2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

කැබිනට් වෙනස කල් දමන්න අගමැතිගෙන් හේතු දෙකක්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 398

පසුගිය කාලය පුරාම රටේ දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ පුවත් මැවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය තවමත් ඇත්තේ වැඩට උඩය. දිනෙන් දින කල්ගිය ඇමැති වෙනස ජනවාරියෙන් පෙබරවාරියටත්, අනතුරුව මාර්තුවටත්, ඉන් අනතුරුව මැයි මාසය දක්වාත් කල් තැබිය යුතුයැයි එ.ජා.පය ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි කියැවේ. එහෙත් ජනාධිපතිවරයාත් ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුත් කියන්නේ ඇමැති මණ්ඩල සංශෝධනය පමාවීම යහපාලන රජයට අහිතකර බවය. ඉක්මනින් සංශෝධනය සිදුකර චෝදනාලත් ඇමැතිවරුන් දෙතුන් දෙනකුගේ විෂයයන් වෙනස් කළහොත් ආණ්ඩුවට අලුත් ගැම්මකින් ඉදිරියට යා හැකි බව ජනපතිවරයා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන්හි අදහසයි.

මේ ගැන ජනපතිවරයා සහ අගමැතිවරයා වෙන වෙනම සාකච්ඡා කොට පසුගියදා එ.ජා.ප. හා ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන්ගේද සහභාගීත්වයෙන් ජනපති නිල නි‍ෙවසේදී විශේෂ හමුවක් පැවැත්විණි. ජනපති සමඟ ශ්‍රී.ල.නි.පයේ එස්.බී., නිමල්, අමරවීර, අලගියවන්න ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්වූ අතර අගමැතිවරයා සමඟ මලික්, කබීර් ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් පැමිණ සිටියහ. ජනාධිපතිවරයා හමුව ආරම්භ කරමින් සඳහන් කර සිටියේ ආණ්ඩුවට දැන් අමාත්‍ය මණ්ඩල වෙනසක් අවශ්‍ය බවය. ඇමැතිවරුන් ගණනාවකට එල්ලවන චෝදනා ගැනද ඔහු සඳහන් කර තිබිණි. ඒ නිසා නොපමාව ඇමැති සංශෝධනය විය යුතුයැයි යෝජනා කරන විට අගමැති කියා සිටියේ ඒ සඳහා තවත් ටිකක් කල් අවශ්‍ය බවය. කොපමණ කල් අවශ්‍යදැයි ජනපතිවරයා විමසූ කළ රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුණේ මැයි මාසය තෙක් ඇමැති සංශෝධනය නොකළ යුතුය කියායි. එහෙත් ඊට එකඟ නොවූ ජනපතිවරයා පැවසුවේ මේ කටයුත්ත පමාවන්න පමාවන්න සිදුවන්නේ හානියක් බවය. මෙහිදී සංශෝධනය කළ යුතු විෂයයන් භාර ඇමැතිවරුන් ගණනාවකගේ නම්ද කියැවී ඇති බව සඳහන්ය. රවි කරුණානායක හා ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ගේ නම් ඒ අතර විය. ජනාධිපතිවරයා තිබෙන ප්‍රශ්න විග්‍රහ කරන විට රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත වගය. ඊට පෙර මානව හිමිකම් කොමිසම රැස්වීමට නියමිතය. විශේෂයෙන් මූල්‍ය අරමුදලේ ණය වාරිකය රටට ලැබෙන තුරු අමාත්‍ය මණ්ඩල සංශෝධනය නොකළ යුතුයැයි අගමැතිවරයා ජනපතිවරයාට යෝජනා කළේය. එවිට ජනපතිගේ පාර්ශ්වයෙන් මුදල් අමාත්‍ය ධූරය අගමැති අත තබාගන්නා ලෙස හෝ ආචාර්ය සරත් අමුණුගමට දෙන ලෙස යෝජනා කර ඇතැයි කියැවේ. කෙසේ හෝ මේ ගැන කෙරැණු දීර්ඝ සංවාදය හමුවේ ඉක්මනින් කරන්නට සිතා සිටි අමාත්‍ය මණ්ඩල සංශෝධනය පමා කරන්නට තීන්දු කළ බව වාර්තා විය.

නව ව්‍යවස්ථාවෙන් මැති ඇමැති බලය අඩුවන බව ජනපති කියයි

සංශෝධනය කළ යුතු අමාත්‍ය විෂයයන් මුදල් හා මහාමාර්ග ලෙස බොහෝ අංශවලින් වාර්තා විය. රවි කරුණානායක මහතාට ඛනිජ තෙල් අමාත්‍ය පදවිය හෝ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය පදවිය පිරිනැමිය යුතු බවත්, චන්දිම වීරක්කොඩි මහතාට ඉඩම් විෂය පැවරිය යුතු බවත් මුලින් යෝජනා විය. ඒ අතර එ.ජා.පය වරක් මුදල් අමාත්‍ය ධූරයට මලික් සමරවික්‍රම මහතාගේ නම යෝජනා කළ බව තහවුරු නොකළ ආරංචි මාර්ග පැවසීය. එහෙත් ජනාධිපතිවරයා මෙම යෝජනාවලට එකඟත්වය පළකර නැත. කෙසේ හෝ දැනට මුදල් රාජ්‍ය අමාත්‍ය පදවිය දරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ඉදිරියේදී කැබිනට් විෂයක් පැවරීම සිදුකෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

තමන් නොදැන නගන චෝදනා අර්ජුන මහේන්ද්‍රන් ඉවත දමයි

ඒ අතර අමාත්‍ය මණ්ඩලයේ සමහර ඇමැතිවරුන් මුදල් අමාත්‍යවරයාගේ විෂය වෙනස් කිරීම සම්බන්ධයෙන් දරන අදහස ගැන මාධ්‍ය රවි කරුණානායක මහතාගෙන් විමසුවේ ඔහු පසුගියදා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකින්නට මහනුවරට පැමිණි අවස්ථාවේය. එවිට කරුණානායක මහතා කීවේ පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රී පරාජය කරවීමට වැඩ කළ වත්මන් කැබිනට් ඇමැතිවරැන් කිහිප දෙනෙක් රජය තුළ සිට ප්‍රශ්න නිර්මාණය කරන බවයි. ජනපති හා අගමැති දෙපළ එක් ගමනක් යන බව කී මුදල් ඇමැතිවරයා තමන් කටයුතු කරන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ උපදෙස් මත මිස එක් එක් ඇමැතිවරුන් කියන ආකාරයට නොවන බවය.

ආණ්ඩුවට විරුද්ධ පළාත් ඇමැතිලා ඉන්නවාලු

මුදල් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය නිකුත් කරන විට මහින්ද අමරවීර ප්‍රමුඛ ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨයන්ද අමාත්‍ය මණ්ඩල සංශෝධනය පමාවීමෙන් රජයට සිදුවන හානිය ගැන සාකච්ඡා කරමින් සිටි බව වාර්තා වෙයි. ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මෙම කතාබහට එක්ව ඇත. අනුන්ගේ පරිප්පු පොදුවේ ආණ්ඩුවට කන්නට නොහැකියැයි කී මෙම ඇමැතිවරු ඇමැති සංශෝධනය දිගින් දිගටම පමාවීමෙන් වැරදි නිවැරදි නොවන බැවින් රජය තුළ සිටිමින් වැරදි වංචා සහ දූෂණ කරන දේශපාලන ලොක්කන් ගැන විවෘතව වේදිකාවේ විවේචනය කරන්නට තීන්දුවක් ගත් බව කියැවේ.

චන්ද්‍රිකාගේ බිලියන 15 කතාවට මහින්දත් චීනයත් උත්තර දෙයි

පසුගිය සඳුදා හැන්දෑවේ ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් ශ්‍රී.ල.නි.ප සහ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. දෙපක්ෂයේම විශාල මැති ඇමැති පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. රැස්වීමට පෙර ජනාධිපතිවරයා පැමිණ සිටි සැමට දේශීය ක්‍රමයේ ප්‍රණීත ආහාර වේලක් පිරිනැමීය.

අනතුරුව ආණ්ඩුවේ කටයුතු ගැන සාකච්ඡාව ආරම්භ විය. මෙම සාකච්ඡාවේදී වඩාත් අවධානයට ලක්වූ කරුණක් වූයේ මැති ඇමැති පිරිසක් පළාත් ප්‍රධාන ඇමැතිවරැන් ගණනාවකට බරපතළ ලෙස චෝදනා නැගීමයි. නැගෙනහිර පළාත් ප්‍රධාන ඇමැති නසීර් අහමඩ්ට එරෙහිව පළාතේ නියෝජ්‍ය ඇමැතිවරුන් වූ හිස්බුල්ලාන් සහ අමීර් අලී යන මහත්වරු චෝදනා කළේ ඔහු තමන්ට ඕනෑ ඕනෑ ආකාරයට වැඩ කරනවා මිස පළාතේ මැති ඇමැතින්ට සවන් නොදී හිතුමතේ ක්‍රියා කරන වග කියමිනි. උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න, ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් ආදීන්ටද පළාතේ මැති ඇමැතිවරු විවිධ චෝදනා නැගූහ. ගනුදෙනුවල දූෂිතභාවය, රැකී රක්ෂා ලබාදීමේදී අසාධාරණ ලෙස තෝරාගැනීම් සිදුකිරීම, අකාර්යක්ෂම භාවය වැනි හේතූන් නිසා යට කී පළාත් සභා ගණනාවකම බරපතළ ප්‍රශ්න හටගෙන ඇතැයි වැඩිපුරම පැමිණිලි කළේ එ.ජා.පයේ මන්ත්‍රීවරුය. එවිට පළාත් සභා අමාත්‍ය පයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ ශ්‍රී.ල.නි.ප මහ ඇමැතිවරුන් සිටින පළාත්වල ප්‍රශ්න ගැන එ.ජා.ප මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න නැඟීමෙන් රටට වැරදි චිත්‍රයක් ලබාදෙන බවයි. ඌව පළාතේ මෙම තත්ත්වය කැපීපෙනෙන බව කී විට අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා කීවේ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එ.ජා.පයට නොසලකන බවය. එය මෙබඳු පක්ෂ රැස්වීමක කතාකොට විසඳාගමු යැයි අමාත්‍ය පයිසර් කීය. එවිට ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් ගණනාවක් ජනාධිපතිවරයාට කියා සිටියේ ඇතැම් පළාත් සභාවල ඇමැතිවරුන් තමන්ගේ අමාත්‍යංශ වාහන සහ සෙසු සම්පත් යොදාගෙන ජනාධිපතිතුමාට සහ රජයට විරුද්ධව වැඩ කරන බවයි. 

මේ සියල්ලට පසු මීතොටමුල්ල කුණු කන්ද ජාඇළ ප්‍රදේශයට ගෙනයාම ගැන කතාබහක් ඇතිවිය. ඊට කාදිනල්තුමාද එකඟ නැතිබව කියමින් කතාව පටන් ගත්තේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය අමාත්‍යවරියයි. කිත්සිරි මංචනායක, අජිත් මාන්නප්පෙරුම හා හර්ෂණ රාජකරුණාද ඒ ගැන අදහස් දැක්වූහ. අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා තදින් අදහස් දක්වන විට අගමැති වික්‍රමසිංහ මහතා ඔහුට අසුන් ගන්නැයි කීවේ තමන් මේ ගැන පසුව පැහැදිලි කරන බව කියමිනි. මේ සියලු ප්‍රශ්නවලට සාවධානව කන්දුන් ජනාධිපතිවරයා දෙපක්ෂය අතර තිබෙන ප්‍රශ්න පක්ෂ කමිටු මගින් විසඳාගත යුතුයැයි පැවසීය. අදට මන්ත්‍රීවරුන්ට ඇති බලය නව ව්‍යවස්ථා යෝජනා අනුව තවදුරටත් පළාත් සභාවලට හිමිවන්නට පුළුවන් යැයි කී හෙතෙම ඉදිරියේදී පළාත් සභා පනතේ ඇති සමගාමී ලැයිස්තුව අහෝසි වන බවද කීය. ඒ නිසා තිබෙන ප්‍රශ්න ඉවසිල්ලෙන් සාමකාමීව විසඳා ගන්නා ක්‍රමවේදය පක්ෂ දෙකේම මන්ත්‍රීන් උගත යුතුයැයි ජනාධිපතිතුවරයා පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනවල ගතකළේ පුත්තලම කල්පිටිය ප්‍රදේශයේය. අවට පළාත්වල මහජන රැස්වීම් ගණනාවකටද ඔහු සහභාගී වූ අතර ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයකුගේ මංගල්‍ය උත්සවයක ප්‍රධාන අමුත්තා ලෙස එක්වූයේද මහින්ද රාජපක්ෂ මහතාය. එම ප්‍රාදේශීය සභා ප්‍රධානියා මුස්ලිම් ජාතිකයකු වූ නිසා ප්‍රදේශයේ මුල් පෙළේ මුස්ලිම් ව්‍යාපාරිකයෝ සහ ප්‍රභූවරු රැසක්ම පැමිණ සිටියහ. ඔවුන් සියලු දෙනාම පාහේ හිටපු ජනාධිපතිවරයා මුණගැසී කතාබස් කළෝය. බොහෝ දෙනෙක් කනස්සල්ල පළකළේ වර්තමානයේ තමන්ගේ ව්‍යාපාර කටයුතු අඩාලවෙමින් පවතින බවට මැසිවිලි නගමිනි. පියංකර ජයරත්න, සනත් නිශාන්ත ඇතුළු පළාතේ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු සියල්ලම පාහේ මේ අවස්ථාවට පැමිණ සිටියෝය.

ඒ අතර පුත්තලම ප්‍රදේශයේ පැවති උත්සව හා මහජන හමු ගණනාවකට මහින්ද සහභාගී විය. එහිදී ඔහු කළ එක්තරා ප්‍රකාශයක් තරමක ආන්දෝලනයට ද ලක්විය. ඒ රාජපක්ෂ රජය සමයේ ස්ථාපිත කරන්නට අවසර දුන් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන හිටපු ජනාධිපතිවරයා පළකළ අදහසයි. එදා සයිටම් පිහිටුවන්නට අවසර දුන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙවර සඳහන් කර තිබුණේ සයිටම් ආයතනයට එරෙහිව මතුවන විරෝධතා පිළිගෙන රජය ඒ අනුව ක්‍රියාකළ යුතු බවයි. පසුගිය රජය පටන්ගත් මෙම ව්‍යාපෘතියේ නරක හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කිරීම රජයේම සමහර ජ්‍යෙෂ්ඨයන්ටද ප්‍රහේළිකාවක් වී තිබිණි. මෙම ප්‍රකාශයෙන් පසු ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨ ශ්‍රී.ල.නි.ප. අමාත්‍යවරයෙක් ඒකාබද්ධ විපක්ෂ සභාපති දිනේෂ් ගුණවර්ධන මහතාට කියා තිබුණේ සිය රජය ආරම්භ කළ සයිටම් සම්බන්ධ ප්‍රතිපත්තිය මේ ආකාරයට විටින් විට වෙනස් කිරීම රාජපක්ෂ මහතාට හොඳ නැති බවය. තවදුරටත් මේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා දිනේෂ්ට කියා සිටියේ “දොස්තර මහත්වරැන් සතුටු කරන්නට සිතා හිටපු ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්තිය වෙනස් නොකළ යුතුය. කියායි.

පුත්තලම චාරිකාවේදී මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිනිය පසුගියදා කළ චෝදනාවකටද පිළිතුරු දුන්නේය. චන්ද්‍රිකා මැතිනිය මහින්දට ප්‍රසිද්ධියේ චෝදනා කර තිබුණේ ඔහු නොරොච්චෝල බලාගාරය ඉදිකිරීමෙන් කොමිස් මුදල් ලබාගත් බවය. එම මුදල් ප්‍රමාණය ද සඳහන් කළ හිටපු ජනාපතිනිය තමන්ට මේ බව කීවේ චීන තානාපතිවරයායැයි ද සඳහන් කර තිබුණි. නොරොච්චෝලේට ආසන්නව පුත්තලම කල්පිටිය ප්‍රදේශයේදී මෙම ප්‍රශ්නය හිටපු ජනාපතිවරයාගෙන් මාධ්‍යවේදීන් විමසන ලදුව ඔහු ඊට පිළිතුරු දුන්නේ “අපි මේ ගැන චීන තානාපති කාර්යාලෙන් විමසුවා. එයාලා ඒක ප්‍රතික්ෂේප කළා. හැබැයි ඔය චෝදනා නගන එක්කෙනා ගැනත් මට හුඟාක් දේවල් කියන්න පුළුවන්. ඒ ගැනත් ඉස්සරහට බලාගන්න යැයි කියමිනි.

මහින්ද රාජපක්ෂ මහතා රජය දැඩිලෙස විවේචනය කරන අතර ඔහුගේ දෙටු සොහොයුරැ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පසුගියදා අරලියගහ මැඳුරට ගියේ හම්බන්තොට චීන ආයෝජනවලට ඉඩම් පැවරීම ගැන පැවති සාකච්ඡාවකට එක්වීමටයි. අමාත්‍ය සාගල රත්නායකගේ ඇරුයුමෙන් අරලියගහ මැඳුරට ගිය චමල් පැමිණි රුස්වීමට අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහිදී නව ආයෝජන කලාප සැලැසුම පිරික්සමින් ඇමැතිවරු මෙම අයෝජන ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබාදීමේ ක්‍රමවේදය ගැන සොයා බැලූහ. හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා එහිදී කීවේ කලින් රජය යටතේ අායෝජන කලාපය සඳහා වෙන්කර තිබූ ඉඩම් මෙවරත් උපරිම ලෙස යොදාගෙන ඊට අමතර ඉඩම් අවශ්‍ය නම් පසුව ඒ ගැන සලකා බලන ලෙසයි. ජනතාවට පීඩා නොවන ලෙස ඉඩම් වෙන්කළ යුතු බවද ඔහුගේ යෝජනාව විය. එහෙත් චමල් රාජපක්ෂ මහතා රජයේ ඉඩම් බෙදීමේ කටයුත්තකට දායක වීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් එතරම් සතුටක් පළකර නොතිබිණි. විපක්ෂයේ කිහිප දෙනෙක්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ද ඒ බව දන්වා තිබිණි.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන දැඩි පිළිවෙත නිසා ප්‍රශ්නය සෑහෙන දුරදිග ගොස් ඇත. මේ තත්ත්වය වඩාත් කැපී පෙනුණේ පසුගියදා අධිකරණය මගින් සයිටම් පෞද්ගලික සරසවියට පිළිගැනීම ලබාදීමත් සමඟය. රජයේ වෛද්‍ය සංගමය පමණක් නොව විශේෂඥ වෛද්‍යවරැන්ගේ සංගමයත් ඊට එරෙහිව සිටී. එහෙත් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් කියා සිටින්නේ සයිටම් ප්‍රශ්නය දැන් අධිකරණයට ගිය නීති ප්‍රශ්නයක් බැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ ගොස් විසඳා ගන්නා ලෙසයි. තවත් පෞද්ගලික සරසවි 4ක් මෙරටට පැමිණීමේ සූදානමක් ඇතැයිද අමාත්‍ය කිරිඇල්ල සඳහන් කළේය. කෙසේ හෝ දිවයිනේ ප්‍රධාන පෙළේ සරසවි 8ක වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සියලුදෙනා පන්තිවලට සහභාගී වීමෙන් වැළැකී වර්ජනයකට යන්නට තීන්දු කර ඇත. නමුත් රජය තමන්ගේ ස්ථාවරය වෙනස් කරන පාටක් නැත. 
මේ අතර සයිටම් ප්‍රධාන විධායක නිලධාරියාගේ වාහනයට වෙඩි තැබීමද ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව තිබේ. ඒ ගැන පොලිස් පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් හා නීතියේ රැහැනට හසුකර ගන්නා බව රජය පවසයි. ඒ අතර සයිටම් සභාපති දොස්තර නෙවිල් ප්‍රනාන්දු පැවසුවේ කවර හේතුවක් නිසාවත් සයිටම් ආයතනය වසා නොදමන බවයි.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කලකට පසු මේ සතියේ මාධ්‍යයට කතා කළේය. මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාවක් මගින් ඔහු පසුගිය කාලය තුළ රුපියල් මිලියනයක් අවභාවිත කළ බවට චෝදනා නැගිණි. ආහාර පානවලට පමණක් නොව ඇඳුම් පැළඳුම් ආදියට පවා විශාල ලෙස මහ බැංකු මුදල් වැයකර ඇතැයි සඳහන් විය. මේ පුවත පදනම් විරහිතයැයි කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා යම් ප්‍රශ්නයක් ගැන චෝදනා නගන්නට පෙර චෝදනාවට ලක්වන අයගේ මතය විමසිය යුතු යැයිද සඳහන් කරයි. පසුගිය රජය කාලයේ මහ බැංකුවේ සිටිමින් වැරදි ක්‍රියාවලට දායක වූ පිරිස් මෙම අසත්‍ය කතා නිර්මාණය කරන බවද හිටපු අධිපතිවරයා සඳහන් කර තිබේ. ගිය රජය කාලයේ කළ ක්‍රියාවන් නිසා අද රටේ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම් (බැඳුම්කර මිලදීගන්නා සමාගම්) අර්බුදවලට මුහුණ දී තිබෙන බවද මහේන්ද්‍රන් මහතා වැඩිදුරටත් කියයි.

ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල තදින් අතගසා ඇත්තේ සයිටම් ප්‍රශ්නයටයි. පසුගිය දා සයිටම් ප්‍රශ්නය මුල් කරගෙන වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ශිෂ්‍ය නායක පිරිසක් ජ.වි.පෙ. මුලස්ථානයට ගොස් එහි නායක අනුර දිසානායක සහ මන්ත්‍රී ප්‍රචාරක ලේකම් විජිත හේරත් යන මහත්වරැ මුණගැසුණාහ. එහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ සංවාදයේ යෙදුණු ජ.වි.පෙ. නායකයා මෙම ප්‍රශ්නයේ බරපතළකම රජය සැහැල්ලුවට ලක්කර ඇතැයි චෝදනා නැගීය. ජ.වි.පෙ දිගින් දිගටම මෙම සටනට සහාය දෙමින් ක්‍රියාකරන බවද ජ.වි.පෙ. නායකයා මෙහිදී සඳහන් කළේය.

දූෂණ විරෝධී පෙරමුණේ ප්‍රධානියකු මෙන්ම ජ.වි.පෙ. අන්තර් සමාගම් සේවක සංගම් සභාපති වසන්ත සමරසිංහ මහතා ප්‍රමුඛ පිරිසක් මේ දිනවල රට වටා යන්නේ බැඳුම්කර ගනුදෙනුව ප්‍රමුඛ රජයට චෝදනා එල්ලවන වංචා දූෂණ ගැන සමාජය දැනුවත් කරමිනි. මෙම සම්මන්ත්‍රණ මාලාවේ එක් සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශාලාවේ පැවැත්විණි. එහිදී සමරසිංහ මහතා කියා සිටියේ මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව මහා කොල්ලයක් බවයි. ඊට වගකිවයුත්තන් රජයේ අනුග්‍රහයෙන් නිදැල්ලේ හැසිරීම ලැජ්ජා සහගත යැයිද හෙතෙම කීය. හොරුන් අල්ලන්ට පැමිණි රජයේ සමහරුන් හොරකමට ඇබ්බැහි වී ඇතැයි ද ඔහු සඳහන් කළේය. රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක අනවසර වියදමක් කළ බව කියමින් හිටපු එස්.ටී.එෆ්. ප්‍රධානියා සිරගත කළ වර්තමාන රජය මේ මහා බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අය ජීවිත කාලය පුරාම හිරගෙදර කම්බිකූරැ ගණන් කළ යුතු යැයි වැඩිදුරටත් කීය.

වත්මන් රජයට එල්ලවන අභියෝග ගැන ජනතාව දැන්වත් කිරීමට එ.ජා.ප.ය දිවයින පුරා සම්මන්ත්‍රණ මාලාවක් තැබීමට තීන්දු කර ඇත. එ.ජා.ප.යේ සිටින දක්ෂ කථිකත්වයක් ඇති මන්ත්‍රීන් 15 දෙනෙක් පමණ මේ කටයුත්තට තෝරා ගෙන ඇත. මොවුන් රටපුරා යමින් ජනතාව දැනුවත් කළ යුතුයැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයන්ට දැනුම් දුන්නේය. ආර්ථික අර්බුදය, බැඳුම්කර ගනුදෙනුව මෙන්ම රජයේ ආර්ථික දර්ශනයෙන් ජනතාවට ලැබෙන ඵල ප්‍රයෝජන ගැන සමාජය දැනුවත් කිරීමට මෙම සම්මන්ත්‍රණ මාලාව උපයෝගී කරගැනෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ කාර්යයට තෝරාගත් මන්ත්‍රීන් 15 දෙනා කැඳවා අගමැති කාර්යාලයේදී ඔවුනට වගකීම් පැවරීය. ඒ අයගේ කටයුතු අගමැති විසින් පෞද්ගලිකවම අධීක්ෂණය කිරීමට නියමිතය.

සාර්ක් සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අර්ජුන් බහදුර් තාපා මහතා පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණේය. සාර්ක් සංවිධානයේ නේපාලයේ සිටින ශ්‍රී ලංකා නියෝජිතයා වන ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරි නිමල් බණ්ඩාර මහතාද අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ විය. සාර්ක් සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිගුකාලීන සබඳතා තරකර ගැනීම ගැනත් එයින් ශ්‍රී ලංකාවට ලැබිය හැකි වාසි ගැනත් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවීමට සාර්ක් අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගත්තේය. සාර්ක් ප්‍රධානියා ජනපතිවරයා නේපාලයේ බෞද්ධ ප්‍රජාව අතර අතිශය බුහුමනට පාත්‍රවූ ගණ දෙවියන්ගේ අගනා ප්‍රතිමා දෙකක් ත්‍යාග ලෙස පිරිනැමීමද විශේෂයක් විය.

 

 ප්‍රකාශ් ඉරැගල් බණ්ඩාර