2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ජනපති සටනේ ජොකියා

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

රටේ පැවැති දේශපාලන අවුල් සහගත බව තවම පහවී ගොස් නැත. එහෙම තිබියදී හැම දේශපාලන පක්ෂයකින්ම වගේ ඇහෙන්නේ ඡන්දයකට යා යුතු බවට වන කතාය. මේ ඡන්දවලට පහුගිය දවසක මෛත්‍රීපාල සිරිසේන මහතාද ලොකු තල්ලුවක් දී තිබුණි. පසුගිය සඳුදා (7) පැවැත්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරයා තම මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශ කර තිබුණේ මේ වසරේදී ඡන්දයක් ලබාගැනීමට ආණ්ඩුවට අඛණ්ඩ බලපෑම් කළ යුතු බවය. එම බලපෑම් පාර්ලිමේන්තුව තුළදී වගේම පිටතදීත් සිදුකළ යුතු බවද ජනාධිපතිවරයා කියා තිබුණි.

ඡන්දයක් ලබාගැනීමට ආණ්ඩුවට බලපෑම් කළ යුතු යැයි කියන විට එම ආණ්ඩුවේ නායකයාද කැබිනට් මණ්ඩල ප්‍රධානියාද වන්නේ තමා බව සිරිසේන මහතාට අමතක වී දැයි යන්න ප්‍රශ්නයකි. ඒ සමඟ ඔහු කියා තිබුණේ මේ වසර තුළදී එජනිස ආණ්ඩුවක් බිහිකර ගැනීමට ක්‍රියා කළ යුතු බවය. එහෙම වෙන්න නම් මහ මැතිවරණයක් තැබීම අවශ්‍යය. එසේත් නැත්නම් කළ හැක්කේ ඔක්තෝබර් 26දා සිදුකළාක් මෙන් කුමක් හෝ අර්බුදයක් නිර්මාණය කොට පාර්ලිමේන්තුව ඇතුළේම ඔලුගෙඩි මාරැකර ආණ්ඩුවක් පිහිටුවීමය. එවැනි අවස්ථාවක් ලැබෙනවා නම් එයට අවස්ථාව අයවැය ඡන්දයයි. ඒ වුණත් ඔක්තෝබර් මාසේ අත පුච්චාගත් පිරිසම යළිත් එවැන්නකට අතගැසිය යුත්තේ හැමදේම හොඳින් කිරා මැන ගැනීමෙන් පසුව බවට කතා දෙකක් නැත.

හැබැයි වඩාත්ම පෙනෙන්න තිබෙන්නේ පළාත් සභා ඡන්දයකට යාමට ජනාධිපතිවරයා තුළ කැමැත්තක් පවතින බවය. එහෙත් ඒ සඳහා පවතින නීතිමය බාධාව ලොකු ගැටලුවක් බවට පත්ව තිබේ. මෙතැනදී සිදුවී ඇත්තේ පළාත් පාලන ඡන්දය කල් දමාගැනීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු යහපාලන ආණ්ඩුව පාවිච්චි කළ උපක්‍රමයම මෙවර හරහට හිටීමය. පළාත් පාලන ඡන්දය නියම වෙලාවේ තිබ්බා නම් ආණ්ඩුව තුළ ප්‍රශ්න මතුවන්නේ මීට පෙර සිටමය. ඒ නිසා සීමානිර්ණය කමිටුව පිටින් දමා හැකි තරම් කාලයක් එම පුංචි ඡන්දය ප්‍රමාද කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළේය. නමුත් එයින් වැඩක් වූයේ නැති බව හොඳටම කල් ගොස් 2018 පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පුංචි ඡන්දයේදී පැහැදිලි විය. දැන් ජනාධිපති ඇතුළු තවදුරටත් යහපාලන ආණ්ඩුවකට අයිති නැති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීම ලොකුම වුවමනාව වී තිබුණත් එය ඉටුකර ගැනීමට වෙනත් උපක්‍රම පාවිච්චි කිරීමට සිදුව තිබේ. සීමානිර්ණය ගැටලුව මගහැර ඡන්දය පැවැත්වීමට තිබෙන හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේද ඒ නිසා විය හැකිය.

පළාත් සභාත් බැරි නම් පාර්ලිමේන්තු ඡන්දයකුත් නොහැකි නම් ඊළඟට පැවැත්විය හැකි ඡන්දය වන්නේ ජනාධිපතිවරණයයි. එය අනිවාර්යයෙන්ම මේ වසර අගභාගයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. ජනාධිපතිවරයා වෙනත් ඡන්දයක් පැවැත්වීමට කොයි තරම් උත්සාහ දැරුවත් ඒ දෙකටම වඩා ජනාධිපතිවරණය පැවැත්වීමට වඩාත් හැකියාවක් තිබෙන බව බැලූ බැල්මට පෙනේ.

පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නම් ඊළඟ ප්‍රධානම ප්‍රශ්නය ඉල්ලන්නේ කවුද කියන එකය. යෝජිත පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර ගොඩනැංවීමට නියමිත පුළුල් සන්ධානයට එය බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙන ලකුණු පහළ වෙමින් තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා (10) කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පළවූ අදහස් වලින් පසුව ඒ බව වඩාත් තහවුරැ විය. ශ්‍රීලනිප නව මහලේකම් වශයෙන් දයාසිරි ජයසේකර වැඩ බාර ගැනීමෙන් පසුව පැවැත්වූ එම සාකච්ඡාවේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා කිව්වේ මෙහෙමය.

මේ වර්ෂය මැතිවරණ වර්ෂයක්. එක්සත් ජාතික පක්ෂය නම් පස්ස ගහනවා. ඒත් අපි මැතිවරණය ලබාගන්න ඕනෑ. ජනාධිපතිවරණය ලබන වසරේ 08 වැනිදාට පෙර පැවැත්විය යුතුමයි. ඒ කියන්නෙ ඔක්තෝබර් වෙද්දී ඊට සූදානම් විය යුතුයි.
සමහරු අහනවා කවුද අපේක්ෂකයා කියලා. අපි නම් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාමයි. ඔහු පොදු අපේක්ෂකයා විය යුතුයි. ඒක නාම යෝජනා දෙන දිනට පෙර දින හරියටම තීන්දු වුණාම ඇති.

මෙහෙම කිව්ව නිමල් සිරිපාල අපි අපේක්ෂකයො දෙතුන් දෙනෙක් දාලා එජාප අපේක්ෂකයා දිනවන්න කටයුතු කළොත් ඒ දේශපාලන ශාපයෙන් ගැලවීමට කවදාවත් පුළුවන්කමක් නොලැබෙනු ඇති බවද සඳහන් කළේය. මීට කලින් මහින්ද සමරසිංහ මහතාද කියා තිබුණේ ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා බවට තීන්දු කර අවසාන බවය. ශ්‍රීලනිප ලේකම් ධුරය භාර ගැනීමෙන් පසුව වරක් දයාසිරි ජයසේකර මහතාද කිව්වේ ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා වනුයේ වත්මන් ජනාධිපතිවරයාම බවය. ඒ කතාවෙන් දයාසිරි පසුව ලිස්සා ගියත් පෙනෙන්නට තිබෙන්නේ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්තෙන් සිටි බවය.
ජනාධිපතිවරයා තුළ පවතින කැමැත්ත පෙනෙන්නේ ඔහුට සමීප ජ්‍යෙෂ්ඨ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ වලින් පමණක් නොවේ. මේ දවස්වල දේශපාලන කරළිය තුළ ජනාධිපතිවරයා කරන කියන කටයුතු වලින්ද ඒ බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඔහු බොහෝ සීරැවට මාරුවට ගන්නා පියවර ඒ බව හොඳින් පෙන්වයි. ආණ්ඩුකාරවරුන් පත්කළ ස්වභාවයද හිටපු ආණ්ඩුකාරවරුන්ටද ඒ හැරෙන තැපෑලෙන් සැලකූ ආකාරයද එවැනි එක් පියවරකි. මොරගහකන්ද - කළුගඟ ව්‍යාපාරය හේතුවෙන් යට වී ගිය පැරණි නගරය වෙනුවට අලුතෙන් ඉදිවූ නව ලග්ගල නගරය විවෘත කොට කළ කථාවද එහිම තවත් දිගුවකි. පසුගිය කාල තුළ දිගින් දිගටම පවත්වාගෙන ආ ආවේගශීලී සහ ප්‍රහාරාත්මක කථා විලාශයෙන් බැහැරව සිටින ජනාධිපතිවරයා ඒ වෙනුවට පවතින රජයේ වැරදි සහ අඩුපාඩු සූක්ෂම ආකාරයට උපුටා දක්වන කථාකිරීමේ ශෛලියකට මාරැ වී සිටී. ජනාධිපති පදවිය වසර 04 සපිරීම සැමරීම සඳහා නව ලග්ගල නගරය විවෘත කරමින් සිදුකළ කතාවේ ඔහු මෙසේ සදහන් කර තිබුණි.
&2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව මා කෙරෙහි විශ්වාසය තබලා, රටේ නායකයා වගේම ප්‍රධාන මහජන සේවකයා විදියට මාව පත්කරගෙන අදට වසර හතරක් සම්පූර්ණ වෙනවා. මේ අවුරුදු හතර තුළ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරැ කරන්න, නිදහස ශක්තිමත් කරන්න, බියෙන් සැකෙන් තොරව ජීවත්වෙන සමාජයක් ගොඩනගන්න, නිදහස් මාධ්‍යයක්, ස්වාධීන අධිකරණයක්, අපක්ෂපාතී රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා පුළුල් පියවර රාශියක් ගත්තා. ඒ වගේම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත් වැදගත් පියවර රාශියක් තිබෙනවා.

ලැබූ ජය ගැන මා දිගට කතා කරන්නේ නැහැ. නමුත් යහපාලන දේශපාලන සංකල්පයේ මූලික පදනම ලෙස සැලකූ රාජ්‍යයේ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ දූෂණය, වංචාව, නාස්තිය, හොරකම පරාජය කිරීමේදී අපි පරාජය වෙලා තිබෙනවා. පරාජය වූ දේ ජයගන්න අපි සියලුදෙනා එකතු වෙමු. මේ රටේ අපට තිබෙන බරපතළම අභියෝගය දූෂණය, හොරකම, නාස්තිය සහ වංචාවයි.

මේ වචන සෙට් එක මෛත්‍රීපාල සිරිසේන මහතා මීට අවුරුදු 04කට කලින් පාවිච්චි කළේ මහින්දගේ ආණ්ඩුවට එරෙහිව ජනාධිපතිවරණ කැම්පේන් එකේදීය. දැන් වසර 04කට පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද සමඟ එකතු වී සන්ධානයකට යන්නට සූදානම් වෙමින් සිටින අතර එදා ඔහු භාවිත කළ වචන සෙට් එක අද යූ.එන්.පී. ආණ්ඩුවට එරෙහිව වහෙන් ඔරෝ භාෂාවෙන් පාවිච්චි කරයි. මෙය දේශපාලන සටන් බිමේ දෛවයේ සරදමක් හැටියට කෙනකු හැඳින්වුවොත් ඒ ගැන පුදුම විය යුතු නැත.

මීට පෙර මේ රටේ ජනාධිපතිවරණයකින් ජය ගැනීමට පොදු අපේක්ෂකයකුට අවශ්‍ය වන සියයට 50කුත් ඡන්ද 01ක් වන ප්‍රතිශතය ලබා ගැනීමට නම් ඔහු හෝ ඇය නිසැකවම යූ.එන්.පී. හෝ ශ්‍රී ලංකා යන ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට සම්බන්ධ වී ඒ පක්ෂයේ ඡන්ද පදනමේ සහාය ලබාගත යුතු විය. සිරිසේන මහතා 2015දී එය ඉටුකර ගත්තේ යූ.එන්.පී.යට එකතු වීමෙනි. 2019 ඡන්ද සටනට පෙර සිරිසේන මහතා දැන් මහින්දලා සමග ගිවිසුමක් ගහගැනීමට සූදානමින් සිටයි. එහෙම වෙන්නේ රටේ දේශපාලන ධාරාවේ ශ්‍රීලනිපයට තිබූ ප්‍රධාන පක්ෂයේ තැන දැන් තිබෙන්නේ පොහොට්ටු පක්ෂයේ වීමය. ශ්‍රීලනිපයට රටේ ප්‍රධාන ධාරාවේ දැන් තිබෙන්නේ 03 වැනි ස්ථානය බව පසුගිය පෙබරවාරි 10 වැනිදා පුංචි ඡන්ද ප්‍රතිඵලයෙන් පැහැදිලි විය. එයින් පස්සේ පොහොට්ටු පක්ෂය ශ්‍රීලනිපයට කවදාවත් සෙකන්ඩ් වෙන්න නම් නොයන බව ස්ථීරය. මේ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවී ඇත්තේ පොහොට්ටුවේ පිහිට පැතීම පමණි.

කෙසේ වුවද මේ දෙපක්ෂය අතර මොන සංධානයක් ගොඩනැගුණත් ජනාධිපතිවරණය කලින් පවත්වන ඡන්දය බවට පත්වන්නේ නම් කවුද අපේක්ෂකයා යන ප්‍රශ්නය යළිත් පක්ෂ දෙක අතර විරසකභාවයක් ඇති කිරීමට ඇත්තේ ලොකු ඉඩකඩකි. මෛත්‍රීපාල මහතා ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා බවට &නිල* මට්ටමින් කෙරෙන ප්‍රකාශ කෙරෙහි බැසිල්ලා පැහැදීමක් නොමැතිවීම ගැන පුදුම විය යුතු නැත.

මෛත්‍රීපාල මහතා තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් ප්‍රකාශ කළ වහාම පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවය. ඒ වගේම මහින්ද පසුගිය දිනෙක ආණමඩුවේ පැවැති මහජන හමුවකදී ආණ්ඩුවේ වැඩ දැඩිව විවේචනය කරමින් පසුගිය වසර හතරේ පාලනයට දැඩිව පහර දුන්නේය. ඒ අවස්ථාවේදී රුස්ව සිටි පිරිසෙන් අයෙක් එක්වරම කෑ ගසා දැන් ඉන්න ජනාධිපතිතුමාත් ඒවට වගකියන්න ඕනෑ යැයි කිව්වේය. මහින්ද මේ වනවිට මෛත්‍රීපාල මහතා සමඟ පුළුල් දේශපාලන කතිකාවක සිටින බැවින් ඔහු ඒ අවස්ථාවේදී පත්වූයේ අසීරැතාවයකටය. මේ නිසා මහින්ද ඊට උත්තර දෙන්න ගියේ නැත.

මෙය සිරිසේන මහතා මහින්දලාට එකතුවීම සම්බන්ධයෙන් විරෝධය දැක්වූ එක් අවස්ථාවක් වුවද දිගින් දිගටම ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව කියන්න ගියොත් මේ විරෝධය වඩාත් පුළුල් වීමට ඇත්තේ ලොකු ඉඩකඩකි. මෙවැනිම තවත් අවස්ථාවක් වූයේ ශ්‍රීලනිප නව මහලේකම් දයාසිරි ජයසේකරගේ කතාවකි. දූෂණ සහ වංචා සම්බන්ධයෙන් නම කැත නොකරගත් එකම ජනාධිපතිවරයා සිරිසේන මහතා පමණයි යනුවෙන් ඔහු කළ ප්‍රකාශයද පොහොට්ටු සාමාජිකයන් තුළ කැළඹීමක් ඇතිකර තිබුණි. ඔවුන්ගේ මතය වූයේ එය අනියම් ආකාරයට මහින්ද මහතාට එල්ල කළ පහරක් බැවින් ඔහු සමාව ගත යුතු බවය. කෙසේ වුවද පසුව පැවැති මධ්‍යම කාරක සභා රුස්වීමේදී දයාසිරි එම ප්‍රකාශ සම්බන්ධයෙන් මහින්දට තම කනගාටුව ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් යූ.එන්.පී.ය තුළද විවිධ කතා ඇතිවෙමින් තිබේ. යූ.එන්.පී.ය මූලිකව කැමැත්තෙන් සිටිනුයේ ජනාධිපතිවරණයකට බව පැහැදිලිය. වසර මැදදී මහ මැතිවරණයකට යාමට යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් සහ ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් අතර පාර්ලිමේන්තුව තුළ කතාබහක් ඇතිවෙමින් තිබෙන බවද දැනගන්නට තිබේ. එහෙත් නවක මන්ත්‍රීවරැන් විශාල පිරිසකගෙන් එවැනි යෝජනාවකට අනුමැතිය ලබාගැනීම අපහසු වනු ඇතැයි සමහරැන්ගේ මතයයි. මේ නිසා යූ.එන්.පී.ය තුළ වඩාත්ම සූදානම ඇත්තේ ජනාධිපතිවරණයකටය. 

කෙසේ වුවද යූ.එන්.පී.යේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තවම නිශ්චිතව තීරණයකට එළැඹී නැති බවද සඳහන් වෙයි. එහෙත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට පක්ෂයේ වැඩි දෙනෙකුගේ කැමැත්ත පළවී තිබෙන බව යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨ මැති ඇමැති පිරිසක් කියති. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් දැඩිව හඬ නගන කැබිනට් නොවන අමාත්‍යවරයකු වන අජිත් පී. පෙරේරා පසුගිය දිනවල මතුකර පෙන්වූයේ ජනාධිපතිවරණයකදී තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරනු ඇති බවකි. එසේම ජනාධිපතිවරණයක් පළමු ඡන්දය වශයෙන් පැවැත්වීම තමන්ට වාසියක් වනු ඇතැයි යූ.එන්.පී.ය සිතන්නේ මේ අවස්ථාවේදී සුළුතර පක්ෂවල සහාය තමන්ට තිබෙන බවට පවතින විශ්වාසය හේතුවෙනි. සුළුතර පක්ෂවල සහාය ලබාගැනීමට යූ.එන්.පී. අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීම වඩාත් වාසිසහගත වනු ඇතැයි යූ.එන්.පී.යේ තවත් ජ්‍යෙෂ්ඨ පිරිසකගේ විශ්වාසයයි. වැඩිදෙනකු කියන්නේ ජනාධිපතිවරණයක් පිළිබඳව තවම කෙලින්ම කතා නොකරන කාලයකදී ඒ වෙනුවෙන් අපේක්ෂකයන් නම් කිරීමට ගොස් පක්ෂය තුළ අවුල් ඇතිකර ගැනීම අනවශ්‍ය ක්‍රියාවක් බවය.

2015 ජනවාරි දෙවැනි සතියත් 2019 ජනවාරි දෙවැනි සතියත් අතර රටේ දේශපාලනය සම්පූර්ණයෙන් උඩුයටිකුරු වී තිබෙන බවට නම් කතා දෙකක් නැත. 

  ශශීන්ද්‍ර

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30