2019 මාර්තු 09 වන සෙනසුරාදා

අය ද? වැය ද?

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

අයවැය ගැන දැන් කතා බොහෝය. එජාප ප්‍රධාන ආණ්ඩුවේ මැති ඇමැතිවරු අයවැය බොහෝ සුබවාදීව දකිති. “කාන්තාවන්ට සැලකිල්ලක් දක්වා නැහැ” වැනි සුබ නොවන ප්‍රතිචාර කිහිපයක්ද තිබුණත් මංගල සමරවීර මුදල් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැයට ඔවුන් බහුතරයේ කැමැත්ත හිමිව තිබේ. ඊට විරුද්ධ පක්ෂය විසින් දක්වා ඇත්තේ දැඩි විරෝධයකි. මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇත්තේ ඉටුකළ නොහැකි ඡන්ද පොරොන්දු සමූහයක් වැනි අදහසක් විපක්ෂ මන්ත්‍රීන් බොහෝ දෙනා තුළ පවතී. සමහරුන්ගේ මතය ඇතැම් යෝජනා හොඳ වුණත් ඒවා ක්‍රියාවට නැංවීමට තරම් හැකියාවක් ආණ්ඩුවට නැති බවය.

අයවැය සම්බන්ධයෙන් රටේ මහජනතාව ගැඹුරු විශ්ලේෂණයකට යන්නේ ඉතා කලාතුරකිනි. හැන්දෑවට ඇඟපත පොඩ්ඩක් රත්කර ගත්විට අයවැය යෝජනා සැර කටගැස්මක් වන පිරිසද ඒ ගැන මහ ලොකු අර්ථකථන සපයන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ බඩට, සාක්කුවට සහ කුස්සියට දැනෙන යමක් අයවැය යෝජනාවලින් ඉටුවී ඇතිදැයි යන්න දැනගැනීමට පමණි. එය එසේ නොවන විට හොඳට ලුණු ඇඹුල් ඇතිව කියන කතා අසා සිටීමද අපහසු කරුණකි.

අයවැය සම්බන්ධයෙන් අප සිදුකළ පොදු මහජනතාවගේ මත විමසුමේදී ඔවුන් වැඩි දෙනකුගේ අදහස වී තිබුණේ මෙය ජනතාවාදී අයවැයක් නොවන බවය. පඩි වැඩි වනවාට වඩා අද අවශ්‍ය වන්නේ බඩු මිල අඩුවීම බවත් එසේම ජනතාවට දැනට වඩා සහන ලැබීම අවශ්‍ය බවත් ඔවුන්ගේ පොදු අදහස වී තිබිණි. රටේ පවතින ප්‍රශ්න සම්බන්ධයෙන් සලකා බලන විට ජනතාව අයවැය සම්බන්ධයෙන් එවැනි අදහස් දැරීම ගැන පුදුම විය යුතු නැත. ඔවුන් අදහස් ප්‍රකාශ කරන්නේ තමන්ගේ නිවෙසේ පවතින ප්‍රශ්නවලට සාපේක්ෂව බව මෙහිදී අමතක නොකළ යුතුය. එසේ නම් බැලූ බැල්මට පෙනෙන්නේ යෝජනා හොඳ යැයි ආණ්ඩුවේ මැති ඇමැතින් කිව්වත් සාමාන්‍ය ජනතාවට එය එසේ නොදැනෙන බවය. අයවැය පිළිබඳ විවාදයේදී මේ කරුණු කෙරෙහි සැලකිලිමත් වීම සුදුසු බව සිතමු.

බොහෝ දෙනා අපේක්ෂා කළ පරිදිම මෙවර අයවැය යෝජනා ගණනාවක් මැතිවරණ සන්තෝසම් වශයෙන් සිදුකරන ලද ඒවා බව පෙනී යයි. අලුත බඳින ජෝඩුවලට යෝජිත “හෝම් ස්වීට් හෝම්” ණය යෝජනා ක්‍රමය ඉන් එකකි. මෙවැනි යෝජනාවක් මතුපිටින් බැලූවිට හරිම සුන්දරය. මටසිලිටිය. ඒ වචනවලින් තරුණ පෙළට රෝස සුවඳක් දැනෙනු ඇති බවත් කිව හැකිය. එහෙත් එම යෝජනාව කොතරම් දුරට යථාර්ථවාදීද? ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද? හදිසියේ විවාහ වන මාසිකව සත පහක ස්ථිර ආදායමක් නොමැති ජෝඩුවලට රුපියල් කෝටියක නිවාස ණයක් ලබාදීමට ඉදිරිපත් වන රාජ්‍ය බැංකුවක් මෙරට තිබේද? මෙවැනි කාරණා තරුණ පරපුර විසින්ද හොඳින් සොයා බලන බව තේරුම් ගැනීම යහපත්ය. මේ එක් උදාහරණයක් පමණි.
මෙවැනි තවත් යෝජනාවක් වන්නේ සමෘද්ධිය ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 06කින් වැඩි කිරීමය. රටේ ප්‍රධානම සමාජ සුබසාධන වැඩපිළිවෙළ වන සමෘද්ධිය සඳහා 2017 වසරේදී වෙන්කර තිබූ මුදල රුපියල් බිලියන 43ක් වශයෙන් දැක්වෙද්දී ඒ සඳහා ලේඛනගතව සිටි පවුල් සංඛ්‍යාව ලක්ෂ 14ක් විය. මේ සංඛ්‍යාව වැඩි කිරීම සැබෑ දිළිඳු පවුල්වලට සහනයක් වන නමුත් සමෘද්ධි ව්‍යාපාරය තදින්ම දේශපාලනීකරණය වූ වැඩපිළිවෙළක් බවත් එම දීමනාව ලැබිය යුතු මට්ටමේ නොසිටින බොහෝ පිරිසක් දේශපාලන හේතූන් මත ඒවා ලබාගන්නා බවත් ප්‍රසිද්ධ රහසකි. වරින්වර බලයට පත් සෑම ආණ්ඩුවක්ම තම ඡන්ද ගොඩ වැඩි කිරීම සඳහා දැන දැනම මේ වැරැද්ද සිදුකර තිබේ. එවැනි සංකීර්ණ ක්‍රියාවලියකට තවත් පවුල් ලක්ෂ 06ක් එකතු කිරීමෙන් පමණක් බලාපොරොත්තු වන අරමුණු ඉටුකර ගැනීමට හැකිවනු ඇතිදැයි යන්න නම් ප්‍රශ්නාර්ථයකි.

අයවැය යෝජනා හරහා රජය මගින් ඉදිරි වසර තුළ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන ආකාරය පැහැදිලිව සඳහන් වීම අවශ්‍යය. එහෙත් ඇතැම් බරපතළ කාරණා රජයේ සේවක වැටුපට රුපියල් 2500 දීමනාව එකතු කිරීම වැනි ජනප්‍රිය යෝජනා මගින් අයිසින් දමා ඇති බවක්ද පෙනී යයි. 2016 වසරේ සිට මේ දක්වා වැඩි නොවී ඇති භාණ්ඩ හා සේවා බදු නැංවීම එවැනි එක් යෝජනාවකි. මේ යෝජනාවෙන් වැඩිවෙන මිල ගණන් පිළිබඳව බොහෝවිට රටේ ජනතාව දැනගනු ඇත්තේ ඒවා ක්‍රියාත්මක වීමෙන් පසුව වෙළෙඳපොළට යන අවස්ථාවේදීය. 

රජයට රටේ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා ආදායම අවශ්‍ය බවට තර්කයක් නැත. විශේෂයෙන්ම රටේ සමස්ත ආර්ථිකයම දැඩි අර්බුදයකට පත්ව තිබියදී රුපියලේ අගය ලෙල්ලටම වැටී තිබියදී ඒවායින් ගොඩඒමට රජය නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති තීන්දු ගැනීම අවශ්‍යය. බදු වැඩිකොට ආදායම වැඩිකර ගැනීමට රජය කල්පනා කර ඇති නමුත් ආයෝජන දිරිගැන්වීමට, පෞද්ගලික අංශයේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටුකර දීමට, නව රැකියා උත්පාදනයට උචිත යෝජනා මෙවර අයවැයේ දකින්නට නොලැබීම අඩුපාඩුවකි. 

අධ්‍යාපනයට ලබාදෙන දිරිගැන්වීම්, ග්‍රාමීය පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීම ඇතුළු යහපත් යෝජනා ගණනාවක් මෙවර අයවැයට ඇතුළත්ව තිබෙන බවද පෙන්වාදීම අවශ්‍යය. ගම්පෙරළිය ව්‍යාපෘති වෙනුවෙන් මිලියන 48,000ක් ලබාදීම, එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහනින් අලුත් වැඩසටහන් 16ක් ක්‍රියාත්මක කිරීම, රණවිරුවන්ගේ නිලඇඳුම් දීමනා, නිවාස කුලී, කොමාන්ඩෝ දීමනා ඉහළ දැමීම, විශ්‍රාමික දීමනා වැඩිකිරීම සහ විදේශගත ශ්‍රමිකයන්ට සහන කාලයක් සමඟ රුපියල් කෝටියක ණය ලබාදීමද එහිදී කැපී පෙනෙයි. කෙසේ වුවද රටේ පවතින අට අනූවක් ආර්ථික ලෙඩ සුවකරන තිරසාර පිළියම් මේ අයවැයේ දකින්නට නොලැබෙන බව අපගේ හැඟීමය.

 

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30