2019 ජනවාරි 26 වන සෙනසුරාදා

මෛත්‍රී මහත්තයා ගැන අපේ කිසිම විශ්වාසයක් නෑ

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 163

♦ රාජපක්ෂවරු හැමෝටම මම කඩේ යන්නෙ නෑ
♦ ජනාධිපති ඡන්දෙට මහින්ද මහත්තයට ඉල්ලන්න පුළුවන්
♦ මම එදා කිව්ව දේවල් අද ඇත්ත වෙලා තියෙනවා
♦ එස්.බී.ලා ඩිලාන්ලාත් මේ කුමන්ත්‍රණය පිටු පස්සෙ ඉන්නවා
♦ එජාපය මහ බැංකුව කැඩුවේ මෛත්‍රී මහත්තයාගෙ යටතෙනේ
♦ චන්ද්‍රිකා නෝනා ආවා කියලා ශ්‍රීලනිපය ගොඩගන්න බෑ
♦ කවුරු කොහොම කිව්වත් මම කතා කරන්නේ රට වෙනුවෙන්

 

කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

පහුගිය කාලයේම එක එක ප්‍රකාශ කරපු කුමාර වෙල්ගම හදිසියේම නිශ්ශබ්ද වෙලා. මොකෝ අඩියක් පස්සටවත් ගන්න හිතුණද?

මම කවදාවත් අඩිය පස්සට ගන්නේ නැහැ. මට කියන්න දෙයක් තියෙනවා නම් ඒක මම කෙළින්ම කියනවා. මගේ වචන වැරදි විදිහට බොරුවට පාවිච්චි කරන්නේ නැහැ. ඇත්ත දේවල් විතරයි මම කතා කරන්නේ. කවුරැ හරි කෙනෙක් මගෙන් මේ රට ගැන ඇහුවොත් මම ඒකට කෙළින් උත්තර දෙනවා. 

මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත ඉහළට එන්න එනකොට තමයි කුමාර වෙල්ගම රාජපක්ෂවරු විවේචනය කරන්න ගත්තේ. මොකද මේ රාජපක්ෂවරුත් එක්ක තිබෙන ප්‍රශ්නය?

මම රාජපක්ෂ ආණ්ඩුවේ අවුරුදු නමයක කැබිනට් ඇමැති කෙනෙක්. ඒ කාලයේ ඉඳන්ම ළඟින් ඔවුන්ව ආශ්‍රය කළා. ඊට වඩා 2015 රාජපක්ෂවරු පැරදුණාම තවත් සමීපව වැඩකළා. ඒ සමීප වුණේ සිරිසේන මහත්තයාට කෙළින්ම මම නැගිටලා කිව්වා මම ඔයාත් එක්ක ගමනක් එන්නේ නැහැ කියලා. එහෙම කියලා එළියට බැස්ස පළවෙනි මිනිහා මම. මම බලලෝභී නම් මට එදා ඇමැතිකමක් ගන්න තිබුණා. හැබැයි මම  එහෙම කියලා මගේ කෙළින් කතා කිරීම නැවැත්වුවේ නැහැ. එදා රාජපක්ෂ මහත්තයා මට කිව්වා ඔයා තමයි කෙළින් කතා කරන එකම මිනිහා කියලා. එනිසා රාජපක්ෂවරු නෙමෙයි කවුරු මොනවා කළත් වැරදි නම් ඒ වැරැද්ද මම කෙළින්ම කියනවා. හරිනම් මම හරියි කියනවා. මගේ ඒ ඇරෙන්න වෙන දේවල් නැහැ. මම බොහෝම හිත පිරිසුදු මිනිහෙක්. 

ඔබගේ මේ විවේචනය සම්බන්ධව රාජපක්ෂවරු ළඟින්ම ඉන්න අය කියන්නේ වෙල්ගම මහත්තයාට වෙලා තිබෙන දේ අපිටවත් හිතාගන්න බැහැ කියලා?

මම රාජපක්ෂවරු හැමෝටම කඩේ යන්නේ නැහැ. මම කඩේ යන්නේ මහින්ද රාජපක්ෂට විතරයි. ඔය ඔහොම කියන ගොඩක් අය බයයි කෙළින් ප්‍රකාශ කරන්න. ඒ අය දන්නවා හරි වැරැද්ද. ඒත් එයාලා කතා කරන්නේ නැහැ මහ මැතිවරණයකදී රාජපක්ෂ මහත්තයා එයාලට විරුද්ධව කතා කළොත් ඡන්දෙ හම්බවෙන්නෙ නැහැ කියලා. ඇත්තටම මේ දේවල් ඔප්පු වුණා. මම කියන දේවල්වලට ඔය කට්ටිය එක එක දේවල් කියන්නේ මහින්ද මහත්තයාට ආදරේට නෙමෙයි. ඒ ඒ අයගේ පැවැත්මට.

ඒ කියන්නේ වෙල්ගමට බයක් නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා නිකම් හරි මහ මැතිවරණයේදී ඔබට විරුද්ධව කතා කළොත්?

හරියට ගමේ ජීවත් වෙනවා නම් වැරදි කරලා නැත්නම් මිනිස්සුන්ට ගස්සලා නැත්නම් මිනිස්සුන්ව අමාරැවේ දාන්නේ නැත්නම් මිනිස්සුත් එක්ක ඉන්නවා නම් මම මොකටද බයවෙන්නේ. මම කෙළින් වැඩ කරන්න කැමැති මනුස්සයෙක්. එහෙම කතා කරනවා නම් මිනිස්සු මට කැමැති වෙනවා. 

වෙල්ගම මහත්තයා රටේ නායකයා කරන්න හදන්නේ කවුද?

මහින්ද රාජපක්ෂ මහත්තයා.

මහින්ද රාජපක්ෂ මහත්තයාට නැවත රටේ නායකයා හැටියට ඡන්දයකින් එන්න බැරි බව හැමෝම කියද්දී ඔබ කොහොමද රටේ නායකයා කරන්නේ එතුමාව?

එහෙම කියන්නේ බැරි අය. මම නීතිඥයෙක් නොවුණාට යම්කිසි ආකාරයකට නීතිය ගැන අවබෝධයක් මට තිබෙනවා. මට කලින් අගලවත්ත ආසනයේ හිටියේ රටම පිළිගත්ත කොල්වින් ආර්. ද සිල්වා මහත්තයා. එයාට ගහන්න නීතිඥයෙක් නැහැ. අපි ගමේ ආපුවාම වෙල් ඉපනැල්ලේ හුළඟ වැදිලා ඒ හුළඟ කොල්වින් මහත්තයාගේ ඇඟේ වැදිලා ඊටපස්සේ අපේ ඇඟේ වැදුණා. මම දේශපාලනය කරන්න පටන් ගත්තේ සිරිමාවෝ මැතිනියගෙන්. එහෙම තත්ත්වයක් තිබෙන මම බොරු කියන්නේ නැහැ. ඒ නිසා මම දන්නවා මහින්ද මහත්තයාට ඡන්දෙ ඉල්ලන්න පුළුවන් කියලා.

ව්‍යවස්ථාවෙන්ම බෑ කියලා තියෙද්දී ඔබ කොහොමද පුළුවන් කියලා කියන්නේ?

මැතිවරණ කොමසාරිස්තුමාම කියනවා නම් මහින්ද මහත්තයා නාමයෝජනා දුන්නොත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ කියලා තව මොන කතාද? ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළේ අපි ඔක්කොම එකතු වෙලා. සරත් වීරසේකර මහත්තයා විතරයි ඡන්දෙ නොදුන්නේ. අපි ඒක සම්මත කළේ අතීතයට බලපැවැත්වෙන පරිදි නොවෙයි. අනාගතයට බලපැවැත්වෙන පරිදි. ඒ නිසා නැවත ඡන්දයට තරග කිරීම කරන්න බෑ කියලා කොහෙවත් නැහැ. හැබැයි කාට හරි පුළුවන් ඡන්දෙ තියෙන අවස්ථාවේදි හෝ පසුව එතුමාට විරුද්ධව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරන්න. අපි දැක්කානේ සිරිමාවෝ මැතිනියත් ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරනවා. මමත් එක සාක්කි කාරයෙක්.

ඉතින් ඔච්චර විශ්වාසයක් තිබෙනවා නම් ඇයි මේ රාජපක්ෂ කඳවුරේ තව රාජපක්ෂවරු නායකයො කරන්න හදන්නෙ?

මම කියන්නේ අවශ්‍ය නැහැ. තව මොකෙක්වත් ඕනෑ නැහැ මහින්ද මහත්තයා ඉන්නවා නම්. ලංකාවේ ඉන්න හොඳම අපේක්ෂකයා තමයි මහින්ද මහත්තයා. මොන පොදු අපේක්ෂකයා දැම්මත් මහින්ද මහත්තයාට දිනන්න පුළුවන්. මේ ලෝකයේ මම ආදරේ කරන පුද්ගල චරිත දෙකයි ඉන්නේ. එකක් රුසියාවේ පුටින් ජනාධිපතිතුමා. අනික් එක්කෙනා ලංකාවේ මහින්ද ජනාධිපතිතුමා. එතුමා ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා ලෝකේ මිනිස්සුන්ට. ඒ නිසා මට වෙන රාජපක්ෂවරු වැඩක් නැහැ. 

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එළිපිට කියනවානේ එතුමා ජනාධිපතිවරණයට සූදානම් කියලා?

ඔබ සූදානම් නම් මම සූදානම් කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරක් නෙමෙයි චමල් රාජපක්ෂ මහත්තයාත් කිව්වා. දයාසිරි ජයසේකර මහත්තයත් කිව්වා. තව අයත් කියනවා.

වෙල්ගම මහත්තයාත් කිව්වා නේද එහෙම?

නෑ නෑ... මම කිව්වේ නැහැ. මගෙ ඔළුවේ මහින්ද මහත්තයා ඉන්නකොට මම මොකටද එහෙම කියන්නේ. 

ඔබ කිව්වා මමත් හොඳ ජනාධිපති අපේක්ෂකයෙක් කියලා?

හරි... කිව්වා... මට දැන් කියන්න, මට තිබෙන නුසුදුසුකම මොකක්ද කියලා. මමත් සුදුසුයි. හැබැයි මටත් වඩා ඉහළින්ම ඉන්න මනුස්සයා තමයි අර මහින්ද රාජපක්ෂ මහත්තයා.

ඔබ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙක් රටේ නායකයා වෙන්න සුදුසු නැහැ කියලා. එහෙමද?

ඒ ගැන මම කතා කරන්න කැමැති නැහැ. හේතුව තාම ජනාධිපතිවරණයක් කැඳවලා නැහැ. එහෙම නම් ඉදිරිපත් කරලත් නැහැ. ඒ නිසා එක එක්කෙනා ගැන කතා කරලා තේරුමක් නැහැ. මම කියන්නේ ජනාධිපතිවරණය කැඳවුවහොත් ඒකට වමේ ඉන්න සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා.

වෙල්ගම මහත්තයාට දැන් අනාගතය ගැන අනාවැකි කියන්නත් පුළුවන් නේද?

ඒ මොකක්ද ඒ කතාව.

නෑ ඔබතුමා කිව්වානේ මහින්ද මහත්තයා අගමැති වෙච්ච ගමන් මේක වැඩිදුර දුවන්න බෑ මේක කඩාවැටෙනවා කියලා. කිව්වා වගේම හරි ගියානේ. කොහොමද කිරිගහට ඇන්නා වගේ කිව්වේ?

ඇයි මම ඊට කලින් කිව්වේ නැද්ද සිරිසේන මහත්තයා මේ රටේ ජනාධිපති වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි මෛත්‍රී මහත්තයා ජනාධිපති වෙලා කිව්වා එජාපයත් එක්ක එකතුවෙලා ගමනක් යන්න එන්න කියලා. එවෙලෙම මම නැගිටලා ලංකාවේ පළවෙනි මන්ත්‍රී හැටියට කෙළින්ම කිව්වා, සර්.... ශ්‍රී ලංකා එකටයි එජාපයටයි කවදාවත් එකට යන්න බැහැ කියලා. ඒ කිව්ව දේ හරි ගියා. මහින්ද මහත්තයාට මම එදා කිව්වා මෙතැන 113 නැති නිසා ගන්න එපා කියලා. මේක ඔබතුමා පල්ලෙහාට දාන්න හදපු උපක්‍රමයක් කියලා. මම ඒක ජී.එල්. පීරිස් මහත්තයාගේ ගෙදරදි කිව්වේ. කට්ටිය ඉස්සරහා කිව්වේ. මම ඊට පස්සේ කිව්වා ඔබතුමාට ගන්න ඕනෑනම් ගන්න මම 113ට ඡන්දෙත් දෙන්නම්. හැබැයි මට ඇමැතිකම් එපා කියලා. ඒ නිසා කිව්ව දේ ඇත්ත වෙලා තිබෙනවා. අපි මේ රටේ මිනිස්සුන්ට වග කියන්න ඇවිත් තිබෙන්නේ. මගේ දේශපාලන ජීවිතයට මේ අවුරුද්දට අවුරුදු 37ක්. එහෙට මෙහෙට පැනලා නැහැ. මම බොරු කරලා නැහැ. 

ඉතින් බොරු කරලා නැත්නම් මෙච්චර කල් තරහා වෙලා හිටිය මෛත්‍රී මහත්තයාටයි මහින්ද මහත්තයාටයි එකතු වෙන්න දෙන්නේ නැත්තේ ඔබතුමා. ඇයි ඒ එකතුවට කැමැති නැත්තේ?

කොහොමද කැමැති වෙන්නේ. සිරිසේන මහත්තයා පිළිගන්න පුළුවන්ද අපිට? 2015 අගෝස්තු මැතිවරණයේදී අපි දිනන්න ඔන්න මෙන්න හිටියේ. මොකද සිරිසේන මහත්තයා කළේ...? එතුමා කිව්වා දින්නත් අගමැතිකම මහින්ද මහත්තයාට දෙන්නේ නෑ කියලා. මිනිස්සු පසුබැස්සා. ඒ නිසා අපිට අන්තිමේ හම්බවුණේ ආසන 95යි. එදා කකුලෙන් ඇද්දෙත් ඔය සිරිසේන මහත්තයා. 2014 දී ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයා හැටියට මහින්ද මහත්තයාගේ නම යෝජනා කළේ මෛත්‍රී මහත්තයා. එහෙම යෝජනා කරලා අන්තිමට එතුමා ආප්ප කාලා අනිත් පැත්තට ගියා. මෙච්චර මහින්ද මහත්තයා පල්ලෙහාට දාපු මෛත්‍රී මහත්තයා ගැන තවත් විශ්වාස කරන්න කියලද මහත්තයෝ කියන්නේ....?

ඔහු පල්ලෙහාට දැම්මාට ඔක්තෝබර් 26 වැනිදා අගමැති පුටුවේ වාඩි කෙරෙව්වානේ මහින්ද මහත්තයාව?

ඔව් එතුමාව අග්‍රාමාත්‍ය පුටුවේ වාඩිකරලා ඉන්න දුන්නද? 113ක් පෙන්නුවාද? පෙන්නුවේ නැහැ. උඩම හිටිය මනුස්සයා අන්තිමට 113ක් නැතිව වැට්ටුවේ නැද්ද? අන්තිමට එතුමාව විපක්ෂනායක පුටුවට වැට්ටුවේ ඒ නිසා නෙමෙයිද? ඒ නිසා පේනවානේ අපිට ඉහළින්ම ජයග්‍රහණය කරන්න තිබුණු අවස්ථාව තමයි මඟහැරුණේ. 

ඒ නිසා නෙමෙයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ගැලවිලා දැන් ඔක්කොම එකතුවෙලා මහින්ද මහත්තයාට විපක්ෂනායක පුටුවේ වාඩිවෙන්න පුළුවන් වුණේ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් අයින් වුණේ ආණ්ඩු කරගෙන යන්න බැරිවුණු නිසා. එහෙම අයින් වෙලත් ඒ අය මොකද කළේ? අච්චර ජනප්‍රිය වෙලා හිටිය මහින්ද මහත්තයාගේ කකුලෙන් ඇදලා බිමට දැම්මා. 

ඔබ හිතනවාද මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ කෙනෙක්ව එහෙම රවට්ටන්න පුළුවන් වෙයි කියලා? 

කොහොම හරි රැවටුනානේ.

ඔබ කියන්නේ මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලාද?

නැතුව නැතුව... මේක දේශපාලන කුමන්ත්‍රණයක්. එස්.බී. දිසානායක මහත්තයලා ඩිලාන් පෙරේරා මහත්තයලා තමයි මේ කුමන්ත්‍රණය පිටුපස්සේ ඉන්නේ. ඒකට අපේ මිනිස්සුත් අහුවුණා. ඒ වගේම හිටියා. මම ඒ අයගේ නම් කියන්න කැමැති නැහැ. 

එහෙම කුමන්ත්‍රණයක් නම් ජනාධිපතිවරයා කොහොමද මේ තරම් එක්සත් ජාතික පක්ෂය විවේචනය කරන්නේ? දැන් නයි මුගටි සටන බවට පත්වෙලා තිබෙන්නේ?

මොකක්ද ඉතින්... මම මෙච්චර වෙලා කිව්වානේ මහින්ද මහත්තයා කොච්චර වැට්ටුවාද කියලා. දැන් ඔය බණින එජාපය නෙමෙයිද මහබැංකුව කැඩුවේ. ඒ කැඩුවේ එතුමා යටතේ ඉන්නකොට නේද? සිරිසේන මහත්තයා නෙමෙයිද අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා පත්කළේ? ඒ වෙලත් අන්තිම මොහොත වෙනකම් එතුමා ආණ්ඩුවත් එක්ක හිටියේ නැද්ද? මම නම් කොහෙත්ම එතුමා විශ්වාස කරන්නේ නැහැ. අපිව අමාරුවේ දැම්මා කියන තැන තමයි මම ඉන්නේ. 

ඔබ කියන්නේ මහින්ද මහත්තයා මේ හැමදේම හින්දා තියෙන තත්ත්වෙනුත් පල්ලෙහාට වැටුණා කියලද?

ඇත්තටම වැටුණා. බොරු කියන්න ඕනෑ නැහැනේ... එතුමා බිමටම වැටුණා. 

ඔබ පොහොට්ටුවේ සාමාජිකයෙක්ද? නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්ද?

මම පොහොට්ටුවට උදව් කළා. හැබැයි කවදාවත් සාමාජිකත්වය ගත්තේ නැහැ. මම එළිපිටම එදා ඉඳන්ම කියන්නේ අදටත් මම ශ්‍රී ලංකා කාරයෙක් කියලා. 

ඔබ පිළිගන්නවාද.... එක්තරා කණ්ඩායමක් ගිහිල්ලා පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා කියලා?

මම අනිත් අය පාවා දෙන්න කැමැති නැහැ. මොනවා වුණත් ඒ අය අපේ සහෝදරයෝ. ඒ ගැන මම කතා කරන්න කැමැති නැහැ. හැබැයි එක දෙයක් තිබෙනවා ආණ්ඩුව විසිරෙව්වාට පස්සේ අපේ අය කිව්වා දැන් මන්ත්‍රීකම නැතිවෙන්න දෙයක් නැති නිසා සාමාජිකත්වය ගමු කියලා. ඒ නිසා කට්ටියක් ගත්තා. අන්තිමට නඩු තීන්දුව ඇවිල්ලා නැවත ආණ්ඩුව ශක්තිමත් වුණාම තමයි වැඩේ වැරදුණේ.

ඔබ කතා කරන දේවලුත් එක්ක හිතෙන්න පුළුවන් නේද මේ එජාපයේ කොන්ත්‍රාත්තුවක් කරනවා කියලා?

ඕනෑම කෙනෙකුට ඕනෑම විදිහට හිතන්න පුළුවන්. ඒක මගේ කාරණයක් නෙමෙයි. මම හෘද සාක්ෂියට අනුව කතා කරන මනුස්සයෙක්. මම ඊළඟ පරම්පරාව වෙනුවෙන් කතා කරන්නේ. මගේ මේ අවුරැදු 37ක දේශපාලනය ඇතුළේ එජාපයට යන්න ඕන නම් එහෙම යන්න අවස්ථා ඕනතරම් තිබුණා. මම ගියේ නැහැ. මට එහෙම යන්න වුවමනාවකුත් නැහැ. ඒක අත්හරිමුකෝ.... එහෙනම් මට තිබුණානේ සිරිසේන මහත්තයාගේ ආණ්ඩුවේ ඇමැතිකමක් ගන්න. ඒ ගත්තෙත් නැහැ. මිනිස්සුන්ට ඕන විදිහට මම ගැන හිතන්න පුළුවන්. හැබැයි මම කතා කරන්නේ රට වෙනුවෙන්. 

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලිවලට කැඩිලා. පාක්ෂිකයන්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද තියෙන්නෙ කියලා. ඇත්තටම කොහෙද තියෙන්නේ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොඳ නායකයෙක් ඕන. මේ පක්ෂයේ හොඳ නායකයෝ හිටියා. ඒ හැම නායකයාම පක්ෂය ගොඩනැගුවා. බණ්ඩාරනායක මහත්තයා, සිරිමාවෝ මැතිනිය, චන්ද්‍රිකා නෝනා, මහින්ද මහත්තයා මේ පිරිස විවිධාකාරයෙන් පක්ෂය ඉදිරියට ගෙනාවා. නමුත් අද ඉන්න නායකයා ගන්න තීරණ වැරුදියි. හොඳ නායකයෙක් ආව දවසට තමයි පක්ෂය මතුකරලා ගන්න පුළුවන්. 

මේ වෙනකොට ශ්‍රීලනිපය කතා වෙනවා මහින්ද මහත්තයාගේ ආශීර්වාදය මැද මෛත්‍රීපාල මහත්තයා නැවත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන්න ඕන කියලා. වෙල්ගම මහත්තයා එදාට කොතැනද හිටගන්නේ?

මම වැඩ කරන්නේ නැහැ. මට බැහැ බොරු කරන්න. මෛත්‍රීපාල මහත්තයා රටට ඕන නායකයෙක් හැටියට තහවුරු වෙලා නැහැ. මම පිළිගන්නෙත් නැහැ. එතුමා දුර්වලයි. 

චන්ද්‍රිකා මැතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න මෙහෙයුමක් දියත් කරනවා. වෙල්ගම මහත්තයාට ආරාධනා කළොත් ඒකට...?

මම නම් ඒ ගැන දන්නේ නැහැ හරියට. මට කතා කරලත් නැහැ. හැබැයි එතුමිය ආවා කියලා මේ පක්ෂය ගොඩනගන්නත් බැහැ. මම කියන්නේ තරුණ අයට දෙන්න ඕන අවස්ථාව. ඒ අයට අනාගතයක් තියෙනවා. විශේෂයෙන් වර්තමාන ලේකම්තුමා දයාසිරි මහත්මයා අනාගතයේ ලොකු දෙයක් කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා පැන්ෂන් ගිය අය වැඩක් නැහැ. 

පක්ෂ විපක්ෂ හැමෝටම දැන් වෙල්ගම මහත්තයා හොඳ චරිතයක් වෙලා. මොකක් හරි අනාගතයේ බලාපොරොත්තුවක් තිබෙනවාද?

අනේ... නෑ... නෑ... මට එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ. මගේ ඔළුවේ තිබෙන්නේ මහින්ද මහත්තයා රටේ නායකයා කරන්න. 

යම් ආකාරයකින් මහින්ද මහත්තයා රටේ නායකයා කරන්න බැරුව ගියොත් එදාට කුමාර වෙල්ගම මහත්තයා හිටගන්නේ කොතැනද?

මම කියන්නේ එතුමාව රටේ නායකයා කරන්න පුළුවන්. එනිසා අවකැපෙන කතා කියන්න එපා.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00