2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

මහින්ද මෛත්‍රී එකතුවකට තීරණාත්මක සාකච්ඡා

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 279

ආර්ථික අර්බුදයට මුහුණදෙන්න සැරසෙන්නැයි අගමැතිගෙන් අවවාද
අපරාධ වර්ධන කතාව මාධ්‍ය ගෙතූ එකක්යැයි ඇමැති මංගල කියයි
ඡන්ද ක්‍රමයට පක්ෂ ගැටුමෙන් පළාත් ඡන්දයට බාලගිරි දෝෂය
ෆොන්සේකාත් මහින්දත් කලකට පසු කතාව කියති
ජ.වි.පෙ. රටපුරා උද්ඝෝෂණයට සැරසෙයි
පොලිස්පතිට ජනපතිගෙන් දැඩි ප්‍රහාරයක්

 

දිනෙන් දින ජාතික දේශපාලනය අර්බුදවලින් පිරී යමින් තිබේ. ඒ අර්බුදකාරී තත්ත්වය ගැන කතාබහ මිස අර්බුද විසඳා ගැනීමේ ක්‍රමවේදයක් පෙනෙන්නට නැත. ආර්ථිකය, දේශපාලනය ජාතික ආරක්ෂාව ආදී ක්ෂේත්‍ර රැසකම පවත්නා අර්බුද විසින් සමාජය නන්නත්තාර තත්ත්වයකට පත්කර ඇතැයි කීම වරදක් නොවේ. සම්මුතිවාදී ආණ්ඩුවේ යහපාලන පදනමද ඉරිතලමින් තිබෙන වග නොරහසකි. රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව සැදූ මේ ආණ්ඩුවේ අනාගතය අවිනිශ්චිත දිසාවකට තල්ලුවෙමින් පවතී.

පසුගියදා ප්‍රකාශයට පත්වූ ජනපතිවරයාට හා හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි කුමන්ත්‍රණ කතාවෙන් පසු පොලීසිය රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. පොලිස්පති පූජිත ජයසුන්දරගේ ක්‍රියාකලාපය තමන් අනුමත නොකරන බවත් ඔහු ‘ජෝකරයෙක්’ බවත් කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයාම ප්‍රකාශ කර තිබේ. පසුගියදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී මෙරට මාධ්‍යවේදීන් සමඟ පැවති සුහද හමුවකදී මාධ්‍යකරුවන් ජනපතිගෙන් ප්‍රශ්න කළේ නුවර පෙරහරේ නටන, මහපාර මැද ව්‍යායාම කරන, වේදිකාවල සින්දු කියන පොලිස්පතිවරයා සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන කරන්නේ කුමක්ද කියායි. එයට ජනාධිපතිවරයා දුන් පිළිතුරේ සඳහන් වූයේ තත්ත්වය ඉතා බරපතළ බවය. පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුවේදී පුපුරා ගියේ මේ ප්‍රශ්නයයි.

කොළඹ නගරයේ එක්තරා පොලිස් ස්ථානයක් ගැන ඇතිවූ විවාදාපන්න කතාබහකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රටේ අපරාධ අඩු වී ඇතැයි කරන ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. එවිට ඇමැති විජේදාස රාජපක්ෂ ද කීවේ මාධ්‍යය දිහා බලනවිට අපරාධ වැඩිවීම ඉතාමත් ප්‍රබලව කැපී පෙනෙනවා කියායි. නමුත් නීතිය සහ සාමය පිළිබඳ ඇමැති රන්ජිත් මද්දුමබණ්ඩාර කීවේ සංඛ්‍යා ලේඛන අනුව අපරාධ අඩුවීමක් පෙන්නුම් කරන වගය. සිදුව ඇත්තේ මාධ්‍ය මගින් අපරාධ වර්ධනය හුවා දැක්වීමක් පමණක් බවත් කීය. මංගල සමරවීර ඇමැතිවරයා ද අමාත්‍ය මද්දුමබණ්ඩාරගේ අදහස අනුමත කරමින් අපරාධ වැඩිකර ඇත්තේ මාධ්‍ය විසින් යැයි පෙන්වා දුන්නේය. මේ කාර්යයේදී පොලීසිය ලොකු වැඩක් කරන වග ද මංගල කීය. සමහර මාධ්‍ය මෙසේ කරන්නේ රට අස්ථාවර කරන්නටය යන්න මංගල ඇමැතිවරයාගේ මතය විය. මේ සියල්ලට පිළිතුරු දුන් ජනාධිපතිවරයා පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව සහමුලින්ම ප්‍රතිසංවිධානය කළයුතු වග සඳහන් කළේය. පොලිස්පතිවරයාගේ නොමනා හැසිරීම නිසා වැඩිපුරම බැණුම් අසන්නේ අගමැතිවරයාත් තමාත් යැයි ද ජනපතිවරයා පෙන්වා දුන්නේය. පොලීසියේ ඇතැමුන්ගේ විනය පිරිහී ඇති නිසා මේ ගැන වහා යමක් කළයුතු යැයි ද ඔහු පැවසීය. තමන් පොලීසිය ගැන දැඩි ලෙස කලකිරී සිටින්නේ යැයිද ජනපතිවරයා සඳහන් කර තිබේ.

මේ ආකාරයට කැබිනට්ටුවේදී පොලීසියේ අර්බුද පුපුරා යද්දී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද උණුසුම් කතාබහක් හටගැනිණ. මේ මාසය තුළදී තවත් පළාත් සභා ගණනාවක කාලයද හමාර වන බැවින් පළාත් සභා ඡන්ද පැරැණි ක්‍රමයට හෝ අලුත් ක්‍රමයට හෝ ඉක්මනින් පැවැත්විය යුතු බවට කතාබහක් ඇතිවෙද්දී ඒ ගැන ඉක්මන් තීන්දුවක් කැබිනට් මණ්ඩලය විසින් ගතයුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. පළාත් සභා ඡන්ද පැරැණි ක්‍රමයට පැවැත්වීම ගැන බොහෝ පක්ෂ කැමැත්ත දක්වන්නේ යැයිද අගමැතිවරයා සඳහන් කළේය. නමුත් ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊට එකඟ වූයේ නැත. පසුගිය මැතිවරණවලදී ජනතාව රජයට ඡන්දය දුන්නේත් 19 වැනි ව්‍යස්ථා සංශෝධනයේදී ශ්‍රීල.නි.ප.ය ඊට පක්ෂව ඡන්දය දුන්නේත් අලුත් කොට්ඨාස ක්‍රමයට ඡන්දය තබන්නට යැයි අමාත්‍ය නිමල් කීය. අමාත්‍ය ෆයිසර් මුස්තාපා කීවේද දැන් පැරැණි ක්‍රමයක් ගැන කතාකළ නොහැකි බැවින් ඡන්දය අලුත් පනත අනුව ක්‍රියාත්මක කළයුතුය යන්න ශ්‍රීල.නි.ප. ස්ථාවරය බවයි. එවිට ඇමැති පාඨලී චම්පික රණවක අදහස දක්වමින් කීවේ පවත්නා මැතිවරණ ක්‍රමය ගැන තිබෙන විකල්ප සලකා බලා තීන්දුවක් ගතයුතු වගය. කෙසේ හෝ සියලු පක්ෂ ඉක්මනින් පළාත් සභා ඡන්ද පැවැත්වීමට එකඟ නිසා දේශපාලන පක්ෂ පොදු රුස්වීමකට කැඳවා මේ ගැන කතාබස් කොට තීන්දුවක් ගත යුතු යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව දේශපාලන පක්ෂනායක රැස්වීමක් කැඳවීමට තීන්දු ‍කෙරෙණි.

කැබිනට් මණ්ඩලයේදී මතු වූ තවත් අර්බුදකාරී කාරණාවක් වූයේ මීතොටමුල්ල කුණුකන්ද අවට භූමිය සංවර්ධනය සඳහා ඉදිරිපත් වූ යෝජනාවකි. එය ඉදිරිපත් කළේ අමාත්‍ය චම්පික රණවකය. කුණුකන්ද සහිත භූමියේ නව නගරයක් උද්‍යානයක් ආදිය ඉදිකර සංවර්ධනය කරන්නට පළාතේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේද සහය ඇතිව දියත් කරන මෙම ව්‍යාපෘතියට මූලික වියදම ලෙස රුපියල් මිලියන 500ක් ලබාදෙන මෙන් ඇමැති රණවක ඉල්ලා සිටියේය. එහෙත් මුදල් ඇමැති මංගල ඊට එකඟවූයේ නැත. එවිට අමාත්‍ය චම්පික කීවේ මෙය පසුගිය ඡන්ද කාලයේ දුක් පොරොන්දුවක් බවය. ඡන්ද කාලයේ නොයෙක් පොරොන්දු දෙන බව ඇමැති මංගල එහිදී සඳහන් කළේය. අමාත්‍ය මනෝ ගනේෂන් කීවේ මෙම මුදල අනුමත කරදීම කළ යුතු වැඩක් බවය. එහෙත් අමාත්‍ය මංගලගෙන් ඊට සුබදායක ප්‍රතිචාරයක් ලැබුණේ නැත. එහෙත් මන්ත්‍රී මරික්කාර් ඒ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළවිට කඩිනමින් ප්‍රශ්නය විසඳන බවට ප්‍රතිඥා දී තිබේ.

ඒකාබද්ධ විපක්ෂය සහ ජනාධිපති මෛත්‍රී අතර සුහදතාවක් ඇතිකර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුහුණට මුහුණ සාකච්ඡාවකට යොමුකරවීම සඳහා ශ්‍රීල.නි.ප. 15 දෙනාගේ කණ්ඩායම මේ දිනවල තදින් ක්‍රියාත්මක වෙමින් සිටී. එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල ආදී මන්ත්‍රීහු මේ සාකච්ඡාව සඳහා පිඹුරුපත් සකසමින් සිටිති. මේ අය හිටපු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනාව ගැන තීරණාත්මක සාකච්ඡාවක් සඳහා මේ සතියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූහ. මෙම කතාබහේදී බැසිල් රාජපක්ෂ මහතා එස්.බී.ලාට තරමක දැඩි ප්‍රතිචාරයක් දැක්වූ බව තිරය පිටුපස ආරංචි මාර්ග කියයි. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නොයෙක් යෝජනා ඉදිරිපත් වෙතත් ඒවා ගැන විශ්වාසයක් තබන්නේ කෙසේදැයි බැසිල් රාජපක්ෂ ප්‍රශ්න කර ඇත. ශ්‍රීල.නි.ප.යේ අය උදේට එකක් කියා සවසට තවත් දෙයක් කරන බවද ඔහු සඳහන් කර තිබේ. කෙසේ හෝ මේ ගැන හිටපු ජනාධිපතිතුමාත් පක්ෂ නායකයන් කණ්ඩායමත් අවසන් තීන්දුවක් ගතයුතු බව බැසිල් රාජපක්ෂගේ අදහස වූ බව සඳහන්ය.

පසුගිය සති කිහිපය තුළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා අර්බුදකාරී ප්‍රකාශ ගණනාවක් කළේය. ඇතැම් කතාවලින් ජනාධිපතිවරයාගේ කතා පවා විවේචනය කැරිණි. මේ ගැන දැඩි ලෙස කනස්සල්ලට පත්වූ ජනාධිපතිවරයා ෆොන්සේකා අමාත්‍යවරයා ගැන දැඩි පියවරක් ගැනීමට සැරසෙන බවද ආරංචි විය. විශේෂ ගැසට් පත්‍රයක් මගින් අමාත්‍ය ෆොන්සේකා මහතාගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කළ හැකි බවට ජනාධිපතිවරයාට ස්වකීය උපදේශකයන් දැනුම්දී තිබිණි.

මේ ප්‍රශ්න මධ්‍යයේ ජනාධිපතිවරයා සහ ෆීල්ඩ් මාර්ෂල්වරයා අතර හමුවක් ඔවුනගේ කාර්යාලවලින් සංවිධානය කෙරිණි. එම හමුව කැඳවා තිබුණේ රටේ බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන අලි මිනිස් ගැටුම නිරාකරණය සම්බන්ධයෙන් තීරණ ගන්නටය. අමාත්‍ය ෆොන්සේකා ඔහුගේ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් හමුවට සහභාගී වීමට නියමිතව තිබියදී අවසන් මොහොතේ ජනාධිපති කාර්යාලය අදාළ හමුව අවලංගු කළ බව නිවේදනය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ ආණ්ඩුවෙන් ලද ආරාධනයක් අනුව පසුගියදා නොර්වේ බලා පිටත්ව ගියේය. නෝර්වේ අගමැතිනිය ඉහළ මන්ත්‍රී මණ්ඩල සභාපතිවරිය සහා විදේශ ඇමැතිවරිය සමඟ අගමැතිවරයා සාකච්ඡාවක් වන බව වාර්තා වෙයි. අනතුරුව ලන්ඩන් නගරයට පැමිණෙන රනිල් වික්‍රමසිංහ මහතා එහි දින කිහිපයක් ගතකොට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. අගමැතිවරයා සමඟ නෝර්වේ චාරිකාවට අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මන්ත්‍රීන් වන කාවින්ද ජයවර්ධන සහ හේෂාන් විතානගේ ද එක් වෙති. ලන්ඩනයේ ශ්‍රී ලංකාවට පැමිණෙන අග්‍රාමාත්‍යවරයා තවත් දින කිහිපයකින් ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතය. එසේම ජනාධිපතිවරයා මෙම මස මැද භාගයේදී සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයකට පිටත්ව යයි.

පවත්නා ආර්ථිකමය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පසුගිය අඟහරුවාදා හැන්දෑවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ දේශපාලන නායකයන් හා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුවක් පැවැත්විණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට ඒකාබද්ධ විපක්ෂයේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ කොමියුනිස්ට් පක්ෂයේ ඩියු ගුණසේකර මහතා ඇතුළු පිරිසක් ද කැඳවා තිබූ නමුත් බන්දුල ගුණවර්ධන මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඊට හේතු දක්වමින් බන්දුල ජනාධිපති ලේකම් කාර්යාලයට දන්වා තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන්ගේ අනුමැතියකින් තොරව ජනපති හා අගමැති විසින් පවත්වන ආර්ථික සමුළුවකට පැමිණීමට තමන්ට අවසර නැති බවය. කෙසේ හෝ මෙම හමුව එදින රජයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්විණි. රුපියල අවප්‍රමාණය වීම, ජීවන බර ඉහළ යාම ආදී කරුණු රැසක් ගැන මෙහිදී සාකච්ඡා වූ නමුත් බොහෝ දෙනා අපේක්ෂා කළ ඉන්ධන මිල සූත්‍රය ගැන වචනයක් හෝ කතා නොවීම රුස්වීමේ විශේෂය විය. එසේම මෙහිදී විශේෂ තීන්දු ගත් බවක් ද වාර්තා වූයේ නැත. එහෙත් ඊට පෙර ජනාධිපතිවරයා වාර ගණනක්ම ප්‍රකාශ කළේ ඉන්ධන මිල සූත්‍රය ජනතාවට හානියක් බැවින් වහා එය ඉවත් කර දමන බවයි. මෙයට පිළිතුරු ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මාතරදී කීවේ ඉන්ධන මිල සූත්‍රය රජය ආරම්භ කළේ යහපත් අරමුණින් නමුත් මිල සූත්‍රය ආරම්භ කළ මොහොතේ පටන් ලෝක තෙල් මිල ඉහළ යාමත් රුපියල ඩොලරය හමුවේ අවප්‍රමාණ වීමක් නිසා අවාසනාවන්ත ලෙස ඉන්ධන මිල ඉහළ මිස පහළ නොගිය බවයි. යම් විටෙක මිල පහළ ගියහොත් එහි වාසිය ජනතාවට දෙන බවද ඇමැති මංගල කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ ගතවීමට පෙර රජයේ ආර්ථික අංශ ප්‍රධානීන් කැඳවා උපදෙස් දුන්නේ ඉදිරියේ එළඹෙතැයි අපේක්ෂා කරන ආර්ථික අර්බුදයට මුහුණ දීමට සූදානම් වන ලෙසය. අමෙරිකන් සම්බාධක නිසා ලබන නොවැම්බර් සිට මෙරටින් එරටට තේ අලෙවි කළ නොහැකි බව අග්‍රාමාත්‍යවරයා කීය.

චීනයෙන් ආධාර ලබා ගැනීමද දුෂ්කර තත්ත්වයකට පත්ව ඇතැයි සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ නෝර්වේ සංචාරයෙන් පසුව මේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය පියවර ගන්නා වග ද සඳහන් කළේය. මහ බැංකු අධිපති හා මුදල් අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් අගමැතිවරයා සමඟ එම හමුවට එක් වූ බව වාර්තා විය.

රටේ පවත්නා අර්බුදකාරීත්ත්වය සම්බන්ධයෙන් ජන මතය අවදි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරමින් සිටී. එහි පළමුවැන්න ලබන 23දා කොළඹින් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි. මේ ගැන ජ.වි.පෙ අවසන් තීරණ ගැනීමෙන් පසු පක්ෂ නායක අනුර දිසානායක මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීය. පක්ෂ මහ ලේකම් ටිල්වින් සිල්වා හා මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ද ඊට එක්වූහ. රජය ගත් වැරදි තීරණ නිසා ජාතික ආර්ථිකය අගාධයට ගොස් ඇතැයි එහිදී පැවසූ අනුර දිසානායක මන්ත්‍රීවරයා ගත වූ වසර 3 ½ තුළ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු සහමුලින් විනාශ කර දමන ලද බව පැවසීය. පසුගිය මාස 4ට ඩීසල් මිල පමණක් 30% ඉහළ දමා ඇතැයි කී ජ.වි.පෙ නායකයා රජය කරන්නේ හැම අංශයකටම බදු ගාස්තු පනවමින් ජනතාවට පටි තද කරගන්නට යැයි කීම පමණක් බව සඳහන් කළේය. ආණ්ඩුවේ නායකයන් සුඛෝපභෝගී ජීවිත ගතකරමින් ජනතාවට පටි තද කරගන්නැයි කීම මහා විහිළුවක් යැයිද ඔහු කීය. මේ නිසා ජනතාව වෙනුවෙන් ජ.වි.පෙ සටන් මගට පිවිසෙන්නට සූදානම් යැයි ජ.වි.පෙ නායකයා සහ මහ ලේකම්වරයා කීහ. එම සටන 23 දා කොළඹින් අරඹා ඉදිරි මාස කිහිපය තුළ රට පුරා දීප ව්‍යාප්තව ගෙන යන බවද ඔවුහු සඳහන් කළෝය.

කලකට පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා මහතාත්, එකම අදහසක් ප්‍රකාශ කළහ. උතුරේ යුද්ධයේ අවසන් සතියේ සටන මෙහෙයවූයේ ජනාධිපතිවරයා බව ඔහු අැමෙරිකාවේදී කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා දුන් පිළිතුර මහින්ද රාජපක්ෂ මහතා ද අනුමත කළේය. මේ යුද්ධයේ නිමාව ගැන හිටපු හමුදාපති කිව්ව දේ මමත් අනුමත කරනවා යැයි මහින්ද මාධ්‍යයට කීය. ඒ කතා අතරතුර සරත් ෆොන්සේකා හා ඒකාබද්ධ විපක්ෂය අතර ඇයි හොඳැයියක් ඇතිවන්නට ඉඩ ඇති බවට ද ආරංචි මාර්ග පැතිරෙමින් තිබිණි.

මේ සතියේ පොදුජන පෙරමුණ වෙනුවෙන් මාධ්‍ය හමුවක් කැඳවූ එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ලබන මස යෙදෙන පක්ෂ සංවත්සරය දා සිය පක්ෂයේ නායකත්වය භාරගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කළේය. මහින්ද ද ඉන්පසුව ඉතා සරල ලෙස මාධ්‍යයන්ට කියා තිබුණේ තමන්ද ඊට සූදානම් බවකි.

කෙසේ හෝ ගිය අඟහරුවාදා රාත්‍රී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වූයේ රටට බලපා තිබෙන උග්‍ර ආර්ථික අර්බුදයයි. ඒ සඳහා කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් සෙවීමට පක්ෂයෙන් විද්වත් කමිටුවක් පත් කරන්නට මුලින්ම යෝජනා විය. ඒ සඳහා බන්දුල ගුණවර්ධන, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසක් පත් කෙරෙනු ඇතැයි දැනගන්නට ලැබිණි. එසේම රජය කැඳවන ආර්ථික උපදේශන සභාවලට ඒකාබද්ධය සම්බන්ධ නොවීමටත් තීන්දු කැරිණි. එහෙත් රටක් ලෙස ආර්ථිකය අර්බුදයට කරා තල්ලු කළ නොහැකි බැවින් ඒකාබද්ධයේ නියෝජිත පිරිසක් වෙනම ජනපතිවරයා මුණගැසී ආර්ථික අර්බුදයට සිය පක්ෂයේ විසඳුම් යෝජනා ඉදිරිපත් කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී කණ්ඩායමට දැන්වීය. අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දිනේෂ් ගුණවර්ධන මහතා මන්ත්‍රී කණ්ඩායමට කරුණු කීය. දැනට අවසන් ව්‍යවස්ථා කෙටුම්පතේ ඉංග්‍රීසි කොපිය සූදානම් යැයි දන්වා ඇතැයි ද දිනේෂ් කීය. එහෙත් එහි සිංහල හා දෙමළ පිටපත් වහා ලබාගත යුතු බැවින් ඒ ගැන ඉදිරියේ කටයුතු කරන වග ඔහු ඒකාබද්ධ මන්ත්‍රී කණ්ඩායමට කීය.

 

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00