2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

රන්ජන් සහ කොකේන්

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

කොකේන් සහ ඌරු තෙල් දැන් රටේ ජනප්‍රියම මාතෘකා දෙකකි. ජනතාවට නම් මේ මාතෘකා කුතුහලය සහ උණුසුම දනවන ඒවා වුවද මැතිසබයේ සමහරැන්ට මේ වචන දෙක ඇසෙන විට ඌරු ජුවල් යන බවද පෙනෙන්නට තිබේ. වචන දෙකම මැතිසබයේ විවාදවලට තුඩු දී තිබේ. කොකේන් භාවිත කරන මැති ඇමැතින් ගැන රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා කළ බරපතළ චෝදනාවත් මෙරටට ගෙන්වන කිරිපිටිවල ඌරැ තෙල් ඇතුළු වෙනත් මේද වර්ග පවතින බවට බුද්ධික පතිරණ නියෝජ්‍ය ඇමැතිවරයා මැතිසබය තුළදී සිදුකළ ප්‍රකාශයත් රටේ පොදු මහජනතාව අතර රසවත් කටගැස්මක් වී තිබේ.

ඉහත සඳහන් චෝදනා දෙකින් වඩාත් බරපතළ තත්ත්වයට පත්ව ඇත්තේ රන්ජන් රාමනායක ඇමැතිවරයාගේ කොකේන් චෝදනාවයි. රටේ පවතින තත්ත්වයෙන් බැහැරට ජනතාවගේ සිත් යොමුකිරීමේ චේතනාවෙන් සිදු නොකළා නම් කොකේන් කතාව දරුණු චෝදනාවකි. මෙතෙක් කාලයක් රටේ ජනතාවට ඇසුණේ මහා පරිමාණයෙන් කොකේන් ඇතුළු කුඩු ගෙන්වන ජාවාරම්කාරයන් පසුපස සිටිමින් ඔවුන් රකින මැති ඇමැතිවරැන් ගැන පමණි. රන්ජන්ගේ කතාවෙන් පස්සේ ජනතාවට ඇසෙන්නේ කොකේන් ඇතුළු කුඩු ගසන මැති ඇමැතිවරැන්ද මැතිසබයේ සිටින බව සහ සිටි බවය. හරි වැරැද්ද කාගේදැයි අපි නොදනිමු. එහෙත් රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයාගේ කතාව මැතිසබයේ සියලු තරාතිරමේ මන්ත්‍රීවරැන් තිගැස්සූ බව නම් නොරහසකි. මැති ඇමැතිලා පමණක් නොව රටේ ජනතාවද එයින් ගැස්සී ගියහ.

කොකේන් ගහන මැති ඇමැතිවරුන් සිටින රටක ජනතාවට කාගේ පිළිසරණක්දැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එසේම එම චෝදනාවට ලක්වෙන පිරිස 25ක් පමණ වන බවද ප්‍රකාශ කෙරිණි. එසේ නම් රටට කොකේන් ගෙන්වන ජාවාරම්කාරයන්ගේ ගැලවුම්කාරයන් බවට මේ අය අතුරින් කී දෙනකු හෝ පත්ව සිටින බවට ජනතාවට සැක පහළ වනු ඇත. එය තවත් බොහෝ සංකීර්ණ ගැටලු රුසක ආරම්භය විය හැකි බැවින් මුලින්ම කළ යුත්තේ රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයාගේ කොකේන් චෝදනාව ගැන හැකි ඉක්මනින් විමර්ශනය කොට එහි ඇත්ත නැත්ත සොයා ගැනීමය. එය කොකේන් චෝදනාවට කිසිසේත් සම්බන්ධයක් නැති සියලු මැති ඇමැතිවරැන්ගේ යහපතට හේතුවන බව පෙන්වා දිය යුතුය.

මෙකී චෝදනාව පිළිබඳව කටයුතු කිරීම භාරවන්නේ කතානායකවරයාටය. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරැන්ගේ වගකීම, විනය සහ ආචාරධර්ම පිළිබඳව ගැටලුවක් වන මේ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයා මුලින්ම කළ යුතුව තිබුණේ කතානායකවරයා දැනුම්වත් කිරීම බව අපගේ අදහසය. එහෙත් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය බ්‍රහස්පතින්දා (21) ප්‍රකාශ කර තිබුණේ කොකේන් පාවිච්චි කරන බව කියන මැති ඇමැතිවරැන් කවුරැන්දැයි රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා තවමත් තමාට ලිඛිතව දැනුම් දී නැති බවය. එය ලබාදෙන බව කිව්වත් නොදුන් බවද ඔහු සඳහන් කර තිබිණි. 

කතානායකවරයාගේ එම ප්‍රකාශයට පිළිතුරැ වශයෙන් රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා අපගේ සහෝදර ලංකාදීප පුවත්පතට එදිනම ප්‍රකාශ කර තිබුණේ කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමැතිවරැන්ගේ සියලු විස්තර ඇතුළත් ලිඛිත වාර්තාවක් තමා සී.අයි.ඩියට බාරදුන් බවය. එම සියලුම නම් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කරන බවද ඔහු සඳහන් කර තිබිණි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරැන් පහක් හයක් ඇතුළු 24 දෙනකුගේ නම් එම විස්තරයේ සඳහන් වන බවද එජනිස සහ පොහොට්ටුවේ පිරිසක් එහි සිටින බවද ඔහු කියයි. කෙසේ වුවද පොහොට්ටුව දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැත. මේ නිසා නිවැරුදි තොරතුරු තමා සතු නම් ඒවා වහාම හෙළිකිරීම නියෝජ්‍ය ඇමැතිවරයාගේ යුතුකම සහ වගකීම බව පෙන්වා දෙමු. එසේ සිදුනොකර වගකීමෙන් කර හැරීමට ගියොත් රාජ්‍ය ඇමැතිවරයාට ඇත්තේ බරපතළ ප්‍රතික්‍රියාවලට වීම වැළැක්විය නොහැකි වනු ඇත.

රාමනායක මහතා තවදුරටත් කියා ඇත්තේ මේ පිරිස අතර කොකේන් ගෙන්වන අය ද සිටින බවය. හිටපු කැබිනට් ඇමැතිවරුන්ද, හිටපු රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරැන්ද, අධීක්ෂණ මන්ත්‍රීවරැන්ද මේ අතර සිටින බව රාමනායක මහතා සඳහන් කරයි. මේ චෝදනා දේශපාලනඥයකුගේ හුදු ප්‍රකාශයක් වශයෙන් තවදුරටත් සැලකිය නොහැක. මෙය තමන්ට ලකුණු දමාගැනීමට සිදුකරන මාධ්‍ය සංදර්ශනයකට සීමාවීමට තවදුරටත් ඉඩක් නැති බව රාමනායක මහතා ද තේරැම් ගැනීම අවශ්‍යය. ඔහු දැනටද තමන්ගේ පක්ෂයේ මැති ඇමැතිවරැන් පිරිසකගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටී. තම තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට රුධිර පරීක්ෂාවක් සිදුකළ හැකි යැයි පැවැසීමද ප්‍රායෝගික නොවේ. ඒ සඳහා ඒ ඒ අයගේ කැමැත්ත අවශ්‍ය වෙයි. එසේ නොවන විට චෝදනා ඔප්පු කරන්නේ කෙසේද යන්න ලොකු ගැටලුවක් බවට පත්වනු ඇත.

කෙසේ වුවද කොකේන් චෝදනාව පාර්ලිමේන්තුවේ මැති ඇමැතින් රුසකගේ ඇස් ඇරවීමට සමත් වන්නට ඇතැයි අපි සිතමු. පාර්ලිමේන්තුවට යාම බරපතළ අපරාධ සහ ජාවාරම් සිදුකිරීමට ලබාදෙන බලපත්‍රයක් වශයෙන් සලකා කටයුතු කරන පිරිසක්ද සිටින බවත් මෙවැනි චෝදනාවක් එල්ල වූ විට රටේ ජනතාවද ඒ පිළිබඳ සැකයකින් බලන්නේද ඒ නිසා බවත් ඔවුන් දැන සිටිය යුතුය. ජනතාවගේ සැකයට භාජනය නොවන ආකාරයෙන් කටයුතු කිරීම සඳහා මැති ඇමැතින් තුළ කිසියම් පෙළඹවීමක් ඇති කිරීමට මේ සිද්ධිය හේතුවනු ඇතැයි අපි සිතමු. අනෙක් අතට චෝදනාව ඔප්පු කළ නොහැකි නම් රන්ජන් රාමනායක මහතා ගන්නා තීරණය කුමක්ද යන්නත් ජනතාව මහත් ඕනෑකමකින් බලා සිටිනු ඇත.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00