2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ආණ්ඩුව පිං රැස් කරගත් හැටි අගමැති පහදයි

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 225

බෞද්ධයන්ගේ උදහසට ලක්වූ සංහිඳියා නාට්‍යකරුවෝ කනගාටුව පළකරති
මහින්ද තුන්වැනි වරටත්ඡන්ද සටනට ගෙනෙන්න නීති විශාරදයෝ සටනක
නිමල්ගේ ත්‍රිරෝද රථ නීතිය ජනපති අකුලයි
සීමානිර්ණය කමිටු වාර්තාව අර්බුදයක
විධායක ජනපති ධූරය දරන්න සුදුස්සෙක් නැතැයි අනුර දිසානායක කියයි
පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන් සමඟ ඉන්දියාවේ සුබ්‍රමනියම් ස්වාමිත් මැදමුලනට

 

හිටපු ජනාධිපතිවරුන්ට නැවතවරක් ජනාධිපති ධුරය සඳහා තරග කළහැකිද යන්න මේ සතියේ මාධ්‍ය අවධානය දිනූ ප්‍රධාන පුවතකි. මෙම කතාව පසුගිය සතියේ හෙළිදරව් කෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි. ශ්‍රී ලංකාවේ සිටින ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම මුලින් මෙම මතය සනාථ කිරීම සඳහා අවශ්‍ය පදනම සකස්කළේය. ඒ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මහාචාර්ය ජී.එල්. පීරිස් දැනුම් දුන් පසු මෙයට සති දෙකකට පෙර පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී මහින්ද රාජපක්ෂ මහතා නිකමට මෙන් එය සඳහන් කළවිට වාසුදේව නනායක්කාර මහතා හැර වෙනත් කිසිවකු ඒ ගැන අදහස් දක්වා තිබුණේ නැත. වාසුදේව කීවේ ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනයක් ලබාගතයුතු බව පමණි. පසුව මන්ත්‍රී කුමාර් වෙල්ගමද හිටපු ජනාධිපතිතුමාට ජනපතිවරණයට තරග කළහැකි යයි සඳහන් කර තිබිණි.

මේ අදහස මූලික වශයෙන් ඉදිරිපත් වූ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පිරිසක් ප්‍රකාශ කර තිබුණේ මෙම නීති තර්කයට පදනමක් ඇති බවය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව දෙවරකට වඩා කිසිදු තැනැත්තකුට මෙරට ජනාධිපති ධූරය දැරීමට හිමිකමක් නැත. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමට පෙර එම ධූරය දැරූ අයට මෙම නීතිය බලනොපාන බව ඉදිරිපත්ව ඇති නීති තර්කයයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිතවම සඳහන් වෙතොත් මිස නීතියක් අතීතයට බලනොපෑ යුතු බව ඊට පක්ෂව තර්ක කරන නීති විශාරදයන්ගේ මතයයි. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ද මෙම තර්කය සනාථ කරමින් කරුණු දැක්වීය.

එහෙත් ජනාධිපති නීතිඥවරයකු ද වන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂ මහතාට හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනියට කිසිසේත්ම නැවත ජනපති තරගයට ඉදිරිපත්විය නොහැකි බවය. ව්‍යවස්ථාව අනුව දෙවරක් මෙරට ජනපති ධූරය දැරූ අයෙක් නැවතත් එම ධුරය දැරීම සඳහා සුදුස්සකු නොවන බව පැහැදිලිව සඳහන්යැයි ඔහු පවසයි. තමන් දෙවරක් එම ධූරය දරානැතැයි සෑම අපේක්ෂකයකුම විශේෂ දිවුරුම් පෙත්සමක් අත්සන් කොට නාම යෝජනාව සමඟ භාරදිය යුතු යැයි කියන ජනාධිපති නීතිඥවරයා එම දිවුරුම වැරදි ලෙස ලබාදුන්නොත් වසර තුනක සිර දඬුවමකට එම අපේක්ෂකයා යටත්වන බවද පැවසීය. එසේම මෙබඳු කරුණක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසිය හැක්කේ පාරේ යන මිනිසුන්ට නොව රටේ ජනාධිපතිවරයාට පමණක් යැයිද ඔහු කියා සිටියේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අලුතින් එක්වූ නීති අතීතයට බලපාන්නේ නැතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් ගෙනඑන තර්කය පදනම් විරහිත කතාවක් යැයිද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේය. දුමින්ද දිසානායක සහ තවත් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක්ම ප්‍රකාශ කළේද මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනපතිවරණයකට ඉදිරිපත්වීමට කිසිදු නීතිමය අවකාශයක් නැති බවයි.

සතියේ අමාත්‍ය මණ්ඩල හමුව ගිය අඟහරුවාදා උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපත් කළ පනතක් මෙයට පෙර සම්මත වී තිබිණි. එයට අදාළව කැබිනට් යෝජනාව ගෙන ආවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාය. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවක් මෙම යෝජනාවට විරුද්ධ වූයේ එයින් අවුරුදු 18ට වැඩි පුරවැසියකුට තමන් කැමැති රැකියාවක් කිරීමට තිබෙන අයිතිය අහෝසිවන බව කියමිනි. නමුත් ඇමැති නිමල් ඊට එකඟ නොවීය. ඔහු කීවේ මෙබඳු නීතියක් ගෙනඒමට හේතුව දිනෙන් දින ත්‍රීරෝද රථවලින් වන අනතුරු සහ ජීවිත හානි වැඩිවීම නිසා බවය. එහෙත් කැබිනට් ඇමැතිවරුන් බහුතරයකගේ මතය වූයේ දැන් කළයුත්තේ වයස ගැන නීති පැනවීම නොව ත්‍රීරෝද රථ කර්මාන්තය නියාමනය කිරීමත් ත්‍රීරෝද රථ සංඛ්‍යාව අඩුකිරීමට පියවර ගැනීමත් බවය. එවිට නැවතත් අමාත්‍ය නිමල් කියා සිටියේ වයස අවුරුදු 18 වැඩි තරුණයන් බොහෝ දෙනෙකුගේ ඵලදායී ශ්‍රමය ත්‍රීරෝද රථ රැකියාවට යාම නිසා රටට නොලැබෙන බැවින් මෙබඳු නීතියක් වුවමනාය කියායි. එසේ වුවද ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමැතිවරුන් ඊට එකඟනොවීම නිසා නිමල් සිරිපාල අමාත්‍යවරයාගේ යෝජනාව අත්හිටුවීමට කැබිනට්ටුව තීන්දු කළේය. එසේම මින් ඉදිරියට බැඳුම්කර නිකුත් කිරීමේදී අමෙරිකානු ඩොලර්වලින්ම පමණක් ඒවා නිකුත් නොකර චීනයේ යුවාන් මුදලිනුත් බැඳුම්කර නිකුත් කළ හැකිදැයි කැබිනට්ටුව සාකච්ඡා කළේය. එහිදී තීන්දු වූයේ අමාත්‍ය කමිටුවකින් ඊට අදාළ නිර්දේශ ලබාගන්නටයි. මේ හැර ඉදිරි කාලයේදී මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී චීනයේ යුවාන් මුදලිනුත් බැඳුම්කර නිකුත් කොට රජයට අවශ්‍ය ණය ලබාගත යුතු බවට ද අමාත්‍ය මණ්ඩලය තීන්දු කළේය.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රධානත්වය දරන ජාතික සංහිඳියා කාර්යාංශයේ නිර්මාණ ශිල්පියකු විසින් බුදු දහමට අපහාස වන ආකාරයට ගුවන් විදුලි නාට්‍ය 7ක් නිර්මාණය කිරීම මහත් ආන්දෝලනයට ලක්වූ සිදුවීමක් විය. මේ ගැන තොරතුරු සොයාගත් ජාතික හෙළඋරුමය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා එයට විරෝධය පළකළහ. ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් තමන් මේ ගැන සොයාබලා වහා පියවරක් ගන්නා ලෙස ඉල්ලාසිටින බවද සඳහන් කළහ. “නිබ්බානං පරමං සුඛං* යන යෙදුම “නිර්වස්ත්‍රං පරමං සුඛං” යනුවෙන්ද තෙරුවන් සරණයි යන යෙදුම “තරුවන් සරණයි” කියාද යොදා ඇතැයි සෝභිත නාහිමියෝ පැවසූහ. ඉන් අනතුරුව මෙම කතාව බොහෝ තැන්වල සාකච්ඡාවට බඳුන් විය. මහාසංඝ රත්නය මෙන්ම විවිධ බෞද්ධ සංවිධානවලින් ද ඊට විරෝධය එල්ල විය. මාධ්‍යය මේ ගැන හිටපු ජනපතිනියගෙන් ප්‍රශ්න කිරීමට වාර ගණනාවක්ම උත්සාහ කළද එය සාර්ථක නොවීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනවල පැවති උත්සව ගණනාවකදී මෙම සිද්ධිය තරයේ විවේචනය කළේ මෙරට ශ්‍රේෂ්ඨ බෞද්ධ කාන්තාවක් ලෙස පිළිගැනෙන හිටපු අගමැතිනී සිරිමාවෝ මැතිනියගේ දියණියකගේ ප්‍රධානත්වයෙන් ඇති කාර්යාලයකින් මෙවැන්නක් සිදුවීම අතිශය කනගාටුවට කරුණක් බව කියමිනි. යහපාලන රජයේ ඇතැමුන් දැනුම්වත්වම බුදු දහමට නිග්‍රහකරන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ජාතියට හා ආගමට ආදරය කරන අය මේ ගැන හඬක් නැගිය යුතුයැයි මහින්ද රාජපක්ෂ මහතා කීය. අනතුරුව මේ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අදාළ කාර්යාංශයෙන් විමසා බැලූ බව සඳහන්ය. වරදක් සිදුව තිබේනම් එම වරද නිවැරදි කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බවද වාර්තා විය. ඉන් අනතුරුව සංහිඳියා කාර්යාලයෙන් මේ ගැන නිවේදනයක් නිකුත් කැරිණි. එමගින් කියා සිටියේ අදාළ නාට්‍යවල නාමයන්ගෙන් බුදු දහමට කිසියම් අගතියක් හෝ හානියක් සිදුවන බවට “ඉදිරිපත් වූ කරුණ සැලකිල්ලට ගෙන නාට්‍ය නාමයන් වෙනස් කරන වගය.” තම කාර්යාංශය බුදු දහමේ හරයන් හා වටිනාකම් විකෘතිවන ආකාරයේ කිසිවක් සිදුකිරීමට තම කාර්යාලය අදහස් නොකළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

වත්මන් රජය කලක පටන් අපේක්ෂා කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ පිහිටුවීම මේ සතියේ සිදුවිය. අලුත්කඩේ පැරණි රථවාහන උසාවි පරිශ්‍රයේ ඉදිකළ නව ත්‍රිපුද්ගල මහාධිකරණය ගිය අඟහරුවාදා උදෑසන විවෘත කිරීමට අධිකරණ අමාත්‍යවරිය දින නියම කර තිබුණි. මෙබඳු අධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය දැනට තීන්දු කර ඇති අතර මේ සතියේ විවෘත කළේ එහි පළමු උසාවියයි. එහෙත් මෙම විවෘත කිරීමේ උත්සවයෙහි විශේෂත්වය වූයේ මහාධිකාරණය ඇරඹීමේ උත්සව අවස්ථාවට අග්‍රවිනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් මහතා, නීතිපති ජයන්ත ජයසූරිය මහතා හෝ එම ත්‍රිපුද්ගල මහධිකරණයේ විනිසුරුවරුන් ලෙස පත්කර සිටින සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් සහභාගී නොවීමයි. මේ අවස්ථාවට අධිකරණ අමාත්‍යවරිය සමඟ සහභාගි වූයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පමණි. ඊට අමතරව උසාවි රෙජිස්ටාර් උපුල් නන්දන මහතා ද එක්ව සිටියේය. එහෙත් මෙම අවස්ථාවට සාමාන්‍ය සම්ප්‍රදායට අනුව සහාභාගි වන සෙසු ප්‍රභූවරුන් නොපැමිණීම මාධ්‍යය ද වාර්තා කර තිබිණි. එසේ නොපැමිණියේ ඒ අයට ආරාධනා කරන නොතිබීම නිසාද එසේත් නැතිනම් වෙනත් හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත. කෙසේ හෝ ගිය 21දා විවෘත කරන ලද ප්‍රථම ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගය සඳහා සූදානම් කර තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ප්‍රමුඛ වගඋත්තරකරුවන් සිව්දෙනකුට එරෙහි නඩුවය. එම නඩුව 24දා විභාගයට ගැනිණි. ආරම්භයේදීම නඩුවේ විත්තිකරුවන් ඇපමත මුදා හැරිණි.

පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කිරිමට අදාළව ගිය සිකුරාදා පාර්ලිමේන්තුවට විපක්ෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. එම යෝජනාවට ඇතුළත් වූයේ නව සීමානිර්ණය කමිටු වාර්තාවයි. 2/3ක බහුතර ඡන්දයකින් එම ඡන්ද ක්‍රමය සම්මත කරගැනීමේ අභියෝගයට රජය මුහුණ දී සිටියේය. මේ ගැන මුලින්ම තම මතය මේ සතියේ ප්‍රකාශ කළේ ජාතික හෙළඋරුමයේ නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාය. ඔහු කීවේ මැතිසබයේ පක්ෂ නායක හමුවක් කැඳවා මේ ගැන කල්තබා තීන්දුවක් ගෙන පළාත් සභා සියල්ලේම මැතිවරණ මේ වසරේ පවත්වන ලෙසයි. පැරණි මනාප ඡන්ද ක්‍රමය තම පක්ෂයට වඩාත් වාසිදායක වුවත් අලුත් ඡන්ද ක්‍රමය වඩාත් දියුණු ඡන්ද ක්‍රමයක් ලෙස සලකන බැවින් එහි පත්වීමේ අනුපාත ප්‍රතිශත ඕනෑනම් වෙනස් කරගෙන ඡන්දය පැවැත්වීම රජයේ යුතුකම යැයි අමාත්‍ය රණවක සඳහන් කළේය. පළාත් සභා 3ක ඡන්ද වසරකට වැඩි කාලයක් පමාවීම ප්‍රජාතන්ත්‍රවාදයට පහරක් බවද ඔහු කීය.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මේ ගැන අදහස් දැක්වූ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ ජ.වි.පෙ දේශපාලන මණ්ඩලය දීර්ඝ සාකච්ඡාවකින් පසු ගත් තීන්දුවයි. නව මැතිවරණ ක්‍රමයට ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණ සහාය දෙන බව සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. එහෙත් සීමා නීර්ණය කමිටු වාර්තාවේ සමහර කරුණු සම්බන්ධයෙන් තම පක්ෂය එකඟ නොවන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.

මේ ගැන කල්තබා ප්‍රකාශයක් කළ වතුකර පක්ෂ තුනකින් සැදි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝගනේෂන් කීවේ තම පක්ෂයේ මන්ත්‍රින් මෙම සීමා නීර්ණය වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන වගයි. මේ ක්‍රමය ක්‍රියාත්මක වුවහොත් රට අවුලෙන් අවුලට යන බව අමාත්‍ය ගනේෂන් කීය. තමන් බලාපොරොත්තු වන්නේ මේ වාර්තාවට පක්ෂ ගණනාවකම මන්ත්‍රින් විරෝධය පළකරනු ඇති බව යැයි ද ඔහු පැවසීය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් හා මහජන කොංග්‍රස් නායක රිෂාඩ් බදුයුදීන් යන මහත්වරුද මේ ගැන මුලසිටම සිය අප්‍රසාදය පළකර තිබූ අතර ඔවුන් ඡන්දය ප්‍රකාශ කරන්නේද ඊට එරෙහිව බව ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නව සීමානිර්ණය කමිටු වාර්තාවට පක්ෂව ඡන්දය දෙනු ඇතිබව කියැවිණි. එ.ජා.ප.ය ද පැරණි ඡන්ද ක්‍රමය යටතේ මෙම පළාත් සභා ඡන්දය පැවැත්වීමට පක්ෂ බව දිගින් දිගටම කියා තිබුණි. නව ක්‍රමයට එ.ජා.පයද අවසන් මොහොතේ විරුද්ධ බව කීය.

මෙම පාර්ලිමේන්තු ඡන්දයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකිරීමට නියමිතව ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයටයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රින් 69 දෙනකුගේ සහාය ලබන මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ඒකාබද්ධය මෙම වාර්තාවට පක්ෂ නොවන බව ප්‍රකාශ කළේය. පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම කියාසිටියේ පැරණි මනාප ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන ලෙසයි. කෙසේහෝ ඒකාබද්ධය මේ ගැන අවසන් තීන්දුව ගනු ඇත්තේ අවසන් මොහොතේ බවද කියැවිනි. ඔවුනට මෙහිදී ජයගත යුතු ඉලක්ක ගණනාවක් ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඒකාබද්ධයේ පක්ෂ නායකයන් ගණනාවක් කල්තබාම පෙන්වාදී තිබිණි. රජය පාර්ලිමේන්තුවේදී 2/3 ඡන්දයෙන් සම්මත කරගන්නට යන මෙම වාර්තාව 2/3 ඡන්දයෙන් සම්මත වුවහොත් තවදුරටත් ආණ්ඩුවට 2/3 බලය ඇතිබව තහවුරු වන නිසා ආණ්ඩුවට මැතිසබයේ 2/3 බලය අහිමි බව රටට පෙන්වීමට මෙය කදිම අවස්ථාවක් බව ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහසය. එයද සැලකිල්ලට ගෙන ඔවුන් මෙවර ඡන්දය පාවිච්චි කරනු ඇතැයි කියැවිනි. පළාත් සභා මැතිවරණ සීමානීර්ණය වාර්තාවට එ.ජා.ප.ය ඒකාබද්ධය ප්‍රමුඛ පක්ෂ ගණනාවක් විරුද්ධ වීම නිසා අවසන් මොහොතේ ශ්‍රී.ල.නි.ප.ය ද ඊට විරුද්ධව ඡන්ද දීමට තීන්දු කළේය. ශ්‍රී.ල.නි.ප.යේ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ඉදිරිපත් කළ පනතට ශ්‍රී.ල.නි.ප.යම විරැද්ධ වීම විශේෂ සිද්ධියකි. අනතුරුව මේ ගැන ඉදිරි පියවර නිර්දේශ කිරීම සඳහා කතානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළේය. එහි වාර්තාව මාස දෙකක් තුළ ඉදිරිපත් කළ පසු පළාත් සභා ඡන්දය ගැන ඉදිරි පියවර ගැනීමේ අවසරය කතානායකවරයාට ලැබේ.

මහින්ද රාජපක්ෂ මහතා සියබාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍ර රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු සිදුවන තෙක් රැඳී සිටින්නේ මැදමුලනේය. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ නායකයන් ලෙසත් මැදමුලන රාජපක්ෂ නිවසට පැමිණ චන්ද්‍ර රාජපක්ෂ දේහයට අවසන් ගෞරව දැක්වූ අතර දැනට විදේශ ගතව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ඇමෙරිකානු සංචාරය නවතා මෙරටට පැමිණියේය. එහෙත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොස් සිටින බැසිල් රාජපක්ෂ මහතා පැමිණ සිටියේ නැත.

හිටපු ජනාධිපතිවරයා මැදමුලන නිවසේ සිය සොහොයුරාගේ අවමංගල්‍යය වෙනුවෙන් රැඳී සිටියදී ඉන්දීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි ලංකාවට පැමිණියේ රාජපක්ෂ මහතාට ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙස දැනුම් දීමටයි. ඔහු කොළඹට පැමිණෙන විට මහින්ද රාජපක්ෂ මහතා සිටියේ මැදමුලන නිවසේය. ඒ නිසා රාජපක්ෂ මහතාට සිය ආරාධනය භාරදීමට සුබ්‍රමනියම් ස්වාමි මහතා හෙලිකොප්ටර යානයකින් මැදමුලන නිවසට ගොස් රාජපක්ෂ මහතාගේ සොහොයුරාට අවසන් ගෞරව දක්වා හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද මුණගැසී අදාළ ආරාධනාව භාරදුන්නේය.

රාජපක්ෂ ආණ්ඩුව කරපු පව්ගෙවා ජනතාව වෙනුවෙන් වත්මන් රජයට පිංකරගන්නට අවස්ථාව ලැබුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ දෙනියායේ පැවති ඉඩම් ඔප්පු ප්‍රදාන උත්සවයක දීය. වත්මන් රජය බිම් මට්ටමේ සංවර්ධනය මිස රූපවාහිනියෙන් වැඩ පෙන්වන්නේ නැතැයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබිණි. මේ රජය ජනතාවට වැඩකරනවා මිස බොරු කරන්නේ නැතැයි කී අගමැති රනිල් මහරජාණෝ බලයේ සිටියානම් මෙතරම් වැඩ කරන්නේ දැයි ප්‍රශ්න කළේය. නොයෙක් පසුගිය ආණ්ඩුවේ ණය කන්දේ බර අඩු කරගනිමින් ගතවූ වසර තුනහමාරේ ජනතාවට දැනෙන සංවර්ධනයත් වත්මන් ආණ්ඩුව විසින් කරන ලද වග අගමැතිවරයා මෙහිදී අවධාරණයෙන් පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වේදිකාවල ජනතාව දැනුවත් කරමින් රට පුරා දේශන මාලාවකට සහභාගී වෙමින් සිටී. ජ.වි.පෙ. නායකයා පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කයේ දේශන මාලාවකට එක්වෙමින් විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් කරුණු කීය. වසර 40 කාලයක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට අගමැති ප්‍රධාන පාර්ලිමේන්තුවක පාලනයක් අවශ්‍ය බව ඔහු මේ දේශන මාලාවෙන් අවධාරණය කර සිටී. විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තරම් සුදුසු දේශපාලන සංස්කෘතියක් රට තුළ නැතැයි ද ඔහු සඳහන් කළේය. ඒ සඳහා සුදුසු පුද්ගලයන්ද මේ රටේ නොමැති බැවින් ඊට විකල්පයක් අවශ්‍ය බව ජ.වි.පෙ නායකයා පැවසීය. එම නිසා දේශපාලන සංස්කෘතියේ වෙනසක් සඳහා ජනතා විමුක්ති පෙරමුණටත් අවස්ථාවක් ලබා දෙනලෙස ඔහු ඉල්ලා සිටියේය.  

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර