2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

තුවක්කුවලට දිනන්න ආයෙත් ඉඩ නෑ

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් 

 

අපි මෙහෙම ආරම්භය ගනිමු. ඔබ කවුද? මොනවද කරන්නේ?

නමින් කුමාර් ගුණරත්නම්. පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ සංවිධායක ලේකම්.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නේ මොකද්ද?

ඔව්. අපේ පක්ෂය ශ්‍රී ලංකාවේ සමාජවාදය අරමුණු කරගත් දේශපාලන ව්‍යාපාරයක්. අපි වාමාශික දේශපාලන පක්ෂයක්. අපේ අරමුණ ලංකාවේ සමාජවාදය ගොඩනැගීම උදෙසා ලංකාවේ සියලු දේශපාලන බලවේගයන් ඒකාබද්ධ කරගැනීම.

ජනතා විමුක්ති පෙරමුණ තමයි ඔබට දේශපාලන උරුමය ලබාදුන්නේ. 88-89 කාලයේ පක්ෂය දැවැන්ත ලෙස කඩාවැටිලා තියෙද්දී නැවත පක්ෂය නැගිටුවන්න බොහෝ දේවල් ඔබ කළා කියනවා. කඩා වැටුණ ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නගන්න මොනවද ඔබ කළේ?

මම විතරක් නෙවෙයි. තවත් සහෝදරවරු ගණනාවක් ඒ ක්‍රියාකාරීත්වයේ හිටියා. 87-89 එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ පැවැති භීෂණය හමුවේ පක්ෂ නායක සහෝදරවරු ඇතුළුව විශාල ප්‍රමාණයක් ඝාතනය වුණා. මේ නිසා පක්ෂය පැවතුණේ ඉතාම දුෂ්කර තත්ත්වයක. තවත් පිරිසක් අත්අඩංගුවට පත් වුණා. තවත් පිරිසක් ඝාතනය නොවී, අත්අඩංගුවට පත් නොවී විදේශගත වුණා. ඉතාම සුළු පිරිසක්, මමද ඇතුළුව අත්අඩංගුවේ සිට පලා ඇවිත් රට තුළම සිටිමින් දේශපාලනය කළා. අපි කළේ මේ ආකාරයට බේරිලා හිටිය පිරිස එක්කාසු කරගනිමින් නැවත 90ට පස්සේ පක්ෂය ගොඩ නැගීම.

පක්ෂය කඩා වැටීම වළක්වන්නට නොහැකිව පලාගිය පිරිසක් එකතු කරලා නැවතත් ගොඩනගන්න හැදුවේ ඒ කඩාවැටුණු පක්ෂයමද?

පක්ෂය නැවත ගොඩ නැගීමේදී තිබෙන ලොකුම ගැටලුව තමයි විශ්වාසය ඇති කිරීම. දැන් ඕක ඉවරයි. දේශපාලනික වශයෙන් ආපහු ජනතා විමුක්ති පෙරමුණට ගමනක් නෑ කියන මතය පරාජය කිරීම. අනෙක් ගැටලුව මර්දනය. ඒක 91 වෙනකම් ඉස්සරහට ගියා. මේ සියල්ල මැද තමයි කඩා ඉහිරී ගිය පක්ෂය නැවත එකතු කරලා ශක්තිමත් කළේ.

මේ ගොඩ නැගීම ඇතුළේ ඔබේ දායකත්වය කොහොමද?

මම ඒකේ උපරිම මැදිහත්වීම කළා. සෝමවංශ සහෝදරයා හිටියේ විදෙස්ගත වෙලා. ඔහු එහේ ඉදන් දේශපාලන කටයුතුවල නිරත වුණා. මම ඒවා ලංකාවේ සම්බන්ධීකරණය කළා. අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා පවා මේ කාරණාවලට මැදිහත් වුණා.

මේ ගොඩනැංවීම කරලා ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණ තීරණාත්මක නිමේශයකට එන්නේ 1994 වසරේ. ඒ පාර්ලිමේන්තු මැතිවරණයත් සමඟ. එතැනදි ඇයි ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කරන්නේ?

ඔව්. එතැනදී සිද්ධ වුණේ බල පෙරළියක්. දාහත් වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය පරද්දලා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ බලයට එන අවස්ථාව. අපි දැනගෙන හිටියා මේක වෙනවා කියලා. අපි ඒ අවස්ථාවේ ඒ පක්ෂ දෙක අතරමැදට බලෙන් කඩා පැනීමක් සිද්ධ කළා. අපිට කවුරුවත් ආරාධනය කළේ නෑ.

එදා ඔබ ඒ කඩා පැනීම කරද්දී ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය සඟවලා එළියට ආවේ ඇයි?

ඔව්. අපි මැතිවරණයට ආවේ ජනතා විමුක්ති පෙරමුණ කියන නමින් නෙවෙයි. ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ කියන නමින්. අපි ඒ මැතිවරණයෙන් හම්බන්තොට මන්ත්‍රී ආසනයකුත් ලැබුවා. 

ඔබ ජනතා විමුක්ති පෙරමුණට කුමන කාලයේද සම්බන්ධ වෙන්නේ?

මම 1981දි සම්බන්ධ වෙන්නේ.

ඔබ දේශපාලනයට එන්නේ අයියා හින්දාද?

ඒක මෙහෙමයි. අයියාගේ දේශපාලන භූමිකාව මට විශාල බලපෑමක් වුණා. හැබැයි මම දේශපාලනයට සම්බන්ධ වීමේ ප්‍රායෝගික ක්‍රියාව වෙනත් ආකාරයකට සිදු වෙන්නේ. අයියා කවදාවත් මාව දේශපාලනය සම්බන්ධ කරගන්න උත්සාහ කරලා නෑ. 

ඇත්තද විජේවීර සහෝදරයාට පසුව ඔබේ අයියා තමයි ජනතා විමුක්ති පෙරමුණේ නිල නොලත් නායකයා කියන්නේ?

මම හිතන්නේ ඒක තොරතුරක් හැටියට නිවැරදි නැහැ. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ නායකයෙක් පත්කරගන්න උත්සාහ ගත්තේ නෑ.

ඔබ කිව්වා ඔබ රට ඇතුළේ ඔය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණය කළා කියලා. ඒ කියන්නේ ඔබත් පක්ෂය ඇතුළේ යම් කිසි නිල නොලත් ප්‍රධානීත්වයක් හෙබවූවාද?

නෑ. මම දැක්කා ඔය කතාව තවත් පුවත්පත්වල පළවෙලා තියෙනවා. එහෙම දෙයක් වුණේ නෑ. රෝහණ සහෝදරයා මියගියාට පස්සේ සෝමවංශ සහෝදරයා පමණයි පක්ෂයේ පැරැණි දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් ලෙස ඉතිරි වුණේ. ඒ නිසා සෝමවංශ සහෝදරයා පොදුවේත් පක්ෂය තුළත් පිළිගැනුණා ඔහු නායකයා කියලා.

ඔබ ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි පෙළ කටයුතු කරන අතීතයේ දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ ඉන්න පිරිසෙන් කවුද පක්ෂයේ හිටියේ?

දැන් ඉහළ නායකත්වයේ ඉන්න අයගෙන් ටිල්වින් සිල්වා පමණයි මම දේශපාලනයට පක්ෂයට සම්බන්ධ වෙන සමයේ හිටිය අයකුට ඉන්නේ. දැන් නායක්ත්වයේ ඉන්න බොහෝමයක් දෙනා 1994ට පසුව සම්බන්ධ වුණ අය තමයි.

1994ට කලින් ඔබත් සමඟ දේශපාලනය කළ ජනතා විමුක්ති පෙරමුණේ කොපමණ ප්‍රමාණයක් ඝාතනය වෙන්නට ඇතැයි සිතනවාද?

කතාවට නිල වශයෙන් කියන්නේ 60,000ක් දෙනා ඝාතනය වුණා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සෝමවංශ සහෝදරයා හැරුණාම සියලුම දෙනා ඝාතනය වුණා. මධ්‍යම කාරක සභිකයින් කිහිප දෙනෙක් ඇරැනාම අනෙක් සියල්ලෝම ඝාතනය වුණා. දිස්ත්‍රික්, ආසන සංවිධායකයෝ බහුතරය ඝාතනය වුණා. ජනතා විමුක්ති පෙරමුණේ කේඩරයේ හා ශිෂ්‍ය ව්‍යාපාරයේ අතිවිශාල ප්‍රමාණයක් ඝාතනය වුණා.

එදා එක්සත් ජාතික පක්ෂ රජයෙන් පණ බේරාගෙන දුවද්දී කවදා හරි හිතුණාද දවසක ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් හදන්න මුක්කුවක් වේවි කියලා?

නෑ. එහෙම කිසිම හැඟීමක් තිබුණේ නෑ. පක්ෂයේ මේ පීලි පැනීම සිද්ධ වෙන්නේ දෙදාහ දශකයෙන් පස්සේ. 

දෙදාහට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ සභාග රජයන්වලට ගිය අනෙකුත් පක්ෂ සමඟ බැලුවාම එක්සත් ජාතික පක්ෂය සුවිශේෂයි. පක්ෂයට විශාලම හානිය කළ හා පක්ෂය සමූලඝාතනය කළායැයි කියවෙන්නේ ඔවුන්?

එහෙම කියන්න බෑ ඔබට. අපිට වර්ග දෙකේම ආණ්ඩුවලින් මේ මර්දනය ඇවිල්ලා තියෙනවා. හැත්තෑ එකේ සිදුවීම ගන්න. එතෙන්දි මේ හානිය සිද්ධ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ ආණ්ඩුවෙන්. ඒක ඇතු‍ළේ සමසමාජ හා කොමියුනිස්ට් වැනි වාමාශික කොටස් පවා හිටියා. මර්දනය නිසා ඇතිවන තරහක් කේන්තියක් නිසා නෙවෙයි අපි ඔවුන් එක්ක සභාග රජයන්වලට යන්න හොඳ නැත්තේ. දේශපාලන මතය නොගැලපෙන නිසා.

ජනතා විමුක්ති පෙරමුණ සභාග දේශපාලනයට යනවාට අතිශයින් විරුද්ධ පිලේ ඔබ ඉන්නේ. ඇයි ඒ?

වාමාශික දේශපාලන ව්‍යාපාරයක් යම් අවස්ථාවක සභාග දේශපාලනයේ යෙදීම හා ඒ වාමාශික දේශපාලන පක්ෂයේ අනන්‍යතාවය අත්හැරගැනීම නිසා වාමාශික දේශපාලන. පිළිබඳ ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳවැටෙනවා. ස්වාධීන දේශපාලන ක්‍රියාවලියකට අමාරුවෙන් එකතු වුණ ජනතාව වාම ව්‍යාපාරය ගැන තවදුරටත් විශ්වාස නොකරන තැනට එනවා. නිල් ද කොළද කියලා අදාළ නෑ. කොයි දේශපාලන පක්ෂය එක්කත් සභාග දේශපාලනයේ යෙදීම ලොකු දේශපාලන වැරුද්දක්. ඒ දේශපාලන වැරුද්දට ජනතා විමුක්ති පෙරමුණ ගොදුරැ වුණා.

ඔබ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වන්නේ කොයි කාලෙද?

මම ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වෙලා පෙරටුගාමී පක්ෂය නිර්මාණය කරන තැනට කාරණා සැකසෙන්නේ 2011 අගභාගයේ.

2000 - 2010 කාලයේ ඔබත් ඉන්නවා මේ පක්ෂයේ?

ඔව්. පැහැදිලිවම.

එතකොට ඔබත් ඔය කියන ධනේෂ්වර පක්ෂ සමඟ එක්කාසු වීමේ කාරණයේදි මහින්ද රාජපක්ෂ ජයග්‍රහණයට උපකාර කිරීමට ඔබත් එදා ඔළුව නමලා තියෙනවා?

ඔව්. ජනතා විමුක්ති පෙරමුණ අවස්ථාවාදයට ගොදුරැ වීමේ කාරණයේදී මටත් ස්වයං විවේචනයක් තියෙනවා. මමත් ඒ දේශපාලන මණ්ඩලයේ 1994 ඉඳන්ම අඛණ්ඩව ක්‍රියාකාරීව සිටි අයෙක්. නමුත් එක එක තීන්දුවලදී අපිට එක එක පෞද්ගලික ස්ථාවරයන් තිබුණා. ඒවායේදී අපි ඡන්දය පාවිච්චි කළ විධි තිබුණා. ඒවා දැන් කියන්න ඕන නෑ. අවසානයේදි පොදු තීරණයක් ක්‍රියාත්මකවෙලා තියෙනවානේ. ඒ නිසා ඒකේ වගකීම මටත් තියෙනවා.

ඇයි සැබෑවටම ඔබ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩිලා එළියට ඇවිල්ලා නව දේශපාලන පක්ෂයක් හදන්න හේතුවුණ සැබෑ කාරණය?

සැබෑ කාරණය ජනතා විමුක්ති පෙරමුණ සැබෑ වාමාංශික දේශපාලන අරමුණු වලින් ඉවත් වීම.

කවුද ඒක කළේ ජනතා විමුක්ති පෙරමුණට

ඒක තනි පුද්ගලයකුගේ පුද්ගල කැමැත්තට කළ දෙයක් නෙවෙයි. පවත්නා දේශපාලන තත්ත්වය වඩාත් හොඳින් ග්‍රහණය කරගන්න බැරි වුණාම දේශපාලන ව්‍යාපාරයකට වෙන්න පුළුවන් දේවල් තමයි මේ. මැතිවරණවලට තරග කිරීම හා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වාමාශික දේශපාලන පක්ෂ අවස්ථාව අනුව කරන්න ඕන. හැබැයි තමන්ගේ දේශපාලන වැඩ පිළිවෙලේ එකම අරමුණ මැතිවරණ කරගත්තොත්, මැතිවරණ හැරෙන්න වෙනත් ක්‍රියාමාර්ගයක් ජනතාවත් එක්ක නැති වුනොත් ඒ වගේ ව්‍යාපාරයක් ඉබේම ගිහින් වැටෙනවා මැතිවරණ වාදයට.

මම ඇහුවේ ඔය කියන වාමාංශික අරමුණුවලින් එළියට ජනතා විමුක්ති පෙරමුණ ඇදගෙන ගියේ කවුද කියලා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට පුළුවන් මේක පාලනය කරගන්න. කවුද පක්ෂය අයාලේ යැව්වේ?

ඔව්. මට නැවත පැහැදිලි කරන්න වෙනවා මේක තනි පුද්ගලයෙක් කළ දෙයක් නෙවෙයි කියන කාරණය. 

ඔබේ මනසේ තියෙනවා මේකට කවුද වගකියන්න ඕන කියලා. නමුත් ඔබ කියන්නේ නෑ?

නෑ. නෑ. දේශපාලන වශයෙන් යම් කෙනෙක්ගේ නමක් කියන්න අවශ්‍ය නම් ඒක කියනවා. මට කා සමඟවත් පුද්ගල ප්‍රශ්න නෑ. යම් පුද්ගලයකුගේ කාර්යභාරය දේශපාලනික වශයෙන් ඉස්මතු වෙනවා නම් ඔහුව නම් නොකර ඉන්න මට හේතුවක් නෑ.

පසුගිය සතියක අප පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා චෝදනාවක් කළා පසුගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට මුදල් ලබාදුන්නා කියලා?

මම ඒ කතාවේ සත්‍ය අසත්‍යතාවය දන්නේ නෑ. නමුත් යම් දේශපාලන ව්‍යාපාරයකට එවැනි චෝදනා එල්ලවෙන තත්ත්වය එතරම් යහපත් නෑ. වාම දේශපාලන ව්‍යාපාරයකට එවැනි චෝදනා එල්ල වීම කිසිසේත් සුදුසු නැහැ.

පසුගිය සමයේ ජනතා විමුක්ති පෙරමුණට මුදල් සම්බන්ධ චෝදනා කළේ චතුර සේනාරත්න පමණක් නෙවෙයි. විජේදාස රාජපක්ෂ, සරත් ෆොන්සේකා ආදී පිරිස් රැසක් මේ චෝදනා එල්ල කළා. මේ ඔබ ජීවිත පරිත්‍යාගයෙන් ගොඩ නැගූ පක්ෂය?

මම ඒ ගැන තොරතුරු දන්නේ නැති නිසා මට ඒ ගැන නිශ්චිත යමක් පවසන්න බෑ. හැබැයි යම් වාමාංශික දේශපාලන පක්ෂයක් වාම දේශපාලනයෙන් පීලිපැන්නට පස්සේ යම් යම් දේශපාලන චරිත ධනේෂ්වර දේශපාලනය සමඟ ගනුදෙනු කරන තැනට පත්වෙනවා.

කෙසේ හෝ අවසානයේ ඔබට ඔබේ නමත් වෙනස් කරගෙන රටෙන් යන්න වුණා. ඇයි එතෙනට පත්වුණේ?

මට යන්න වෙන තත්ත්වය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ප්‍රශ්නයක්. ඒක ජවිපෙ නිසාම නෙවෙයි. 1994දි එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරාජය කරලා ආපු පොදු පෙරමුණු ආණ්ඩුවත් මේ ගමනම අරගෙන යන්න පටන් ගත්තා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වෙලා එතෙක් පැවති ක්‍රමය ඒ විදියටම අරගෙන ගියා. 2005දි ජනාධිපතිධූරයට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ගමන තවත් පියවරක් උඩට අරගෙන ගියා. මේ හැමෝම යුද්ධය ආශිර්වාදයක් කර ගත්තා. 

ඔබ රටෙන් යන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඔබව පාවාදෙන්න යම් උත්සාහයක් දැරෑ නිසා කියලා අපි අහලා තියෙනවා?

2006දී නැවතත් පක්ෂය ඇතුළේ කතිකාවක් එනවා මහින්ද රාජපක්ෂ රජයට සහාය දිය යුතුයි කියලා. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්නත් පක්ෂය උදව් කළා. දැන් යෝජනාව මහින්ද රාජපක්ෂ රජයට සම්බන්ධ විය යුතුය කියලා. මේකේදි මම තදින්ම හිටියා. මේකට විරැද්ධ ස්ථාවරයේ හිටියා. මමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණේ අරමුණු ගැන විශ්වාසයක් තිබුණු පිරිස් මේකට විරුද්ධ වුණා. ඒ නිසා පක්ෂයට අපහසු වුණා මහින්ද රාජපක්ෂ රජයට මුක්කුවක් වෙන්න. ඒ තුළ තමයි විමල් වීරවංශල නන්දන ගුණතිලක වැන්නවුන් පක්ෂයෙන් එළියට යැවෙන්නේ.

ඔවුන් හිටියේ මේ යෝජනාවට පක්ෂවද?

ඔව්.

දැන් ඔබ ඇයි රටෙන් පිටවෙන්නේ?

පක්ෂය ඇතුළේ සිද්ධ වුණ මේ විවාදයේ රහස්‍ය කාරණා පක්ෂයේ ඉහල විශ්වසනීයැයි අපි හිතපු පිරිස් ගිහින් රටේ පාලකයින්ගේ කනේ තියනවා. ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙන්නේ නැත්තේ මම නිසා කියලා මතයක් යනවා. ඒ තුළ මගේ ජීවිතයට එන අවදානම නිසා තමයි මම රටෙන් යන්නේ.

ඔබ එදා ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනික වශයෙන් සිදුවෙනවා යැයි කියූ ඉරණම අත් වෙලාද දැන්?

ඔව්. බැලුවාම ඒක පේන්නම තියෙනවානේ. අනෙක් කාරණය තමයි සමහරුන් උත්සාහ කරනවා ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී පක්ෂය අතර මතභේද ඇති කරන්න. නෑ.. පෙරටුගාමී පක්ෂයේ විරෝධය තියෙන්නේ මේ රටේ ධනේෂ්වර ක්‍රමයට එරෙහිව. අඩුම තරමේ එක්සත් ජාතික පක්ෂයවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් නෙවෙයි. මේ පක්ෂ මාරුවෙන් මාරුවට කොන්ත්‍රාත් ක්‍රමය අරගෙන යන ආණ්ඩු.

දැන් සයිටම් එකට විරුද්ධව උද්ඝෝෂණ කරන ඔබ එදා කොතලාවල වෛද්‍ය පීඨයට මොකුත් කිව්වේ නැත්තේ ගෝඨාභය රාජපක්ෂට බය නිසාද?

නෑ. ඒක සම්පූර්ණ වැරදි මතයක්. අපි එදාත් විරෝධය පළකළා. හැබැයි සෑම සටනක්ම ජයගන්නේ නෑ. සටන්වලට සමාජයේ කැමැත්ත අකමැත්ත අනුව ඒක වෙනස් වෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරයේ හැමදාම අරගල තිබුණත් අධ්‍යාපනය පෞද්ගලීකරණය යම් මට්ටම්වලින් සිද්ධ වුණා.

හැබැයි ඔබේ මුල් කාලීන මතවාදයේ ප්‍රධානී රෝහණ විජේවීර සහෝදරයාත් ලංකාවේ වෛද්‍ය විද්‍යාලයකට නෙවෙයි ගියේ. රුසියාවේ ලුමුම්බා සරසවියට?

ඔව්. ඒක පෞද්ගලික විශ්වවිද්‍යාලයක් නෙවෙයි. සෝවියට් මිත්‍රත්ව විශ්ව විද්‍යාලයක්. එතන අධ්‍යාපනය සල්ලිවලට ගන්න නෙවෙයි රෝහණ විජේවීර සහෝදරයා ගියේ.

ජෝතිෂ්‍යවේදීන් කියනවා 56-58 කාලයේ හා 88-89 කාලයේ තිබුණ ග්‍රහචාරය තමයි මේ දැනුත් උදා වෙන්නේ. නැවතත් රට ඒ අතීතයේ තිබුණු අඳුර යුගවලට යන්න පුළුවන් කියල?

මම ජ්‍යෙතිශය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි.

අතීතය හා වර්තමානය දිහා බලලා රටේ තත්ත්වය එක්ක අනාගතය ගැන හිතුවොත් එවැනි තත්ත්වයක් ඉදිරියේදි ඇති වෙන එකක් නැද්ද?

වාමාශික දේශපාලනයේ සිටින අපි සියලුම දෙනා එවැනි දරැණු අනාගතයක් එළැඹීමට කිසිසේත් ඉඩ නොතැබිය යුතුයි. ධනේෂ්වර ආණ්ඩු හැමදාම තුවක්කු තියාගෙන ඉන්නේ. ඔවුන්ට එවන් ඛේදවාචක ඇතිකරන්න අපි ඉඩ නොතැබිය යුතුයි.

 විමුක්ති රත්නමලල