2019 පෙබරවාරි 15 වන සිකුරාදා

පුංචි කෑලි

 2019 පෙබරවාරි 15 වන සිකුරාදා, ප.ව. 08:04 33

පාර්ලිමේන්තුවේ නැවුම් කිරි පමණයි

නවසීලන්තයෙන් ගෙන්වනු ලබන කිරිපිටිවල ඌරු තෙල් ඇතුළු සත්ත්ව තෙල් ද පාම් තෙල් ද අඩංගු බවට නැගුණු චෝදනා සමඟ ඒ පිළිබඳව කතානායකවරයාගේ අවධානය යොමු කරවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පියවර ගත්හ. පාර්ලිමේන්තුවේදී තමන්ට ලැබෙන කිරි සම්බන්ධයෙන් ඔවුන් මෙසේ අවධානය යොමුකර තිබිණි.

පාර්ලිමේන්තුවේදී ඉකුත් සතියේ මේ පිළිබඳ කරැණු හෙළිකළ නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ ප්‍රකාශ කළේ නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටි ඒ හේතුවෙන් අහිතකර තත්ත්වයකින් පවතින බවය. ඊට ප්‍රතිචාර දැක්වූ ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ ප්‍රකාශ කළේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවය.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය. එම සතියේ බ්‍රහස්පතින්දා ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ආනයනය කෙරෙන කිරිපිටි සාම්පල මෙරට සහ විදෙස් රටවල විද්‍යාගාරවලදී තත්ත්ව පරීක්ෂාවට ලක්කර ඇති බවත් ඒ හැම පරීක්ෂණ වාර්තාවකින්ම හෙළිවී ඇත්තේ කිරි මේදය හැරුණුවිට වෙනත් කිසිම ද්‍රව්‍යයක් කිරිපිටිවල අඩංගු නොවන බවත්ය. එහෙත් ඊට පසු දින සිකුරාදා බුද්ධික පතිරණ නියෝජ්‍ය ඇමැතිවරයා යළිත් එම චෝදනාවම එල්ල කළේය.

ඒ අතර කතානායකවරයා ප්‍රකාශ කළේ මේ අර්බුදය ඇතිවූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සපයනු ලබන කිරි සම්බන්ධයෙන් පෞද්ගලිකව තමාගෙන් විමසීමක් කළ බවය. මේ මන්ත්‍රීවරුන්ට මා සහතික වශයෙන් කියන්නේ පාර්ලිමේන්තුව තුළ සපයන්නේ නැවුම් කිරි පමණක් බවයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිම සැකයක් තබාගත යුතු නෑ* යැයි කතානායකවරයා සඳහන් කළේය.

සන්ඩේ ටයිම්ස් 


මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන බැසිල් කියන කතාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා (14) සිය පක්ෂ සාමාජිකයන් හමුවකදී ප්‍රකාශ කර තිබුණේ එළඹෙන ජනාධිපතිවරණයේදී වඩාත් වැදගත් වන්නේ පුද්ගලයාට වඩා නිවැරුදි ප්‍රතිපත්ති බවය. ඡන්ද දායකයන් ආකර්ශනය කර ගැනීමේදී නිවැරැදි ප්‍රතිපත්තිවලට මුල්තැනක් හිමිවනු ඇති බව ඔහු කීය.

අපේක්ෂකයාට වඩා ප්‍රතිපත්තිවලට ඡන්ද දායකයා ආකර්ශනය වන බව තමන්ගේ විශ්වාසය බැවින් තම පක්ෂය තමන්ගේ ප්‍රතිපත්ති සැකසීමට සහ ඒවාට ජනප්‍රිය අදහස් ඇතුළු කිරීමට පියවර ගන්නා බවද බැසිල් එහිදී කියා තිබිණි.

ප්‍රජාතාන්ත්‍රීක දේශපාලන පක්ෂයක් ගොඩනැංවීමට තමන් වසර දෙකක් ගත කළද සුදුසු ජනාධිපති අපේක්ෂකයකු තෝරාගැනීමට එතරම් කල්ගත නොවන බවද බැසිල්ගේ කතාවේ සඳහන් විය. පසුගිය ජනාධිපතිවරණයේදී හංසයාගෙන් තරග කළ කණ්ඩායමට අවශ්‍ය වුණේ මහින්ද රාජපක්ෂ පරද්දන්න විතරයි. ඔවුන්ට රට සංවර්ධනය කිරීමට කිසිම සැලැස්මක් තිබුණේ නැහැ යැයි ප්‍රකාශ කළ බැසිල් ඊළඟ ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධකය වනු ඇත්තේ අපේක්ෂකයා නොව ප්‍රතිපත්ති බව තමන්ගේ අදහස යැයි කීය.

ඩේලි එෆ්.ටී.

 

මහින්දගේ ඉන්දියා ගමන

මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයා පසුගිය සතියේ ඉන්දියාවට ගියේය. ද හින්දු පුවත්පතේ උත්සවයක ආරාධිත දේශනය සඳහා ඇරියුම් ලබා සිටි රාජපක්ෂ මහතා ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවල අනාගතය මාතෘකා කර ගනිමින් තම දේශනය පැවැත්වීය.

හින්දු පුවත්පත මගින් සංවිධානය කෙරුණු මෙම උළෙල ඉන්දීය මහ මැතිවරණයට මාස 02කට පෙර සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට මාස 09කට පෙර පැවැත්වීම විශේෂත්වයක් විය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය දේශපාලනයේ සංවේදී බව මැනගැනීමට මෙය කදිම අවස්ථාවක් වී තිබුණේ විවිධ කථිකයන් ගණනාවක් ඒ සඳහා ඇරියුම් ලබා සිටි බැවිනි. එහිදී රාජපක්ෂ මහතා කළ කතාවට විශාල ප්‍රතිචාරයක් තිබිණි. දමිළ ජනතාවගේ තෘප්තියට හේතුවන විසඳුමක් මට දෙන්න පුළුවන්. නමුත් දමිළ දේශපාලනඥයන් තෘප්තිමත් කිරීමට විසඳුමක් ලබාදීමට නම් බැරි වේවි යැයි එහිදී නැගුණු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා කියා තිබිණි.

රාජපක්ෂ මහතාට පසුව කතා කළේ ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු ය. ඔහුගේ කතාව එකම වචන හරඹයක් විය. ඔහු ඉතා චතුර ලෙස විවිධ ආකාරයට වචන ගැලපීම් කළේය. එම කතාව මහින්ද ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිසට සිහිගැන්වූයේ ශ්‍රීලනිපයේ හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ අභාවප්‍රාප්ත අලවි මව්ලානාගේ කතා ස්වරෑපයයි. ඒ බව ඔවුහු එකිනෙකාට කනට කොඳුරාගෙන කතා කළහ.

ඩේලි මිරර්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00