2019 ජනවාරි 12 වන සෙනසුරාදා

හොරුන්ට වැට බැඳීම

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 21

මේ රටේ ආණ්ඩුවක් බලයට පත්වෙන විට ඒ ගැන විශේෂයෙන් සතුටු වන පිරිස් කිහිපයක්ම සිටිති. මැතිසබයට තේරී පත්වන මන්ත්‍රීවරු, ඇමැති පදවි බලාපොරොත්තු වන ජ්‍යෙෂ්ඨයෝ ඒ අතුරින් ප්‍රමුඛ වෙති. මීට අමතරව ඇමැති පදවි අපේක්ෂකයන්ගේ ඇතැම් සමීප ඥාතිවරු සහ ගජ මිතුරෝද අපේ ආණ්ඩුව කියා ජයපැන් බොන්නේ තවත් බලාපොරොත්තුවක්ද සමඟිනි. අහවල් සංස්ථාවේ සභාපති වෙන්නේ මමයි*, &අහවල් ආයතනයේ ලොක්කා මමයි... මටත් ඩිරෙක්ටර් පෝස්ට් එකක් පොරොන්දු වෙලා තියෙන්නෙ... යනාදී වශයෙන් මේ පිරිස සව්දිය පුරති. ඒ අතර වාරයේ මැති ඇමැති බිරින්දෑවරුන්ගෙන්ද අර සභාපතිකම අපේ එක්කෙනකුට අරන් දෙන්න* වැනි යෝජනාද ඉදිරිපත් වෙයි. හැම ආයතනයකම නැතත් බොහොමයක් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, අධ්‍යක්ෂවරැන් වශයෙන් පත්වීම් ලබන්නේ මේ ඥාතීන් සහ හිතවතුන් බව රහසක් නොවේ.

එහෙත් දැන් මේ තත්ත්වය වෙනස් වී ගොසිනි. මීට පෙරදී සමීප ඥාතීන්ට, ගජ මිතුරන්ට දොළපිදේනි වශයෙන් ලැබුණු සංස්ථා සභාපතිකම් ඇතුළු අධ්‍යක්ෂ පට්ටම් ලබාදීමේ ක්‍රමවේදයක් දැන් අලුතින් සකස් කර තිබීම ඊට හේතුවයි. ඇත්ත වශයෙන්ම මෙවැනි පත්වීම් සිදුකිරීමට මීට පෙර කිසිම පිළිගත් ක්‍රමවේදයක් තිබුණේ නැත. වෘත්තීමය පළපුරුද්ද අත්‍යාවශ්‍ය කොන්දේසියක් වන ආයතනවලට පමණක් එහෙන් මෙහෙන් සිදුකරන පත්වීම් අදාළ නුවූවද වෙනත් ආයතනවලට බලපෑ කොන්දේසි කිසිවක් නොතිබිණි. මේ නිසා ඥාතීන්ට, හිතවතුන්ට පමණක් නොව ලෝක හොරැන්ටද සංස්ථා සභාපතිකමක්, අධ්‍යක්ෂ තනතුරක් පමණක් නොව උසස් නිලතලයක් ලබාගැනීමට වුවද කිසිම බාධාවක් නොතිබිණි. නමුත් නිසි පරිදි සුදුසුකම් සපුරා ඇත්නම් සමීප ඥාතියකුට හෝ ගජ මිතුරකුට හෝ එවැනි තනතුරක් ලබාදීම නුසුදුසු යැයි අපි නොකියමු. දේශපාලනය කිරීමේදී ඥාතීන්ට සහ මිතුරන්ට සැලකීම සම්පූර්ණයෙන් අතහැරීමට කිසිදු දේශපාලනඥයකු කැමැති නොවන බැවිනි. එහෙත් පත්වීම් ලබන්නා සුදුසුකම් ඇත්තකු හෝ හොරකු නොවීම අත්‍යාවශ්‍ය කොන්දේසියකි. එසේ නොවන විට අදාළ ආයතන පරිහානියට යාම වැළැක්විය නොහැකි වනු ඇත. එවැනි ආයතනවල බර දැරීමට සිදුවන්නේ රටේ භාණ්ඩාගාරයටය.

මෙරට රාජ්‍ය සංස්ථා මණ්ඩල හා අධිකාරි 240ක් පමණ ස්ථාපිත කර ඇත. ඒවා සඳහා සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමට මෙතෙක් පැවැති ක්‍රමය වෙනස් කරමින් ජනාධිපතිවරයා විසින් පනවා තිබෙන කොන්දේසි හේතුවෙන් ඉහත තත්ත්වය බොහෝ දුරකට වැළකී ගොස් තිබේ. මේ කොන්දේසි පැනවීමට අග්‍රාමාත්‍යවරයාගේද කැමැත්ත හිමිවී තිබීමද විශේෂයකි. නුසුදුසු පුද්ගලයන් රාජ්‍ය ආයතන මුල්පුටුවලට පත්වීමෙන් රටට සිදුවන හානිය වළක්වාගැනීම ජනපතිගේත් අගමැතිගේත් අරමුණ බව පෙනී යයි.

කෙසේ වුවද ජනපතිගේ කොන්දේසි පැනවීම හේතුවෙන් මෙතෙක් කල් එම පදවි දැරෑ ලොක්කන් රැසකට තනතුරු අහිමි වී තිබේ. එයින් පෙනී යන්නේ සෑහෙන පිරිසක් මේ පදවි ලබා ඇත්තේ දොළ පිදේනි වශයෙන් මිස සුදුසුකම් නිසා නොවන බවයි. නැතහොත් ඇතැම් මැති ඇමැතිවරුන්ට පෞද්ගලික ලාබ ප්‍රයෝජන ලැබෙන සේ කටයුතු සිදුකිරීමට මාර්ගය පාදාගනු පිණිස බවය. එය වැළැක්වීම යහපත් දෙයකි. රාජ්‍ය ආයතන පාලනය පිරිහීමෙන් සිදුවන විශාල ධන හානිය මේ නිසා වළක්වා ගැනීමට හැකි වූවොත් එය රටට යහපතකි. මෙයින් සිත් වේදනාවට පත්වන පිරිසක් සිටිය හැකි වුවද රටට සිදුවන පාඩුව වළක්වා ගැනීමට එවැනි තද පියවර ගැනීම අවශ්‍යය. එසේම එවැනි පියවර ගැනීම සෑම අවස්ථාවකදීම එක හා සමාන වීමද අවශ්‍යය. එය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් විය යුතු නැත.

ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් පරිදි රාජ්‍ය ආයතනයක සභාපති ධුරයක් දැරීම සඳහා පිළිගත් විශ්වවිද්‍යාලයක හෝ විදේශ විශ්වවිද්‍යාලයක හෝ උපාධියක් ලබා තිබීම අනිවාර්ය කර ඇති අතර වයස අවුරුදු 70ට අඩුවිය යුතුද වෙයි. ඊට අමතරව වෘත්තීමය සහ කළමනාකරණ මට්ටමේ අත්දැකීම්, අදාළ ක්ෂේත්‍රයේ වසර 10කට වැඩි පළපුරුද්ද, වසර 10කට වඩා අත්දැකීම් ඇති විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු වීම වැනි සුදුසුකම්ද එම චක්‍රලේඛයේ සඳහන්ය. එක් අධ්‍යක්ෂවරයකු රාජ්‍ය ව්‍යවසාය තුනකට වැඩි සංඛ්‍යාවක එකවර අධ්‍යක්ෂධුර දැරීමද එමගින් වළක්වා තිබේ. ධුර කාලය වසර 3කට සීමාකර ඇති අතර උපරිම වාර ගණනද 03ක් වශයෙන් සඳහන් වෙයි. අධිකරණය ඉදිරියේ සදාචාර විරෝධී හෝ සාපරාධී අපරාධකරැවකු වශයෙන් නම්කරනු ලැබූ සහ බංකොළොත්භාවයට පත්වූ පුද්ගලයකුටද තනතුරැ දැරීම වළක්වා තිබේ.

මීට අමතරව තවත් කොන්දේසි ගණනාවක්ද ඇත. නමුත් මෙහිදී පැන නගින ප්‍රායෝගික ගැටලුද ගණනාවක් වෙයි. මෙතරම් සුදුසුකම් සහිත පුද්ගලයන් සොයාගැනීමේ ගැටලුව මුලින්ම පැන නගී. සුදුසුකම් සහිත පුද්ගලයන් මේ රටේ ඕනෑ තරම් සිටියද ඔවුන් දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් අනුව මෙහෙයවනු ලබන ආයතනවලට පත්වීමට කැමැත්ත ලබාදෙනු ඇතැයි සිතීම අමාරුය. ඇතැම් සංස්ථා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් ආණ්ඩුවේ බලය ගිලිහී යාමෙන් පසුව නවතින්නේ හිරේ විලංගුවේ වැටිලාය. මේ සඳහා ඕනෑ තරම් උදාහරණ පසුගිය කාලයෙන් සොයාගැනීම අමාරැ නැත. එසේම විවිධ කොමිෂන් සභා වාර්තා අනුවද පෙනී ගොස් ඇත්තේ ඇතැම් සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට ඉහළින් ප්‍රබල බලපෑම් එල්ල වී තිබෙන බවය. මේ බව දැන දැනත් දේශපාලන මඩගොහොරැවේ එරී පවතින ආයතනවල ලොක්කන් වීමට සුදුසුකම්ලත් පළපුරුදු වෘත්තිකයන් පෙළඹෙනු ඇතිද? එය උභතෝකෝටික ප්‍රශ්නයකි.

කෙසේ වුවද රාජ්‍ය ආයතන ලාබ ලබන තත්ත්වයට පත්කර ගනිමින් ඒවා නිවැරදි දැක්මක් සහිතව පාලනය කිරීමට විධිවිධාන පැනවීම සාධනීය ක්‍රියාවක් බව අපේ විශ්වාසයයි. පවතින මජර ක්‍රමයට කොතැනින් හෝ තිත තැබිය යුතුය. එය ප්‍රායෝගිකව සාර්ථක කර ගැනීම රජය සතු වගකීමකි.

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30