2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

හුළං බැස්සීම

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 134

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙවී ගිය සතියේ රටේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් කතා දෙකක් කළේය. එකක් ජාතික නිදහස් දිනය දා (04) ජාතිය අමතා කළ කතාවයි. අනෙක ඊට දෙදිනකට පසුව (06) පාර්ලිමේන්තුවේදී කළ කතාවයි. ඇතැම් දේශපාලන විචාරකයන්ට අනුව ජාතික නිදහස් දිනය දා කළ කතාවේ මූලික කරුණු වඩාත් ගැලපෙන්නේ ජාතිය අමතා කරන කතාවකට වඩා දේශපාලන වේදිකාවකටය. පාර්ලිමේන්තුවේ කළ කතාව ගැලපෙන්නේ තමන් නායකත්වය දෙන ආණ්ඩුව ගැන කරන කතාවකට වඩා විපක්ෂයේ සිට ආණ්ඩුවට එරෙහිව කළ කතාවක් හැටියටය. කෙසේ වුවද මේ කතා දෙකේම යටිපොළ කියැවීම අපහසු නැත. 

ජාතික නිදහස් දිනයේදී ජනාධිපතිවරයාගේ කතාවේ ප්‍රධානම කරුණක් වූයේ ජාතික ආණ්ඩු පිහිටුවීමේ අදහසට තමා තරයේම විරුද්ධ බව ප්‍රකාශ කිරීමය. එවැනි ආණ්ඩුවක අරමුණු ඇමැතිකම් වැඩිකිරීම සහ මන්ත්‍රීවරුන්ට වැඩි වරප්‍රසාද ලබාදීම බව ජනාධිපතිගේ අදහස වී තිබිණි. තනි මන්ත්‍රීවරයකු සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ සදාචාරාත්මකභාවය ප්‍රශ්න කළ ජනාධිපතිවරයා ජනතාවගේ බලාපොරොත්තුව තනි පක්ෂයක ආණ්ඩුවක් සහ ඇමැති මණ්ඩලය 30කට සීමා වීම බවද සඳහන් කර තිබිණි. ආණ්ඩුව පමණක් නොව විපක්ෂයේ ක්‍රියාවන්ද ඔහුගේ කතාවෙන් විවේචනයට ලක්විය.

මේ කතාව ගැන විපක්ෂනායක මහින්ද රාජපක්ෂගේද අවධානය දැඩිව යොමු වී තිබූ බව පෙනුණි. ජනාධිපතිවරයා කතාව අවසන් වී පිටත්ව යාමට සැරසෙන විටම ඔහු අසලට පැමිණි මහින්ද අද ඔබතුමා හතර පැත්තටම ගැහැව්වා නේදයි ඇසුවේය. ඒක ප්‍රජාතන්ත්‍රවාදයනේ කියා සිනහවකින් පිළිතුරැ දුන් ජනාධිපතිවරයා එතැනින් පිටව ගියේය. එහෙත් ජනාධිපතිවරයාගේ කතාව පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන්ගේ අවධානය දිනාගත් අතර එහි ප්‍රතිඵලය ඊට දින කිහිපයකට පසුව දැකගත හැකි විය. යූ.එන්.පී.යේ ප්‍රධාන තුරැම්පුවක් බවට බලාපොරොත්තු තබාගෙන සිටි ජාතික ආණ්ඩු පිහිටුවීමේ කතාව නූල කැඩුණු සරුංගලයක් බවට පත් විය.

ජනාධිපතිවරයා පසුගිය බදාදා (06) පාර්ලිමේන්තුවට ගියේ ව්‍යවස්ථානුකූලව මාස 03කට වරක් පාර්ලිමේන්තුවට පැමිණ සභාව ඇමැතිය යුතුව තිබීම හේතුවෙනි. පස්වරැ 5.00ට පමණ පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ විවාද වෙමින් තිබුණේ අධිකරණ අමාත්‍යංශයේ විෂයන් සම්බන්ධවය. එයට ස්තූතිය පළකරමින් ජනාධිපතිවරයා විනාඩි 20ක පමණ කතාවක් කළේය. තමා සහ ගෝඨාභය ඝාතනය කිරීමට කළ කුමන්ත්‍රණය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට දින 04කට පෙර තමාගෙන් ප්‍රකාශයක් ගත් බවද තමා පොලීසිය භාර ගැනීමෙන් පසුව මේ මස දෙක තුන තුළ ඒ පරීක්ෂණ කටයුතු ඉක්මන් වී තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඉදිරි සති දෙකක් ඇතුළත වගේ මුළු රටටම ඒ ගැන දැනගැනීමට පුළුවන් යැයිද ඔහු කීය. ව්‍යවස්ථා සභාවට තමන් යවන විනිශ්චයකාරවරැන්ට උසස්වීම් ලබාදීමේ අවස්ථා 12ක් ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන් කළ ජනාධිපතිවරයා ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තමන් තුළ පවතින විවේචනද ඉදිරිපත් කළේය. ඒ සමඟ වත්මන් රජයේ දූෂණ සෙවීම සඳහා එනම් 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රජයේ ආයතන තුළ සිදුවී ඇති දූෂණ සහ වංචා පිළිබඳ සෙවීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳව ජනාධිපතිවරයා විසින් කරැණු දැක්වීමද විශේෂයක් විය.

එම කරුණු දැක්වීම සිදුකිරීමේදී ජනාධිපතිවරයා තරමක් ප්‍රවේශමෙන් වචන හසුරුවා ගත් බව පෙනෙන්නට තිබිණි. &මේ රජය යටතේ එවැනි කොමිෂන් සභාවක් පත් කිරීම බොහොම හොඳයි.... ඒත් ඇයි පසුගිය රජය සම්බන්ධයෙන් එවැනි කොමිෂන් සභාවක් පත් නොකළේ යැයි අමාත්‍යවරැන් කිහිප දෙනකු කළ විමසීමට පිළිතුරු වශයෙන් ඔහු මේ කරැණු දැක්වීම කළේය. එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුවට එරෙහිව දැඩි ස්ථාවරයක් නොගන්නා බව පැහැදිලිව පෙනුණේය. තරමක් ලිහිල් ආකාරයට කිවයුතු කරැණු ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එහිදී රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීමේ ක්‍රියාවලියකට තල්ලු වී සිටි බව පැහැදිලි විය. කෙසේ වුවත් ජනාධිපතිවරයාගේ එම කතාව හැන්සාඩ් ගතවීම නිසා පසුකාලයකදී වුවද ඕනෑම කෙනකුට ඒ කතාවේ කරැණු සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදීමට අවස්ථාව තිබේ.

මේ කතාවෙන් ප්‍රශ්න කෙරැණු විනිසුරුවරුන්ට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදය සහ ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරය සම්බන්ධව කථානායකවරයාගෙන් සහ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් පසුව පිළිතුරැ ලැබී තිබුණේය. ඒ මගින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශවලට තමන් එකඟ නොවන බවට කරුණු දක්වා තිබිණි. ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී වැරුදි ප්‍රකාශ සිදුකළ බවත් ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව රාජ්‍ය නිලධාරීන් පත් කරන්නේ නම් ව්‍යවස්ථා සභාවක් අවශ්‍ය නොවන බවත් කථානායකවරයාගේ පිළිතුරේ සඳහන් විය. මේ සියල්ල පැහැදිලි කරන්නේ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවක් අතර විරසකය දිග්ගැසෙමින් තිබෙන බවය. එසේම ජාතික ආණ්ඩුවක් හැදීම වැළැක්වීමට ජනාධිපතිවරයා තිර ලෙසම තීන්දු කර තිබූ බවය.

ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුවක් ගොඩනැගෙනවාට මේ තරමට විරැද්ධ වන්නේ ඇයි? එය ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණයේදී යූ.එන්.පී.යට ශක්තියක් ලබාදෙන තුරැම්පුවක් නිෂ්ප්‍රභා කිරීමක් වන බැවිනි. එපමණක් නොවේ, පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැතිව ආණ්ඩුව ගෙන යන යූ.එන්.පී.යට ජාතික ආණ්ඩුව හරහා එම බහුතරය ලැබුණොත් ඔවුන් සියල්ලටම පළමුව තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් හෝ වෙන යම් අසීරු යෝජනාවක් හෝ ගෙනඒමට තිබෙන ඉඩකඩ ගැන ඔහු තුළ පවතින තක්සේරැවය. ඒ සමඟම ජාතික ආණ්ඩුවක් ගොඩනැගුණු වහාම තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමෙන් කිහිප දෙනකුම - බොහෝවිට බහුතරය එයට එකතුවන බව ජනාධිපතිවරයා දැන සිටී. එය නිසැකවම යූ.එන්.පී.ය ශක්තිමත් කිරීමකි. එසේම ජනාධිපතිවරයාගේ තත්ත්වය දුර්වල කිරීමකි. පවතින වාතාවරණය යටතේ තමන්ට සිදුවන දේශපාලන අවාසිය ජාතික ආණ්ඩුවකට තරයේම විරුද්ධවීමට බලපා තිබෙන බව පැහැදිලිය. අනෙක් අතට ජාතික ආණ්ඩු වැඩේ හරි නොයාම යූ.එන්.පී.ය පාර්ලිමේන්තුව තුළදී ප්‍රබල පීඩනයකට හසුවීමකි. මේ බවද ජනාධිපතිවරයා හොඳින්ම දැන සිටී. අවසානයේ යූ.එන්.පී.යට ජාතික ආණ්ඩු කතාව අතහැර දැමීමට සිදුවිය.

යූ.එන්.පී.ය ඡන්ද ගැන මොන කතා කිව්වත් ඔවුන් සූදානම් වන්නේ ජනාධිපතිවරණයට බව පෙනෙන්නට තිබේ. පළාත් සභා ඡන්දය පැවැත්වීම තමන්ට අවාසිදායක වන බව දැන දැනම ඔවුන් ඒ සඳහා අවශ්‍ය වන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට කටයුතු නොකරන බව යථාර්ථයයි. මේ නිසා දැන් යූ.එන්.පී.ය බලන්නේ ජනාධිපතිවරණයේදී තමන්ගේ උපාය, උපක්‍රම සාර්ථක කරගත හැකි ක්‍රමයක් ගැනය. ඒ සඳහා හොඳට උපයෝගී කරගත හැකිව තිබූ ජාතික ආණ්ඩු කතාවේ හුළං ඇරීමෙන් ජනාධිපතිවරයා ඉදිරි පියවරක් තබා ඇති බව පැහැදිලිය.

මීට අමතරව යූ.එන්.පී.ය මුහුණ දෙන තවත් ගැටලුවක් වී ඇත්තේ කැබිනට් ඇමැති ධුරවලට ඉල්ලීම් වැඩිවෙමින් තිබීමය. ජාතික ආණ්ඩුවක් හැදුවත් තමා එකදු වැඩිපුර ඇමැති ධුරයක් හෝ ලබා නොදෙන බව ජනාධිපතිවරයා කිව්වේද මේ බව දැනගෙන විය යුතුය. නමුත් ඇමැති පදවි නොලැබුණත් ආණ්ඩුවට එකතුවීමට සූදානම් ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් සිටියොත් ඒ ගැනද පුදුම විය යුතු නැත. ඔවුන් බොහෝ දෙනෙකුට තමන්ගේ දේශපාලන අනාගතය පිළිබඳ ඇත්තේ ලොකු අවිනිශ්චිතභාවයකි. ඔවුන් අතුරින් කිහිප දෙනකු පොහොට්ටුවට එකතුවීමටද කැමැත්ත දක්වන්නේ නැත. පොහොට්ටුව සමඟ සන්ධානයකට යන්නේ නම් තමන්ගේ ඉදිරි දේශපාලන භූමිකාව ආරක්ෂා විය යුතු බවට ඔවුන් කොන්දේසි පනවන බවක් පෙනේ. එහෙත් එවැනි කොන්දේසි පිළිගැනීමට පොහොට්ටු පක්ෂයේ නායකයන් එකඟ වනු ඇතැයි සිතීම අසීරුය.

කෙසේ වුවද පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් පසුගියදා කියා තිබුණේ අත සහ පොහොට්ටුව සන්ධාන ගතවුවහොත් ඉදිරි ඡන්දවලදී යූ.එන්.පී.යට අත්වන්නේ බරපතළ පරාජයක් බවය. මෙතෙක් කාලයක් අත සමඟ එක්ව යන ගමනකට එකඟතාවයක් පළ නොකර සිටි බැසිල් හදිසියේම මෙසේ කිව්වේ නිකම්ම නොවිය යුතුය. එය සමහර විට ජාතික ආණ්ඩු කතාවට ඇදී යන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තුළ අලුත් බලාපොරොත්තුවක් ඇති කිරීමට විය හැකිය. ජාතික ආණ්ඩුවක් හැදුණොත් එයට පාර්ලිමේන්තුව තුළ ඇතිවන ශක්තිය ගැන බැසිල්ට පැහැදිලි වැටහීමක් තිබෙන බව නොරහසකි. 2015 ජනවාරි 08 වැනිදායින් පසුව බිහිවූ ජාතික ආණ්ඩුව තිබෙන තුරු තමන්ට ඉදිරි ගමනක් නැති බව පැහැදිලිව තේරුම් ගෙන සිටි බැසිල් දිගින් දිගටම කළේ එම ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන යූ.එන්.පී.ය සහ ශ්‍රීල.නි.ප.ය බෙදි වෙන්වෙන තැනට වැඩකරන එකය. ඒ බව යූ.එන්.පී.යේ ඇතැම් නායකයන් තේරැම් ගන්නා විට පෙරහර ගොස් අවසානය. වත්මන් ආණ්ඩුවේ වංචා-දූෂණ සෙවීම සඳහා ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත්කරන තුරුම එම නායකයන් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොතිබූ බව අදාළ කොමිෂන් සභාව පත් කිරීමෙන් පසුව යූ.එන්.පී. ය තුළ ඇතිවූ කැළඹීමෙන් පෙනී ගියේය. මේ වෙලාවේ හැටියට රට තුළ ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත දැමීමට හේතුවිය හැකි වුවත් ජාතික ආණ්ඩු කතාව ආවේ ඊට විසඳුමක් වශයෙන් විය හැකි වුවද එළියේ සිට බලන විට පෙනෙන්නේ ආණ්ඩුව බොහෝ කටයුතුවලදී තවමත් ඉන්නේ අඩි ගණනක් පසුපසින් බවය.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා යූ.එන්.පී.ය ව්‍යවස්ථා අර්බුදයේ ගිලටීනයට හසු වී ආණ්ඩුව නැතිකරගත් අවස්ථාවේ මේ රටේ බොහෝ දෙනා කිව්වේ මේ ආණ්ඩුව අඩුම වශයෙන් ඊට කලින් වසරේ පැවැති ඒකාබද්ධයේ මැයි රැලියෙන් හෝ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ 10 වැනිදා පැවැති පුංචි ඡන්දයේ ප්‍රතිඵලයෙන් හෝ පාඩමක් ඉගෙනගෙන නැති බවය. අද - 2019 පෙබරවාරි 10ට පුංචි ඡන්දයේ පාඩමට හරියටම වසරකි. එහෙත් තවමත් යූ.එන්.පී. ආණ්ඩුව සැබෑ පාඩම ඉගෙන ගෙන නැති බව පැහැදිලිය. මෙහෙම ගියොත් මේ වසර අගදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුවද කියන්න වෙන්නේ යූ.එන්.පී.ය තවමත් පාඩම ඉගෙන ගෙන නැති බවයි.

 ශශීන්ද්‍ර

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30