2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

පළාත් සභා බබා කතා

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

ඡන්දය කල් දමනවිට තම හෘදය වස්තුව කකියන බව ප්‍රසිද්ධියේ පවසන මැතිවරණ කොමිසමේ සභාපතිවරයකුත් පළාත් සභා ඡන්දය පැවැත්වීමට සියලු සාකච්ඡා සංවාද කරමින් එය නොපවත්වන ආණ්ඩුවකුත් සිටින රටක ජීවත්වීමට අපි වාසනාව ලබා සිටිමු. පසුගිය සඳුදා (28) මාධ්‍ය සාකච්ඡාවක් තබමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10 වැනිදාට පෙර නොපැවැත්වුවහොත් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවය. ආණ්ඩුව පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණවල සභාපතිගේ කතාව කොතරම් දුරකට අදාළදැයි අප නොදන්නා නමුත් ඡන්දය පවත්වා ගැනීම සඳහා ඔහු දරන උත්සාහය අගය කිරීමට එය බාධාවක් නොවනු ඇතැයි අපි සිතමු.

මැතිවරණ ප්‍රධානියාගේ කතාවට ආණ්ඩුවේ ප්‍රතිචාරයක් මේ සටහන තබන මොහොතේදී හෝ දැනගන්නට නොතිබිණි. එහෙත් සියලුම පළාත් සභාවල මැතිවරණ මැයි මස 31 වැනිදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතු බවට වන යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊට පසුදින (29) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබිණි. ඡන්දය පැවැත්වීමට මහා බාධාවක් වශයෙන් සැලකෙන ඡන්දය පැවැත්වීමේ ක්‍රමවේදය විසඳා ගැනීමේ මාර්ගයක් හැටියට පැරැණි අනුපාත ක්‍රමයට ඡන්දය පැවැත්වීමටද ජනාධිපතිවරයා විසින් විශේෂ කැබිනට් සංශෝධනයක් වශයෙන් ඉදිරිපත් කර තිබූ එකී යෝජනාවේ සඳහන් විය. බැලූ බැල්මට නම් පේන්නේ කිරිගහට ඇන්නා සේ මේ පාර නම් පළාත් සභා ඡන්දය පවත්වා ගැනීම නිසැකවම සිදුවනු ඇති බවය. අදාළ කැබිනට් සංදේශය ලබන සතියේදී විවාදයට ගැනීමට නියමිත අතර එහිදී තීරණාත්මක විසඳුමක් ලබාගැනීමට පුළුල් ඉඩකඩක් පවතින බවය. එහෙත් එය එසේම සිදුවෙයිද?

පෙනෙන්නට නම් තිබෙන්නේ ජනාධිපතිවරයා, ආණ්ඩුව සහ මැතිවරණ සභාපතිවරයා සමකෝණී ත්‍රිකෝණයක මුළු තුනට වී කල්ගෙවීමට සූදානම්ව සිටින ස්වරෑපයකි. මේ මුළු තුනම එකට එක් නොවී ඡන්දයක් පැවැත්වීම සිදු නොවන්නකි. එසේ වීම රටේ ජනතාවගේ පැත්තෙන් මහත් අසාධාරණයකි. රට ප්‍රජාතන්ත්‍රවාදී නම් එරට ජනතාවට නිසි කලට නියමිත ඡන්දය භාවිත කිරීමේ අයිතිය තිබිය යුතුය. ඡන්දයක් සිතා මතා කල් දැමීමට ක්‍රියා කිරීම යනු ජනතාවගේ අයිතිය පැහැර ගැනීමකි.

වයඹ, මධ්‍යම, උතුරුමැද, උතුර, නැගෙනහිර සහ සබරගමුව පළාත් සභා ඡන්ද දැනටද ප්‍රමාද වෙමින් පවතී. දකුණ අප්‍රේල් 10 වැනිදාද, බස්නාහිර අප්‍රේල් අගදී සහ ඌව ඔක්තෝබර් මාසයේද නිල කාලය අවසන් වීමට නියමිතය. අවශ්‍යනම් දකුණ, බස්නාහිර සහ ඌව කලින් විසුරැවා හැර පළාත් සභා නවයේම ඡන්ද එකට පැවැත්වීමට හැකියාව තිබේ. එසේ කළ හැකිනම් එය වඩාත් ප්‍රායෝගික වනු ඇත. එසේ නොවන්නේ නම් දැනට නිල කාලය අවසන්ව පවතින පළාත් සභා හයේ හෝ හැකි ඉක්මණින් ඡන්දය පැවැත්වීම අවශ්‍ය බව කිව යුතුය. ජනාධිපතිවරයා පවසන මැයි 31 සහ මැතිවරණ සභාපති පවසන නොවැම්බර් 10 යන දෙදිනටම එවැනි පියවරක් ගැනීම වලංගු වන බවත් පෙන්වා දිය හැක.

මැතිවරණය පැවැත්වීමට ප්‍රධාන බාධකය බවට පත්ව ඇත්තේ එය පවත්වන ක්‍රමවේදය පිළිබඳ ගැටලුවය. පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවට සෑම දේශපාලන පක්ෂයක්ම ඝෝෂා කළත් එය පැවැත්විය යුත්තේ පැරුණි සමානුපාතික ඡන්ද ක්‍රමයටද නැතහොත් මිශ්‍ර ක්‍රමයටද යන්න තවම විවාදිතය. ඒ ගැන ආණ්ඩුව ස්ථීර නිගමනයකට පැමිණ සිටින බවක් නොපෙනේ. විපක්ෂය නම් දැන් කියන්නේ මොන ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීමට තමන් විරුද්ධ නොවන බවය. එසේ සිදුවීමට නම් ඒ ගැන පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙයි. එවැන්නක් සිදුවනු ඇතැයි විශ්වාස කිරීම පවා අපහසු තත්ත්වයක් වර්තමානයේ පවතින බවක්ද පෙනී යයි.

පසුගිය අගෝස්තු මාසයේදී සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවද එය අනුමත නොවීම ඊට අසාන්නම උදාහරණයයි. මැතිවරණ සභාපතිවරයා පසුගිය මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණේ මැතිවරණ කල්යාම ගැන පාර්ලිමේන්තුවේ කල් තැබීමේ යෝජනාව ගෙන ආ අවස්ථාවේදී ඝනපූරණය නොමැතිව සභාව කල්තැබීමට සිදුවූ බවය. සභාව පවත්වාගෙන යාම සඳහා මන්ත්‍රීවරැන් 20ක් සිටිය යුතු වුවද එදින සිටියේ 18 දෙනකු පමණක් බවද ප්‍රකාශ කර තිබූ සභාපතිවරයා දේශපාලනයට යන්තමින් හෝ ගෑවුණු කෙනකුගේ විවාහ මංගල හෝ අවමංගල උත්සවවලදී ඊට වඩා මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් දැකගත හැකිවනු ඇති බවද සඳහන් කර තිබිණි. පළාත් සභා ඡන්දය කල්දැමීම සැලසුම් සහගතව සිදුකෙරෙන දෙයක්ද යන්න එම ප්‍රකාශයෙන් ප්‍රශ්න කෙරෙන බව අපගේ වැටහීමයි.

ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහැකි මැතිවරණ ක්‍රමවේදයක් සකස් කිරීමට සියලු දේශපාලන පක්ෂ එකතුවීම අවශ්‍යය. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සඳහා බාධාවක් නොපැවතියද පළාත් සභා ඡන්දයට ක්‍රමවේදය හරස් වන බව පැහැදිලිය. සෑහෙන කාලයක් නිශ්චිතව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ශ්‍රීලනිපය පසුගියදා ප්‍රකාශ කර තිබුණේ පරණ ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීමට තමන්ද විරැද්ධ නොවන බවය. එජාපයේ මන්ත්‍රීන් කිහිප දෙනකුද ප්‍රකාශ කර ඇත්තේ පැරැණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීමට තමන්ගේ කැමැත්ත හිමිවන බවය. එවැනි ප්‍රකාශ නිකුත් වුවද එම අදහස ක්‍රියාත්මක කිරීම සඳහා කිසිවකු හෝ ඉදිරිපත් නොවීම ගැටලුවයි. පාර්ලිමේන්තුව හරහා එයට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම පක්ෂ නායකයන්ගේ වගකීමක් බව මෙහිදී අපි පෙන්වා දීමට කැමැත්තෙමු.