2019 මාර්තු 09 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 149

ඩොලර් බැඳුම්කර

ලබන අප්‍රේල් මාසය වනවිට ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500ක ණය වාරිකයක් ගෙවිය යුතුවෙයි. ඒ සඳහා මුදල් ලබාගැනීමට අයවැය ඉදිරිපත් කළ විගසම ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර රන්පවුම් බැඳුම්කරය දියත් කළේය. එයින් ලබාගැනීමට අපේක්ෂිත මුදල ඩොලර් බිලියන 2.5කි. ඒ මුදලින් වැඩි ප්‍රමාණයක් ණය ආපසු ගෙවීම සඳහා යොදාගනු ඇත.

රොයිටර් වාර්තාවක් අනුව සඳහන් වන්නේ පසුගිය බ්‍රහස්පතින්දා (06) අලෙවිය විවෘත කළ ඩොලර් බැඳුම්කරයට ඩොලර් බිලියන 03ක් ඉක්මවා ඉල්ලීම් ලැබී තිබූ බවය.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබුණේ මෙහිදී ලබාගත හැකි මුදල පසුගිය දෙසැම්බරයේදී පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද අතුරුසම්මත ගිණුම මගින් සීමාකර ඇති බවය. අතුරු සම්මත ගිණුමක වපසරිය අයවැයකට වඩා කුඩා බවද ඔහු සඳහන් කළේය. මේ අතර මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු ප්‍රකාශ කළේ මේ හරහා උපයා ගැනීමට අපේක්ෂිත මුදල ඩොලර් බිලියන 2.5ක් බවය.

ඇමැති මණ්ඩලය මගින් ජනවාරියේදී අනුමත කරන ලද්දේ විදෙස් වාණිජ ණය මගින් ඩොලර් බිලියන 02ක ණය මුදලක් ලබාගැනීමට පමණක් වුවද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හරහා තවත් ඩොලර් බිලියන 03ක් ලබාගැනීමටද කටයුතු කෙරෙයි. එම මුදල භාවිතයට ගැනීමට හැකි වන්නේ අප්‍රේල් මාසයේදී අයවැය සම්මත වීමෙන් පසුව පමණක් බවද භාණ්ඩාගාර ලේකම්වරයා පවසයි. “දැනට අපි කටයුතු කරන්නේ අතුරැ සම්මත ගිණුමේ උපමාන අනුවයි. බජට් එක සම්මත වුණායින් පස්සේ තව තවත් ණය ලබා ගන්නවා.”යැයිද ආචාර්ය සමරතුංග පැවසුවේ අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 500ක් ගෙවීමට සිදුව ඇති බව සඳහන් කරමිනි.

2019 වසර තුළදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5.9ක ණය ආපසු ගෙවීමට නියමිතව තිබේ. පළමු කාර්තුව තුළදී ආපසු ගෙවිය යුතු මුදල දැක්වෙන්නේ ඩොලර් බිලියන 2.6ක් වශයෙනි.

කෙසේ වුවද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ ඩොලර් මිලියන 500 අප්‍රේල් මාසයේදී ගෙවීමෙන් පසුව ගෙවීමට ඇත්තේ ඊට වඩා අඩු වාරික බවයි. 

► ඩේලි එෆ්.ටී.

මංගලගේ උත්සවය

වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීමේ උත්සවය මේ අවස්ථාව විය. ඒ සඳහා සහභාගී වී සිටි සමන්තා පවර්, බැරක් ඔබාමා ජනාධිපති සමයේදී එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපතිනිය විය. ඇය වටා රැස්ව සිටි සම්භාවනීය අමුත්තන් අතර සිනාකතා ද සිදුවිය.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිටියදී “පොදු (ජනාධිපති) අපේක්ෂකයා” කතාවක් මතුවිය.

පවර් මහත්මියට මෙය තේරුම් ගැනීම අපහසු විය. ඇය එකවරම හාස්‍යජනක ලෙස මෙසේ කීවාය. “මම දන්නවා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා නිවැරැදි තීන්දුවක් ගනියි කියලා.” මේ හතර බීරි කතා ගැන සියලු දෙනාටම සිනා පහළ වුවද කිසිවකුත් ඒ කතාබහ වැඩි ගාණකට ගත්තේ නැත.

මෙය මංගල සමරවීර මහතාට තම තිස් අවුරුදු දේශපාලනයට එබී බැලීමට ද අවස්ථාවක් විය. වරක් ඔහු මහජන රැලියකට සහභාගී වෙමින් සිටියදී එය මෙසේ සිදුවිය. ඒ අවස්ථාවේ වේදිකාවේ ඔහු අසලින්ම අසුන්ගෙන සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු එවකට විපක්ෂනායකයා විය. ඔවුන් එකිනෙකා දෙස බැලුවද දෙදෙනාම කතා කිරීමෙන් වැළකී සිටියහ. කතා කිරීමට තරම් දෙයක් නොතිබිණි.

මංගල මහතා වේදිකාවෙන් බැසයද්දී පැමිණ සිටි පිරිසක් “ඔබතුමා ලොක්කා එක්ක තරහ දැයි” ඔහුගෙන් ඇසුවේලු. මහ හඬින් සිනාසුණු ඔහු කීවේ එහෙම දෙයක් නැතැයි කියාය. එම ප්‍රශ්නයම ඔහුගෙන් ඇසූ සමීප මිත්‍රයකුට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “මේ වගේ වේදිකාවලදී මහින්ද රාජපක්ෂ (එවකට දෙදෙනාම එකම පක්ෂයේ වූහ.) එක්ක වාඩි වෙලා ඉන්න කොට එයාට මුකුත්ම කියන්න නැත්නම් එයා කරන්නේ පුංචි විහිළු කතාවක් කියන එකයි. එතකොට අපි හිනා වුණත් බලන් ඉන්න අය හිතන්නේ අපි දෙන්නා බර කතාවක් කියලයි.”

► සන්ඩේ ටයිම්ස්