2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ආණ්ඩුව-විපක්ෂය හතරමං හන්දියක

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

2019 අවුරුද්ද ලබන විටම එය මැතිවරණ වසරක් බව ප්‍රකාශයට පත්වී තිබුණි. ඡන්ද දෙකක් පෝලිමේ තිබේ. අනෙක් ඡන්දය අවශ්‍ය නම් පවත්වා ගතහැකි මට්ටමේ පවතින්නකි. මේ ඡන්ද තුනෙන් එකක් හෝ අනිවාර්යයෙන්ම මේ වසරේ දී පැවැත්වෙනු ඇත. එය බොහෝ දුරට ජනාධිපතිවරණයක් වීමට ඉඩ තිබේ.

මේ කියන ඡන්ද පෝලිමේ මුලින්ම ඇත්තේ පළාත් සභා ඡන්දයයි. එය පවත්වා ගැනීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට තිබෙන උනන්දුවෙන් සීයට එකක්වත් ජනාධිපතිට හෝ අගමැතිට හෝ නොතිබෙන බව නම් පැහැදිලිය. මහින්ද රාජපක්ෂලාට නම් මුලින්ම පවත්වා ගතයුතු ඡන්දය ජනාධිපති හෝ පාර්ලිමේන්තු හෝ ඡන්දය නොව පළාත් සභා ඡන්දයයි. ඔක්තෝබර් 26 වැනි දවසින් පසු ඇති වූ දේශපාලන අලකලංචිය හේතුවෙන් තරමක් දුරට සයිලන්ට් මූඩ් එකකට තල්ලු වී සිටින මහින්දලාට පළාත් සභා ඡන්දය යනු බෝනස් එකකි. මහ ඡන්දයකට යන්න කලින් මහින්දලාට වේගයෙන් ලකුණු රැස්කරගත හැකි තරගය වන්නේ පළාත් සභාවීම ඊට හේතුවය. එහෙම වුණත් ඔවුන්ගේ එම බලාපොරොත්තුව ඉටුවීම පවතින දේශපාලන තත්ත්වය විසින් වළක්වා තිබෙන බව පෙනෙන්නට තිබේ.

එහෙම වෙන්න හේතුව පැහැදිලි කරගැනීම අපහසු නැත. ජනාධිපතිවරයා දැන් සිටින්නේ ආණ්ඩුව රුකගැනීමේ සටනක නොව ශ්‍රී.ල.නි.ප.ය රැකගැනීමේ සටනක වීම ලොකුම හේතුවයි. පොහොට්ටුව සමඟ එකතු වීම ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලන ගමන් මගේ ප්‍රධානම හැරවුම් ලක්ෂය වුවද ඒ අදහසට සෙසු සියලු මන්ත්‍රීවරුන් නම්මා ගැනීම නම් පහසු නැත. ඇත්තටම සිදුවෙමින් පවතින්නේ ජනාධිපතිගේ අදහසට විරුද්ධව යමින් ආණ්ඩුවට එකතු වීමට මේ මන්ත්‍රී කණ්ඩායමේ යම් පිරිසකගේ කැමැත්ත වී තිබීමය. එයට හේතුව වන්නේ පොහොට්ටුව සමඟ එකතුවීම තමන්ගේ ඉදිරි දේශපාලන ගමන් මගට තිරිංග දමා ගැනීමක් බව ඔවුන් දන්නා බැවිනි. පොහොට්ටුව සමඟ ශ්‍රී.ල.නි.ප.ය  මොන සංධානය ගැහැව්වත් එහි බලතලවල ලොකු කුට්ටිය ගන්නේ පොහොට්ටුව බවට කතා දෙකක් නැත. එවැනි තත්ත්වයක් තුළ ඡන්දයකට යාමෙන් තමන්ට ජයගැනීමට ඇත්තේ ඉතාම සුළු ඉඩකඩක් බව මේ සියලුදෙනා දනිති. එවැනි සුළු ඉඩකඩක් හෝ ඇත්තේ දෙතුන් දෙනකුට පමණි.

ජනාධිපතිවරයා අදහස් කරන ශ්‍රීලනිප - පොහොට්ටු සංධානයට දෙපැත්තෙන්ම යෝජනා ඉදිරිපත් වීමට නියමිතය. පසුගිය සිකුරාදා (04) දැනගන්නට ලැබුණේ පොහොට්ටුව විසින් තමන්ගේ යෝජනා ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිසට ලබාදී තිබූ බවය. එහි යෝජනා කිහිපයකට අනුව ශ්‍රීලනිපයට හිමිවනු ඇත්තේ එක් ප්‍රධාන තනතුරක් බව කියති. නව සංධානයේ නායකයා සහ සභාපතිවරයා පිළිබඳව මෛත්‍රීපාල සහ මහින්ද මහත්වරැන් දෙදෙනාගේ සාකච්ඡාවකින් පසුව තීන්දු කිරීමට එයින් යෝජනා කර තිබුණද එහිදී ජනාධිපතිවරයාට ඇත්තේ ඉතා සුළු කේවල් කිරීමේ ඉඩක් පමණක් බව පැහැදිලිය. පොහොට්ටුවට එක්වීමකින් තොර වූ ඉදිරි දේශපාලන ගමනක් ගැන සිතන්නට නොහැකි තැනකට තල්ලු වී සිටින ජනාධිපතිවරයාට පොහොට්ටුවෙන් ලබාදෙන තනතුරක් ලබාගන්නවා හැර වෙනත් විකල්පයක් නැත. ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ සිටින ජනාධිපතිවරයාට විරුද්ධ පිරිස ඉහත සඳහන් යෝජනාවලට එකහෙලාම විරුද්ධ වනු ඇත. ඊළඟ සටන පටන්ගන්නේ නිලධාරී මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙනි.

පොහොට්ටුව යෝජනා කර ඇත්තේ නව සන්ධානයේ නිලධාරී සංයුතිය පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී ලබාගත් ප්‍රතිඵල අනුපාතය මත තෝරාගත යුතු බවය. එසේ වුවහොත් ශ්‍රීලනිපයට හිමිවනු ඇත්තේ නිලධාරී මණ්ඩලයෙන් සීයට 12ක පමණ ප්‍රතිශතයක් පමණි. ආසන්නව ගත්තොත් පොහොට්ටුවෙන් 10 දෙනෙකු පත්වන විට ශ්‍රීලනිපයෙන් පත්වනු ඇත්තේ එක් නිලධාරියකු පමණි. මෙවැනි එකඟතාවකට තම මන්ත්‍රී කණ්ඩායම කැමැති කරවා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාවක් තිබේද යන්න විවාදිතය. බැලූබැල්මට නම් පෙනෙන්නේ එය ඉතාම භාරදූර කාර්යයක් වනු ඇති බවය.

කෙසේ වුවද ජනාධිපතිවරයා ද තායිලන්ත විවේකයෙන් පසුව ලංකාවට පැමිණ වැඩ ඇරුඹුවේ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානය වෙත (03) ගොසිනි. එදිනම රාත්‍රියේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද රුස්කර පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ තීන්දු තීරණ ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව මෙතෙක් ශ්‍රීලනිප මහලේකම් වශයෙන් කටයුතු කළ මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස ජනාධිපති උපදේශකයකු වශයෙන් පත්කොට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට වැඩබලන මහලේකම් තනතුර ලබාදුන්නේය. මේ වෙනසත් සමඟ ශ්‍රීලනිපයට කෙටි කාලයක් තුළ මහලේකම්වරැන් තුන්දෙනකුගේ පත්වීම් සිදුවිය. සාමාන්‍යයෙන් ප්‍රබල දේශපාලන පක්ෂයක් තුළ මෙවැන්නක් සිදුවන්නේ කලාතුරකිනි. ප්‍රබල නොව දුබල පක්ෂයක වුවද ප්‍රධාන තනතුරු වෙනස් කෙරෙන්නේ කලාතුරකිනි.

මෙහිදී වඩාත්ම කැපීපෙනෙන්නේ ශ්‍රීලනිපයේ වැඩිම කාලයක් මහලේකම් ධූරය දැරූ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම කෙටි කලක් තුළ මේ තනතුරු වෙනස සිදුකිරීමය. මේ සඳහා හේතු ඕනෑ තරම් පෙන්වාදිය හැකි වුවද ප්‍රධාන පක්ෂයක ස්ථාවර භාවයට නිතරම මහලේකම් වැනි තනතුරු වෙනස්කම් සිදුකිරීම සුදුසු නැත. විශේෂයෙන් ශ්‍රීලනිපයේ මෙවැනි හදිසි වෙනස්කම් සිදුවන්නේ කලාතුරකිනි.

ශ්‍රීලනිපය පසුගිය බ්‍රහස්පතින්දා (03) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පක්ෂයේ මහලේකම් වශයෙන් එයට සහභාගී වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පක්ෂයේ තත්ත්වය ගැන මෙසේ කියා තිබුණි.

ඉදිරියේදී නව නමකින්, පාටකින්, ලකුණකින් අපි රටට සේවය කිරීමට ඉදිරිපත් වෙනවා. මේ වනවිට පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුවෙනවා. අපේ පක්ෂයේ අදත් යම් ප්‍රතිවිරෝධතා තිබෙනවා. ඒවා විසඳාගෙන ඉදිරියට යාමට සූදානම්. ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්ති උත්සවය මෙන්ම පක්ෂ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ඡන්ම දින සැමරැම ද ජනවාරි 8, 9 දිනවල සිදුකිරීමට සූදානම්.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට මේ කතාවට දක්වන ප්‍රතිචාරය කුමක්දැයි තවම පැහැදිලි නැත. කෙසේ වුවද ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා (03) රාත්‍රී පැවැති මධ්‍යම කාරක සභා රුස්වීමේදී ප්‍රකාශ කර තිබුණේ කලහකාරී ලෙස හැසිරෙන ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සියලු දෙනා ඉවත් කරන බවකි. මේ තත්ත්වය යටතේ ඉදිරියේදී ශ්‍රීලනිපයේ සෑහෙන වෙනස්කම් සිදුවනු ඇත. වෙනස්කම් රටේ දේශපාලන ගමනට ඇතිකරන බලපෑම ගැන දැන්ම අනාවැකි කීම පහසු නැත. හැබැයි චන්ද්‍රිකා ශ්‍රීලනිපයේ බලය අල්ලා ගැනීමට අරඅඳින බවට පැතිරෙන ආරංචි කෙරෙහි ජනාධිපතිවරයා සැලකිලිමත් වන බව පෙනුණේ චන්ද්‍රිකා අද යූ.එන්.පී. වෙනුවෙන් වැඩකරන බවට මධ්‍යම කාරකසභා රැස්වීමේදී ඔහු කළ ප්‍රකාශය නිසාය. 

ශ්‍රීලනිපය ඇතුළේ එහෙම පුපුරණ විට එහි එක් ප්‍රතිඵලයක් වියහැක්කේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ අණට කීකරැ නොවන මන්ත්‍රී පිරිසක් කඩාගෙන ගොස් ආණ්ඩුවට එකතුවීමය. නමුත් එයට ජනාධිපතිවරයා බැරියර් එකක් දමා ඇත්තේ ආණ්ඩුවට යන ශ්‍රීලනිප කිසිවකුටත් ඇමැති පදවි ලබානොදෙන බවට කළ ප්‍රකාශයෙනි. එහෙත් ඇමැතිකමක් නැතුව හෝ ආණ්ඩුවේ කකුලක් වශයෙන් සිටීමත් ඇතැයි කියා සිතන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එකතුවීමද සිදුවිය හැකි දෙයකි. දැනටම ශ්‍රීලනිපයේ 18කට අධික මන්ත්‍රීන්, සංවිධායකයන්  ප්‍රමාණයක් ශ්‍රීලනිපයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවද පසුගිය බ්‍රහස්පතින්දා (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ විය. එම සාකච්ඡාවේ ප්‍රධාන තැනක් ගත් කඩුවෙල සංවිධායක ජී.එච්. බුද්ධදාස කියා තිබුණේ ශ්‍රීලනිප නායකත්වයේ වෙනසක් වහා අවශ්‍ය බවය. එම ප්‍රකාශය ඔහු නියෝජනය කරන “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරුකීමේ සංවිධානයේ* ඉදිරි පියවර ගැන කිසියම් අදහසක් ඇතිකර තිබේ.

කොහොම වුණත් මේ ඇරැඹෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධූර කාලයේ අවසන් මාස කිහිපය බව පැහැදිලිය. යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් සිරිසේන මහතා මේ වසරේ දෙසැම්බරයෙන් පසුව මහින්ද ගත් ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් ඉන්පසුව පැවැත්වීමට නියමිත මහමැතිවරණයෙන් යළිත් පාර්ලිමේන්තුවට පැමිණ දේශපාලන ගමනක් ආරම්භ නොකළහොත් ඔහුගේ සක්‍රීය දේශපාලන ජීවිතය අවසන් වනු ඇත. ශ්‍රීලනිපය ශක්තිමත් කරමින් පොහොට්ටුව සමඟ ඉදිරියට යාමට ජනාධිපතිවරයා සැලසුම් කිරීම ගැන පුදුම වියයුතු නැත.

මිළඟට බරපතළ ගැටලුවකට මුහුණදී සිටින්නේ රනිල් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවය. ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ ඇත්තේ 103ක බලයක් පමණි. දැනට ටී.එන්.ඒ. සහාය නොමැතිව ආණ්ඩුවට අයවැය වුවද සම්මත ගැනීමට මගක් නැත. මොන ක්‍රමයකින් හෝ ඇමැති පදවි සංඛ්‍යාව වැඩිකර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ කැබිනට් මණ්ඩලයේ දොර ඇරුණොත් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ පැමිණීම ස්ථිර වියහැකි බැවිනි. තවත් අතෙකින් අගමැති රනිල් මුහුණ දෙන ගැටලුවක් වන්නේ යූ.එන්.පී පසුපෙළ මන්ත්‍රී පිරිසකගෙන් ඇතැම් ඇමැතිවරැන්ගේ ක්‍රියාකලාපයට දැඩි විරෝධයක් එල්ල වීමය. එය කොතරම් දරුණු තත්ත්වයකට පත්වී ඇතිදැයි කිවහොත් මාධ්‍ය සාකච්ඡා තබා අදාළ ඇමැතිවරුන්ගේ අයවැය සම්මත කරගැනීමට සහාය දීමෙන් වැළකී සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් තත්ත්වය දුරදිග ගොස් තිබේ. මෙය අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු නොවූ අවුලක් බවද පෙනෙන්නට තිබේ.

2019 වසර විවේකීව සිටින්නට යූ.එන්.පී නායකත්වයට ඉඩක් තබා නැති බව මේ අනුව පැහැදිලිය. කරන්නට තිබෙන වැඩ ටික වෙන්න ඉඩදී බලාසිටින ප්‍රතිපත්තියෙන් ඉවත් වී වැඩේට බැස ඒවා ඉටුනොකළොත් ආණ්ඩුව ලොකු අමාරැවක වැටෙනු ඇත. තවමත් බොහොමයක් රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කර නැත. ඇතැම් ආයතනවල සභාපතිවරු ඇත. අධ්‍යක්ෂ මණ්ඩල නැත. අඩුම වශයෙන් තවමත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා හෝ පත්කර නැත. රාජ්‍ය මාධ්‍ය ආයතනවල ඇතැම් අධ්‍යක්ෂක මණ්ඩල පුරප්පාඩු ද එසේමය. මැතිවරණ වසරකට පෙර සූදානමක් තවම ආණ්ඩුවෙන් පෙනෙන්නට නැති බව එයින් පැහැදිලි වෙයි. අඩුම තරමින් ගැටලුවක් නැතුව අයවැය සම්මත කරගැනීමට පවා ආණ්ඩුවට පැහැදිලි සැලැස්මක් තිබෙන බවක් නොපෙනේ. ආණ්ඩුවේ රඳාපැවැත්ම සම්පූර්ණයෙන් ටී.එන්.ඒ. කර මත පැටවීමට හැකියාවක් නැත්තේ එය මීළඟ මහ ඡන්දයකදී දකුණේ ඡන්දවලට දැඩි බලපෑමක් එල්ල කළ හැකි සාධකයක් වීමය. මේ තත්ත්වය දිගටම පැවතුණොත් මහින්දලා එහි ප්‍රචාරක වාසිය පැනලා බදා ගනු ඇත.

කෙසේ වුවද මහින්දලාට ද විසඳාගතයුතු ප්‍රශ්න ගණනාවක් තිබේ. මුලින්ම විපක්ෂ නායක පදවිය සම්බන්ධයෙන් හිටපු විපක්ෂනායක සම්පන්දන්ගෙන් එල්ල වී තිබෙන අභියෝගයයි. පාර්ලිමේන්තුවේ බල සංයුතිය අනුව දැන් විපක්ෂ නායකවරයා විය යුත්තේ මහින්ද බවට විවාදයක් නැත. එහෙත් සම්පන්දන්ලා අභියෝග කරන්නේ මහින්ද ඇතුළු ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායම පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන ඇති බැවින් ඔවුන් තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන බව කියමිනි. පොහොට්ටුව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂයක් බවත් මහින්දලාගේ ශ්‍රීලනිප සාමාජිකත්වය දැන් අහෝසි වී ඇති බැවින් ඔවුන් තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීන් නොවන නිසා තවමත් විපක්ෂනායකයා තමන් බවත් සම්පන්දන්ලාගේ තර්කය වී තිබේ. ටී.එන්.ඒ.එක මේ සම්බන්ධයෙන් උසාවි යාමටද සූදානමක් පවතී. එසේ වූවොත් මේ ප්‍රශ්නය තවදුරටත් සංකීර්ණ පැත්තකට හැරෙන්නට ඉඩ තිබේ. කොහොම වුණත් මහින්දලා දුරදිග නොබලාගත් දේශපාලන තීන්දුවක් හේතුවෙන් ඔවුන් නොසිතූ අවුලකට පත්ව සිටින බව පැහැදිලිය.

මේ සියලු දේශපාලන හැලහැප්පීම් අතරේ ලංකාවේ රුපියල දිගටම පල්ලම් බසිමින් තිබේ. එසේම කොටස් වෙළෙඳපොළද වසර 10ක අඩුම අගය පෙන්නුම් කළේ පසුගිය සතියේය. රුපියල ශක්තිමත් කරන බවට අගමැතිවරයා පසුගියදා ප්‍රකාශයක් කළ නමුත් රුපියල කඩාවැටීම වැළැක්වීමට එවැනි ප්‍රකාශ පමණක් මදිය. ආසියාවේ බොහොමයක් රටවල් තමන්ගේ මුදලේ අගය ආරක්ෂා කරගැනීමට ඵලදායී පියවර ගෙන තිබුණද ශ්‍රී ලංකාවේ එය සිදුවී නැති බවට පෙනෙන්න තිබෙන සත්‍යයයි. රුපියල ශක්තිමත් කර ගැනීමට ආණ්ඩුව දැන්ම සක්‍රීය ලෙස මැදිහත් විය යුතුය. එසේ නැති වුවොත් මැතිවරණ වසර බියකරු සිහිනයකින් අවසන් වීමටත් ඉඩතිබෙන බව ආණ්ඩුව දැනසිටිය යුතුය.

ශශීන්ද්‍ර

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30