2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

කළුවරේ කෙරෙන සෝබන කතා

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

අලුත් අවුරුදු උත්සව කාලය ඇරඹී තිබේ. ඒ සමඟ බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේ අවුරුද්දට අවශ්‍ය බඩු මිලදී ගැනීමටය. ඊළඟට පොකට්ටුවේ තරමට මිලදී ගත් බඩු බාහිරාදියත් අරගෙන ගම්දොර බලා යාමේ අවස්ථාව එළඹෙයි. ඒ අවස්ථාවේදී මේ රටේ දහස් ගණන් ජනතාව හැම අලුත් අවුරුදු කාලයකදීම මුහුණදෙන ප්‍රධාන ගැටලුව වන්නේ ගමනාගමනයේ අපහසුතාවයි. එය මේ වසරේදී කියා වෙනසක් නොවනු ඇති බව දැන් තබා කිව හැකිය.

ගමේ යාමට අවශ්‍ය බස්, දුම්රිය කලට වෙලාවට නොතිබීම, පෝලිම්වල පැය ගණන් සිදුවන රස්තියාදුව, දුම්රිය මැදිරිවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම වැනි බොහොමයක් ගැටලුවලට ජනතාව හැම වසරකම මුහුණ දෙති. අපේ රටේ හැමදාමත් මේ ගැටලුව ගැන කතා කරන්නේ අවුරැදු දවස්වලදී පමණි. ඉන්පසුව විඳි අප්‍රමාණ දුක්ගැහැට පැත්තක දමා සුපුරුදු දින චර්යාවට ජනතාව එක්වෙති. ඒ ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීමේ අවශ්‍යතාවක් බලධාරීන්ට නැත. ඔවුහු එය අමතක කර දමති.

පොදු ගමනාගමන ගැටලුවලට ස්ථිර විසඳුමක් සෙවීමට නම් ඒ සඳහා රජයට පිළිගත් ප්‍රතිපත්තියක් තිබීම අවශ්‍යය. අපේ රටේ බොහොමයක් වැදගත් ක්ෂේත්‍රවලට අදාළ පොදු ප්‍රතිපත්තියක් නැත. තිබෙන්නේ ආණ්ඩු මාරුවන විට ඒ එක්කම මාරුවෙන ප්‍රතිපත්තිය. ආර්ථික, විදේශ, ආයෝජන, බලශක්ති වැනි ක්ෂේත්‍රවල තිරසාර ප්‍රතිපත්ති නොතිබීමේ ප්‍රතිවිපාක අපි හොඳින්ම අත්විඳිමින් සිටින්නෙමු. එහෙත් ඒ තත්ත්වය නිවැරදි කරගෙන ඉදිරියට යාමට තරම් අවශ්‍යතාවක් රටේ බලධාරීන්ට නොතිබීම මහත් අවාසනාවකි.

ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට නම් ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් යොදාගැනීම අවශ්‍ය වෙයි. අදාළ කාරණාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් සමීක්ෂණ සිදුකිරීම මෙහිදී වැදගත්ය. අඩුම තරමින් ලබන වසරේ හෝ රස්තියාදුවකින් තොරව අලුත් අවුරුදු සමයේ ගම රට බලා යාමට ජනතාවට පහසුකම් සැලසීමට නම් ඒ සඳහා හොඳම අවස්ථාව ඉදිරි දිනවලදී යෙදෙන බව බලධාරීන්ට සිහිපත් කර දීමට කැමැත්තෙමු. අවුරුද්දට ගමේ යාම සඳහා ජනතාව විඳින දුක, ඔවුන් මුහුණදෙන ගැටලු පිළිබඳ සිදුකරන සමීක්ෂණයකින් මේ පිළිබඳ වැදගත් තොරතුරු සොයා ගැනීම අපහසු නොවේ. ගැටලුවලට විසඳුම් සෙවීම ඊළඟට සිදුකළ හැකිය. අවසානයේ ඒ සඳහා ප්‍රතිපත්තිය සකස් කළ විට එය වසරක් පාසා ක්‍රියාවේ යෙදවිය හැකිවනු ඇත. එහෙත් එවැන්නකට අපේ රට සූදානම්ද? එසේ නොවන බව අපගේ වැටහීමය.

අවුරැද්දට ගමේ යාම සඳහා පමණක් නොව රටේ සමස්තයක් වශයෙන් පොදු ගමනාගමන ප්‍රතිපත්තියක් සකස් කිරීමද ඒ සමඟ කළ හැකි වුවද රට මේ කිසිවකට සුදානම් නැත්නම් ඒ එකක්වත් සාර්ථක කර ගැනීමට හැකියාවක් නැත. එවැන්නකට රට සූදානම් කිරීම රටේ පාලකයන්ගේ වගකීමය. නමුත් පසුගිය දශක කිහිපය තිස්සේම අපට දැකගන්නට ලැබුණේ කලින් සිටි ආණ්ඩුවේ පතුරු හරිමින් කලදවස ගෙවාගන්නා ආණ්ඩුය. රට දියුණු නොවූයේ යැයි අපි නොකියමු. එහෙත් අද රට ලබා ඇති තාක්ෂණික දියුණුව ප්‍රමාණවත් තරම් භාවිතයට නොගැනීමේ අඩුපාඩුව බොහෝ ගැටලු එකතැන පල්වෙන තත්ත්වයකට ඇද දමා තිබේ.

මේ පවතින තත්ත්වයට එක් උදාහරණයක් වන්නේ පසුගියදා කොට්ටාව මාකුඹුරේ විවෘත වූ බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයයි. එය නවීන තාක්ෂණික ක්‍රම හොඳින්ම උපයෝගී කර ගනිමින් සමස්ත ලෙස ගොඩනැංවූ ගමනාගමන හබ් එකකි. නමුත් ඊට සම්බන්ධ කෙරෙන සෙසු ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නැත. උදාහරණයක් වශයෙන් මාතර සිට අධිවේගී මාර්ගයේ බස් රියෙන් කොට්ටාවට පැමිණෙන මගීන්ට කොළඹට යාමට සිදුවන්නේ වෙනදා පුරුදු ආකාරයටමය. ඒ වෙනුවෙන් කියා වෙනම බස් සේවා අලුතින් අරඹා නැත. දුම්රියපොළද ඉතාම ඉහළ තාක්ෂණික මට්ටමින් ඉදිකළත් එතැනට අලුත් දුම්රියක් එන්නේ නැත. මේ සියල්ල එකවර කළ නොහැකි බව සැබෑය. එහෙත් සැලසුම් සැකසීමේදී පොදු මහජනතාව මුහුණදෙන ප්‍රායෝගික ගැටලු කෙරේ ප්‍රමාණවත් අවධානයක් යොමුකිරීමට අවශ්‍යය. මෙය ප්‍රායෝගිකවම දැකබලාගත හැකිවනු ඇත්තේ ඉදිරි දිනවලදී යෙදෙන අවුරුද්දට ගමේ යන ජනතාවට එකී මධ්‍යස්ථානයේ පහසුකම් සැලසෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙනි. තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් මහජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳ සමීක්ෂණයක් කළ හැකි නම් නිසැකවම ලබන වසරේදී ගැටලු අවම කර ගැනීමටද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට පියවර ගැනීම ද කළ හැකිවනු ඇත.

අපි තවමත් වැසි නැති කාලයට පැය ගණන් විදුලිය නැතිව සිටිමු. එළවළු හොඳින් අස්වනු ලැබෙන කාලයට ඒ අතිරික්තය ඉතුරු නොකර කැළෑවට විසිකර දමමු. එළවළු අස්වනු අඩු කාලයට හතර අතටම බැණ වදිමින් බතුයි පරිප්පුයි ගිල දමමු. වී ගොවීන් අස්වනු නෙළන කාලයට හැමදාම වී මුදලාලිලාගේ මාෆියාවට ඉඩ දී බලා සිටිමු. හරිනම් සිදුවිය යුත්තේ වැස්ස නැතත් අඛණ්ඩව විදුලිය ලැබීමය. එළවළු තිබෙන කාලයට අතිරික්තය ගබඩා කර පසුව ප්‍රයෝජනයට තබා ගැනීමය. වී සම්බන්ධයෙන්ද කිව යුත්තේ එයමය. එසේම අවුරැදු කාලෙට බස් කෝච්චි නැතැයි මැසිවිලි නගමු. එහෙත් එම ගැටලුව විසඳාගන්නා ආකාරයක් ගැන සැලසුමක් සකස් කිරීම අමතක කරන්නෙමු. මේ අප තාක්ෂණය සමඟ ඉදිරියට නොයාමේ පළ විපාක වලින් කිහිපයක් පමණි.
බොරැ සෝබන කතා, පුහු මාධ්‍ය සංදර්ශන, මැතිවරණ ඉලක්ක කරගත් අදූරදර්ශී වැඩපිළිවෙළවල් වලින් වැළකී පොදුවේ රට ගොඩනංවන වැඩපිළිවෙළකට උනන්දු නොවුණොත් රට හැමදාමත් පවතිනු ඇත්තේ අඳුරේ බව සහතිකය.