2019 මාර්තු 16 වන සෙනසුරාදා

බැසිල්ගේ විසිල් එක

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 183

බජට් එක පරද්දලා ආණ්ඩුව අතට ගන්න විපක්ෂයේ සැලැස්මක් තිබුණා නම් ඒක වතුරේ ගිහින් තිබේ. බජට් එක පැරදුණොත් ආණ්ඩුවට ගෙදර යාමට සිදුවුණේ පරණ ව්‍යවස්ථාව යටතේය. මේ ආණ්ඩුව සම්මත කරගත් 19 වැනි ව්‍යවස්ථාව හේතුවෙන් බජට් එක පැරදුණත් යළිත් වරක් එය ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙයි. එයද පරාද වුණොත් ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේම මාරැ කරනවා හැර එය විසුරුවා හැරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. එහෙත් බජට් එක පරදවා ආණ්ඩු බලය අතට ගෙන පාර්ලිමේන්තුව තුළින් බලය ලබාගෙන මැතිවරණයකට යාමට ඉඩක් තිබේ. විපක්ෂය ආණ්ඩුව බජට් එකෙන් පරද්දන බවට කෑගැසුවේ ඒ ඉඩ බලාගෙන විය හැකිය.

විපක්ෂය බජට් ගේම ගහන සැලැස්මක් අතැතිව සිටියා නම් ශ්‍රීලනිප මන්ත්‍රීවරැන්ද එහි කොටස්කාරයන් විය යුතුය. එකතු වීමකින් තොරව එවැනි පියවරකට යා නොහැක. අඩුම තරමින් ආණ්ඩුවට රතු එළියක් දැල්වීමට හෝ එය අවස්ථාවක් කරගත හැකිව තිබුණත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ නොපැමිණීම නිසා එයද කළ නොහැකි විය. මහින්දට නම් මුල සිටම බජට් එක පැරදවීමක් ගැන අදහසක් නොතිබූ බවද පැහැදිලිය. එහෙත් විපක්ෂයේ ඇතැමුන්ගේ මතය වී තිබුණේ යූ.එන්.පී. සමඟ එකතු වී සිටින මුස්ලිම් කොංග්‍රසය සහ යූ.එන්.පියට සහාය දක්වන ටී.එන්.ඒ. එක විවිධ කොන්දේසි දැමීම හේතුවෙන් ආණ්ඩුව අසීරුවක සිටින බවය. යූ.එන්.පී. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධයද ඔවුන් සැලකිල්ලට ගන්න ඇත. මේ තත්ත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරැන් සංඛ්‍යාවට ශ්‍රීලනිපය නියෝජනය කරන මන්ත්‍රී සංඛ්‍යාවද ජවිපෙ ඡන්ද ද එකතුවී නම් ආණ්ඩුව බිත්තියටම තල්ලු කර ගැනීමට හැකිවනු ඇතැයි බොහෝ දෙනා ගණං බලන්න ඇත. එහෙත් සිදුවුණේ ආණ්ඩුව අසීරැවකට පත්වීම නොව විපක්ෂය තවමත් දෙකඩ වී සිටින බව හෙළිවීමය.

බජට් එකට ඡන්දය ගන්න දවසේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සභාගැබේ සිටියේ නැත. එය ඒකාබද්ධ විපක්ෂයට වැදුණු පහරක් විය. ඔවුන්ගේ බලාපොරොත්තු කඩවන විට ආණ්ඩුව ක්‍රම සහ විධි භාවිත කරමින් තොණ්ඩමන් සහ ඔහුගේ මන්ත්‍රීවරයා වන මුත්තු සිවලිංගම්ද තමන්ට එකතු කර ගැනීමට සමත් විය. ඒ අනුව දැන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 109 දෙනකුගේ ක්‍රියාකාරී සහාය ලැබේ. බහුතරය සහිත ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුවට අවශ්‍ය වන්නේ තව මන්ත්‍රීවරුන් 04 දෙනකුගේ සහාය පමණි.

මෙහිදී ශ්‍රීලනිප මන්ත්‍රීවරැන් මුහුණ දුන් තාක්ෂණික ගැටලුවක්ද තිබුණේය. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුවී තිබිණිදැයි දැනගන්නට නැත. සමස්ත අයවැයේ මුලින්ම තිබෙන වැය ශීර්ෂ වන්නේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයි. ඒ සමඟ ආරක්ෂක අමාත්‍යවරයා සහ පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වශයෙන්ද ජනාධිපතිවරයාට අයවැයෙන් මුදල් වෙන්කර තිබේ. සමස්ත අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීම යනු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ සහ අමාත්‍යාංශ ප්‍රතිපාදන ද පරාජය කිරීමකි. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ පරදවන බවට යූ.එන්.පී. පසුපෙළ මන්ත්‍රීවරැන් ගෝරණාඩු කිරීම තුළින් ද මේ තත්ත්වය සංකීර්ණ විය. ඒ අනුව අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කිරීම ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට කළ නොහැකි කාර්යයක් වූ බව පැහැදිලිය. ඒ මන්ත්‍රී කණ්ඩායමට අයවැයට පක්ෂ වීමටද නොහැකි වීම හේතුවෙන් ඡන්දය විමසන අවස්ථාවේ සභාගැබේ නොසිටීම වඩාත් හොඳම තීන්දුව වශයෙන් ඔවුන් පිළිගන්න ඇත.

එසේ වුවද එම තීන්දුවද ඒකමතිකව ක්‍රියාත්මක වූයේ නැත. ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම සහ ශ්‍රියානි විජේවික්‍රම ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වී අයවැයට විපක්ෂව ඡන්දය පාවිච්චි කර තිබිණි. නමුත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් වූ මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා සහ රන්ජිත් සියඹලාපිටිය ද සභාගැබට පැමිණියේ නැත. ශ්‍රීලනිපයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් (පොහොට්ටුව) අතර සන්ධානයකට සාකච්ඡා පැවැත්වුණේ මේ පසුබිමේය.

මේ සාකච්ඡාවට කලින් බැසිල් කියා තිබුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ පොහොට්ටුවෙන් බවය. කොටින්ම ඔහු අදහස් කර තිබුණේ පොහොට්ටුවේ නොවන කෙනකුට ජනාධිපති අපේක්ෂකයා වීමට තමන් ඉඩ නොතබන බවටය. පක්ෂ දෙකේ එකතුවෙන් පුළුල් සන්ධානය බිහිවුවත් එම තීන්දුවේ වෙනසක් නොවන බවද ඔහුගේ කතාවේ අදහස විය. කෙසේ වුවද ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර බදුල්ලේ පැවැති මහජන හමුවකදී පොහොට්ටුවේ කියුම් කෙරුම් දැඩි විවේචනයකට ලක්කර තිබුණි. එහිදී ඔහු පැවසුවේ ශ්‍රීලනිපය තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරාගනු ලබන්නේ වෙන කවුරුත් නොව ජනාධිපති සිරිසේන මහතා බවය. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් සියලු දෙනා එකතු විය යුතු යැයිද එසේ නොවී හැකි නම් දිනා පෙන්වන්නැයි තමා අභියෝග කරන බවද ඔහු කියා තිබිණි.

ශ්‍රීලනිපයේ ලේකම්වරයා වන දයාසිරි ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් තොරව මේ කතාව නොකියන බව නොදන්නා කෙනකු නැත. ජනාධිපතිවරයා දයාසිරි ලවා කියවා ගන්න ඇත්තේ තමන්ගේ අදහස බව පැහැදිලිය. පක්ෂ දෙක අතර සාකච්ඡා ඇරුඹීමේදී ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව කතා නොකෙරෙනු ඇත. එහෙත් කතාබහට ප්‍රවේශ වීමේදී තමන් පිළිබඳව ප්‍රබල තක්සේරැවක් සෙසු පිරිසට තිබිය යුතු බවට ජනාධිපතිවරයා තුළ පැහැදිලි අදහසක් තිබෙන්නට ඇත. විශේෂයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ඔහු දැයි යන ප්‍රශ්නය රාජපක්ෂ පවුල තුළ කිසියම් මත ගැටුමකට මුලපුරා තිබෙන තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා තමන්ගේ අභිලාෂය තදින්ම ප්‍රකාශ කරනු ඇතැයි බලාපොරොත්තු විය යුතුය. කෙසේ වුවද සාකච්ඡාවට පෙර දිනයේ (13) පෙහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තම පක්ෂයේ තත්ත්වය පැහැදිලි කරන අන්දමේ අදහස් ප්‍රකාශ කිරීමද විශේෂයකි.

බැසිල් එහිදී කිව්වේ ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා කලින්ම ප්‍රකාශ කිරීම පිළිබඳව තමන් සතුටට පත්වන බවය. ඔහුගේ එම ප්‍රකාශය අනෙක් දේශපාලන නායකයන්ට හොඳ ආදර්ශයක් බවත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න ගැන අනෙක් නායකයන්ද කල් ඇතුව පවසන්නේ නම් මැතිවරණයේදී ඔවුන් ගැන විනිශ්චය කිරීමට ජනතාවට කාලය ලැබෙනු ඇතැයිද ඔහු කිව්වේය. කෙසේ වුවද ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තම පක්ෂයෙන් රාජපක්ෂ මහතා දැනටමත් තීන්දු කර ඇතැයි පැවසීම එහිදී ඔහු කළ වැදගත්ම සටහන විය. එය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තුළ අලුතින් බිහිවන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වීමට යම් බලාපොරොත්තුවක් තිබුණා නම් එහි අවසානය සටහන් කළ කතාවකි. රාජපක්ෂ කෙනෙකු ඉදිරිපත් කළ නොහැකි නම් ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ අපේක්ෂකයකු මහින්ද මහතා විසින් නම් කරනු ඇති බවද බැසිල් කීවේය. ඡන්දයට දාන්න ඕනෑ දිනන්න පුළුවන් කෙනෙක් බවත් බැසිල් කියා තිබිණි. ජනාධිපතිවරණය තනියම දිනන්න පුළුවන්ද යන්නට දැන්ම පිළිතුරැ නොදෙන බවද ඔහු සඳහන් කළේය.

පොහොට්ටුව ශ්‍රීලනිපය සමඟ සාකච්ඡාවට ගියේ බැසිල්ගේ මේ පුළුල් ප්‍රචාරයක් ලැබුණු මාධ්‍ය සාකච්ඡාවට පසුදිනය. කෙන්යා ගමන හේතුවෙන් මේ දවස්වල ජනාධිපතිවරයා ලංකාවේ නැත. එහෙත් සාකච්ඡාව පිළිබඳ තොරතුරැ සියල්ල ඔහුට දයාසිරි විසින් දැනුම් දෙන්නට ඇත. සාකච්ඡාවෙන් පසුව එළියට පැමිණි දෙපාර්ශ්වයම පැවසුවේ මෙම සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බවත් දෙවැනි සාකච්ඡාව ලබන 21 වැනිදා පැවැත්වෙන බවත්ය. එහිදී කතාබහට ලක්වූ කරුණු මොනවාදැයි දැනගන්නට නැතත් ජනාධිපති අපේක්ෂකත්වය ගැන නම් කිසිම කතා සිදු නොවූ බවට සැකයක් නැත. ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ කෙනකු යැයි කීමෙන් පසුව ශ්‍රීලනිපයට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මේ අවස්ථාවේ ඉඩක් නැත. මේ රටේ දේශපාලනය තුළ ඕනෑම දෙයකට තිබෙන ඉඩකඩ විවෘතව තබාගෙන සාකච්ඡාව ඉදිරියට ගෙනයනු හැර ශ්‍රීලනිපයට වෙනත් විකල්පයක් නැත. පුළුල් සන්ධානය තුළ තමන්ට හිමිවන කොටස පිළිබඳවද ශ්‍රීලනිපයට මේ වනවිට සැකයක් පහළ වී නැත්නම් පුදුමය.

බැසිල්ගේ මාධ්‍ය සාකච්ඡාවද දයාසිරිගේ බදුල්ලේ කතාව වගේමය. මහින්දගේ අනුමැතිය නැතිව බැසිල් ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙකු යැයි කියන්නේ නැත. මීට පෙර අවස්ථා කිහිපයකදී ජනාධිපති අපේක්ෂක කතාව ඇතුළු ප්‍රකාශ කිහිපයක් ගැන බැසිල්ට මහින්දගෙන් අවවාද කිරීමද සිදුවී තිබිණි. මේ නිසා පසුගිය බදාදා (13) බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේදී බැසිල්ගේ කට ක්‍රියාත්මක වූයේ මහින්දගේ හඬ අනුව බව පැහැදිලිය.

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර කොතරම් සාකච්ඡා තිබුණත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඊළඟ ජනාධිපතිවරණයේදී ලැබෙන තැන කුමක්දැයි පැහැදිලි කරගැනීම මේ අනුව පහසු නොවනු ඇත. ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ තමන් තුළ තිබෙන අභිලාෂය සම්බන්ධයෙන් නිල වශයෙන් තවම දැනුම් දීමක් නැතත් බැසිල්ගේ මාධ්‍ය සාකච්ඡාව එයට පිළිතුරක් බව ජනාධිපතිවරයා නොදන්නවා විය නොහැක. තමන්ට අපේක්ෂකත්වය නොලැබෙන තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාට ගතහැකි තීන්දුව කුමක් වනු ඇතිද?

ජනාධිපතිවරයාට වැයශීර්ෂ පරාජය නොවන බවට දැඩි විශ්වාසයක් තිබූ බව පැහැදිලිය. යූ.එන්.පී. පසුපෙළ හරහා තමන්ට එල්ල වූයේ කාගේ විරෝධයද යන්න ගැනත් ඔහුට අමුතුවෙන් කියාදිය යුතු නැත. එහෙත් අවසානයේ වැය ශීර්ෂවලට කිසිම බාධාවකින් තොරව සම්මත කරගැනීමට ඉඩ සැලසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය. අගමැති එක අතකින් කොළ කොඩිය වැනුවත් අනෙක් අතේ ඇත්තේ රතු කොඩිය බවද ජනාධිපතිවරයා හොඳින් දනී. මේ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා පමණක් හෝ යළිත් යූ.එන්.පී. සමඟ සන්ධාන ගතවීමටත් කිසිම අවස්ථාවක් නැති බවද ඔහු දනී. එසේ නම් මෛත්‍රීපාල සිරිසේන මහතා දයාසිරි කියනවා සේ ශ්‍රීලනිපයේ ජනාධිපති අපෙක්ෂකයා වෙයිද? ඒක නම් තවම කියන්න අමාරුය.

 ශශීන්ද්‍ර