2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

කඹ ඇදිල්ල

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

රජයේ සංස්ථා සහ මණ්ඩලවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේදී ජනාධිපති කාර්යාලයෙන් කිසිම ප්‍රමාදයක් වෙන්නෙ නෑ. සංස්ථා, මණ්ඩලවලට පත්කරන අයගේ නම් අදාළ ඇමැතිවරැන් ජනාධිපති කාර්යාලයට යොමුකළ දිනට පසුදිනම සුදුසුකම් පරීක්ෂා කර අනුමත කර අගමැති කාර්යාලයට යවනවා. ප්‍රමාදය සිදුවී තිබෙන්නේ අගමැති කාර්යාලයෙන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහෙම කියා තිබුණේ පසුගිය අමාත්‍ය මණඩල රැස්වීමේදීය. ඊට පෙරදිනයේද මාධ්‍යයට කතා කළ ජනාධිපතිවරයා තවදුරටත් කියා තිබුණේ රාජ්‍ය බැංකුවලට සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම ප්‍රමාද වන්නේ අගමැතිවරයාත් මුදල් ඇමැතිවරයාත් අතර ඇතිව තිබෙන ගැටුම හේතුවෙන් බවය. ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම නිසා ඇමැතිවරැන් පත්කර සති ගණනාවක් ගතවී ඇතත් සංස්ථා සභාපතිවරැන් පත් කිරීමට නොහැකි වී ඇති බවද ජනාධිපතිවරයා කියා තිබුණි.

ජනාධිපතිවරයා මේ කතාව කිව්වේ පසුගිය සඳුදා (28) ය. ඊට පසුදින (27) සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයට අනුයුක්තව පවතින ආයතන 04ක සභාපතිවරුන් පත්කිරීම හදිසියේම අත්හිටුවා තිබුණේ නව පත් කිරීම් ගැන මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් පවා සූදානම් කර තිබියදීය. එම ආයතන වූයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් පත්කරනු ලැබ සිටියේ මෙරට පෞද්ගලික අංශයේ විශිෂ්ට විධායක නිලධාරියකු වශයෙන් නම් දරා සිටින කිෂූ ගෝමස් මහතාය. ඔහුගේ සුදුසුකම් සම්බන්ධයෙන් නම් කිසිම ප්‍රශ්නයක් නොමැති බව පැහැදිලිය. එහෙත් ඔහුගේ පත්වීමද අවලංගු විය. ඒ සම්බන්ධයෙන් අදහස් විමසූ විට කිෂූ ගෝමස් මහතා අපගේ සහෝදර ලංකාදීප පුවත්පතට මෙසේ කියා තිබුණි.

රට වෙනුවෙන් සහ සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මේ තනතරැ බාර ගැනීමට තීරණය කළා. මේ පත්වීම බාර ගැනීමට සංචාරක අමාත්‍යංශය මගින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවට ගිය අවස්ථාවේ මේ පත්වීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මට දැනුම් දුන්නා. මේ පත් කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට සති කිහිපයක් තිස්සේ බලා සිටියා.

මේ කතාවෙන් කියැවෙන්නේ අදාළ පත්වීම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියා තිබෙන කතාවට වෙනස් එකකි. කිෂූ ගෝමස් මහතාගේ සුදුසුකම් අනුව පැය 24ක් තුළ ඔහුගේ පත්වීම අනුමත විය යුතුය. එහෙත් ඔහු පවසන්නේ ඒ සඳහා සති ගණනක් බලා සිටි බවය. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් තවම කිසිවක් ප්‍රකාශ වී නැත. ඒ අනුව නම් පෙනෙන්නේ මෙය ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අතර පවතින කඹ ඇදිල්ලේම කොටසක් බවය. එහෙත් මෙවැනි තත්ත්වයක් තුළ කටයුතු කරන්නේ කෙසේදැයි යන්න ගැන ආණ්ඩුව තුළ අභ්‍යන්තර සංවාදයක් ඇති වී නැත්නම් ඒ ගැන පුදුම විය යුතුය.

සංස්ථා මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීම ප්‍රමාද වීමේ අවාසිය ඇත්තේ ආණ්ඩුවටය. වැඩ නොකෙරෙන විට ජනතාව ප්‍රශ්න කරන්නේ ආණ්ඩුවෙන් මිස ජනාධිපතිවරයාගෙන් නොවේ. විශේෂයෙන් රාජ්‍ය බැංකුවලට ප්‍රධානීන් පත් නොකිරීම ආණ්ඩුවේ වැඩපිළිවෙළ පීලි පැනීමටද හේතු විය හැකිය. ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් පමණක් නොව පසුපෙළ මන්ත්‍රීවරැන්ට ලබාදෙන බව කියන රුපියල් කෝටි සියයේ අරමුදලද බැංකු අධ්‍යක්ෂ මණ්ඩල පත් නොවී තිබෙන තත්ත්වයක් තුළ ක්‍රියාත්මක කිරීම අපහසුය. එවැනි කටයුතු සඳහා බැංකුවල සභාපතිවරුන්ගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍යම කොන්දේසියකි. ප්‍රධානීන් පත් කිරීම කල්යාම යනු ඒ කටයුතුද කල්යාමකි. මේ ප්‍රමාද විම් සියල්ල සිදුවන්නේ මැතිවරණ වසරක් තුළදී වීම ආණ්ඩුවට බරපතළ ප්‍රශ්නයක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.

මෙහිදී පැහැදිලිව පෙනෙන්නේ කැබිනට් මණ්ඩලයේ සිටින ඇතැම් ඇමැතිවරැන් සම්බන්ධයෙන් එවැනි හරස් කැපීම් සිදු නොවන බවකි. එයට හේතු ගණනාවක් තිබිය හැකි වුවද ඒ සම්බන්ධයෙන් කතා කිරීම අපහසුය. නමුත් ආණ්ඩුව සමඟ දිගටම ජනාධිපතිවරයා පොදුවේ කිසියම් තද ආකල්පයකින් කටයුතු කරන බව නම් පැහැදිලිය. ඊළඟට මතගැටුම මතුවන බව පෙනෙන්නේ මැතිවරණ සම්බන්ධයෙනි.

පළාත් සභා මැතිවරණය මුලින් පැවැත්වීම යූ.එන්.පී. ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ නැත. යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් දිගටම ප්‍රකාශ කරන්නේ මුලින් තැබිය යුත්තේ ජනාධිපතිවරණය කියාය. රටේ පවතින ප්‍රශ්නවලට විසඳුම ජනාධිපතිවරණයක් පැවැත්වීම බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. පළාත් සභා ඡන්දය නීති ගැටලු පෙන්වා කල්දමාගත හැකි වුවද ජනාධිපතිවරණය එසේ නැත. එය අනිවාර්යයෙන්ම මේ වසරේ නොවැම්බර් මස 09 වැනිදාත් දෙසැම්බර් මස 09 වැනිදාත් අතර සෙනසුරාදා දිනයක පැවැත්විය යුතුය.

ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ කණ්ඩායම් සමඟ දේශපාලන එකඟතාවකට පැමිණ සිටීම හේතුවෙන් පළාත් සභා ඡන්දය කලින් පැවැත්වීමේ වාසිය හඳුනාගෙන සිටී. මීට පෙර පළාත් පාලන ඡන්දය ප්‍රමාද වෙද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා එය කෙසේ හෝ පවත්වා ගත යුතුය යන ස්ථාවරයක සිටියේ නැත. ඒ අවස්ථාවේදී පළාත් පාලන ඡන්දය තිබ්බා නම් මහින්ද රාජපක්ෂ කණ්ඩායම සමඟ බරපතළ ගැටුමකට යාමට ඉඩ තිබුණි. නමුත් 2018 පෙබරවාරි වනවිට ඇගමැතිවරයා සමඟ බරපතළ මතභේද හටගනිමින් තිබීම හේතුවෙන් ඡන්දයට යනවා හැර වෙනත් විකල්පයක් ජනාධිපතිවරයාට ඉතුරු වී නොතිබිණි. එතැනදී යූ.එන්.පී.ය සිටියේ තමන් පිළිබඳ අධි තක්සේරුවකිනි. පොහොට්ටුව අලුත් පක්ෂයක් වීමත් ජනාධිපතිවරයා ආණ්ඩුව සමඟ විරසක වී සිටීමත් යූ,එන්.පී. ආණ්ඩුවක් තනිවම ලබාගැනීමේ ප්‍රශ්නයක් තිබීමත් තුළ ඔවුන් සිටියේ දේශපාන මංමුලා වීමකය. ඒ වෙලාවේ හරියටම ගේම ගැහැව්වේ බැසිල් රාජපක්ෂ බව යූ.එන්.පී.යට දැනෙන විට අශ්වයා පැනගොස් හමාරය. අද ජනාධිපතිවරයා අතට අරගෙන තිබෙන්නේ පුංචි ඡන්දයේ ප්‍රතිඵලයේ නොපෙනෙන වාසියයි. එනම් මහින්ද රාජපක්ෂලා සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාවක් පෑදිමය. ඇත්තටම යූ.එන්.පී.ය දුර්වල වූයේ පුංචි ඡන්දයේ ප්‍රතිඵලයත් සමඟය. එවැනි තත්ත්වයක් තුළ යූ.එන්.පී.ය මේ වෙලාවේ පළාත් සභා ඡන්දයකට තල්ලු කර ගැනීම නම් අමාරු කටයුත්තක් බව පැහැදිලිය. පුංචි ඡන්දයේදී 03 වැනි තැනට වැටුණත් යළිත් මහින්දලා සමඟ එක්වීමට මාර්ගය පෑදීම නිසා යූ.එන්.පී.යට එරෙහිව කසය අතට ගැනීම තමන්ට වාසිදායක වනු ඇතැයි ජනාධිපතිවරයා ගණන් බලා ඇති බවට සැකයක් නැත. පළාත් සභා ඡන්දයට දින පවා නියම කර තැනකට ජනාධිපතිවරයා පැමිණ සිටින්නේ ඒ හේතුවෙනි. මහින්දලාද පළාත් සභා ඡන්දය කලින් එනවාට වඩාත් කැමති බවද ජනාධිපතිවරයා දැන සිටී. ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුදැයි තීරණය කිරීමේ ගැටලුවකට මුහුණ දී සිටින පොහොට්ටුවට පළාත් සභා ඡන්දයක් කලින් එන එක වාසියකි. එහිදී ලබාගනු ඇතැයි අපේක්ෂිත ඉදිරි පිම්ම දැනට පවතින බොහොමයක් අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට රැකුලක් වීමට ඉඩ තිබෙන බැවිනි. එවැනි චාන්ස් එකක් පොහොට්ටුවට ලබාදීමට ජනාධිපතිවරයා උපරිම උත්සාහ දැරීම ගැන පුදුම විය යුතු නැත.

පසුගිය අඟහරුවාදා (29) පැවැති අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී ජනාධිපතිවරයා විශේෂ කැබිනට් සංදේශයක් ලෙස සියලු පළාත් සභා ඡන්ද මැයි 31ට කලින් පැවැත්විය යුතු බවට යෝජනා කළේ එම පසුබිමේය. ඊට කලින් දිනයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් තබා ප්‍රකාශ කළේ නොවැම්බර් 10 වැනිදාට පෙර පළාත් සභා ඡන්දය නොතිබ්බොත් තමා ධුරයෙන් ඉවත්වන බවය. දැන්වත් ජනපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුව, කථානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් එක්ව මේ ගැටය ලිහාදැමිය යුතු බවද ඔහු කියා තිබිණි. මේ කියන්නේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට හරස් වී ඇති නීති ප්‍රශ්න පාර්ලිමේන්තුවෙන් විසඳාගත යුතු බවය. එසේම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා තිබුණේ ලංකා ඉතිහාසයේ මීට පෙරත් ඡන්ද විමසීම් කල්දමා තිබුණත් ඒ හැම අවස්ථාවම ඊළඟ ඡන්දයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ බවය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ එම රටම කතා කළ මාධ්‍ය සාකච්ඡාවෙන් පසුදා ජනාධිපතිවරයාගේ විශේෂ කැබිනට් සංදේශයෙන් ඡන්දය පැරැණි අනුපාත ක්‍රමයට තැබිය යුතු බවට යෝජනා කර තිබීමද විශේෂයක් විය. ඔහු යෝජනා කරන්නේ දැනට නිල කාලය අවසන්ව නැති පළාත් සභා තුනද විසුරැවා හැර පළාත් නවයේම ඡන්දය එකට පැවැත්විය යුතු බවය. මේ කැබිනට් සංදේශය ලබන සතියේදි සංවාදයට ලක්වී ඒ ගැන තීරණයක් ගැනීමෙන් පසුව එහි ඉදිරි ගමන ගැන අදහසක් කිව හැකිය. මෙහිදී දිගින් දිගටම පළාත් සභා ඡන්දය නොපවත්වා සිටීමට උත්සාහ දරන බවට මතයක් රට තුළට යාමද ආණ්ඩුවට හොඳ නැත. මේ නිසා බලාපොරොත්තු විය හැක්කේ ඒ පිළිබඳ වැඩිපුර කතා නොකරන ආණ්ඩුවකි. බවුන්සර් පන්දුවකට ඔළුව නවා කඩුල්ල රුකගන්නා පිතිකරැවකුගේ භූමිකාවට පණ පොවන තත්ත්වයකි.

එහෙත් රටේ තවත් සැලකිය යුතු පිරිසකගේ මතය වී තිබෙන්නේ රටේ මතුවෙමින් පවතින උග්‍ර ගැටලු විසඳා ගැනීමට නම් ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් හෝ පැවැත්විය යුතු බවය. මහ මැතිවරණයකට යාමට තිබෙන ඉඩකඩ සීමාසහිත බැවින් වඩාත් හැකියාව තිබෙන්නේ ජනාධිපතිවරණය කලින් පැවැත්වීමය. ඇතැම් දේශපාලන විචාරකයන් පමණක් නොව දේශපාලන අදහස් දක්වන භික්ෂූන් වහන්සේලාද ප්‍රකාශ කරන්නේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලැබිය හැකි වන්නේ මහ ඡන්දයකින් පමණක් බවය. එයට එකඟ නොවන පිරිසද සිටින නමුත් පළාත් සභා ඡන්දයක ප්‍රතිඵලය ලබාගැනීමෙන් පසුවත් පවතින ආණ්ඩුව වෙනස් නොවෙන තත්ත්වයක් තුළ සිදුවිය හැක්කේ ජනාධිපතිවරයා සහ අගමැති ඇතුළු ආණ්ඩුව අතර පවතින කඹඇදිල්ල තවදුරටත් උග්‍රවීම පමණි. එයින් රටේ ප්‍රශ්න තවදුරටත් සංකීර්ණවීමට ඉඩ තිබේ.

මේ කෙසේ වුවද ජනාධිපතිවරයා කතා නොකරන්නේ ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් බවද පැහැදිලිය. එය තේරැම් ගැනීමට අමාරැ නැත. ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව යම් අදහසක් ඇත්නම් එය ඉටුකරගත හැක්කේ මහින්දලාගේ කණ්ඩායම සමඟ එකතු වීමෙන් පමණක් බව මෛත්‍රීපාල සිරිසේන මහතා හොඳින්ම දැන සිටී. පොහොට්ටුව තුළද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව ගැටලු තිබෙන බව පැහැදිලිය. ගෝඨාභයට එම අපේක්ෂකත්වය ලැබෙයි නම් එවිට වෙල්ගමලා, ඇතුළු පිරිසක් ගන්නා දේශපාලන තීන්දුව තීරණාත්මක සාධකයක් වීම නොවැළැක්විය හැකි හෙයිනි. මේ ගැටලු විසඳා ගැනීමට ඉඩකඩ ලබාගැනීමට මහින්දලාත් පළාත් සභා ඡන්දයකට යාම වඩාත් වැදගත් යැයි සිතුවොත් එහි වාසිය ජනාධිපතිවරයාටද ලැබෙනු ඇත. එහෙත් එසේ නොවී ජනාධිපතිවරණයට කෙළින්ම මුහුණදීමට සිදුවූවොත් බරපතළම ප්‍රශ්නයට මුහුණ දෙනු ඇත්තේ මහින්දවත් රනිල්වත් නොවේ. ජනාධිපතිවරයාය.

 ශශීන්ද්‍ර