2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

හදිසි ජනපතිවරණය ගැන සභානායකගෙන් ඉඟියක්

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 408

⇔ දේශපාලනයෙන් සාක්කු පුරවා නොගත් කෙනෙක් ගැන ජනපතිගෙන් සහතිකයක්.
⇔ තමන්ගේ පියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හඳුන්වන්න සමහර දරුවන් අකමැතියි.
⇔ දෙමළ සන්ධානය සමගි කරන්න ජනාධිපති නීතිඥයෙක්.
⇔ රාජපක්ෂලාට මඩගැසීමට අාරක්ෂක අංශ යොදාගෙන අැතැයි මහින්ද සී.අයි.ඩී. යට කියයි.
⇔ මෝටර් රථ ධාවන ශූරයාගේ මරණ තර්ජනය ගැන අගමැති අණින් පරීක්ෂණ.
⇔ මිල සූත්‍රය අමු බොරුවක්යැයි ජ.වි.පෙ. මහ ලේකම් පවසයි.
⇔ දුම්රිය සේවක වැටුප් හබයේදී මංගල දැඩි මතයක.

අධිකරණ තීන්දුවක් මත සිරදඬුවම් ලබා ඇති ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට සමාවක් ලබාගැනීම සඳහා මහා සංඝරත්නය මැදිහත්වෙමින් සිටිති. මේ ගැන මූලික සාකච්ඡාවක් කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඉකුත් සතියේ පැවැත්වුණි. ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් ගණනාවක් මහානාහිමියන් මුණගැසී ඥානසාර හිමියන්ට සමාවක් ලබාගැනීම සම්බන්ධයෙන් මහනාහිමියන් දැනුවත් කළෝය. එම කතාබහෙන් පසුව මහනාහිමියන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ උන්වහන්සේට ජනාධිපති සමාවක් ලබාගැනීම සම්බන්ධයෙන් ස්වකීය සංඝ සභාව රැස්වී කඩිනමින් තීන්දුවක් ගෙන ප්‍රකාශයට පත්කරන වගයි. මේ ගැන නායක හිමිවරුන් නිරන්තරයෙන්ම සාකච්ඡා කරන බවද උන්වහන්සේ පැවසූහ. ඥානසාර හිමියන් මෙතෙක් ක්‍රියාකර ඇත්තේ තමන්ගේ පෞද්ගලික අභිමථාර්ථ උදෙසා නොව උන්වහන්සේ දකින යථාර්ථය අනුව රට දැය ගැන සිතාමතා බව වදාළ මහතාහිමියෝ ඉදිරියේදී ජනාධිපතිතුමාට මේ ගැන කරුණු දන්වා ඥානසාර හිමියන්ට සමාවක් ලබාගැනීමට ක්‍රියාකරන්නේ යැයි කීහ.

සිරදඬුවම් ලබන විටත් දැඩිලෙස රෝගාතුරව සැත්කමකට ද භාජනය වීම සඳහා රෝහල්ගතව සිටි ඥානසාර හිමියෝ දැන් තරමක සුවෙන් සිටිති. 

ඒ අතර මේ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දැනුම්වත් කර අවශ්‍ය පියවර ගැනීමට අගනුවර ප්‍රධාන පෙළේ විහාරස්ථාන ගණනාවක නාහිමිවරුන් මහනුවර බලා වැඩමකිරීමට නියමිතය. දැනටමත් අස්ගිරි මහා විහාරය මෙම ප්‍රශ්නයට මැදිහත් වන බව ප්‍රකාශ කර ඇත.

මේ සතියේ ආරම්භයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් දුම්රිය වැඩවර්ජනය සමතයකට පත්කෙරිණි. ඒ සඳහා ජනාධිපතිවරයාගේ පොළොන්නරු නිවසේ පැවති සාකච්ඡාවට දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පොළොන්නරුවට පැමිණ සිටියහ. ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලූ ජනාධිපතිවරයා එම ඉල්ලීම් ඉටුකිරීම සාධාරණයැයි පවසා ඒ මොහොතේම ඇමැති ආචාර්ය සරත් අමුණුගම අමතා දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කෙරෙන චක්‍රලේඛනය ක්‍රියාත්මක කරන්නැයි දැන්වීය. ඒ සමඟ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් වැටුප් කොමිසමේ සභාපතිවරයාටත් කතා කළ ජනපතිවරයා ඊට අදාළ පියවරගන්නැයි සඳහන් කර තිබිණි.

ජනාධිපතිවරයා විසින් දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට හා අදාළ බලධරයන්ට දන්වා තිබුණ ද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අදහස වූයේ ඒ ඒ සේවාවන්ගේ වැටුප් ප්‍රශ්න වෙන වෙනම විසඳන්නට නොයායුතු බවය. ඒ සඳහා පොදුවේ නව වැටුප් කොමිසමක් පත්කළ යුතුයැයිද යෝජනා විය. වර්තමානයේත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධරයකු වන ඒ.එල්. විජේරත්න මහතාගේ සහභාගීත්වයෙන් වැටුප් කොමිසමක් ක්‍රියාත්මකය. නමුත් ජනාධිපතිතුමා දුම්රිය සේවක වැටුප් ප්‍රශ්නය වෙනම විසඳන බව කීම නිසා මංගල සිටියේ තරමක අපහසුතාවට පත්වය. ඔහු තමන්ගේ ඇතැම් සමීප මිතුරන් සමඟ මේ තත්ත්වය යටතේ මුදල් විෂය වෙනත් කාට හෝ පවරා ජනමාධ්‍ය පමණක් තමන් භාරගැනීමට සූදානම් යැයි කියා තිබූ බවටද ආරංචි පැතිර ගියේය. ඉහළින් ගන්නා ඇතැම් තීරණ ක්‍රියාත්මක කරන්නට යාමේදී තමන් දැඩි අසීරුවට පත්වන බැවින් මෙවැනි අදහසක් මංගල ප්‍රකාශ කළ බවද දැනගන්නට ඇත.

කෙසේ හෝ අඟහරුවාදා උදෑසන රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවේදී විවිධ සේවාවල වැටුප් ප්‍රශ්න මතුවිය. එහිදී මංගල යෝජනා කළ වැටුප් කොමිසම පත්කළ යුතු බවට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කැරිණි. දැනට ක්‍රියාත්මක ස්ථාවර සේවක සංඛ්‍යාව හා වැටුප් කොමිසම වෙනුවට පත්කෙරෙන මෙම තාවකාලික කොමිසම රජයේ සියලු සේවාවල වැටුප් විෂමතා ඉවත්කිරීමට අදාළ නිර්දේශ මාස දෙකක් තුළ ලබාදිය යුතුයැයි ද අමාත්‍යවරු කීහ. අනතුරුව අමාත්‍ය සරත් අමුණුගම මහතා අමාත්‍ය මණ්ඩලයට විශේෂ දැනුම්දීමක් කළේය. දැනට ශ්‍රී ලංකාවට ඉන්ධන සපයන ප්‍රධාන රටවන ඉරානයට අමෙරිකානු ඩොලර්වලින් ගනුදෙනු කළ නොහැකි ලෙස සම්බාධක පනවා ඇති නිසා ඉරානය ශ්‍රී ලංකාවට අනුග්‍රහයක් වශයෙන් රුපියල්වලින් ගනුදෙනුකොට තෙල් අලෙවියට කැමැත්ත පළකළ බව අමුණුගම මහතා කීය. අනතුරැව ඒ ගැන අධ්‍යයනයට අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය අමුණුගම, අමාත්‍ය අර්ජුන රණතුංග ගෙන් සමන්විත කමිටුවක් කැබිනට්ටුව විසින් පත්කරන ලදී.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගිය අඟහරුවාදා මෝටර් රථ ධාවන ශූරයකු වන ඩිලන්ත මාලගමුවට දුරකතනයෙන් කතා කළේය. ඒ ඔහුට මරණීය තර්ජන එල්ල වී ඇතිබව සඳහන් කරමින් පළවූ මාධ්‍ය වාර්තා නිරීක්ෂණයෙන් පසුවය. මාලගමුවගෙන් ඒ ගැන පූර්ණ තොරතුරු විමසා බැලූ රනිල් වික්‍රමසිංහ මහතාට බොහෝ තොරතුරු දැනගන්නට ලැබිණි. ප්‍රාදේශීය දේශපාලනඥයකු බන්ධනාගාරගතව සිටින සිරකරුවකු මාර්ගයෙන් මේ සැලැසුම ක්‍රියාවට නංවන බවද පවසා තිබිණි. ඒ ගැන අවශ්‍ය තොරතුරු පොලිස්පතිවරයාට දැනුම්දී වහාම සුදුසු පියවර ගන්නා බවට අගමැතිවරයා මාලගමුවට පොරොන්දු විය. ඒ අනුව එදිනට ඩිලන්ත මාලගමුව ඝාතන සැලසුම ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කැරිණි.

පළාත් සභා මැතිවරණයට පෙර හදිසියේම ජනාධිපතිවරණයක් පැවැත් වීමට ඉඩ ඇතැයි “දේශය” පුවත්පත් හෙළිදරව්ව තහවුරු කරමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා අදහස් දැක්වීය. ලබන ජනවාරි මාසයෙන් පසු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය කැඳවීමට හැකි නිසා හදිසි ජනපතිවරණයකට ඉඩ ඇති බවද ඔහු සඳහන් කළේ මහනුවරදී පැවති පළාත් පාලන නියෝජිතයන්ගේ විශේෂ හමුවකදීය. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා එ.ජා.ප.ය අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව සඳහන් කළ කිරිඇල්ල මහතා එ.ජා.ප. අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව නම නොකියා ඉඟි කළේය.

ඒ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන තවත් අපේක්ෂකයන් ගැන කතා පැතිරෙන්නට පටන්ගෙන තිබේ. චම්පික රණවක, රාජිත සේනාරත්න, ආණ්ඩුව පැත්තෙන් එසේ කියැවෙන නම්ය. ඒ හැර ඒකාබද්ධ විපක්ෂයෙන් ස්ථිර වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සැලැසුම්කර තිබේ. ඇතැම් පිරිස් ව්‍යවස්ථාවේ ඇති එක්තරා දුර්වල ප්‍රතිපාදනයක් උපයෝගී කරගෙන නැවතත් මහින්ද රාජපක්ෂ මහතාට වුවද තරග කළහැකියැයි සඳහන්කර තිබෙන බව මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දවසක සිය පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ සඳහන් කළ නමුත් ඒ ගැන මහින්ද රාජපක්ෂ මහතා කිසිදු උනන්දුවක් දක්වා නැත. වාසුදේව නානායක්කාර මහතා පමණක් එහිදී කියා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට නැවත තරග කළහැකිද යන්න ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයක් මගින් තහවුරු කරගත යුතු වගය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ සතියේ රැස්වූයේ අඟහරුවාදාය. එදින සවස 6.00ට මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී රැස්වූ ඔව්හු ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කර තිබුණේ විපක්ෂ නායක පදවිය ලබාගන්නට ඒකාබද්ධය ස්වාධීන විය යුතුය යනුවෙන් ඉදිරිපත් කර තිබූ යෝජනාව ගැනයි. ඒ ප්‍රශ්නය මතුවූ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී කණ්ඩායමෙන් මතය විමසීය. රන්ජිත් සොයිසා ඇතුළු මන්ත්‍රීහු තමන් ස්වාධීන විය යුතුයැයි තරයේම කීහ. එවිට මහින්ද රාජපක්ෂ මහතා වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා දෙසට හැරී වාසු මොකද කියන්නෙ යනුවෙන් ප්‍රශ්න කළේය. “මම කොහොමත් ස්වාධීන කෙනෙක්නේ.” කියා වාසු පිළිතුරු දුන්නේ සැමෝම සිනාගන්වමිනි. අනතුරුව කණ්ඩායමේ කාගේත් කැමැත්ත අනුව මේ ගැන සොයාබලා කඩිනමින් වාර්තාවක් සපයාගන්නට කමිටුවක් පත්කළේය. එහි ප්‍රධානියා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් නම් කැරිණි. සුසිල් ප්‍රේමජයන්ත, දිනේෂ් ගුණවර්ධන, ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ සාමාජිකත්වයට පත්කළහ. මෙම කමිටුව දැමූ පසු ඒකාබද්ධයේ පසුපෙළ මන්ත්‍රීන් විහිළුවෙන් මෙන් කීවේ “අපේ ලොක්කත් රනිල්ගෙන් ඉගෙනගෙන හැමදේටම කමිටු දානවා.” කියාය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස ක්‍රියාකරන බවට ප්‍රකාශ කළහොත් ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි වන බව මැතිසබයේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතාද ප්‍රකාශ කර තිබිණි. ඒකාබද්ධයට විපක්ෂනායක ධූරය ලබාගැනීම සඳහා සිය පක්ෂය ස්වාධීන වියයුතු යැයි පසුගියදා මැතිසබයේදී කියා සිටියේ ඩලස් අලහප්පෙරම මන්ත්‍රීවරයාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා හිටපු අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ ගුණසමරු උළෙලට සහභාගීවීම සඳහා කන්තලේට ගියේය. එහිදී ගුණවර්ධන මහතා අනුස්මරණය කරමින් ඇරඹූ නව ව්‍යාපෘති ගණනාවක් විවෘත කළ ජනාධිපතිවරයා ගුණවර්ධන මහතා ජනතා නියෝජිතයකු ලෙස සැබෑවටම රටට සේවය කළ කෙනෙක් බව සඳහන් කළේය. දූෂණයෙන් හා වංචාවෙන් තොරව රටට සේවය කරන්නේ අතලොස්සක් යැයි කී ජනාධිපතිවරයා ගුණවර්ධන මහතා දේශපාලනයෙන් සාක්කු පුරවා නොගත් දේශපාලනඥයකු ලෙස හැඳින්වීය.

ශ්‍රී.ල.නි.ප.යේ ජාතික සංවිධායක ලෙස ක්‍රියාකරන දුමින්ද දිසානායක මහතා පසුගිය කාලයේ දේශපාලන වේදිකාවේ දිගින් දිගටම පහරදුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටය. රටේ මෙතෙක් සිදුව ඇති සියලු විනාශයන්ට වගකිවයුත්තේ මහින්ද රාජපක්ෂ යැයි කී දුමින්ද දිසානායක අමාත්‍යවරයා මහින්දට නැවතත් ජනාධිපතිවරණයට තරග කළ නොහැකි වාතාවරණයකදී ඔහු දේශපාලනයේ රැඳීසිටීමෙන් රටේ ප්‍රශ්න රාශියක් ඇතිවී තිබෙනවගද කියා සිටියේය. මහින්ද රාජපක්ෂ යුද්ධය හමාරකොට ගෞරවයක් ලබාගත්තාසේම දේශපාලන සංස්කෘතිය ව්‍යාකූල කිරීමේ වගකීමද ඔහු විසින් භාරගත යුතුයැයි දුමින්ද දිසානායක අමාත්‍යවරයා කීය.
ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටී. බොහෝ දුෂ්කර ප්‍රදේශවල ජනතාව අමතමින් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට මෙවර ජ.වි.පෙ. ප්‍රමුඛතාව ලබාදී ඇත. පසුගියදා ඇඹිලිපිටිය කොවුල්ආරට ගිය ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජනතාව අමතමින් වත්මන් රජය ජනතාවට සලකන ආකාරයත් රටේ උරැමය විජාතිකකරණය කිරීමත් ගැන කතා කළේය. ණය උගුලක සිරවී සිටින යහපාලන ආණ්ඩුව දැන් එදා වේල පිරිමසාගන්නේ ජාතික සම්පත් ටික විකුණාගෙන කෑමෙන් බව මෙහිදී ටිල්වින් සඳහන් කළේ උදාහරණද ඉදිරිපත් කරමිනි. “තෙල් මිල නග්ගන්න ඕන වුණාම ඒකට සූත්‍රයක් තියනවය කියනවා. ඒක අමූලික බොරුවක්. මෙයාලට එහෙම මිල සූත්‍ර හදන්නවත් ක්‍රියාත්මක කරන්නවත් බැහැ...” යැයි ද ටිල්වින් කීය. තමන්ට සෙතක් නොවන කිසිදු සූත්‍රයක් ජනතාව පිළිනොගන්නා බවද ඔහු අවධාරණයෙන් පැවසීය. ආණ්ඩුව නන්නත්තාරවී සිටින වෙලේ ඊට කරන එකම පිළියම රටේ ජාතික සම්පත් විකුණාගෙන කෑම බව හෙතෙම සඳහන් කළේය.

නේෂන් පුවත්පත් සේවය කරමින් සිටියදී පැහැරගත් කීත් නොයාර් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නට රහස් පොලිසිය තීන්දු කළේය. ඒ අනුව රහස් පොලිසියේ අධ්‍යක්ෂ රවි සෙනවිරත්න මහතාගේ අත්සනින් යුත් විශේෂ ලිපියක් පසුගිය අඟහරුවාදා රාත්‍රි 10.00ට පමණ මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ නිවසට ගෙනගොස් භාරදුන්නේ පොලිස් නිලධාරියකු විසිනි. අනතුරුව එම පොලිස් නිලධරයාගෙන් මහ රාත්‍රි සිතාසි භාරදීම ගැන රජපක්ෂ මහතා ප්‍රශ්න කර තිබිණි.

අනතුරුව පොලිස් නිලධරයා දුන් ලිපිය කියවා බැලූ හිටපු ජනාධිපතිවරයා ඔහුට ප්‍රකාශ කළේ “මෙයට කලිනුත් මම මේ ගැන දන්වල ප්‍රකාශයක් ලබාදෙන්න තිබ්බ... ඒ අනුව ප්‍රකාශය ලබාගන්න දින දෙකතුනක් මම ඔයාලට දුන්නා... ඒ එක දවසකවත් ඕගොල්ලො ආවෙ නැහැ... දැන් කියනව 17ද ප්‍රකාශය ගන්නව කියල... එදාට මම කළින් භාරගත්ත මඟුල් ගෙවල් ගණනාවක් තියනව. සමහර ඒවයේ සාක්කියට අත්සන් කරන්නයි යන්නේ. ඔය අතරේ මම ඉඩ තිබෙන වෙලාවක ගෙදර එනව... එතකොට ඇවිත් ප්‍රකාශය ලබාගන්න...” යනුවෙනි. ඒ අනුව හිටපු ජනපතිගේ ප්‍රකාශය ලබාගන්නට පැමිණෙන බව කී පොලිස් නිලධරයා පිටත්ව ගියේය. පසුව කීත් නොයාර් මාධ්‍යවේදියා පැහැර ගෙනයාමේ සිද්ධිය ගැන මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය 17 සිකුරාදා සටහන් කරගත්තේ රාජපක්ෂ මහතාගේ නිලනිවසේදීය.

හිටපු ජනාධිපතිවරයාගෙන් මේ ගැන ප්‍රශ්න කිරීම සඳහා ඔහුගේ නිවෙසට පැමිණියේ රහස් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු උසස් නිලධාරීන් පිරිසකි. ඔවුන් කීත් නොයාර් පැහැරගත් දිනයේ මහින්ද රාජපක්ෂ මහතාට කතානායකවරයා කළ දැනුම්දීම හා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරයකු කළා යැයි කියන දැනුම්දීම ගැන කරුණු විමසීය.

එදින ගෝඨාභය රාජපක්ෂ මහතා හා මහින්ද රාපජක්ෂ මහතා අතර හුවමාරු වූ දුරකතන ඇමතුම් ගැනද ඇසීය. එවිට මහින්ද කීවේ මෙය දස වසරකට පමණ පෙරවූ සිද්ධියක් නිසා තමන්ට ඒ ගැන මතක නැතත් ආරක්ෂක ප්‍රශ්නයක් ඇත්නම් තමන් ගෝඨාභයට, ලලිත් වීරතුංගට කතා කරන බවය. එසේම මෙම ප්‍රශ්න කිරීම් හුදෙක් දේශපාලන වුවමනාව මත රාජපක්ෂලාට පහරදීමේ අරමුණින් කරන බව තමන් ප්‍රකාශ කළ බව විශේෂයෙන් සටහන් කරගන්නයැයිද මහින්ද රහස් පොලිස් නිලධරයන්ට පැවසීය.

දෙමළ ජාතික සන්ධානය මේ දිනවල උණුසුම් දේශපාලන සාකච්ඡාවක නිරතව සිටින්නේ තිරය පිටුපසය. පළාත් සභා හෝ ජනාධිපතිවරණ කතා පැතිරයන්නට පටන් ගැනීමත් සමඟ දෙමළ ජාතික සන්ධානය එකමුතුකොට ඔවුන්ගේ ජනමතය නොබෙදී තබාගන්නට පාර්ශව ගණනාවක් උත්සාහ දරති. උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් හා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානීන් වන සම්පන්දන්, සුමන්තිරන්, මාවෙයිසේනාධිරාජා ආදීන් අතර අළුයට ගිනිමෙන් ප්‍රබල මතගැටුමක් හටගෙන තිබේ. උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් හා සම්පන්දන්ලා අතර තිබෙන බලඅරගලය නිසා විග්නේෂ්වරන් රැඩිකල් දෙමළ කොටස් එක්කර ගෙන වෙනම දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීමට අරඅඳී. එම තත්ත්වය වළක්වා සම්පන්දන් හා විග්නේෂ්වරන් අතර සමගිය ඇතිකිරීමට තානාපතිවරුන් ගණනාවක් හා දෙමළ ප්‍රභූන් ගණනාවක් මැදිහත්ව මේ දිනවල රහසිගත සාකච්ඡා මාලාවක් දියත් කර තිබේ. කොළඹ සිටින ඉතාමත් සුප්‍රකට දෙමළ ජාතික ජනාධිපති නීතිඥවරයකුගේ නිවසේ මෙම සාම සාකච්ඡාව පවත්වමින් සිටින බව දේශයට වාර්තා වෙයි. විශේෂයෙන්ම දෙමළ සන්ධාන ජ්‍යෙෂ්ඨයන් වන මාවෙයි සේනාධිරාජා සහ මන්ත්‍රී සුමන්තිරන් දෙදෙනා මහඇමැති විග්නේෂ්වරන්ට දක්වන ප්‍රබල විරෝධය සමහන් කිරීමට මෙම සාකච්ඡාව උපයෝගී කරගන්නා බවද කියැවේ. කෙසේ හෝ මෙතෙක් පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ සන්ධාන නායක සම්පන්දන් හා මහඇමැති විග්නේෂ්වරන් අතර හොඳ හිත වර්ධනය වී ඇතැයි කියැවේ. සෙසු පිරිස් සමඟ සුහදතාව වර්ධනයට සාකච්ඡාවේ මැදිහත්කරුවන් සහ ගෘහපති ජනාධිපති නීතිඥවරයා ප්‍රබල උත්සාහයක් දරමින් සිටින බව දැනගන්නට ඇත.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරණතුංග මහත්මිය නැවතත් පුවත් මවන්නට පටන්ගෙන තිබේ. පසුගියදා ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවට තමන්ට ආරාධනා නොකළ බවට චෝදනා කරමින් ඝෝෂා කළ හිටපු ජනාපතිනිය මෙවර පැටලුණේ ජනමාධ්‍ය සමඟය. අත්තනගල්ල ප්‍රදේශය සංවර්ධන කමිටුවේ සම සභාපතිනිය ලෙස එය වාර්තාකරන්නට ගිය මාධ්‍යවේදීන්ට දොස්නගා ඔවුන් එතැනින් පන්නා දැමීමට ක්‍රියාකිරීම හේතුවෙන් ජනමාධ්‍ය සංවිධාන ගණනාවක් ගම්පහදී සහ තවත් පළාත් ගණනාවකදී හිටපු ජනපතිනියට විරෝධය දැක්වීම සඳහා විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබිණි. හිටපු ජනාපතිනිය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උදුරාගත් බව කියමින් ඔව්හු මෙම විරෝධතාවට එක්වූහ.

කතානායක කරු ජයසූරිය මහතා ගිය සිකුරාදා දහවල් මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් හමුවිය. සුහද හමුවක් වූ මෙහිදී පාර්ලිමේන්තු ක්‍රියාදාමය සහ එහි අත්දැකීම් ගැන මාධ්‍ය ප්‍රධානීන්ට කරුණු දැක්වූ කතානායකවරයා අද ඇතැම් මන්ත්‍රීන්ගේ හැසිරීම ගැන දැඩි කනගාටුව පළ කළේය. මන්ත්‍රීන් හතර දෙනෙක් හෝ පස්දෙනෙක් ඉතාමත් අශෝභන ලෙස හැසිරෙමින් සභාවේ ගෞරවය නැති කරන බව කී ගරු කතානායකවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වදින අශීලාචාර ලෙස හැසිරෙන මේ අයගේ ක්‍රියා කලාපය නිසා ජනතාව පාර්ලිමේන්තු ක්‍රමය ගැන කලකිරී සිටින බව කීය. පාර්ලිමේන්තුවේ සිටින වැදගත් මැති ඇමැතීන්ගේ දරුවන් තමන්ගේ පියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හැඳින්වීමට විරැද්ධ වූ අවස්ථා තමන්ට වාර්තා වී ඇතැයි කතානායකවරයා වැඩිදුරටත් කීය.

►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර