2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

කවුද හොරා

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

අලි බාබා නම් සුප්‍රකට චීන ජාතික ව්‍යාපාරිකයකුගේ නම පසුගිය කාලය තුළදී වරින් වර මෙරට මාධ්‍යවල සඳහන් විය. චීන ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයකු වන ඔහු මෙරට නායකයන් හමුවූ අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන හැකියා පිළිබඳව සොයාබැලීමට දැක්වූ කැමැත්ත මාධ්‍යවලට පුවත් මැවූ සිද්ධියක් විය. ඔහුගේ නම සඳහන් කරමින් පුවත්පත්වල බොහෝ කාටුන් පළ වූ අතර ඉන් එකක මෙසේ සඳහන් වී තිබිණි.

“ඔන්න අලි බබා එනවලු... 

“ඔව් ඉතිං හොරු හතළිහ මෙහෙ ඉන්නවනෙ.

අලි බාබා, අලි බබා වී අරාබි නිශොල්ලාසයේ එන සුප්‍රකට “අලි බබා සහ හොරු හතළිහ කථාවට මේ කාටූනය සම්බන්ධ කෙරී තිබුණේ චීන ජාතික ව්‍යාපාරික දැවැන්තයා උපහාසයට ලක් කිරීමට නොවේ. මෙරට සිටින දැවැන්ත බලවත් හොරුන් ගැන ජනතාවට අනතුරු ඇඟවීමටය. සොරකම එතරම් බරපතළ අන්දමින් මේ රට තුළ සමාජගත වෙමින් තිබේ. එක හොරු සෙට් එකක් බලයෙන් පහවෙන විට තවත් හොරු සෙට් එකක් බලයට පත්වෙන බව දැන් රටේ සාමාන්‍ය ජනතාව කියති. මේ කියන්නේ හිටපු රජයේ සියලු මැති ඇමැතිවරුන් හෝ වත්මන් රජයේ සියලු මැති ඇමැතිවරුන් හෝ සොරුන් බව නොවේ. මේ වැඩිදෙනා රටට කුමක් හෝ වැඩක් කළ වැඩක් කරන්නට සූදානමින් සිටි බව සඳහන් කළ යුතුය. එහෙත් අතලොස්සක් බලවත් සොරුන් නිසා මේ බොහෝ දෙනාට නිකම්ම නරක නාමයට ගෑවෙන්නට සිදුවී තිබෙන බව කනගාටුවෙන් වුවද කිවයුතුව තිබේ.

මේ සොරුන් අපගේ මෙවර කතුවැකියට කේන්ද්‍ර ගත වූයේ පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද කතාවක් හේතුවෙනි. සොරකම් කරන, වැරුදි කරන පුද්ගලයන් පසුගිය පාලන කාලයේ සිටියා මෙන්ම, මේ පාලන කාලයේද සොරකම් කරන, වැරැදි කරන අය සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදීය. “එදත් හොරු හිටියා... අදත් හොරු ඉන්නවා. යනුවෙන් කළ මේ ප්‍රකාශය අපේ දේශපාලනයේ එක් අඳුරු පැතිකඩක් පෙන්නුම් කරන ප්‍රබල ප්‍රකාශයකි. සොරුන් නොමැති රජයක් අනාගතයේදී හෝ බිහිවනු දැකීමට මහජනතාව තුළ පවතින කැමැත්ත දවසින් දවස දුරුවෙමින් පවතින බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණේ එම තත්ත්වය නිවැරැදි කිරීමට තමා පියවර ගන්නා බවය. එය යහපත් අදහසකි. ක්‍රියාත්මක කරවා ගැනීම නම් අතිදුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නැත. මේ සතියේ අපගේ දේශය පුවත්පතට සම්මුඛ සකච්ඡාවක් ලබාදුන් ආණ්ඩුවේ ජ්‍යෙෂඨ ඇමැතිවරයකු වන එස්.බී. දිසානායක මහතා ද ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුවක් කරන විට හොරු සමඟත් එකට අසුන් ගැනීමට සිදුවන බවය. නමුත් ලොකුම ගැටලුව මේ කියන හොරුන් කවුදැයි නම් කිරීමට නොහැකි වීමය. එයට නීතියෙන් බාධා තිබෙන බව අපි දනිමු. එහෙත් සැබෑ සොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තාක් ඔවුන් සමඟ එකට වාඩිවෙන අයටද සොරකමේ ලේබලය වැදීම වැළැක්විය නොහැක. එම ලේබලය අලවන මහජනතාවගේ කටවල් වැසීමද පහසු නැත.

අප කොතරම් කතා කෙරැවත් ආණ්ඩු මාරු කළත් මහජනතාවගේ බදු මුදල්, එසේම රටට විවිධ යෝජනාක්‍රම හරහා ගලා එන සංවර්ධන ආධාර මුදල් ගසාකෑම් නැවැත්වීමට කිසිවකු හෝ සමත් නොවන්නේ නම් පවතින දේශපාලන ක්‍රමය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳීයාම වැළැක්විය නොහැක. තමන් විසින් පත්කර ගන්නා පාලකයන් තමන්ගේ මුදල් සොරාකනවා නම් ඒ ගැන ඉක්මනින්ම කලකිරෙන්නේ විශ්වාසය බිඳගන්නේ තරුණ පරපුර බව අමතක නොකළ යුතුය. තමන්ගේ ගැටලුවලට විසඳුම් නොලැබී ජාතික ධනය සූරාකන තත්ත්වයක් මේ තරුණ කොටස් කිසිසේත් ඉවසන්නේ නැත. විශේෂයෙන්ම සියලු ආකාරයේ දූෂණ, වංචා, සොරකම් කරන්නවුන් අල්ලා පරසක්වළ ගසන බවට කප්පරක් පොරොන්දු දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේද තවදුරටත් සොරුන් සිටීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට පවා බලපෑම් ඇති කිරීමට හේතු විය හැකි යැයි සිහියේ තබාගැනීම අවශ්‍යය.

තමන්ගේ ඡන්දයෙන් බලයට පත්වූවන්ගේ කියුම් කෙරුම් ගැන මහජනතාව නිරන්තර විමසිල්ලෙන් පසුවෙති. ජනතාවට කොළේ වසා ඔවුන් ගොනාට අන්දවා තමන්ට රිසි සේ සොරකම් කළ හැකි යැයි කිසියම් හෝ ජගතෙක් හිතාගෙන සිටියා නම් එය බරපතළ අතපසුවීමක් බව මේ වනවිට ඔවුන්ට වැටහී තිබිය යුතුය. අද කාලයේ රහස් රැකීම පහසු නැත. විශේෂයෙන් සොරකම් සහ අක්‍රමිකතා, දූෂණ, වංචා පිළිබඳව නීත්‍යානුකූල ලෙසත් නීති විරෝධී ලෙසත් තොරතුරු එළියට ලබාදෙන බොහෝ කණ්ඩායම් මේ රටේත් සිටී. පිටරටවල ද සිටී. ඔවුන්ට වසං වී සොරකම් කිරීම මොණර නැටුමකට දෙවැනි නොවේ. කොතරම් පිල් විදහාගෙන නැටුවත් පස්ස එළියේය. රට කන කම්බා හොරුන් ගැන ද කිව යුත්තේ ඒ ටිකමය.

සොරකම් කරන දේශපාලනඥයන් සිටින්නේ අපේ රටේ පමණක් නොවේ. අසල්වැසි ඉන්දියාවේ සිට ආසියාව, යුරෝපය, බටහිර දක්වා මෙබඳු සිදුවීම් ගැන අසන්නට ලැබේ. නමුත් මේ බොහෝ රටවල බලවතුන් සොරකම් කළ බවට එල්ල වන චෝදනා අධිකරණය හමුවේ විභාගයට ගනු ලබයි. බොහෝ බලසම්පන්න දේශපාලනඥයන්ට සිර දඬුවම් පවා  හිමිවෙයි. මියගිය ජයලලිතා සහ ඇයගේ දේශපාලන උරුමක්කාරිය වූ සසිකලා නටරාජන් ආසන්නම උදාහරණයයි. නමුත් කරුමය වී තිබෙන්නේ අපේ රටේ දේශපාලන සොරුන් අධිකරණ ක්‍රියාවලියට තල්ලු කරන බලවේගවලට වඩා ඔවුන් ආරක්ෂා කරන බලවේග බලසම්පන්න වී සිටීමය. සොරකම් කරන දේශපාලනඥයන් පිටුදැකීමට නම් ජනපතිවරයා මුලින්ම අත තැබිය යුත්තේ එවැනි බලවේගවලටය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00