2019 මාර්තු 30 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 106

ජනාධිපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට දෙහි කැපිල්ලක්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 36 වැනි වාර්ෂික මහ සභා රැස්වීමට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරී පැළැන්තියට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රටේ සංවර්ධන කටයුතුවලදී රාජ්‍ය සේවය අසමත් වී තිබෙන බවය. වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම, එක් එක් න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කිරීම, ඉහළ නිලධාරීන් අතර පවතින ඇනකොටා ගැනීම් ද ජනාධිපතිවරයාගේ උදහසට ලක්වී තිබිණි.

මිලියන 1.6ක නිලධාරීන් පිරිසක් සිටින රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව 30%ක් පමණක් බව සඳහන් කළ ජනාධිපතිවරයා එය 50%ක් දක්වා වැඩිකර ගත යුතු යැයි ප්‍රකාශ කළේය. දේශපාලනඥයන් සමඟ දක්වන සමීප සම්බන්ධතා හේතුවෙන් රාජ්‍ය සේවා නිලධාරීන් කෙරෙහි මහජනතාව තුළ තිබූ ගෞරවය හීනවී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා එහිදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට යෝජනා කළේ දේශපාලනඥයන් තම ප්‍රතිපත්ති සකස් කර ගන්නේ මැතිවරණ ජය ගැනීමට පමණක් බැවින් රට සංවර්ධනය සඳහා ජාතික සැලැස්මක් සකස් කළ යුතු බවය

තම වැටුප් සහ වෙනත් වරප්‍රසාද ලබාගැනීම සඳහා රජයට තදින් බලපෑම් කළත් රට දියුණු කිරීම සඳහා අත්‍යාවශ්‍යම සේවා කාර්යක්ෂමව සැපයීමට පරිපාලන සේවයේ ඉහළම පිරිසගේ දායකත්වය නොලැබෙන බවටද ජනාධිපතිවරයා චෝදනා කළේය.

තමන්ගේ රජය පමණක් නොව මෙරට පැවැති සියලු රජයන් රාජ්‍ය සේවයෙන් ඉදිරිපත් වූ ඉහළ වැටුප් සහ වරප්‍රසාද ලබාගැනීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලීම් ලබාදීමට හැකි පමණින් කටයුතු කළත් ඔවුන්ගේ පැත්තෙන් ඒ සඳහා ප්‍රමාණවත් තරම් සහායක් නොලැබුණු බවද සඳහන් කළේය. සියලුම ප්‍රධාන පෙළේ ඉතාම බලවත් වෘත්තීය සමිති රජය සමඟ වැටුප් එකඟතාවලට එළඹී සිටියත් එක සුළු කාරණයකදී පවා ඔවුන් දැඩි වෘත්තීය  ක්‍රියාමාර්ගවලට එළඹීම කනගාටුවක් බවද ඔහු පැවසීය.

ඩේලි එෆ්.ටී

රාජපක්ෂ යුගයේ ට්‍රොයිකාව රාත්‍රී භෝජනයක

කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පසුගිය දිනක පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයක් සමඟ පැවැති සාකච්ඡාවක් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා අතීත පිළිබඳ මතක සටහන් සිහිපත් වීමට හේතු විය.

එය සිදුවූයේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ ලලිත් වීරතුංග යන ත්‍රිත්වය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළදී කොළඹ සහ නවදිල්ලිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙහෙයවූ අවස්ථාවේදීය. මේ ට්‍රොයිකා ක්‍රියාකාරීත්වය 2009 වසරේදී එල්.ටී.ටී.ඊ.ය පරාජය කළ අවසන් මෙහෙයුමේදී ඉන්දියාව අහක බලාගෙන සිටින තැනට වගබලාගෙන තිබිණි.

මේ තිදෙනා එවකට ඉන්දීය විදේශ ලේකම් හා ජාතික ආරක උපදේශකව සිටි ශිව් ශංකර් මෙනන් සමඟ අප කලින් සඳහන් කළ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වී සිටියේ මෙනන් වෙනත් කාර්යයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීය.

සන්ඩේ ටයිම්ස්

ඡන්දෙට කලින් රුසියා හෙලිකොප්ටර් ලොකු ඩීල් එකක්

හමුදා උපකරණ මිලදී ගැනීම් සිදුවිය යුත්තේ ආණ්ඩු සහ ආණ්ඩු අතර සිදුවන ගනුදෙනුවක් හරහා පමණක් බවට ඒ කාලයේ බොහෝ දෙනා කතා කළහ. එසේ වුවද දැන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව රැසියාවේ නිෂ්පාදිත Mi-17 හෙලිකොප්ටර් යානා 04ක් ඩුබායිහි තුන්වැනි පාර්ශ්වයක් හරහා මිලදී ගැනීමට යෝජනාවක් ගෙනැවිත් තිබෙන බව සඳහන් වෙයි. එක හෙලිකොප්ටරයක ගැනුම් මිල අමෙරිකන් ඩොලර් මිලියන 15කි

සන්ඩේ ටයිම්ස් පුවත්පත දැක බලාගත් අදාළ ලිපිලේඛනවලට අනුව මේ හෙලිකොප්ටර් ඩීල් එක තරමක් ප්‍රමාද වන්නේ සුළු අවශ්‍යතා කිහිපයක් ඉටුකර ගැනීමට තිබෙන බැවිනි. රවුම් හැඩැති ජනේල, වම් සහ දකුණු දිගට ඇරෙන දොරවල් (Sliding doors) සවිකිරීම ඒ අවශ්‍යතා අතරින් කිහිපයකි.

මේ ගනුදෙනුව කෙසේ හෝ ඉවර කර ගැනීමට ඇතැම් පාර්ශ්ව දැඩි උනන්දුවක් ගන්නා බවද සඳහන්ය. මැතිවරණ ද ඉදිරියේ එන බැවින් කල දුටු කල වළ ඉහ ගැනීමට උනන්දු වන්නෝ ද වෙති.

සන්ඩේ ටයිම්ස්