2019 මාර්තු 02 වන සෙනසුරාදා

පරණ ටීම් - අලුත් ගේම්

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

සෑහෙන කාලයක් පැරදි පැරදි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හදිසියේම දිනන්න පටන් ගත්තේය. ඒකත් සිදුවුණේ ලංකාවෙ තමන්ට හුරුපුරුදු පරිසරයක නොව ලෝකෙ ඕනෑම රටකට ක්‍රිකට් ගහල දිනන්න අමාරු දකුණු අප්‍රිකාවෙදි වීමත් මේ ජයග්‍රහණවල වටිනාකම ඉහළ දමා තිබිණි. මේ ජයග්‍රහණ නිසා ක්‍රිකට් එපාවෙලා හිටපු අපේ රටේ ක්‍රිකට්ලෝලීහු දැන් යළිත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග බලන්න අහන්න කැමැත්තෙන්ම එක්වෙමින් සිටිති. ඒ එකතුවෙන ගමන් මේ හදිසියෙම වෙච්ච විපර්යාසයට හේතු කියන්නත් ඔවුහු නොපැකිලෙති.

ජයග්‍රහණයට හේතු ගණනාවක්ම ඔවුන් අතින් කියැවුණේය. එහෙත් ඒ අතරින් එකක් පිළිබඳ කාගේත් එකඟත්වයක් තිබෙන බව පැහැදිලිව පෙනෙයි. එනම් තරග දිනුවේ ටීම් එක අලුත්වීම නිසා කියන එකය. ජ්‍යෙෂ්ඨකම, පළපුරුද්ද, පැරැණි දස්කම් මේ ඔක්කොම පැත්තකට කර මේ වෙලාවෙදි ගේම් එක හොඳට ගහන්න පුළුවන් පිරිසක් කණ්ඩායමට එකතුකොට තරගයට දැමීමය. ෆ්‍රෙෂ් පිට ටීම් එකට ගිය අලුත් කට්ටිය පරණ කට්ටිය එක්ක හොඳට සෙට් වී මෙතෙක් පැරදෙමින් සිටි කණ්ඩාමයත් පරාජයන් ගැන කනස්සල්ලෙන් හිටි රටත් ගොඩ දැම්මෝය. මේ කතාව අපේ රටේ දේශපාලනයට ගලපා ගත්තොත් කොහොම වෙයිද?

දේශපාලනයෙදී ටීම් එක අලුත් වුණොත් කොහොම වෙන්න පුළුවන්ද කියන එකට උත්තර සොයන්න නම් මේ දවස්වල දේශපාලන කරළියේ සිදුවෙන පෙරළි ගැන විමසිලිමත් වීම අවශ්‍යය. ආණ්ඩු පක්ෂය, විපක්ෂය පමණක් නොව ඒ දෙකටම නැතුව දේශපාලනය කරන ජවිපෙද කරන දේශපාලනය ගැන සෙවිය යුතුය.

ආණ්ඩුව මේ දවස්වල හරි නම් වැඩි අවධානයක් යොමුකළ යුතු වන්නේ අයවැයටය. තීරණාත්මක මැතිවරණයක් පවත්වන වසරක් වීම නිසා ආණ්ඩුව අයවැයට වැඩි බරක් දැමීම අවශ්‍යය. වසර හතරක් පුරාම එකතු කරගත හැකිව තිබුණු ලකුණුත් සන්නිවේදනයේ තිබෙන බරපතළ අඩුපාඩුකම් හේතුවෙන් නැතිකරගෙන තිබීම නිසා ආණ්ඩුවට ඡන්දයට යාමට සිදුවන්නේ ඒ තරම් හොඳ ලකුණු තිබෙන රිපෝට් කාඩ් එකක් නැතුවය. එයින් සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට යූ.එන්.පි.ය ප්‍රමුඛ ආණ්ඩුවට ටීම් එක අලුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවීමට හොඳටම ඉඩ තිබේ. 

අනෙක් පැත්තෙන් ආණ්ඩුවත් එක්ක මුලින්ම තමන්ගේ අලුත් දේශපාලන ගමන ඇරුඹූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් තීරණාත්මක ලෙසින්ම ආණ්ඩුවෙන් වෙන්ව සිටින්නේය. උදය ගම්මන්පිල, පිවිතුරැ හෙළ උරුමයේ නායකයා අප සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණේ ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ දින 52 ආණ්ඩු පෙරළියෙන් පසුව මෛත්‍රීපාල මහතා මහින්ද මහතා සමඟ එකතු වූ බවය. ඒ අවස්ථාවේදී මහින්ද මහතා අගමැති පදවිය බාරගන්නවාට තමා දැඩි ලෙස විරැද්ධ වුවත් එම පදවිය ලබාගැනීමෙන් ආණ්ඩුව දුර්වල වී ජනාධිපතිවරයා තමන්ගේ කණ්ඩායම සමඟ එකතුවීම දැවැන්ත ජයග්‍රහණයක් වශයෙන් සලකන බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා තිබිණි. ඔහු කියන්නේ දවස් 52 ව්‍යවස්ථා අර්බුදය ජනාධිපතිවරයාත් යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුවත් බෙදා වෙන්කිරීමට හේතු වූ බවය. ඒ කියන්නේ යූ.එන්.පී. එකට විරැද්ධව ඊළඟ ජනාධිපතිවරණයෙදී මහින්දලාගේ පාර්ශ්වයේ &ටීම්* එකට මෛත්‍රීපාල සිරිසේන මහතා එකතුවෙන බවය. ඒක ඔවුන්ට තරග දිනවන කාරණයක් වෙයිද?

එහෙම දිනන්න නම් සිරිසේන මහතාට ටීම් එක තුළ හිමිවෙන කාර්යභාරය පැහැදිලි විය යුතුය. එහි අංක එකට එන්නේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීමය. ගිය වතාවේ පොදු අපේක්ෂකයකු වූවාට මේ වතාවේදී සිරිසේන මහතාට එවැනි චාන්ස් එකක් ලැබෙන්නේ නැත. ඔහු ඉදිරිපත් විය යුත්තේ පොහොට්ටු-ශ්‍රීලනිප යෝජිත පුළුල් සන්ධානයේ අපේක්ෂකයා වශයෙනි. නමුත් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පමණක් නොව කනිෂ්ඨයන් පවා සිරිසේන මහතාගේ අපේක්ෂකත්වය එළිපිටම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් තුළ එවැනි යෝජනාවකට ඉඩක් නැති බව පැහැදිලිය. මේ වනවිට දේශපාලන කරළිය තුළ ලොකුම ප්‍රසිද්ධ රහස වශයෙන් සැලකෙන ජනපති - අගමැති - විපක්ෂනායක, පොහොට්ටුව සහ ජවිපෙ අතර සිදුවෙන දේශපාලන සංවාදයේ මාතෘකාව මීට සම්බන්ධය. මෙතෙක් ජනාධිපතිවරණයක් ගැන කතාබහ කළත් දැන් මාතෘකාව ජනාධිපතිවරණය නොපැවැත්වෙන තැනට කටයුතු කිරීමය. එය සිදුවීමට නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට අගමැති ප්‍රමුඛ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට යා යුතුය. ඒක සිදුවෙයිද?

දැන් පෙනෙන්න තිබෙන්නේ ඒකත් කොහෙත්ම සිදුනොවන බවකි. ඊට හේතුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අපහසුවීම නොවේ. හරියට බැලුවොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ඊට ඉතිහාසයේ හොඳම අවස්ථාව පැමිණ තිබෙන්නේ දැන්ය. ඒ ක්‍රමය අහෝසි කිරීම ජනමත විචාරණයක්ද අවශ්‍ය වන ව්‍යවස්ථා සංශෝධනයකි. නමුත් මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, අනුර කුමාර දිසානායක, මේ සියලු නායකයන්ට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පොදු අරමුණ වනවිට ජනමත විචාරණය ගැන කාටවත් බයවෙන්න වුවමනාවක් නැත. මේ සියලු පක්ෂ එකඟ වනවිට උතුරේ ටී.එන්.ඒ. ඇතුළු සෙසු දේශපාලන පක්ෂ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ ද එයට එකඟ නොවී සිටින්නේ නැත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුකූල, අනනුකූල බව තීන්දු කර ඉන්පසුව ජනමත විචාරණයකට ගොස් සියලු දෙනාගේම කැමැත්තෙන් එයට ජනතාවගේ කැමැත්ත ලබාගැනීම අපහසු නැත. එහෙත් දැන් විවිධ හේතු පෙන්වමින් එය නොකර සිටීමේ වෑයමක් ක්‍රියාත්මක වෙමින් පවතී. නමුත් සැබෑ හේතුව ඒ එකක්වත් නොවන බව පැහැදිලිය. සැබෑ හේතුව තිබෙන්නේ යටපත් වෙලාය. ඒ ගැන අදහසක් ගැනීමට ජනාධිපතිවරණයේදී ඉදිරිපත් විය හැකි අපේක්ෂකයන් සම්බන්ධයෙන් සලකා බැලිය යුතුය.

යූ.එන්.පි.ය ජනාධිපතිවරණයට සූදානම් බව පැහැදිලි ප්‍රකාශ කරයි. එහෙත් ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් නොකියයි. ඉකුත් සතියේදී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා අපට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ යූ.එන්.පි.යේ අශ්වයාත් ජොකියාත් දෙදෙනාම සූදානම් බවය. ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගේ මතය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් විය යුතු බවය. සුළු ජාතික ඡන්ද ආකර්ශනය කර ගැනීමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට තිබෙන හැකියාව අභියෝගයට ලක් කළ නොහැකි බව ඔහුට සහාය දක්වන පිරිසේ මතය වී තිබේ. නමුත් යූ.එන්.පි.යේම තවත් පිරිසකගේ මතය වන්නේ උතුරේ එසේ වුවත් දකුණේ ඡන්ද ආකර්ශනය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ගැටලුවකට මුහුණ දෙනු ඇති බවය. ඔවුන්ගේ අදහස ටීම් එකට අලුත් මුහුණු එක් කිරීමට කාලය පැමිණ ඇති බවය. කරැ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස මෙහිදී ඉදිරියෙන්ම සිටින නමුත් ඒ ගැන අවසන් තීන්දුව ඇත්තේ යූ.එන්.පි.යේ කෘත්‍යාධිකාරි කමිටුව අතේ බව පැහැදිලිය. වරක් එජාපෙ එක් සුළු පක්ෂ නායකයකු කෙළින්ම ප්‍රකාශ කර තිබුණේ ඊළඟ ජනාධිපතිවරණයේදී ජයගැනීමට නම් පක්ෂයේ සිටින තරැණ ජනප්‍රිය නායකයකුට අවස්ථාව ලබාදිය යුතු බවය. එහෙත් එම ප්‍රකාශයට යූ.එන්.පී. නායකත්වයේ ප්‍රසාදයක් පළ වූයේ නැත.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීම හෝ නොලැබීම මත ඉදිරියේදී සිය දේශපාලන ජීවිතය හසුරැවා ගන්නා ආකාරය පිළිබඳ ගැටලුවකි. ඒ අනුව නම් ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැමැත්ත පළකිරීම ගැන පුදුම විය යුතු නැත. මහින්දලාගේ පාර්ශ්වය දිනන තත්ත්වයක් තුළ තමන්ගේ ඉදිරි පැවැත්මට සිදුවිය හැක්කේ අවම හානියක් බවට ඔහු තුළ විශ්වාසයක් මේ වනවිට ගොඩනැගී ඇතුවාට සැකයක් නැත. නමුත් ජනාධිපතිවරණයෙන් යූ.එන්.පී. අපේක්ෂකයා ජයග්‍රහණය කළහොත් සිදුවිය හැකි දේශපාලන හානිය ගැනද ජනාධිපතිවරයාට මේ වනවිට පැහැදිලි තක්සේරැවක් ඇත. මේ පසුබිම යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයාගේ කැමැත්ත නොලැබීමට හේතුවක් නැත. එයින් පසුව ඔහුට නාමමාත්‍රීක ජනාධිපති පදවියේ තවත් කාලයක් කටයුතු කිරීමට ලොකු ඉඩක් තිබීම ඊට හේතුවය.

එහෙත් මෙහිදී වඩාත්ම අර්බුදයකට යනු ඇත්තේ මහින්ද පාර්ශ්වය බව පැහැදිලිය. බැලූ බැල්මට පෙනෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන මහින්ද සතුටු බවය. ඒ ගැන පුදුම වීමට හේතුවක් නැත. ඔහුට ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමට මෙවර ඉඩක් නොමැතිවීම ඊට හේතුවය. 19 වැනි ව්‍යවස්ථාවට අනුව ඔහුට තරග කිරීමට නොහැකි වීම නිසා ඊට එකඟ විය හැකි වුවද එතැනින් එහාට සිදුවිය හැකි දේ ගැන ගණන් බැලීමේදී ඔහු දෙවරක් නොව කිහිප වරක්ම ඒ ගැන සිතනවා විය යුතුය. ජනාධිපතිවරණයක් නොපවත්වන තත්ත්වයක් තුළ විධායක බලය මාරැවෙන්නේ කා අතටද යන්න බරපතළ ගැටලුවක් වීමට ඉඩ තිබෙන බව තේරැම් ගැනීම අපහසු නැත.

මේ අනුව පෙනෙන්නේ කාගේත් කැමැත්තක් තිබුණද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු නොකෙරෙන දීගයක් පමණක් බවය. ඒ ගැන සිදුකෙරුණු කතාබහ මාධ්‍ය සිරස්තල මැවීමකට පමණක් සීමාවී ඇතැයිද පෙනෙන්නට තිබේ. මේ අනුව පෙනෙන්නේ මෛත්‍රීපාල, මහින්ද, රනිල් තිදෙනා අතරින් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට කැමැත්තක් දක්වන බව පෙනෙන්නේ, නැතහොත් ඕනෑකමක් තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බවය. එහෙත් එය ඉටු නොකෙරෙන තත්ත්වයක් තුළ සිරිසේන මහතාට බලාපොරොත්තු තැබීමට සිදුවන්නේ පොහොට්ටුව සමඟ යෝජිත සන්ධානයයි. එය ගොඩනැගීමට සිදුකෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන් කොතරම් බලාපොරොත්තු තබා සිටියත් එය සිතන තරම් වේගයෙන් සිදුවන බවක් පෙනෙන්නේ නැත. ශ්‍රීලනිපය තුළ ප්‍රතිසංවිධානයක් සිදුකරමින් නව තනතුරු ඇතිකර ආසන සංවිධායකවරැන් පිරිසක් වෙත නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමක්ද පසුගිය බ්‍රහස්පතින්දා (28) සිදුකෙරැණේ මේ වටපිටාවේය. එසේ වුවත් පුළුල් සන්ධානය ගොඩනගන වැඩපිළිවෙළට තවමත් පොහොට්ටුවෙන් ලැබී ඇත්තේ වචනයක් පමණක් වීම ජනාධිපතිවරයාගේ කැමැත්තට හේතු වන්නේ නැත. එහෙත් මහින්ද නම් දිගටම ජනාධිපතිවරයා සමඟ ඉදිරි ගමනක යෙදීමට තීරණය කර ඇති බවක් පෙනෙන්නට තිබේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොවන තත්ත්වයක් තුළ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය කැඳවීම ස්ථිරවම සිදුවෙයි. ඒ වනතුරැ ශ්‍රීලනිපයේ බලකණු තමන් සමඟ රඳවාගෙන සිටීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට විශාල වෙහෙසක් දැරීමට සිදුවන බව පැහැදිලිය.

මේ අතර ජනාධිපතිවරයා සම්බන්ධයෙන් නිහඬව මෙතෙක් කලක් සිටි ජවිපෙ පසුගිය බ්‍රහස්පතින්දා (28) මාධ්‍ය හමුවක් තබමින් ජනාධිපතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට චෝදනා කරන්නේ ඔහු නියෝජනය කරන මහින්ද රාජපක්ෂ පිලේ දූෂිතයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා එහිදී කීය. මෛත්‍රීපාල මහතා මේ උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ සහායෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බවටද ඔහු චෝදනා කළේය. මීළඟට ඔහු තවත් ප්‍රශ්නයක්ද ජනාධිපතිවරයාට කෙළින්ම එල්ල කළේය. 

බැඳුම්කර හොරැන්ට දඬුවම් දිය නොහැක්කේ ඔවුන්ගේ ආණ්ඩුවක් සිටින නිසා නම් ජනාධිපතිවරයා විසින්ම පත්කළ බරපතළ මූල්‍ය වංචා විමර්ශන කොමිසමේ චූදිතයන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ යන මහත්වරැන් ඇතුළු තිස් ගණනකට දඬුවම් දීමට නොහැකි වී ඇත්තේ ඇයි? ඔහු ඇසුවේය.

මේ අනුව පෙනෙන්නේ ජනාධිපතිවරයා ඉදිරියේදී යූ.එන්.පි.යේ පමණක් නොව ජවිපෙ ප්‍රහාරවලටද ලක්වීමට ඉඩ තිබෙන බවය. ඊළඟ ජනාධිපතිවරණයට ගොස් එයින් ජය ගැනීමට අලුත් ටීම් එකක් හදාගැනීම කෙසේ වෙතත් තිබෙන ටීම් එක රැකගැනීමත් අමාරු වන ලකුණු පහළවෙමින් තිබෙන බව පැහැදිලිය. පරණ ටීම් දාගෙන අලුත් ගේම් ගහන්න ගියාට වැඩක් නැත.

I ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00