2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

රන්ජන් වෙනුවෙන් ජනපති කනගාටුව පළ කරයි

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 607

ජනවාරි අවසන් සතියේ සිදුවූ සෙනසුරැ මාරැවත් සමඟ දේශපාලන ක්ෂේත්‍රයේ අර්බුදකාරී සිදුවීම් වර්ධනය වන බව පෙනෙන්නට තිබේ. සෙනසුරු මාරුවේ බලපෑම කෙසේවෙතත් ගෙන්දගම් පොළොවේ දේශපාලනය දැන් බෙහෙවින් උණුසුම් වී ඇත. එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය අතර තිබූ මතගැටුම් සෑහෙන දුරට ඇදී යන බවත් පෙනේ. පසුගිය සති කිහිපය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යම් යම් තද තීන්දු ගණනාවක් ක්‍රියාවට නැංවීය. මෙයට මාසයකට පමණ පෙර මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ නිවසේදී රෝස් පාන් කමින් ජනාධිපතිවරයා ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන්ට කියා තිබුණේ මම දැඩි තීන්දුවලට යනවා බලාගෙන ඉන්න කියායි. ඒවා කල්තබා කීවොත් පත්තරවල වැටෙන නිසා කරලම පෙන්නන්නම් යැයිද ඔහු සඳහන් කර තිබිණි. මේ දිනවල සිදුවන්නේ ඒ තීන්දු ක්‍රියාවට නැංවීමදැයි අප හරියටම දන්නේ නැතත් ජනාධිපතිවරයා ගන්නා තීන්දු ගැන එ.ජා.පයේ සතුටක් නැති බවනම් ඉතා පැහැදිලිය.

බැඳුම්කර ගනුදෙනුව වංචාවක් බැවින් ඒ ගැන විමර්ශනයට විශේෂ ජනාධිපති කොමිසමක් පත්කිරීමට තීන්දු කිරීම, මුදල් ඇමැතිගේ ස්විප් ටිකට් මිල අඩුකිරීම, හොරණ ටයර් කම්හලට අවසර දීමට අමාත්‍ය මලික් සමරවික්‍රමලා ගත් තීන්දුව අත්හිටුවීම, හම්බන්තොට ආයෝජන කලාපයේ අක්කර දහස් ගණනක් චීනයට පැවරීමට විරුද්ධ වීම, මහ බැංකු අධිපති විගණකාධිපති පත්කිරීම් ගැන කළ දැඩි ප්‍රකාශ, දූෂණ චෝදනා ලත් අමාත්‍යවරැන් ගණනාවක් ඉවත් කළ යුතුයැයි එ.ජා.පයට යෝජනා කිරීම (මෙය ප්‍රසිද්ධියේ සිදුවූ කරුණක් නොවන බව කියැවේ) ආදී සිදුවීම් දෙපක්ෂය අතර තිබෙන විරසකය රටට හෙළිවූ අවස්ථා විය.

බැඳුම්කර කොමිසමට මායාදුන්නට එන්න බැරිලු

මේ හැර බැඳුම්කරය සම්බන්ධව මැතිසබයේ පැවති විවාදයේදී එය විශාල දූෂණයක් හා වරදක් ලෙස සියලු ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරුන් විසින් හඳුන්වා දෙනු ලැබීය. ඒ වෙනුවෙන් ශ්‍රී.ල.නි.පය එ.ජා.පයට සහාය දුන්නේ නැත. ඊළඟට පසුගියදා නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය ගැන ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා වැනි අය ප්‍රසිද්ධියේම සතුට ප්‍රකාශ කර තිබුණේ මේ ඇවිත් ඉන්නේ ශ්‍රී ලංකා කාරයන් බවත් ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටියත් ඒ අය සැබෑ ශ්‍රී ලංකා කාරයන්* බව කියමිනි. මේ ආකාරයට ආණ්ඩුවේ ක්‍රියාදාමය ගැන ප්‍රධාන පක්ෂ දෙක සැමවිටම දෙආකාරයට ප්‍රසිද්ධියේ මත දැක්වීමෙන් අන්දමන්ද වන්නේ ජනතාවයි. ඊට අමතරව රජයේ තීරණ ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරී තන්ත්‍රයයි. එහි ප්‍රතිඵලය වන්නේ නිලධාරීන් තීන්දු ගැනීමෙන් වැළැකීම බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ තත්ත්වය දැනටමත් ඇතැම් ස්ථානවල දක්නට ලැබේ.
මාස ගණනක් තිස්සේ මහත් ආන්දෝලනයට ලක්වූ බැඳුම්කර සිද්ධිය විභාග කිරීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පසුගියදා පත් ‍කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා මෙහි සහභාගීත්වය දරයි. හිටපු විගණකාධිපති සරත් මායාදුන්න මහතාද මෙම කොමිසමට පත්කරගන්නට ජනාධිපතිවරයා යෝජනා කළ නමුත් තමන්ගේ ජ.වි.පෙ හිතවාදී බව නිසා ඊට එක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

මර්වින්ටත් අන්ත ඇමැතිලා ගැන මහින්ද ඉඟි කරයි

කලක් මහ බැංකුවේ ඉහළම තනතුරක්ද මෙරට සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ලෙස උසස් පදවියක්ද දරා ඇති චිත්‍රසිරි විනිසුරුවරයා මූල්‍ය නීතිය පිළිබඳ විශාරදයෙකි. පසුගිය රජය සමයේ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමට පෙර මෙරට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධූරයට පත්කරන්නටද තීරණයක් ගෙන තිබූ නමුත් දේශීය ආදායම් වෘත්තීය සංගම්වල ඉල්ලීම නිසා සිය දෙපාර්තමේන්තුවේ වෘත්තිකයකුටම එම තනතුර ලබාදීමට සිදුවිය. ඔහුගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කොමිසම පෙබරවාරියේ මුල්වරට රැස්වෙයි. මෙම කොමිසමට සිද්ධිය විභාග කොට අදාළ වාර්තාව ජනාධිපතිවරයාට භාරදිය හැකි අතර එහි නිර්දේශ අනුව යමෙක් වැරදිකරුවකු කර ඇත්නම් ඔහුට හෝ ඇයට විරුද්ධව පොලිස් පරීක්ෂණයකින් තොරව අධිචෝදනා මත නඩු පැවරීමට නීතිපතිවරයාට අවසර ඇතැයි සඳහන්ය. ඒ අතර බැඳුම්කරය ගැන විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව ගැන මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා දිගින් දිගටම චෝදනා කළේ එම වාර්තාව කල්තබා ජ.වි.පෙ මන්ත්‍රීන් අතට පත්කිරීම වරදක් බව කියමිනි. මුදල් ඇමැතිවරයා විගණකාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ක්‍රියා කලාපයද විවේචනය කළේය. ඒ අතර රජය බැඳුම්කර සිද්ධිය ගැන විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ ලෝක බැංකුවෙන් මතය විමසූ බව මැතිසබයට දැන්වූයේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. ඔහු කීවේ විගණකාධිපති වාර්තාව පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිති අනුව සකස් වී නොමැති බවයි. ඒ නිසා මෙම වාර්තාව පිළිගැනීම සාධාරණ නොවන බව කිරිඇල්ල අමාත්‍යවරයා කියා තිබිණි. ඊට පිළිතුරු සැපයූ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා කීවේ තමන් මේ ගැන අදාළ වාර්තාව සකස් කළේ ශ්‍රී ලංකාව පිළිපදින ජාත්‍යන්තර ක්‍රමවේද හා ප්‍රමිති අනුව බවය. තමන් සිය වාර්තාව දුන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවට මිස ලෝක බැංකුවට නොවන බවද හෙතෙම සඳහන් කර සිටියේය. එසේම පාර්ලිමේන්තුවට පමණක් වගකියන නිලධාරියකු ලෙස මහජන මන්ත්‍රීවරයකු තමන්ගෙන් මෙම වාර්තාව ඉල්ලා සිටියොත් එය ලබාදෙන බවත් කිසිවකුට තොරතුරු සැඟවීමට තමන්ට ඉඩ නැති බවත් කී හෙතෙම තමන්ගේ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවට මිස වෙනත් පුද්ගලයන්ට නොවන බවද ප්‍රකාශ කළේය. ඒ අතර හිටපු කෝප් සභාපතිවරයකු වන ඩියු ගුණසේකර මහතා කීවේ ලෝක බැංකුව විගණකාධිපති වාර්තාව ප්‍රතික්ෂේප කරමින් රජයට වාර්තාවක් භාරදී ඇතැයි යන ප්‍රකාශය සහමුලින්ම වැරදිසහගත වගය.

කරූට සම්මානයක් චම්පිකගෙන් පොතක්

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තය ගතකළේ අනුරාධපුරය ප්‍රදේශයේය. අගමැතිවරයා එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් සමඟ අටමස්ථානාධිපති හිමියන් මෙන්ම ඉසුරුමුණිය, රුවන්මැලි සෑය හා ශ්‍රීමහා බෝධීන් වහන්සේ වෙත ගොස් පුදපූජා පවත්වා ඒ විහාරස්ථානවල නායක හිමිවරුන් බැහැ දැක රටේ පවත්නා තත්ත්වය ගැන නායක හිමිවරුන් දැනුවත් කළෝය. අනතුරැව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් විසින් අනුරාධපුර නගර මධ්‍යයේ සංවිධානය කර තිබූ එ.ජා.ප ජන රැළියට අගමැති ප්‍රමුඛ එ.ජා.ප ප්‍රධානීහු එක්වූහ. වත්මන් රජය අනාගෙන ඇති බවට සමහරුන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව මෙහිදී සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ රජය දැඩි සත්කාර ඒකකයට ඇද දමා තිබූ ජාතික ආර්ථිකයට සාත්තු කර සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට වැඩකටයුතු ආරම්භ කළ බවද සඳහන් කළේය. නුගේගොඩ පවත්වන ලද ඒකාබද්ධ විපක්ෂයේ රුස්වීමට ආණ්ඩුවේ ඇමැතිවරැන් එන බවට ඒකාබද්ධ විපක්ෂය පාරම්බෑ නමුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුවත් ඊට ආවේ නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා කීය. මෙහිදී තවත් විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍යවරයා රටේ සංවර්ධන වැඩ කඩාකප්පල් කරන්නට කිසිවකුට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළේය. කවුරු හරි ආණ්ඩුව සමඟ නටන්න එනවානම් ඒ නැනැත්තාට එක්සත් ජාතික පක්ෂය සමඟ නටන්නට හැකිවන ලෙස වැඩකටයුතු සැලසුම් කරන්නැයි තමන් පක්ෂ මහලේකම්ට හා සභාපතිට උපදෙස් දුන් බව කීය.

ලලිත් වීරතුංග සමඟ ජනපති ලොකු කතාවක

එ.ජා.පය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් පරිසර ප්‍රශ්නයක් මුල්කරගෙන දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට හෙණ ගහපන් යැයි තර්ජනය කරමින් බැණ වැදුණු බවට චෝදනා නගමින් රාජ්‍ය පරිපාලන සේවා සංගමයත් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩලත් උද්ඝෝෂණ ගණනාවක් සංවිධානය කර තිබිණි. ගිය සඳුදා අඟහරුවාදා ආදී දින ගණනාවක මෙම උද්ඝෝෂණ සිදුවිය. ඒ හේතුවෙන් ප්‍රදේශයේ මහජන සේවා අඩාල වූ අතර ජනතාව පීඩාවට පත්වුණ පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ සිකුරාදාට පෙර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් මේ සිද්ධිය ගැන සමාව ගත යුතු වගය. එහෙත් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා ඊට එකඟවූයේ නැත. ප්‍රදේශයේ පස් කැපීම නතර කළොත් පමණක් තමන් සමාව ගන්නට සූදානම් නමුත් එසේ නොකර සමාව නොගන්නා බව හෙතෙම කීය.

ආණ්ඩු පක්ෂයේ එ.ජා.ප මැති ඇමැතිවරු කීවේ මේ සිද්ධියේදී ප්‍රාදේශීය ලේකම්වරිය වැරදිසහගත ලෙස හැසිරුණු බවය. එහෙත් ශ්‍රී.ල.නි.ප මැති ඇමැතිවරුන් ගණනාවක් කියා සිටියේ රන්ජන් ද සංයමයෙන් යුතුව කතා කළ යුතුවූ වගය. කෙසේහෝ ප්‍රශ්නය ඇදී යද්දී  රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ නියෝජිත පිරිසකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන්ගෙන් කැඳවීම් ලැබිණි. ජනාධිපතිවරයා මුණගැසුණු පරිපාලන සේවා සංගම් ප්‍රධානීන් හමුවේ රජය වෙනුවෙන් මේ ගැන තමන් කනගාටුව ප්‍රකාශ කරන බව ජනාධිපතිවරයා කියා ඇත. ජනාධිපතිවරයා රන්ජන් රාමනායක ගෙන්ද මේ ප්‍රශ්නය ගැන විමසා තිබිණි. මහජන සේවා අඩපණ නොකරන ලෙස ජනාධිපතිවරයා පරිපාලන සේවා සංගමයෙන් ඉල්ලා සිටියේය. අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මුණගැසුණු නියෝජිත පිරිසට තර්ජනයට ලක්වූවායැයි කියන දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය ද එක්ව සිටියාය. ඇයගෙන් ඇමැතිවරයා ප්‍රශ්නය ගැන විමසූ කළ ඇය සඳහන් කළේ ඇමැතිවරයාගේ තර්ජනය නිසා පාසල් යන තම දරුවන් පවා පාසල් යා නොහැකි බව කියනා බවයි. ඇමැති මද්දුම බණ්ඩාර ඇගේ ප්‍රශ්නය විමසා රජය වෙනුවෙන් ඔහුද පරිපාලන සේවා සංගමයට කනගාටුව පළ කළේය. එසේම වසර 7ක් එකම ස්ථානයක සේවය කරන විට මෙබඳු ප්‍රශ්න හටගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් පරිපාලන සේවා සංගමයට අවශ්‍ය වූයේ රන්ජන් සමාව ගැනීමයි. ඒ අතර පස් කපන්නන්ට අනුග්‍රහය දක්වන බවට රන්ජන් චෝදනා කළ පළාතේ එ.ජ.නි.ස. මන්ත්‍රී ඉන්දික අනුරැද්ධ මාධ්‍ය හමුවක් තබමින් රන්ජන්ගේ ගෝලයන්ද පස් ජාවාරමේ නියුතු බවට ප්‍රතිචෝදනාවක් නැගීය. එසේම තමන්ට එල්ලකළ චෝදනාව අභූත චෝදනාවක් යැයි කී මන්ත්‍රීවරයා ඒ ගැන රන්ජන්ට එරෙහිව නීතිමය පියවර ගන්න බවද කීය. ඒ සියල්ල සිදුවෙද්දී ජනාධිපති කාර්යාලයේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවකදී කියැවුණේ පසුගිය කාලයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් පස් ටිපර් හැටදහසක් පමණ ගෙනැවිත් මුතුරාජවෙල ප්‍රදේශයේ අක්කර 7ක පමණ වගුරක් ගොඩකරන බවය. මේ සිද්ධිය පිටුපස ප්‍රබල ඇමැතිවරයකු සිටින බවත් කියැවිණි. මේ ගැන වහා පියවර ගතයුතු බව ජනාධිපති කාර්යාලය පරිසර බලධරයන්ට පෙන්වාදී තිබිණි.

නුගේගොඩ රැස්වීම ෆේල්යැයි අගමැති කියයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරන ලෙස පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට උපදෙස් දී තිබේ. පාක්ෂික තරුණ පිරිස් වෙත රැකියා සපයමින් ජාතික සංවර්ධන ප්‍රයන්තය ඉදිරියට තල්ලු කිරීමට පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම ප්‍රතිසංවිධානයේ අරමුණ බව කියැවෙයි. පසුගිය 30 දා පක්ෂ ප්‍රධානීන් අරලියගහ මැදුරට කැඳවූ අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනෝමා ගමගේ, ඉරාන් වික්‍රමරත්න ආදීහු මෙම හමුව සඳහා පැමිණ සිටියහ. පක්ෂ ප්‍රතිසංවිධානය අදියර දෙකක් යටතේ සිදුකළ යුතුයැයි නියම කළ අග්‍රාමාත්‍යවරයා දීප ව්‍යාප්තව ගෙන්ගෙට ගොස් රජය කරන කටයුතු ගැන ජනතාව දැනුවත් කරන්යැයි පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට දැන්වීය. මේ ප්‍රතිසංවිධාන කටයුතු පෙබරවාරි මස මුල් සතියේ සිටම ආරම්භ කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා දැන්වීය.

කතානායක කරැ ජයසූරිය මහතාට ජපාන අධිරාජයා විසින් පිරිනමනු ලබන උත්තරීතර සම්මානයක් වන උදාවන සූර්යා සම්මානය පිරිනැමීම ජපාන තානාපති කාර්යාලයේදී සිදු කැරිණි. කොළඹ ජපාන තනාපති තෙනිස් සුගහුමා මහතා කරු ජයසූරිය මහතාට සම්මානය පිරිනැමීය. පිලිපීන අගමැති, අමෙරිකානු කතානායක, ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ආදී ලොව පිළිගත් නායකයන් 6 දෙනෙකුට මෙවර උදාවන සූර්ය සම්මානය පිරිනැමිණි. මෙය ශ්‍රී ලාංකිකයකුට හිමිවූ ප්‍රථම අවස්ථාව වීමද විශේෂයකි.

අමාත්‍ය චම්පික රණවක තමා විසින් රචනා කරන ලද තිරසාර පෙරමග කෘතිය පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පිරිනැමීය. චම්පික රණවක මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 10ක් සපිරීම නිමිත්තෙන් මෙම කෘතිය එළිදැක්වීමට විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණි. ආචාර්ය සරත් අමුණුගම, අමාත්‍ය රණවකගේ දේශපාලන ජීවිතය අගය කරමින් ඔහු බුද්ධිමත් දේශපාලනඥයෙක්යැයි ප්‍රකාශ කළේය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට රණවක අමාත්‍යවරයා පෙරමුණ ගත්බවද අමුණුගම මහතා කීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ තිරසාර සමාජයක් නිර්මාණයට රණවක මහතා ගන්නා උත්සාහය ප්‍රශංසනීය බවයි. කවර පක්ෂය සමඟ සිටියත් තමන්ගේ මූලික අරමුණ රැකගෙන රණවක මහතා ක්‍රියාකිරීම අගයන බවද අගමැතිවරයා පැවසීය.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසානයේ ජනාධිපතිවරයා සිය නිල කාමරයට පැමිණි පසු තවත් විශේෂ හමුවක් සිදුවූ බව සඳහන්ය. ඒ සඳහා පැමිණ සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාය. මේ දෙදෙනා ජනාධිපතිවරයා සමඟ ටික වේලාවක් පෞද්ගලිකව සාකච්ඡා කළෝය. එහි තොරතුරු මාධ්‍යයට අනාවරණය වී නැතත් ඇමැති මණ්ඩල සංශෝධනය ගැන මෙන්ම මුදල් අමාත්‍යංශයේ ඇතැම් කටයුතු ගැන මෙම සාකච්ඡාව සිදුවූ බව කියැවේ. ඇමැති මාරුව මාර්තු මාසය දක්වා කල් ගිය බව කීවද මුදල් හා විදේශ අමාත්‍යංශවල කිසියම් වෙනසක් සිදුකළ යුතු බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන්ගේ මතය වී ඇතැයි පොලිටිකල් රහස් තීරයට වාර්තාවෙයි. මේ අතරතුර නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්ද ජනාධිපතිවරයා විසින් පසුගියදා ජනපති කාර්යාලයට කැඳවා තිබිණි. ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවලදී සිංහල හා දෙමළ ජනතාවට ප්‍රධාන අමාත්‍යවරයාගේ තීරණ නිසා සිදුවන අපහසුතා ගැන කරුණු දක්වා ඇති ජනාධිපතිවරයා සියලු ජන කොටස්වලට සමාන සැලැකිල්ලක් දක්වන ලෙස මහ ඇමැතිට අවවාද කළේය. තමන් මේ ගැන නිරන්තර පරීක්ෂාවෙන් සිටින වගද ඔහු සඳහන් කර ඇත.
ගිය අඟහරුවාදා ජනාධිපතිවරයා කොට්ටේ ප්‍රදේශයේදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයකුට අයත් ඉහළ පෙළේ අවන්හලක් විවෘත කළේය. අනතුරුව ජනාධිපති මාධ්‍ය අංශ ජ්‍යෙෂ්ඨයකුගේ විවාහ මංගල්‍යයක සාක්ෂිකරැවකු ලෙස අත්සන් කිරීමට හෙතෙම පිළියන්දලට ගියේය. එහිදී මනාලයාගේ පාර්ශවයෙන් ජනාධිපතිවරයා සක්ෂියට අත්සන් තබද්දී මනාලියගේ පාර්ශවයෙන් අත්සන් කළේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාය. සාක්ෂියට අත්සන් තැබීමෙන් පසු ලලිත් තමන් අසලට කැඳවාගත් ජනාධිපතිවරයා රාජ්‍ය සේවය - රාජ්‍ය තන්ත්‍රය ගැන මෙන්ම රජයේ ක්‍රියාදාමය ගැන ලලිත් සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡා කරමින් සිටිනු දක්නට ලැබිණි.

ජනතාවිමුක්ති පෙරමුණ මේ දිනවල මහබැංකු බැඳුම්කර සිද්ධියසේම සයිටම් වෛද්‍ය විද්‍යාල විරෝධය මුවහත් කරමින් සිටී. මහ බැංකු බැඳුම්කරය නිසා රටට වත්මන් රජය සිදුකළ පාඩුව ගැන ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් ජ.වි.පෙ. ජ්‍යෙෂ්ඨයෝ පවත්වති. ඒ අතර සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කෙරෙන උද්ඝෝෂණ මෙහෙයැවීමටද දායකව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ඇතුළු පිරිසක් සයිටම් ආයතනයෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල හානියක් සිදුවන බව හේතුසාධක සහිතව පෙන්වා දීමට සම්මන්ත්‍රණ ගණනාවක් සංවිධානය කර තිබේ. මේ කටයුතු සිදුවෙද්දී අභියාචනාධිකරණය සයිටම් උපාධිධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිකර මෙරට වෛද්‍ය වෘත්තියට පිවිසීමට වරම් දෙන ලෙස නියෝග කළේය. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම තීරණය සම්බන්ධව තමන්ට එකඟවිය නොහැකි බව මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සති අන්තයේ මහනුවරට ගොස් දළදා සමිඳුන් වැද පුදාගත්තේය. අනතුරැව ඔහු මල්වතු අනුනායක නියංගොඩ විජිතසිරි හිමිපාණන් බැහැදුටුවේය. උන්වහන්සේ සමඟ වත්මන් රජයේ ක්‍රියාකලාපය යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පවත්නා දේශපාලන ගැටලු ගැන දීර්ඝ සාකච්ඡා කළ හිටපු ජනාධිපතිවරයා පසුව අනුරාධපුරය බලා පිටත් විය. අනුරාධපුරයේදී ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ වත්මන් යහපාලන රජයේ සමහර ඇමැතිවරු බයිස්කෝප් රංගනවල යෙදෙමින් රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීම හෙළාදකින බවය.

ඊට පෙර ඔහු කොළඹ කොහුවල ප්‍රදේශයේ විහාරස්ථානයකදී රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීම හෙළාදකිමින් සඳහන් කර තිබුණේ රාජ්‍ය සේවකයන්ට තර්ජනය කරන යහපාලන ඇමැතිවරුන් මර්වින් සිල්වාටත් අන්ත බවයි. ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම වෙනුවෙන් මෙවර නූපන් දරුවන්ට ඉපැදීමට ඇති අයිතිය පවා නැතිකරමින් ගබ්සා නීතිය ගෙන ඒමට තැත්කරන බව රාජපක්ෂ මහතා කීය. ගණිකා වෘත්තියට නිත්‍යනුකූලභාවය ලබාදෙන්නට යන්නේයැයි විවේචනාත්මකව සඳහන් කළේය.     

♦ ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00