර, දේශීය වෙළදපොළ ගැන අවධානය යොමු කර ඇත. ලෝකයේ විශාලතම අභ්‍යන්තර වෙළඳපොළක් ඇති චීනයට එවැනි දැඩි ආර්ථික තීරණයක් ගැනීමට පුළුවන. නව චීන නායකතුමා දේශීය වෙළඳපොළ පුළුල් කිරීමට තැත් කිරීම නිසා ඔහුටත් චීන කොමියුනිස්ට් පක්ෂයටත් මහජන ප්‍රසාදය වැඩිවී තිබේ. දේශීය වෙළඳපොළ දියුණු කිරිමට අවශ්‍ය සාධකයක් වන්නේ දූෂණය තුරන් කිරීමේ පිළිවෙතකට යෑමයි. දැන් චීන නායකත්වය එම මාවතට පිලිපන් බව පෙනේ. මෑතකදී චීන කැබිනෙට්ටුවේම සාමාජිකයකුද දූෂණ චෝදනා මත සිරභාරයට ගන්නා ලදී. චීන ජනාධිපති ෂී ජින් පිංගේ නායකත්වය අභියෝගයට පවා ලක් කිරීමට ශක්තිය තිබූ හිටපු ඇමැති බෝසිලායි  සහ ඔහුගේ බිරිය මිනී මැරැම් චෝදනාවකට වැරදිකරුවන් වී දැන් සිරබත් කති. 

චීනයේ අපනයන උපාය මාර්ග අතුරින් ප්‍රධාන තැන ගන්නේ අපනයන කලාප පිළිබඳ සංකල්පයයි. ඇත්ත වශයෙන් මේ සංකල්පය චීනයට පෙර ආසියාවට හදුන්වාදෙනු ලැබූවේ උපාලි විජේවර්ධන විසිනි. ජේ.ආර්. ජයවර්ධන රජය අපනයන සීඝ්‍රයෙන් වැඩි කිරීම සඳහා පිහිටුවන ලද ආයතනය බී.ඕ.අයි. නම් ලද්දකි. මුලින්ම එහි නාමය වූයේ මහා කොළඹ අපනයන කලාපයයි. උපාලි  විජේවර්ධනගේ අපනයන සංස්ථාවේ දෙවැනියා වූයේ ලංකා සිවිල් සේවයේ මෙන්ම ජාත්‍යන්තර සිවිල් සේවයේ අති දක්ෂයෙක් වූ රාජු කුමාරස්වාමි මහතාටය. දැන් මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි එම චිරප්‍රසිද්ධ රාජු කුමාරස්වාමිගේ එකම පුතාය.

උපාලි මුලින්ම ආරම්භ කළේ කටුනායක අපනයන කලාපයයි. ඉන් පසුව එකල බියගම මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පිට අලුත් ආර්ථික කලාපයක් වශයෙන් බියගම ආයෝජන කලාපය අරඹන ලදී. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ විරුද්ධවාදියකු  වූ උපාලි මිය යෑමෙන් පසු අරඹන ලද ඇඟලුම් කර්මාන්තයද කේන්ද්‍රගත කරන ලද්දේ බියගම කලාපයේය. මේ ව්‍යාපෘතිය කෙතරම් සාර්ථකවීදැයි කියහොත් තේ, රබර්, පොල් අභිබවා ඇඟලුම් අපට විදේශීය විනිමය සපයයි. මෙම සංකල්පයට ඊර්ෂ්‍යාවූ  විරුද්ධවාදීන් කුමක් කීවත් ගම්බඳ තරුණියන්ට රත්තරන් මාල පොටක් හෝ මිලදී ගැනීමට හැකි වූයේ ඇඟලුම් කර්මාන්තය නිසයි. 

පසුව චීන ජනාධිපති තනතුරට පත්වූ  ජියැං සැමින් එකල සේවය කළේ ඉංජිනේරුවරයෙක් හැටියටයි. ඔහු ලංකාවට පැමිණ  අපගේ බියගම කලාපය නිරීක්ෂණය කළ හැටි පිළිබඳව සඳහන් කර තිබේ. එපමණක් නොව එම අත්දැකීම පසුව දෙරට අතර විශේෂ මිත්‍රත්වයක් ඇති කිරීමටද උපකාරී විය.

චීනයේ පළමු දැවැන්ත ආයෝජන කලාපය වශයෙන් තෝරා ගන්නා ලද්දේ මුහුදට මුහුණ ලා තිබූ කුඩා ධීවර ගම්මානයකි. එය වැදගත්  වූයේ ඒ අසල නැව් තොටුපළක් ඉදිකිරීමට අවශ්‍යය පහසුකම් තිබීමය. ඒ අනුව ආරම්භ කරන ලද ෂෙන්සෙන් කර්මාන්ත කලාපය අද ලෝක ප්‍රසිද්ධ නිෂ්පාදන මර්මස්ථානයකි. එයට ඇදී ආවේ විදේශීය ආයෝජකයින්ය. නාවික පහසුකම්, විදුලිය, පාරවල්, හෝටල් ආදී  සියලු යටිතල පහසුකම් ඉතාම අඩු කුලියට සපයන ලද්දේ රජය විසිනි. එම කම්හල්වලට රැකියාව සඳහා අවට ගම්දනව් තුළින් ජනයා වැළ නොකැඩී පැමිණියහ. ෂෙන්සෙන්හි නිපදවන ලද භාණ්ඩ ඉතාම තරගකාරී පදනමක් මත ලෝකයේ දියුණු රටවලට අපනයනය කරන ලදී. අඩුපඩි හා වැඩි වැඩ යන කම්කරු ප්‍රඥාප්තිය මත නිපදවන ලද භාණ්ඩ දියුණු රටවල වෙළඳපොළ  පහසුවෙන් ජයගත්තේය. නව තාක්ෂණය “කොපි කිරීමෙන්” අරඹන ලද  එම ව්‍යාපාර වැඩි කල් නොගොස්  බටහිර හැම ගෙදරක් තුළට ගියේ ඒවායේ තරගකාරී මිල නිසාය. මිල නියමය යන ආර්ථික සංකල්පය මුල්කර ගෙන වෙළඳපොළට ආ මේ භාණ්ඩ බටහිර පාරිභෝගිකයෝ ආදරයෙන් වැළඳගත්තෝය. 

මෙසේ අඩු මිලට පාරිභෝගික බඩු සැපයීම නිසා බටහිර හා ජපන් නිෂ්පාදකයන්ගේ භාණ්ඩ වෙළෙඳපොළින් ඈත් විය. ඔවුන්ට පාරිභෝගිකයන් සමාජයේ ඉල්ලූ අඩු මිලට භාණ්ඩ සැපයීම නොහැකි වූයෙන් ඔවුන්ගේ  කර්මාන්ත ශාලා වසාදමන ලදී. එම රටවල්වල විරැකියාවද දිනෙන් දින ඉහළ ගියේය.

අද බටහිර රටවල් ගෝලීයකරණයෙන් පිට වෙන්නට තැත් කරන්නේ මේ නිෂ්පාදන තරගයෙන් පැරදී සිටින නිසාය. ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට බොහෝ දුරට සිදු වූයේ රැකියා අහිමි වූ කම්කරැවන් සහ වැසුණු කර්මාන්තශාලාවල අයිතිකරැවන් ඔහු වටා රොක් වූ හෙයිනි. සාමාන්‍යයෙන් රිපබ්ලිකන් පක්ෂයට සහයෝගය නොදක්වන කම්කරැ පන්තිය පවා මෙවර ට්‍රම්ප්ට ඡන්දය දුන්නේය. “මළකඩ කලාප” යනුවෙන් හඳුන්වන වාමාංශික හා කම්කරු පන්තිය බහුල වූ ප්‍රාන්ත මෙවර  ට්‍රම්ප්ව වැළද ගත්තෝය.

දැන් මාස තුනකට පමණ පෙර මා හා නිලධාරී කණ්ඩායමක් ආයෝජන කලාප බහුල චුංචිං නගරයේ සංචාරයක යෙදුණෙමු. වඩාත්ම බංගලාදේශය හා ඉන්දියාවට ළංවූ මේ චුංචිං ප්‍රාන්තය චීනයේ කොමියුනිස්ට් විමුක්ති අරගලයේ වැදගත් කාර්යභාරයක් ඉටුකළ තැනකි. දෙවැනි යුද්ධ සමයේ මාවෝ සහ චූ එන් ලායි මෙම නගරයට පැමිණ ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව එකට සටන් කිරීමට ඔවුන්ගේ ප්‍රතිමල්ලවයා වූ චියැං කයිෂෙක් සමඟ සාකච්ඡා කළෝය. මෙම දෙපාර්ශවය අතර වූ සාකච්ඡාවට අනුබල දුන්නේ එකල ජපානය සමග දරුණු යුද්ධයට පැටලී සිටි අමෙරිකාවයි. එය අමෙරිකානු  හා චීන කොමියුනිස්ට් නායකයින් අතර දැඩි  සුහදතාවයක් ගොඩනැගුණු මොහොතකි. ඒ පිළිබඳව වැඩි විස්තර මීළඟ ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.