2019 ජනවාරි 26 වන සෙනසුරාදා

වෙනසක ලකුණු

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

කොළඹ දේශපාලනය දිගින් දිගටම පවතින්නේ රත් වූ ගමන්ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විදෙස් නිල සංචාර අතරමැදත් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් අතර පවතින ගැටුමේ ගිනිපුපුරු විසිවෙයි. පිලිපීන සංචාරයට ජනාධිපතිවරයා පිටත්ව ගියේ 2015 ජනවාරි මාසයේ සිට පැවැති යහපාලන ආණ්ඩුවේ දූෂණ සෙවීමේ කොමිසමක් පත්කිරීමෙන් පසුවය. ඊළඟට සිංගප්පූරුවට ගියේ බැඳුම්කර වංචාවේ පළමු වගඋත්තරකරැ වන අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු ආණ්ඩුවට කරුණු දැක්වීමේ අදහසක්ද ඇතිව බව දේශපාලන කරලිය තුළ ප්‍රසිද්ධ රහසක් විය. එසේම ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ විවේචන ඉදිරිපත් කිරීමද තවත් අදහසක් විය. පසුගිය සිකුරාදා (25) සිංගප්පූරු අගමැතිවරයා සමඟ පැවැති හමුවේදී මේ ගැන අදහස් හුවමාරැ වන්නට ඇතැයි මාධ්‍ය ඉඟි පළකර තිබිණි.

ආණ්ඩුවේ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීමට ගනු ලැබූ පියවර යූ.එන්.පී.යේ බලවත් නොකැමැත්තට හේතු වී තිබෙන බවත් පෙනෙන්නට තිබේ. එම කොමිසමේ සභාපති වශයෙන් පත්කරනු ලැබ සිටින්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැ උපාලි අබේරත්න මහතාය. විශ්‍රාමික මහාධිකරණ විනිසුරැ සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය, විශ්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරළේ ආරච්චිගේ ප්‍රේමතිලක, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඩී. විජය අමරසිංහයන මහත්වරැ  සෙසු සාමාජිකයෝය.

කොමිසමේ පළමු වාර්තාව මාස 03 කින්ද සියලු තීන්දු, තීරණ ඇතුළත් අවසන් වාර්තාව මාස 06කදීද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදිය යුතු බවත් ප්‍රකාශ වී තිබේ. මේ කොමිසම පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කර තිබූ නිවේදනයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ 62,50,000ක් ඡන්දය දුන්නේ මෙරටින් දූෂණ සහ වංචා මුලිනුපුටා දැමීමට බවද ජනාධිපති සිරිසේන මහතා මේ කොමිසම පත් කරමින් එම අරමුණ ඉටුකර ගැනීමට තවත් පියවරක් තබා ඇති බවටද දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක්... සැබෑවක් කර ගනිමු තේමාව යථාර්ථයක් කරන බවටද සඳහන් විය.

මෙය සිරිසේන මහතා ජනාධිපති කරවීම සඳහා ඡන්දය ලබාදුන් හැට ලක්ෂයකට ආසන්න යූ.එන්.පී. ප්‍රමුඛ එ.ජා. පෙරමුණේ මැති ඇමැතින් ඇතුළු ඡන්දය ලබාදුන් සියලු දෙනාටම එල්ල කළ බලවත් ප්‍රහාරයක් බව ඔවුන්ගේ පිළිගැනීමය. මේ රජයේද දූෂණ සහ වංචා සෙවීම අනවශ්‍ය දෙයක් යැයි පාක්ෂිකයන් පවා නොකියන බව සැබෑය. ඒවා සොයාබලා වැරුදිකරුවන්ට දඬුවම් පැමිණවීමද අවශ්‍යය. එහෙත් ඔවුන් ඡන්දය ලබාදුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය රජයේ වංචා සහ දූෂණවලට සම්බන්ධ වූවන්ට එරෙහිව කටයුතු කිරීම, විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඒම ඇතුළු තවත් පොරොන්දු ගණනාවක් ඉටු කිරීමට දුන් ප්‍රතිඥා අනුවය. එසේම ජනාධිපති ධුරයේ දිවුරුම් දී දින දෙක තුනක් ඇතුළතදී ශ්‍රීලනිපයේ සභාපති පදවිය භාරගන්නා බව ඔහු ලබාදුන් පොරොන්දු අතරේ නොතිබිණි. එතැන් පටන් දිගින් දිගටම යූ.එන්.පී. මැති ඇමැතින් සහ පාක්ෂිකයන් අපහසුතාවලට ලක්වෙන ආකාරයට බොහෝ දේවල් සිදුවිය. එය පුපුරා ගියේ පසුගිය ඔක්තෝබර් 26 වැනිදාය.

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාව ලැබීමට නියමිතව ඇත්තේ හරියටම ජනාධිපතිවරණය ආසන්න වෙද්දීය. ජනාධිපතිවරයා වාර්තාව ලබාදීමට දින නියම කර ඇත්තේ ජනාධිපතිවරණය පිළිබඳව හොඳින් සිතා බලා බව පැහැදිලිය. අබ කෑ මිනිහාගේ මොළය දනවා සේ මේ වාර්තාව පිළිබඳව යූ.එන්.පී. මැති ඇමැතිවරැ කලබලයටත් අසහනයටත් පත්වීම බලාපොරොත්තු විය යුත්තකි. ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව පවා යූ.එන්.පී. අභ්‍යන්තරයේ මත ගැටුම් පවතිද්දී මෙවැනි වාර්තාවක කලඑළි බැසීම බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට හේතුවනු ඇත.

කෙසේ වුවද යූ.එන්.පී.යේ තවත් පිරිසකගේ මතය වන්නේ 2015 ජනවාරියේ සිට පැවැති රජයේ නායකයාද මෛත්‍රීපාල සිරිසේන මහතා බවය. රජය වැරැද්දක් කර ඇත්නම් එයට ජනාධිපතිවරයාගේද වගවීමක් තිබිය යුතු බව ඔවුන්ගේ මතයයි. පාක්ෂිකයන් වුවද මීට වෙනස් අදහසක් දරන බව සිතිය නොහැක. කවුරුන් කැමැති වුවද අකැමැති වුවද ජනාධිපතිවරයා විසින් පත්කරන ලද දූෂණ සහ වංචා විමර්ශන කොමිෂන් සභාව මගින් සොයාබලනු ලබන්නේ යූ.එන්.පී. මැති ඇමැතිවරුන්ගේ ක්‍රියාකාරකම් වීම වැළැක්විය නොහැක. යහපාලන ආණ්ඩුවට ශ්‍රීලනිපයද සම්බන්ධ වී වසර තුනහමාරක පමණ කාලයක් පාලනය ගෙන ගියත් මේ කොමිසමේ අවධානය වැඩිපුර යොමුවන්නේ තමන් දෙසට බව යූ.එන්.පී. නායකත්වය නොසිතුවොත් පුදුමය. මේ නිසාම ඉදිරියේදී බලාපොරොත්තු විය හැක්කේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර දැනටද පවතින විරසකභාවය තවදුරටත් වැඩිවනු ඇති බවය. දැනගන්නට තිබෙන අන්දමට යූ.එන්.පී.යද තමන්ගේ පැත්තෙන් සටනට සූදානම් වෙමින් සිටී. මේ සම්බන්ධයෙන් තිරයෙන් පිටුපස බොහෝ &සමීක්ෂණ* සිදුකෙරන බවද ඒවා එළිපිටට පැමිණෙන විට බොහෝ මතවාදී ගැටුම් ඇතිවිය හැකි බවද අනුමාන කළ හැකිය.

මෙහිදී ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව අතර පමණක් නොව ජනාධිපති සහ පොහොට්ටුව අතරද මතබේද මතුවන බවද පෙනී යයි. ජනාධිපතිට සමීප ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු වන මහින්ද සමරසිංහ පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කිරීම සිදු නොවන්නේ නම් පොහොට්ටුව සමඟ සන්ධානගතවීමට ශ්‍රීලනිපය පියවර නොගන්නා බවය. එවැනි තත්ත්වයක් තුළ ශ්‍රීලනිපය වෙනම තරග කරනු ඇති බවද ඔහු කියා තිබිණි. ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානයක් ඇතිවිය යුත්තේ ශ්‍රීලනිප මන්ත්‍රීවරැන්ගේද දේශපාලන අනාගතය සුරක්ෂිත වන අයුරින් බවද ඔහු සඳහන් කළේය.

එහෙත් පොහොට්ටුවේ නායකයන් ඇතුළු ප්‍රබල සාමාජිකයන් සිටින්නේ වෙනම තලයක බව පෙනෙන්නට තිබේ. මහින්ද නම් ජනාධිපති අපේක්ෂකයා හෝ සන්ධානය ගැන හෝ එතරම් අදහස් දැක්වීමට යන්නේ නැත. එසේම ඔහු ජනාධිපතිවරයා සමඟ ඇතිකරගෙන තිබෙන සබඳතා එලෙසම පවත්වාගෙන යන බවද පෙනෙන්නට තිබේ. කෙසේ වුවද බැසිල් නම් කියා තිබුණේ මේ වසර අවසාන වනවිට පොහොට්ටුවෙන් ජනාධිපතිවරයකු බිහි වී සිටිනු ඇතැයි කියාය. ඒ අනුව ශ්‍රීලනිප සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති අපේක්ෂකයා වීමට පොහොට්ටුවෙන් සහාය නොලැබෙන බව පැහැදිලිය. සන්ධානයක් ඇතිවුවද එහි ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල මහතා නොවන තත්ත්වයක් තුළ ඔහු සමඟ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරැන්ට තම දේශපාලන අනාගතය පිළිබඳව සැක පහළ වීම බලාපොරොත්තු විය යුතුය.

මේ තත්ත්වය තුළ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතරින් යූ.එන්.පී., ශ්‍රීලනිප සහ අලුතින් එක්වූ පොහොට්ටුවද සිටින්නේ ඉදිරි මැතිවරණයකදී මුහුණ දිය යුතු ආකාරය ගැන අවිනිශ්චිත මට්ටමකිනි. ජවිපෙ මේ ප්‍රවාහය තුළ වෙනම ස්ථාවරයක රැඳී සිටින බවක් පෙනේ. ඔවුන් රජයටද වරින් වර දැඩිව පහර දෙන අතර මහින්දලා යළි හිස එසවීමට දරණ උත්සාහයටද දැඩි ලෙස එරෙහිව කටයුතු කරයි. වංචාවට සහ දූෂණයට එරෙහිවද දැඩිව අදහස් දක්වන ජවිපෙ ජනාධිතිවරණය හෝ වෙනත් ප්‍රධාන මැතිවරණයන් පිළිබඳව වැඩිපුර අවධානයක් යොමුකරන්නේ නැත. ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරීමට තව කාලය ඉදිරියට තිබියදී ඒ ගැන කතා කිරීම වැඩක් නැති බව ඔවුන්ගේ අදහසය. එහෙත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් ඔවුන් දරන්නේ ධනාත්මක ආකල්පයකි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රබල අවියක් කරගැනීමට මහින්ද දිගින් දිගටම ක්‍රියාකරමින් සිටී. එහෙත් කරට කර සිදුවිය හැකි ජනාධිපතිවරණ සටනකදී සුළු ජාතීන්ගේ ඡන්දවල බලපෑම මහින්දට අවතක්සේරු කළ නොහැක. පළාත් සභා ඡන්දය කලින් පවත්වා ඉන්පසුව ජනාධිපතිවරණයට යන අවස්ථාවකට වඩා කෙළින්ම ජනාධිපතිවරණයට යාමේ වෙනස මහින්ද හොඳින් දැන සිටී. 

පසුගිය සති දෙක තුන තුළදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය දක්වමින් සැර මාධ්‍ය ප්‍රකාශ ගණනාවක්ම මහින්ද නිකුත් කළේය. එහෙම වුණත් විපක්ෂනායක ධුරයට පත්වීමෙන් පසු 23වැනිදා නිකුත් කරන ලද නිවේදනයේ කලින් නිකුත් කළ ඒවාට වඩා තරමක වෙනසක් තිබිණි. ආණ්ඩුව බොරු නම්‍යශීලී බවක් පෙන්වා ව්‍යවස්ථා කෙටුම්පත හරහා ෆෙඩරල් පාලන ක්‍රමය දිනා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවද අනේකවිධ අර්බුද මධ්‍යයේ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ හොරගල් ඇහිලීම පිළිබඳව ජනතාව අවබෝධයෙන් පසුවිය යුතු යැයිද මුලින් කියන එම නිවේදනයේ අග මෙලෙස සඳහන් වෙයි.

වර්තමාන ආණ්ඩුව ගෙනවිත් තිබෙන මේ ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වීම යනු සියලුම ව්‍යවස්ථා සංශෝධනවලට විරැද්ධ වීම නොවන බවද අපි පැහැදිලිව කිවයුතුය. වර්තමාන ව්‍යවස්ථාවේ පුළුල් වෙනස්කම් සිදුවිය යුතු බව අපි පිළිගනිමු. 19 වැනි සංශෝධනය නිසා පමණක් මොනතරම් අවුලක් ඇති වී තිබෙනවාද? ඇතැම් දේශපාලන පක්ෂවලට තිබෙන බෙදුම්වාදී නැත්නම් ෆෙඩරල්වාදී අදහස් අපි ප්‍රතික්ෂේප කරන අතරම ඒ ඒ ප්‍රාදේශීය සමාජවලට යම්කිසි ජාතික රාමුවක් තුළ තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් තිබිය යුතු බවත් අපි පිළිගනිමු. ඊළඟ ජාතික ඡන්දයේදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අපේම යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් ජනතාවගෙන් වරමක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙමු. අපගේ එම උත්සාහයට සහයෝගය දෙන මෙන් මම ජනතාවගෙන් මෙන්ම සියලුම දේශපාලන පක්ෂවලින් ද මේ අවස්ථාවේදී ඉල්ලා සිටිමි.

මේ කියන්නේ ජනාධිපතිවරණයේදී සුළු ජාතික ඡන්ද පදනම සම්බන්ධයෙන් මහින්ද යළිත් තදින්ම සිතා බලන නිසාදැයි එකවරම කීම අපහසුය.

- ශශීන්ද්‍ර