2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

ජනපතිගේ තුරුම්පු!

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 358

• බහුතරය පෙන්වන තුරු ආණ්ඩුව රනිල්ගේ - කතානායක

• අගමැතිකමට මහින්ද තෝරාගැනීමේ රහස ජනපති හෙළිකරයි

• ප්ලේන් එකෙන් බැස පක්ෂ මාරුකළ මන්ත්‍රී

• දෛවඥ උපදෙස් නොතකා පක්ෂයෙන් පැන්න උප ඇමැති

• රාජිත - ජෝන් කපුකමට බසිති

• මැතිසබය කල්දැමීම ගැන උසාවියේ කතා බැහැ - නීතිපති

කැළඹී ගිය කාලගුණය මෙන්ම දේශපාලනයේ හටගත් කැළඹීමද හමාර නැත. නව රජය පිහිටවුවද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්සත් ජාතික පක්ෂයත් මේ සතිය ආරම්භයේ දී තමන්ගේ ස්ථාවරය වෙනස් කළේ නැත. එ.ජා. පෙරමුණේ මන්ත්‍රීන් කිහිපදෙනකු මහින්ද පිල සමඟ එක්වුවද මැතිසබා බහුතරය රනිල් සතු බව ගිය අඟහරුවාදාත් එ.ජා.ප.ය ප්‍රකාශ කළේය.

මේ සතියේ පුවත් මවන්නා බවට පත්වූයේ කතානායක කරු ජයසූරිය මහතාය. පසුගිය සතියේ කතානායකවරයා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අගමැති අසුන පිළිගැන්වීය. අනතුරුව නව සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත්වීමද අනුමත කර තිබිණි. ඒ අතර දිගින් දිගටම කතානායකවරයා ජනාධිපතිවරයා ගෙනුත් අග්‍රාමාත්‍යවරයා ගෙනුත් ඉල්ලා සිටියේ මැතිසබය ඉක්මනින් කැඳවා රට තුළ පවත්නා දේශපාලන ව්‍යාකූලත්වය පහකර හරින ලෙසයි. නොවැම්බර් 05 හෝ නොවැම්බර් 07 දිනයක මැතිසබය කැඳවන බව වරක් අගමැති මහින්දත් කතානායක කරුත් පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කර තිබිණි. එහෙත් මේ දිනය දිගින් දිගටම කල්යන බව පෙනුණි. කතානායකවරයා වෙත තානාපති අංශවලින් මේ ගැන දැඩි පීඩනයක් එල්ල වූ බවද වාර්තා විය.

මේ තත්ත්වය යටතේ ගිය සඳුදා දහවල් කතානායක ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එමගින් ඔහු පවසා සිටියේ මැතිසබය කල්දැමීම නිසා මහජන නියෝජිතයන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාදවලට අගතියක් සිදුව ඇති බැවින් වහා මැතිසබය කැඳවා නව රජය බහුතරය පෙන්විය යුතු බවයි. බහුතරය පෙන්වන තෙක් තමන් පෙර පැවති රජය (පෙර පැවති තත්ත්වය) පිළිගන්නා බව කතානායකවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය. එසේම මෙම ප්‍රකාශය මගින් කතානායකවරයා නිල නොවන මට්ටමින් ඉඟිකර තිබුණේ තමන් මැතිසබය කැඳවීමට ඉඩ ඇති බවයි.

නමුත් ඒ වනවිටත් ජනාධිපති කාර්යාලයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්ව තිබිණි. එමගින් ප්‍රකාශ කර තිබුණේ 16 දා දක්වා වාර අවසාන කර තිබූ මැතිසබය 14 දා නැවත කැඳවන බවය.

මැතිසබය කල්දැමීම ගැනත් එය නැවත කැඳවීම සඳහා ඉල්ලීමක් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. එහිදී නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ප්‍රකාශ කළේ මැතිසබය කල්දැමීම ජනපතිගේ ව්‍යවස්ථානුකූල අයිතියක් බැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කළ නොහැකි බවය. ඒ සමඟ අදාළ පෙත්සමද නිෂ්ප්‍රභා කැරිණි.

නීතිමය හා දේශපාලන හරඹ මධ්‍යයේ ඇදීගිය දේශපාලන කතාවේ වඩාත් අවධානය දිනූ සිදුවීම වූයේ පක්ෂ මාරුවලට සම්බන්ධ පුවත්ය. කිසිවකු නොසිතූ අවස්ථාවක මඩකලපුව දිසාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී වියලේන්ද්‍රන් මහතා පක්ෂ මාරු කළේ අමුතුම ආකාරයකටය. ඔහු පසුගිය කාලය පුරාම කැනඩාවේ සිටියේ කිසියම් පෞද්ගලික කටයුත්තක් ඉටුකරගැනීම සඳහාය. වියලේන්ද්‍රන් කොළඹට පැමිණෙන විට ඔහු රජයට එක්කරගැනීම සඳහා වූ මෙහෙයුම සාර්ථක වී තිබිණි. කටුනායකින් මෙරටට පැමිණි මන්ත්‍රීවරයා විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ ඒ මොහොතේම මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට කැඳවාගෙන එනු ලැබීය. අනතුරුව මහින්දගේ ආශිර්වාදය ඇතිව හෙතෙම ජනපති මැඳුරට ගොස් රජයට එක්වී නියෝජ්‍ය අමාත්‍ය පදවියක දිවුරැම් දුන්නේය. ඔහු දිවුරුම් දී හමාර වනවිට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සපයා තිබූ අතර එම ආරක්ෂකයන් සමඟ නව නියෝජ්‍ය අමාත්‍යවරයා මඩකළපු ගියේය. ඒ වනවිට දෙමළ සන්ධානයෙන් ඉවත්ව සිටි සිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා ද රජයට එක්වන බවට ප්‍රචාරයක් ගියේය.

පැවති යහපාලන රජය පිහිටුවීමට මුල් පියවර තැබූ අතුරලියේ රතන හිමියන් රනිල් රජයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේ ඉරිදා විශේෂ පුවත්පත් සාකච්ඡාවක් තබමිනි. උන්වහන්සේ සඳහන් කර සිටියේ තමන් මින් ඉදිරියට සහය පළකරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයට පමණක් කියායි.

මේ ආකාරයට එ.ජා. පෙරමුණේ මන්ත්‍රින් මහින්ද පිලට එක්වෙද්දී එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් නිරන්තර උත්සාහයක නිරත වූයේ ශ්‍රී.ල.නි.ප. හෝ පොහොට්ටු මන්ත්‍රීවරයකුගේ සහාය එ.ජා.ප.යට ලබාගන්නටයි. ඒ සඳහා හරීන් ප්‍රනාන්දු, චම්පික රණවක හා රවි කරුණානායක ආදීන් දැල එලා තිබුණේ පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය පදවියක දිවුරුම් දුන් ගාල්ලේ මනූෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍යවරයා වෙතයි. හිටපු අමාත්‍ය හරීන් වැඩේට තදින්ම බැස සිටියේය. එහෙත් මනූෂට මේ ගැන ජ්‍යොතිෂ උපදෙසක් ද ලබාගන්නට අවශ්‍ය විය. ඔහු උපදෙස් පැතුවේ හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන ගෙනි. නිල නොවන ආරංචි මාර්ග සනාථ කළේ අබේගුණවර්ධන මහතා මනූෂට කියා තිබුණේ පක්ෂ මාරුව නොකරන ලෙසට බවය. එහෙත් මනූෂ තීරණය වෙනස් කළේ නැත. ගිය 06 දා සවස එ.ජා.ප. නායක රනිල් මුණගැසී එ.ජා.ප.යට එක්විය. ජනාධිපතිවරයාට අස්වීමේ ලිපිය ද යැවීය. මෙම කටයුතු හමාර කළ ඔහු රාත්‍රී 12.00ට කටුනායකින් සිංගප්පූරුව බලා පිටත්වන සිංගප්පූරු ගුවන් සේවයේ යානයකින් සිංගප්පූරුවට පිටත්ව ගියේය.

ඒ අතර එ.ජා.ප.යේ චන්ද්‍රානි බණ්ඩාර, ශ්‍රී.ල.ප.යේ ලසන්ත අලගියවන්න ආදිය ද පක්ෂ මාරැකරනු ඇතැයි කතා පැතිරිණි. නම් සඳහන් නොකළ හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාල ප්‍රකාශකයකු සඳහන් කළේ රිෂාඩ් බදියුදීන් මහතාගේ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ පසුපෙළ මන්ත්‍රිවරු දෙදෙනෙක් ගිය සඳුදා හොර රහසේම ජනපති හමුවී නියෝජ්‍ය අමාත්‍ය පදවිවල දිවුරුම් දීමට ගිය නමුත් කතාව දැනගත් රිෂාඩ්ගේ ඉල්ලීමට කන්දුන් මහින්ද - බැසිල් දෙදෙනා ඒ පුවත රහසක් ලෙස රැකගන්නට තීරණය කළ බවය. ඊට හේතුවූයේ රිෂාඩ් පමණක් නොව මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් මන්ත්‍රිවරයා ද පොහොට්ටුව සමඟ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් කර නව රජයට එක්වීමට සාකච්ඡා කිරීම නිසායැයි ද කියැවිණි. එම කටයුතු සියල්ල සම්බන්ධීකරණය කළේ බැසිල් රාජපක්ෂ හා ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවේ කලකට පෙර ඇමැති පදවියක් දැරූ ජ්‍යෙෂ්ඨයකු විසින් බව ආරංචිය. කෙසේ හෝ රිෂාඩ් හා රවුෆ් තමන්ගේ තීන්දුව රුගෙන සම්ප්‍රදායික ලෙස “උම්ර” වන්දනාවට ගිය බදාදා ඔවුන්ගේ ශුද්ධ වූ දේශය වන මක්කම බලා පිටත්ව ගියහ. ඊට පෙර ඔවුන් සඳහන් කළේ තමන් රනිල් රජයට සහය දෙන බවය. එහෙත් ඔවුන් ඊට වඩා වෙනස් තීන්දුවක් ගනු ඇතැයි පසුව කියැවිණි. ඒ අය ගන්නා තීන්දුව නව රජයක් හැදීමේදී තීරණාත්මක සාධකයකි.

පසුගිය සතියේ තවත් විශේෂ හමුවීම් ගණනාවක් සිදුවිය. එයින් ප්‍රධාන හමුවක් වූයේ හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න හා ජෝන් අමරතුංග යන මහත්වරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමයි. මෙය එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම මත සිදුවී තිබිණි. අගමැති ඉවත් කිරීමේ තීන්දුවට බලපෑ හේතු මෙහිදී හිටපු ජනපතිවරයා කියා ඇත. ඇතැම් අමාත්‍යවරුන්ගේ උඩඟු ක්‍රියාවන් හා තමන් නොසලකා කටයුතු කිරීම මෙන්ම ඝාතන ක්‍රමන්ත්‍රණ චෝදනාවට ගෑවුණු ඉහළ පොලිස් නිලධාරින් ගැන ක්‍රියා නොකරීම වැනි හේතුද පොලිස්පති ගැනද ජනාධිපතිවරයා හිටපු ඇමැතිවරුන් සමඟ බොහෝ දේ කියා තිබිණි. මේ නිසා අගමැතිවරයාගේ හැසිරීම ගැන කලකිරීමට හා අසතුටට පත්වූ බැවින් මෙම තීන්දුව ගත් බව කියැවිණි. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා හමුවන ලෙස හෝ දුරකතනයෙන් රනිල්ට කතාකරන ලෙස හිටපු ඇමැතිවරුන් කළ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත් තමන් ක්‍රියාකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ව්‍යවස්ථාවට අනුකූලව පමණක් යැයි ජනපතිවරයා හිටපු අමාත්‍යවරුන්ට පවසා තිබිණි.

එදිනට පසුදා දීපවාලි උත්සවය යෙදී තිබුණෙත් විපක්ෂනායක සම්පන්දන් ජනාධිපති මෛත්‍රී සහ අගමැති මහින්ද ජනපති නිවසේ තිබූ දීපවාලි සංග්‍රහයට එක්වූහ. එහිදී විපක්ෂනායකවරයා ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේ ඉක්මනින් මැතිසබය රැස්කර මෙම අර්බුදය විසඳන හැටියටයි. එවිට ජනපති කීවේ තමන් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා සමඟ කතාකොට අවශ්‍ය පියවර ගන්නා බැවින් සැකයක් ඇතිකරගන්නට එපා යන කතාවයි.

ඊට පෙර විපක්ෂනායක සම්පන්දන් මහතා ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක සහ ලාල්කාන්ත ඇතුළු ජ.වි.පෙ ජ්‍යෙෂ්ඨයන් හමුවිය. එහිදී දෙපක්ෂව තීන්දු කළේ පිහිටුවා ඇති නව රජය ව්‍යවස්ථා විරෝධී නිසා එම රජය පරාජය කිරීමට ජ.වි.පෙ.ට සහ දෙමළ ජාතික සන්ධානයට කළහැකි උපරිම දේ කරන්නටයි. මෙම පක්ෂ ප්‍රධානින් සහ මුස්ලිම් පක්ෂනායකයන් බටහිර තානාපතිවරුන් ගණනාවක්ද මුණගැසුණි. කතානායක කරු ජයසූරිය ද නව ඇමෙරිකානු තානාපතිනිය මුණගැසුණි. ඇය කරුට කීවේ ඔබ ගත් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරය අනුව ක්‍රියාකරන්න කියායි.

කෙසේ වෙතත් ශ්‍රී.ල.නි.ප.ය. සහ පොදුජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු වටරවුමේ පැවැත් වූ රැස්වීම සෑහෙන පමණ සාර්ථක විය. මහ වැසි මධ්‍යයේ විශාල ජනකායක් ඊට එක්වූහ. එහිදී ජනාධිපති මෛත්‍රී කළ කතාව ආන්දෝලනාත්මක විය. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩිලෙස විවේචනය කළ ජනපතිවරයා. තමන් මහින්දට අගමැතිකම දුන්නේ කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් දෙදෙනාම එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කළ නිසා යැයි කී කතාව විශාල දේශපාලන රහසක් හෙළිකිරීමක් විය.

මෙම වාග්සටන් හා වාදවිවාද මධ්‍යයේ ජනාධිපතිවරයා හිටපු අගවිනිසුරුවරයකු මෙන්ම ව්‍යවස්ථා විශාරදයකු වන සරත් එන්. සිල්වා මහතාගෙන් පවත්නා තත්ත්වය ගැන නීති උපදෙස් පැතීය. සරත් එන්. සිල්වා මහතා තමන්ගේ පිටු 10කින් යුත් නීති උපදේශය මගින් ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් කළහැකි දේ ගැන සවිස්තරාත්මක කරුණු දැක්වීමක් කර තිබිණි. මෙම ප්‍රශ්නය විසඳගන්නට තිබෙන විසඳුම් හා විකල්ප ගණනාවක් මෙමගින් විග්‍රහ කර තිබූ බව දැනගන්නට ඇත. ඒ අතර පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ රජයට හිතවත්ව සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන අධිනීතිඥ ගෝමින් දයාසිරි මහතා ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමත් මහින්ද රාජපක්ෂ අගමැති කිරීමත් පවත්නා ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැණි බවය.

ඒ අතර මුලින් ශ්‍රී.ල.නි.ප.ය. හැර යනු ඇතැයි ප්‍රකාශ වූ ලසන්ත අලගියවන්න මහතා සම්බන්ධ ආරංචිය ෆේස් බුක් මගින් ප්‍රචාරය වෙද්දී රාජගිරිය ප්‍රදේශයේ රතිඤ්ඤා පත්තු වූ බව කියැවේ. ඒ සමඟ බැසිල් රාජපක්ෂ මහතා අලගියවන්න මන්ත්‍රිවරයා අමතා කතා කළේය. ඔහු එදින සිටියේ ජර්මනියේ අගනුවරය. පක්ෂ මාරු කතාව අසත්‍යයක් බව කී අලගියවන්න තමන් ඒ ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නේ යැයිද බැසිල්ට පැවසීය.

මනෝ ගනේෂන් සහ දිගම්බරම් යන හිටපු අමාත්‍යවරුන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රින් 6දෙනා පසුගිය බදාදා උදෑසන ජනාධිපති මෛත්‍රී හමුවූහ. ඒ පවත්නා දේශපාලන තත්ත්වය ගැන කතා කරන්නටයි. ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් ජනාධිපතිවරයා නව රජයට සහය දෙන ලෙස කියමින් තවත් ඉල්ලීම් ගණනාවක් කළේය. රාජපක්ෂ රජයට එක්ව තනතුරු ලබාගෙන ඉදිරියට කටයුතු කරන්නැයි මුලින්ම ජනපති ඔවුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. එහෙත් මනෝ සහ දිගම්බරම් එයට එකඟ නොවන බව කීහ. එසේම රාජපක්ෂ රජයට එරෙහිව එ.ජා.ප.ය ගෙන එන්නට යන විශ්වාසභංගයේදි එ.ජා.ප.යට සහය නොදී සිටින මෙන්ද ඉල්ලීමක් කළේය. ඒ ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප වූ කළ ජනාධිපතිවරයා කියා සිටියේ කවර තත්ත්වයක් යටතේවත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්නට ඔබේ ඡන්දය භාවිතා කරන්න එපා කියායි. එවිට මනෝ දිගා ඇතුළු මන්ත්‍රි පිරිස ප්‍රකාශ කළේ ඒ ගැන තීන්දුවක් ගතයුත්තේ තමන් නියෝජනය කරන පක්ෂය විසින් බවයි. එය පසුව ගතයුතු තීරණයක් වගද ඔවුහු සඳහන් කළෝය. කෙසේ හෝ මේ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ව්‍යංගයෙන් සඳහන් කළේ තමන් නැවත රනිල් වික්‍රමසිංහ මහතා වෙත අග්‍රාමාත්‍යධුරය ලබානොදෙන බවයි. එවිට මනෝ ගනේෂන් කියා තිබුණේ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා බලයට පැමිණියද ඔහු කිසිසේත්ම ජනාධිපතිවරයාගෙන් පළිගැනීමක් නොකරන බව සඳහන් කළ වගය. නමුත් ජනාධිපතිවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත.

තීරණාත්මක පක්ෂනායක හමුවක් ගිය බදාදා සවස කතානායක කාර්යාලයේදී පැවැත් විණි. ඊට දිනේෂ්, වාසු, කිරිඇල්ල, චම්පික, මහින්ද සමරසිංහ, අනුර දිසානායක, සම්පන්දන්, සුමන්දිරන්, උදය ගම්මන්පිල, රාජිත සේනාරත්න, නිමල් සිරිපාල, අනුරයාපා, ගයන්ත කරුණාතිලක, රවි කරුණානායක ආදීහු එක්ව සිටියහ. එහිදී මුලින්ම අදහස් දැක්වූ කතානායක කරු ජයසූරිය මහතා තමන් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කරමින් ජනපති නිකුත් කළ ගැසට්ටුව පිළිගන්නා බව කීය. එහෙත් රට අස්ථාවර වීම වැළැක්වීම සඳහා මැතිසබයේ බහුතරය වහා පෙන්විය යුතුයැයි ද කරු කීය. ඒ සමඟ බහුතර ප්‍රශ්නය ගැන ආණ්ඩු පක්ෂ විපක්ෂ මැති ඇමැතින් අතර විශාල ගාලගෝට්ටියක් හටගත්තේය. තමන්ට 113 බහුතරය සිටින නිසා ව්‍යවස්ථාවේ සඳහන් ලෙස ක්‍රියාකරන්නැයි දිනේෂ් කතානායකයාට කීය. චම්පික රණවක දැඩි ලෙස කියා තිබුණේ මැතිසබා බහුතරය පෙන්වන ලෙසය. එහිදී ආණ්ඩු පක්ෂයේ සියලුදෙනා කතානායක විවේචනය කරද්දී උණුසුම් සභාව සිනහ ගන්වමින් රාජිත සේනාරත්න මහතා කීවේ. “මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙර සේ.” කියායි. කෙසේ හෝ වාද විවාද ගාලගෝට්ටි මැද පක්ෂනායක හමුව අවසන් විය. ඉන්පසු විශේෂ නිවේදනයක් නිකුත් කළ කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කර තිබුණේ පාර්ලිමේන්තුව කැඳවන 14 දා මැතිසබයේ චාරිත්‍රානුකූල කටයුතු හමාරවීමත් සමඟ මැතිසබයේ ස්ථාවර නියෝග අත්හිටුවා එදින මැතිසබා බහුතරය ඇත්තේ කාටදැයි විමසා බලන බවයි.

මෙම හමුව අතරතුර ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන්ගේ හමුවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවත නිවසේදී පැවැත්විණි. එහිදී සාකච්ඡා කළ පක්ෂ ප්‍රධානීන් තීන්දු කළේ මැතිසබා බලය පෙන්වීම සඳහා ගතයුතු පියවර ගැනයි. ඒ අතරතුර අමාත්‍යධුර රැසක් පුරවා නොමැතිව තිබෙන බැවින් ආණ්ඩුවේ අකර්මන්‍ය අස්ථාවර බවක් හටගෙන ඇති නිසා ඒකාබද්ධයට සම්බන්ධ කිහිප දෙනකු අමාත්‍යධුර ලබාගත යුතු බවට තීන්දු කැරිණි. චමල් රාජපක්ෂ, එස්.බී. දිසානායක, පවිත්‍රා වන්නිආරච්චි ආදින්ට තනතුරු හිමිවූයේ ඒ අනුවය. ඒ අය එදිනම (බදාදා) සවස දිවුරුම් දීමටද තීන්දු කළහ. අනතුරුව බ්‍රහස්පතින්දා උදෑසන ද තවත් අමාත්‍ය පිරිසක් දිවුරුම් දුන්හ.

මෙම අමාත්‍යවරුන් තෝරා ගැනීමේදී ජා.නි.පෙ. නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයාට අමාත්‍යාංශයක දිවුරුම් දෙන ලෙස පොහොට්ටු ලොක්කන් කියා තිබුණද විමල් ගෝරනාඩු කළේ තමන්ට ලැබෙන අමාත්‍යාංශය කුමක්දැයි කලින් දැන ගතයුතු බවයි. එසේ නොමැතිව තමන් දිවුරුම් දෙන්නේ නැතැයි විමල් කීය. ඒ වනවිටත් බැසිල් රාජපක්ෂ මහතා අගමැති මහින්දගේ උපදෙස් මත විමල්ට නිවාස හා ඉදිකිරීම් විෂය වෙන්කර තිබිණි. එසේම විමල් සමඟ විපක්ෂය වෙනුවෙන් කරට කර සටනක් දුන් උදය ගම්මන්පිලට ද අමාත්‍යාංශයක් වෙන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තවදුරටත් අරලිගහ මන්දිරයේ රැඳී සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟය. ඔවුන් දැන් ඒ ආකාරයේ තවත් ක්‍රියාවකට සැරසෙමින් සිටින බව එ.ජා.ප අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. යම් හෙයකින් අලුත් ආණ්ඩුවට මැති සභා බහුතරය පෙන්වාගත නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇති නිසා එවැන්නත් කළහොත් ඊට විරෝධය දැක්වීම සඳහා පාර්ලිමේන්තුවේ දිගටම රුඳී සිටීමට ඔවුන් අදහස් කරන බව කියැවේ. මේ සඳහා කණ්ඩායම් වශයෙන් බෙදී ක්‍රියා කිරීමට ද පසුපෙළ මන්ත්‍රීන් සැලසුම් කර ඇතැයි සඳහන්ය.

ඒ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම පෙරළියේ න්‍යායාචාර්යවරයකු වන බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේ 14 දා බහුතරය පෙන්වීම සම්බන්ධයෙන් තත්ත්වය කුමක්ද කියායි. රජයට බහුතරය පෙන්විය හැකි බව තමන්ට සීයට සීයක්ම විශ්වාස යැයි බැසිල් මහින්දට කීය. ඒ කටයුතු සංවිධානය වෙද්දී මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකයන් සමඟ රජයේ ඉදිරි ආර්ථික සැලසුම සැකසීම ආරම්භ කළේය. රජයේ කිසිදු තනතුරක් භාර නොගත්තත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ඇතුළු ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ ආර්ථික විශේෂඥයන් පිරිසක් දැනටමත් ඒ කටයුත්තට සම්බන්ධ වී සිටිති.

පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා විධායක කාරක සභාව කැඳවනු ලැබිණි. එහිදීත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රජයට බහුතරය ඇති බවයි. ඊට පෙර ඔහු ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට කීවේ මැතිසබයේ 113ක බහුතරය ඇති බව තම තමන්ගෙ සෙල් ෆෝන්වල රිග්න්ටෝන් එකට දාගන්න යනුවෙනි. සමස්ත ලංකා කාරක සභාව අමතා තවදුරටත් කතා කළ ජනාධිපතිවරයා තමන් ආණ්ඩුව වෙනස් කිරීමට ගත් තීරණය කෙසේවත් ආපසු නොහරවන බවත් තමන් සතුව තවත් තුරුම්පු ඇති බවත් සඳහන් කළේය. 14දා මැතිසබය කැඳවන විට එ.ජා.ප.යට සහයෝගයෙන් කටයුතු කරන ලෙස දන්වන බව කී හෙතෙම එසේ නොකළොත් තමා සතුව ව්‍යවස්ථානුකූල තුරුම්පුවක් ඇතැයි පෙන්වා දුන්නේය. එ.ජා.ප.ය එම වැඩපිළිවෙළට සහය දුන්නොත් විශ්‍රාම වැටුප ද බේරාගෙන තමන්ගේ සම්පූර්ණ නිල කාලය මැති සබයේ සේවයට අවස්ථාව සැලසෙන්නේ යැයි ද ඔහු පැවසීය.

මෙම කාරක සභාව දිනයේ ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායක දුමින්ද දිසානායකගේ ස්කෙල්ටන් පාර නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. එයට ඇරුයුම් ලබා තිබුණේ පසුගිය කාලයේ ජනාධිපතිවරයා සමඟ සිටි 23 දෙනාගේ කණ්ඩායමයි. දුමින්දගේ භෝජන සංග්‍රහයේ ප්‍රධාන අමුත්තන් වූයේ ජනාධිපති මෛත්‍රී, අගමැති මහින්ද සහ බැසිල් රාජපක්ෂ වීම කාටත් අලුත්ම පුවතක් විය.

►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර