2019 ජනවාරි 19 වන සෙනසුරාදා

ව්‍යවස්ථාවේ ඉබ්බා-හාවා සටන

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

අපේ රටේ බොහොමයක් පොදු මාතෘකා බොහෝ විට අවසන් වෙන්නේ මහා දේශපාලන කලබැගෑනිවලිනි. ඇතැම් ඒවා දේශපාලන කෝලාහල බවට ද පත්වෙයි. ඒ අතින් ගත්තොත් වත්මන් ආණ්ඩුව ගෙනෙන්නට වලිකන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ සංශෝධන හෝ මොනයම් එකක් හෝ මේ වනවිට දේශපාලන පොර පිටියේ කෝලාහලයක් බවට පත්වෙමින් තිබේ. ඊට පක්ෂව සහ විපක්ෂව සමහර දේශපාලනඥයන්ගේ අදහස් පළකිරීම් විටෙක ඇසෙන්නේ පෙනෙන්නේ මහා වාද බයිලා තරගයක අවස්ථාවක් මෙනි.

ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හිටි ගමන් වේගයෙන් ගෙන ඒමට තැත් කරන්නේ උතුරේ ටී.එන්.ඒ. නායකයන්ට ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමට යැයි විපක්ෂය බරපතළ චෝදනාවක් එල්ල කරයි. ඔවුන්ගේ එක් තර්කයක් වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය පවත්වා ගැනීමට ටී.එන්.ඒ ලබා දෙන සහාය වෙනුවෙන් රජය ඔවුන්ට ප්‍රති උපකාරයක් වශයෙන් නැතහොත් දොළපිදේනියක් වශයෙන් නව ව්‍යවස්ථාව ගෙන එන බවය. එසේම ලබන 04 වැනිදා ජාතික නිදහස් දිනයට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට රජයේ සූදානමක් ඇතැයි ද ඊට තමන් කිසිසේත් ඉඩ නොදෙන්නේ යැයිද විපක්ෂයේ පක්ෂ නායකයෝ කියති. අයවැය සම්මත කරවා ගැනීම සඳහා රජයට ටී.එන්.ඒ. එක මත රැඳී සිටීමට සිදුවනු ඇතැයි ද මේ නිසා නව ව්‍යවස්ථාවේ කටයුතු ඉක්මන් කර ඇතැයිද ඔවුන්ගේ මතය වී තිබේ. මෙහි ඇත්ත නැත්ත තවම නොදනිමු. එහෙත් ආණ්ඩුවට මැතිසබයේ බහුතරය පවත්වාගෙන යාමට දෙමළ ජාතික සන්ධාන සහාය අත්‍යවශ්‍යය. ඒ අතර නව ව්‍යවස්ථාවක් පිළිබඳ කතාව රජය එක්වරම ඉදිරියට ගෙන ආ බවත් එය විපක්ෂය දේශපාලන සටන් පාඨයක් වශයෙන් භාවිත කරන බවත් පෙනෙන්නට තිබෙන යථාර්ථයයි.

විපක්ෂය කෙසේ කිව්වත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අලුතින් මත පළවූයේ 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙදී සහ මහමැතිවරණයේදීය. ඒ අවස්ථා දෙකේදීම අනාගත යහපාලන ආණ්ඩුවක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවත් එය විධායක බලතල සහිත ජනාධිපතිධූරය අවසන් කරන ජාතික ප්‍රශ්නයට විසඳුම් ලැබෙන ආකාරයට සකස් වනු ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් ප්‍රකාශ කළහ. එසේම රටේ සියලු ජන කොටස් සහ දේශපාලන පක්ෂවල අදහස් විමසමින් එය සකස් කෙරෙන බවද සඳහන් විය. කෙසේ වුවද 1994 වසරේ පටන්ම බලයට පත්වූ සෑම නායකයකුම, රජයක්ම ප්‍රකාශ කළේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බවය. එහෙත් ඒ සියල්ල පොරොන්දු පමණක් විය.

එසේ ප්‍රකාශ නිකුත් වුවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව කටයුතු කෙරුණේ ඉබි ගමනිනි. දැන් ප්‍රශ්නය වී තිබෙන්නේ වසර 04ක් තිස්සේම  ඉබ්බා වී සිටි නව ව්‍යවස්ථාවේ වැඩ කටයුතු හදිසියේම හාවකු වීමය. විපක්ෂය කෑගසන්නේ මේ හදිසියේම ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ කරන්නේ ටී.එන්.ඒ. එකට වූ පොරොන්දුව ඉෂ්ට කිරීමට බවය. මේ ආකාරයේ මතවාදී ගැටුම් රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට මෙතෙක් සිදු කෙරැණු කතාබහවලට බාධාවක් ඇති කර තිබේ. නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර ඇති විය යුතු හරවත්, ගැඹුරැ සංවාද වෙනුවට දේශපාලන කුළල් කා ගැනීම් දකින්නට තිබීම කනගාටුවකි. එම තත්ත්වය ඇති වීම සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම වගකිව යුතුය.

ඒ කෙසේ වුවද මෙරට ව්‍යවස්ථාවක් අලුතින් සකස් කිරීමේ කාර්යයේදී මහ සඟරැවනේ ආශිර්වාද ලබා ගැනීම අත්‍යාවශ්‍ය සාධකයක් බව රජය අවබෝධ කරගත යුතුය. රටේ සියලු ජාතික, ආගමික කටයුතුවලදී පෙරමුණ ගෙන කටයුතු කරන මහ සඟරැවන ඈත් කර තබාගෙන කුමන ව්‍යවස්ථාවක් වුවද සම්මත කර ගැනීම කළ නොහැක්කකි. මේ සම්බන්ධව රජය තුළද ගැඹුරු සාකච්ඡාවක් සිදු වී ඇති බවත් පෙනෙන්නට නැති තත්ත්වයක් තුළ මහ සංඝ රත්නය සමඟ පුළුල් සාකච්ඡාවකට රජය සූදානම්ද යන ප්‍රශ්නය ද ඇති වෙයි. සියලු ජන කොටස් සමඟ සාකච්ඡාවෙන් සංවාදයෙන් අදහස් ලබාගෙන නව ව්‍යවස්ථාවක් සකස් කරන බවට රජය මුල සිටම ලබා දුන් පොරොන්දු ඒ වචනයේ තරමට ඉටු නොවී තිබීම මේ බොහොමයක් කලබැගෑනිවලට හේතු වී තිබේ. රජයට වසර 04ක් තිස්සේ නොතිබූ හදිසියක් එක්වරම ඇති වීම ගැන විපක්ෂය නගන චෝදනාවට එය ප්‍රබල පදනමක් ගොඩනගා තිබෙන බව ද කිව යුතුය.

අපේ රටට හැමදාම ව්‍යවස්ථා සංශෝධනවලම එල්ලෙමින් කාලය ගත කිරීමට හැකියාවක් නැත. මේ බව ආණ්ඩුව කරවන අයත් ආණ්ඩු බලය ලබා ගැනීමට පිටපොට ගසන අයත් දැන සිටීම අවශ්‍යය. පවතින ව්‍යවස්ථාවේ අඩුපාඩුකම් බොහොමයක් පවතින බව පිළිගත යුතු සත්‍යයකි. එසේ නොවන්නට එය 19 වතාවක් සංශෝධනය වන්නේ නැත. අනෙක් අතට වසර 30ක් තිස්සේ ඇදී ගිය බිහිසුණු යුද්ධය අවසන් වී දස වසරක් ගෙවා ඇති බවද සියලු පක්ෂවල නායකයන්ට සිහිපත් කර දීමට ද කැමැත්තෙමු. යළිත් යුද්ධයක් ඇතිවනු ඇතැයි සිංහල, දමිළ, මුස්ලිම් කිසිවකුත් සිහිනෙන්වත් නොපතන නමුත් දේශපාලන බලය ලබා ගැනීම සඳහා කැස කවන උතුරේත් දකුණේත් ඇතැම් දේශපාලනඥයන්ට නම් එහි වෙනසක් නැත. බලය ලැබෙනවා නම් නැති යුද්ධයක් වුවද මවා පෑමට ඔවුන් පැකිලෙන්නේ නැත. මුලතිව් රජමහා විහාරයකට කඩා පැන එහි හින්දු කෝවිලකට බලහත්කාරයෙන් මුල්ගල් තැබීමට උත්සාහ කළ උතුරේ දමිළ දේශපාලනඥයන්ද ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් රටම ලේ විලක් වනු ඇති බවට අනාවැකි පළකරන දකුණේ සිංහල දේශපාලනඥයන් ද වැටෙන්නේ ඒ ගණයටය. එසේ නොවී මැදහත් මාවතක සිටගනිමින් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වගකීමකින් කටයුතු කිරීම රටට සැබෑවටම ආදරය කරන සිංහල - දමිළ - මුස්ලිම් සියලු නායකයන්ගේ යුතුකම බව අපි සිතමු.