2019 මාර්තු 16 වන සෙනසුරාදා

මිල සූත්තරේ සාත්තරේ

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

මිල සූත්‍රය හේතුවෙන් කිරිපිටි කිලෝවක මිල රුපියල් 60කින් පමණ ඉහළ යනු ඇතැයි පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. රුපියල් 100ක මිල වැඩි වීමක් අපේක්ෂාවෙන් සිටි සමාගම්වලට යම්තාක් දුරට තෘප්තිමත් විය හැකි විසඳුමක් මෙයින් ලැබී තිබෙන බව බැලූ බැල්මටම පෙනී යයි. රුපියල් 860 කිරිපිටි කිලෝව රුපියල් 920 දක්වා ද රුපියල් 345ක් වන ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 370 දක්වා ද මේ සූත්‍රයට අනුව ඉහළ යනු ඇත. රුපියල් 100කින් මිල නග්ගන තුරු කිරිපිටි නොගෙන්වන බවට ආණ්ඩුවට තග දමා සිටි කිරිපිටි සමාගම් දැන් යළිත් සුපුරුදු බිස්නස් පටන්ගනු ඇත. කිරිපිටි බොන ජනතාව සූත්‍රයට සාප කරමින් දිගටම කිරිපිටි බොනු ඇත. කිරිපිටි මිල සූත්‍රයේ ආසන්නම ප්‍රතිඵල කෙටියෙන් එසේ දැක්විය හැකිය.

කිරිපිටිවලට මිල සූත්‍රය එන්න පෙර එය අදාළ කෙරුණේ ඉන්ධන මිලටය. ඉන්ධන මිල සම්බන්ධයෙන් ලෝකයේ බොහොමයක් රටවල මිල සූත්‍රය ක්‍රියාත්මක වෙයි. ඉන්දියාවේ වුවද තත්ත්වය එය බව සඳහන්ය. නමුත් මේ බොහොමයක් රටවල ඉන්ධන මිල සූත්‍රය ඉදිරියට පමණක් නොව පසුපසටද ක්‍රියාත්මකය. තෙල් බැරලයක මිල ගණන් ඉහළ යන විට ඊට සාපේක්ෂව ඉහළ යන රටේ තෙල් මිල බැරලයේ මිල අඩුවෙන විට පහළට එයි. එහෙත් අපේ රටේ ඉන්ධන මිල සූත්‍රය මේ මාසයට අදාළව ක්‍රියාත්මක වීමේදී එවැන්නක් සිදුවී නැත. ලෝකයේ තෙල් බැරලයක මිල ඉහළ පහළ යාම සුළු වශයෙන් සිදුවන විට අපේ රටේ 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 08කින්ද සුපිරි ඩීසල් මිල රුපියල් 08කින්ද ඉහළ ගොස් තිබේ. මෙය සිදුවී ඇත්තේ ඩොලරයට සාපේක්ෂව රැපියල යම් තරමක ස්ථාවර බවක් පෙන්නුම් කරද්දී වීමද විශේෂයකි.

ඉන්ධන මිල සූත්‍රය නිවැරුදිව ක්‍රියාත්මක කර ඇතැයි රජය ප්‍රකාශ කර තිබිණි. මීට වඩා වැඩිවීමක් සිදුවිය යුතු වුවද එය නොකළ බවද සඳහන් විය. එහෙත් ලෝකයේ තෙල් මිල ගණන් පසුගිය මාසය තුළ ඉහළ පහළ යාමේ ප්‍රතිශතය සහ රුපියල ස්ථාවර මට්ටමක පැවැතීම සැලකිල්ලට ගැනීමේදී ආණ්ඩුව දරණ මතයට එකඟ වීම අපහසු බව අපගේ වැටහීමය. රටේ ජනතාවට සෙතක් නොවන මිල සූත්‍රයකින් ලැබෙන ප්‍රයෝජනයක් නැත. සියල්ල ඉලක්කම්වලින් විසඳිය හැකි නම් ආණ්ඩුවක් තිබෙන්නේ කුමකටදැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය. ආණ්ඩුවක කාර්යභාරය විය යුත්තේ ජනතාවගේ අවශ්‍යතා හැකි පමණින් ඉටුකර දීමට අවශ්‍ය යාන්ත්‍රණය සැකසීමය. මිල සූත්‍රය එවැනි අවස්ථාවකදී යොදාගත හැකි මෙවලමක් වුවද එහි වාසිය ජනතාවට ලැබීම වෙනුවට ආණ්ඩුවේ බදු ආදායම් වැඩිකර ගැනීම සඳහා යොමුවන විට මිල සූත්‍රය පිළිබඳ විශ්වාසය ජනතාව තුළින් තුරන් වී යාමට ඉඩ තිබේ. මිල සූත්‍රවලට එරෙහිව ජනතාවගෙන් හඬක් නැගීමට පෙර ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමුකළ යුතුය.
රටක පාලනය කරගෙන යාමේදී ඕනෑම ආණ්ඩුවකට විවිධ සූත්තර යෙදීමට සිදුවන බව රහසක් නොවේ. මේ සමහර සූත්තර යොදාගනු ලබන්නේ ජනතාව රුවටීම සඳහාය. රටේ උග්‍ර ගැටලුවක් මතුවන විට ඊට සම්බන්ධයක් නැති වෙනත් කතා ඉස්මතු වන්නේ එවැනි උප්පරවැට්ටිවල ප්‍රතිඵලයක් වශයෙනි. සමහර විපක්ෂ දේශපාලනඥයන්ගේ මතය වන්නේ කොකේන් ගහන මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට ඇතිකළ ආන්දෝලනාත්මක කතාවද එවැන්නක් බවය. එහි ඇත්ත නැත්ත අපි නොදනිමු. නමුත් දැන් විපක්ෂයේ සිටින එදා ආණ්ඩු පක්ෂයේ සිටි උදවියගේ සූත්තරද ඊට දෙවැනි නොවූ බවත් සඳහන් කළ යුතුය.

දැනට ක්‍රියාත්මක මිල සූත්‍ර දෙකෙන්ම රටේ පොදු මහජනතාවගේ බඩට වදින බව යථාර්ථයයි. මීට කලින් තෙල් මිල ගණන් ඉහළ ගියේ වරින් වරය. එහෙත් මිල සූත්‍රය ක්‍රියාත්මක වීමෙන් පසුව එක් අවස්ථාවකදී හැර මාස් පතාම තෙල් මිල ඉහළ යයි. මෙය රටේ ජනතාවට හිරිහැරයක් බව ආණ්ඩුව තේරැම් ගෙන නැත. රටේ නාස්තිකාර වියදම් නැවැත්වීම, මැති ඇමැතිවරැන්ගේ භාවිතයට අධි සුපිරි වාහන ගෙන්වීම වැළැක්වීම වැනි පියවර ගැනීම සඳහා ද කිසියම් හෝ සූත්‍රයක් ක්‍රියාත්මක වන්නේ නම් ඉන්ධන - කිරිපිටි මිල සූත්‍රවලින් ඉතිරි කර ගන්නා මුදලට වඩා මුදලක් රටට ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත. ඒ බව රජය කල්පනා කරන්නේ නම් එය වැදගත් වනු ඇති බව පැවසිය යුතුය. එපමණක් නොව රාජ්‍ය ආයතන සඳහා නවීන පන්නයේ ගොඩනැගිලි මිලදී ගැනීමේදී වාහන මිලදී ගැනීමේදී පවා කිසිම මිල සූත්‍රයක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නේ නැත. එවැනි මිල සූත්‍රයක් තිබුණා නම් කෘෂිකර්ම අමාත්‍යාංශයට මාසයක රැපියල් දෙකෝටි තිස් පන් ලක්ෂයක් ගෙවා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට සිදු නොවනු ඇත. එසේ වූවා නම් ඉන්ධන මිල සූත්‍රයෙන් ඉතිරිවන මුදලට වඩා මුදල් ඉතිරි කර ගැනීමටද ඉඩ තිබිණි.

කිරිපිටි මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ වගකීම පාරිභෝගික අධිකාරියට පැවරෙන බවද ප්‍රකාශ වී තිබේ. ජාත්‍යන්තර කිරිපිටි මිල ගණන් සහ විනිමය අනුපාතයේ වෙනස්කම් පදනම් කර ගනිමින් කිරිපිටි සඳහා මිල සූත්‍රයක් සැකසීමට රජය මගින් පත් කරන ලද කමිටුවක් මගින් මේ මිල සූත්‍රය සකස් කර ඇත. එහෙත් ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන කිරිපිටිවල ගුණාත්මක තත්ත්වය පිරික්සීමට කිසිදු කමිටුවක් නැත. එය පාරිභෝගිකයාගේ පැත්තෙන් අසාධාරණයකි. මිල සූත්‍රයට අනුව මින් පසුව රුපියල් 60ක් වැඩිපුර ගෙවා ලබාගන්නා කිරිපිටිද පරිභෝජනය කළ යුත්තේ එහි ගුණාත්මක භාවය පිළිබඳව කිසිදු සහතිකයක් නොමැතිවය. ඒ බව මේ සූත්‍රය ක්‍රියාවට නංවන පාරිභෝගික අධිකාරිය ද දැන සිටීම අවශ්‍යය. පිටිකිරි සමාගම්වලින් එල්ලවෙන පීඩනය ජනතාව මතුපිටින් යැවීම සඳහා පමණක් මිල සූත්‍රය යොදාගන්නේ නම් එය ආණ්ඩුවේ තවත් එක සූත්තරයක් පමණක් බව ජනතාව තේරැම් ගනු ඇත. සූත්‍රයට සූත්තරයක් වීමට ඉඩ නොතැබීම බලධාරීන්ගේ වගකීමය.