2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

කෝච්චියේ පඩියට කැබිනට්ටුවේ ගින්නක්!

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 197

►ජනපති පොළොන්නරුවේ මහජන සේවා රැසකට මුලපුරයි

►රතන හිමියන්ට යහපාලනය එපාවෙලා

►රනිල් තිරුපති වන්දනාවක

►උතුරේ ප්‍රශ්නයටගෝඨා දෙන විසඳුම දෙමළ කතුවරුන් හමුවට

►ව්‍යවස්ථා කොපියට හොර අත්සන් ගැසූ අය ගැන ඒකාබද්ධය විවාදයක් ඉල්ලයි

 

 

සතියේ වඩාත්ම අවධානයට ලක්වූ දේශපාලන පුවත මැව්වේ අතුරලියේ රතන හිමියන්ය. 2014 වසර අවසානයේ මහින්ද රාජපක්ෂ රජයෙන් එළියට බැස මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ යහපාලන රජය පිහිටුවීමට මූලික වූ උන්වහන්සේට දැන් ආණ්ඩුව පමණක් නොව තමන් දැරූ ජනාධිපති උපදේශක පදවිය ද එපාවී තිබේ. පසුගිය කාලය පුරාම තිරසාර පරිසර සංවර්ධනය ගැන මෙන්ම වසවිස නැති ගොවිතැන ගැන උනන්දුවූ උන්වහන්සේ රජය සමඟ දැඩි ලෙස විරසක වූයේ “ග්ලයිෆොසෙට්” නැමැති කෘෂිරසායන ද්‍රව්‍යයට පනවා තිබූ තහනම ඇමැතිවරුන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාව මත ඉවත් කළ බැවිනි. ඒ සඳහා මුල්වූ අමාත්‍ය නවීන් දිසානායක ඇතුළු පිරිසට තේ සහ රබර් වගාකරැවන්ගෙන් එල්ලවූ බලපෑම හේතුවෙන් වල්නාශකයක් ලෙස ග්ලයිෆොසෙට්වලට පනවා තිබූ තහනම අඩක් ලිහිල් කැරිණි. මේ කාරණය නිසා රජය සමඟ නොරොක් වූ රතන හිමියන් පසුගියදා රජයට සිය දැඩි විරෝධය පළකළේ විහාර මහා දේවී උද්‍යානයට කැඳවා තිබූ කාන්තා සංවර්ධන සමූපකාර සමිතියේ වාර්ෂික හමුවේදීය.

පවත්නා තත්ත්වය යටතේ තමන් ජනාධිපති උපදේශකයැයි හැඳින්වීමත් ලැජ්ජාවට කරුණක්යැයි කී උන්වහන්සේ තමන් ජනාධිපති උපදේශක පදවියෙන් වහා ඉල්ලා අස්වන බවද කීහ.

“කලින් පක්ෂ වෙන වෙන වෙනම සොරකම් කළා. දැන් ඒ ගොල්ල එකතුවෙලා ආණ්ඩුවක් හදල හොරකම් කරනවා. අපේ පාලකයො ගස්වල කොළ ගාණට ණයවෙලා. අපේ මහ බැංකුව මේ ආණ්ඩුව බාර දුන්නෙ පල්හොරෙකුට. කැබිනට්ටුව විරුද්ධවෙද්දී මේ පල්හොරාට මහබැංකුව භාරදුන්නෙ කව්ද? අපි වැරදි මිනිසුන්ට රට භාරදීල බලන් ඉන්නව... මේ යුගය ඉක්මනින් වෙනස් කරන්න ඕනෑ... යැයි දැඩි ආවේගයෙන් ප්‍රකාශ කළ රතන හිමියෝ තමන්ගේ සංවිධානයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද පැවසූහ. ඒ සඳහා නන්දසිරි ගමගේ නම් මහතෙකුගේ නමද උන්වහන්සේ යෝජනා කළහ. කෙසේහෝ රතන හිමිගේ ප්‍රකාශය දැඩි ආවේගශීලී මෙන්ම බෙහෙවින් සංවාදයට භාජනය වූ කතාවකි.

ආණ්ඩුවේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පොහොට්ටුව කණ්ඩායමේද ප්‍රශ්න මතුවී ඇත. එහි ප්‍රධාන නළුවා ලෙස දැන් ක්‍රියාකරන්නේ ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයකු වන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාය. ඔහු දිගින් දිගටම තමන්ට පක්ෂයේ ඉහළ තනතුරක් ලැබිය යුතු බව කියයි. විටෙක ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටින ඔහු විපක්ෂ නායක ධුරයට වුවද සුදුසු ශ්‍රී ලංකාකාරයා තමන්යැයි කියන්නට පටන්ගෙන ඇත. එය පොදුජන පෙරමුණ ජනාධිපති තරගයට ඉදිරිපත් කිරීමට සැරසෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට වක්‍රව කරන අභියෝගයක් සේ පෙනේ. මේ ගැන ගෝඨාභය පාර්ශ්වයද පසුවන්නේ කනස්සල්ලෙනි. කුමාර වෙල්ගම සිද්ධි මාලාව පිටුපස ඉන්නේ වෙනත් පක්ෂ බලවතෙකු බවට ගෝඨාභය පාර්ශවයේ සමහරැ තැනින් තැන කියති. 

එහෙත් මේ කිසිදු කුණාටුවකින් නොසෙල් වී තමන්ගේ කටයුතු ඉදිරියට ගෙනයන ලෙස මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් දී ඇත. මේ දිනවල රට පුරා ඔහු විසින් පවත් වන “එළිය” සම්මන්ත්‍රණවලදීත් වෙනත් ජාතික හා ආගමික උත්සවවලට සහභාගී වන අවස්ථාවලදීත් ගෝඨාභය රාජපක්ෂ මහතා කතා කරන්නේ ජාතික ආර්ථිකය ගැනයි. ආර්ථිකයේ ප්‍රශ්න, ජනතාවට බලපාන බදු බර ආදී කාරණා ගැන ගෝඨාභය සිය පුළුල් අවධානය යොමුකර විග්‍රහ කරනු දක්නට ලැබිණ. ඒ අතර ඔහු පසුගිය සති අන්තයේ මෙරට දෙමළ මාධ්‍ය කතුවරුන් වියත් මහා කාර්යාලයේදී මුණගැසී සාකච්ඡා කළේය. ඒ අය අතර තිබෙන මතවාදි ප්‍රශ්න රුසකට පිළිතුරු දුන් ගෝඨාභයගෙන් දෙමළ මාධ්‍ය කතුවරුන් විමසූ ප්‍රධානම ප්‍රශ්නය වූයේ යම් දිනක ඔබ මෙරට රාජ්‍ය නායකයා වුවහොත් උතුරේ ජනතාවට ලබාදෙන විසඳුම කුමක්ද? දේශපාලන විසඳුමක් ලබාදෙනවාද කියායි. එම හමුවට පැමිණ සිටි දෙමළ මාධ්‍ය කතුවරුන් 11 දෙනාම පාහේ මේ සම්බන්ධ සවිස්තරාත්මක පිළිතුරක් ගෝඨාගෙන් ඉල්ලා සිටියහ. එවිට ගෝඨා කීවේ දේශපාලන විසඳුම ඇතිවන්නේ උතුරේ ආර්ථික අභිවෘද්ධිය හා ආර්ථික නිදහස ඇති කිරීම තුළින් බවය. තමන් උතුරේ ආර්ථිකය ඉහළ වර්ධන අනුපාතයකට ඔසවා තබන්නට දැනටමත් ප්‍රායෝගික සැලසුමක් සකස් කර ඇතැයි ඔහු පැවසීය. “ආර්ථික නිදහසත් සමඟ තමයි දේශපාලන සාකච්ඡාව කළ යුත්තේ. එදා උමා මහේෂ්වරන්ලා උතුරේ ආයුධ ගත් වෙලාවෙ කිව්ව දකුණේ තිබෙන ආර්ථික නිදහස උතුරටත් ඕනෑ කියල. ඒත් එයාල දැනගෙන හිටියේ නැහැ උතුරේ ජනතාවට වඩා එදා දකුණේ ජනතාවට ආර්ථික ප්‍රශ්න තිබුණ බව... එයාල හිතපු දේ වැරදුණු නිසා ආයුධවලින් විමුක්තිය හොයන්න ගියා...” යැයි ගෝඨාභය කරුණු සහිතව පහදා දුන්නේය. ඒ සමඟ උතුරේ මහ ඇමැතිවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකලාපය ගැනද ගෝඨාභය කතුවරුන්ට කරුණු කීය.

මෙම කටයුතු සිදුවන අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා විසින් පොහොට්ටුව තුළ නිර්මාණය කළ අයිතිවාසිකම් සටනට ජවයක් දීමට එම පක්ෂයේ පළාත් පාලන නියෝජිත සංසදය තින්දු කළේය. එහි සභාපති උදේනි අතුකෝරළ මහතා මාධ්‍ය හමුවක් තබමින් කීවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන්නේ නම් ඒ තනතුරට මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පත්කළ යුතු බවය. තම පළාත් පාලන සංසදය ඒ සම්බන්ධ යෝජනාවක් සම්මත කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භාරදෙන්නේ යැයිද අතුකෝරළ මහතා කීය. කළුතර දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන සඳහා තේරීපත්වූ ආයතන ප්‍රධානීන් දැනටමත් ඊට අදාළ යෝජනාවක් සම්මත කරගෙන ඇතැයි ද අතුකෝරළ මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙම ප්‍රකාශය කළේ බැසිල් රාජපක්ෂ මහතා විසින් පවත්වාගෙන යන බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි පොහොට්ටුව කාර්යාලයේදී පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදීය. එබැවින් මේ ගැන මහින්ද හිතවාදීන්ගේ පාර්ශව ගණනාවක්ම කලබලවූයේ හිටපු ජනාධිපතිවරයා පවා දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම විපක්ෂ නායක ධුරයට යෝජනා කර තිබියදී වෙල්ගම මහතාගේ නම හදිසියේම මතුකළේ කාගේ වුවමනාවටද කියායි.

කෙසේ හෝ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුව ගිය අඟහරුවාදා හිටපු ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවත නිලනිවසේ පැවැත්විණි. මෙයට 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයන් වන එස්.බී, ජෝන්, සුසිල් යන මන්ත්‍රීවරැද පැමිණ සිටියහ. දැන් එයින් වෙන්ව ගොස් ඇත්තේ දයාසිරි ජයසේකර පමණි. තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ ස්ථාවරය පැහැදිලි නැත. මෙම මන්ත්‍රී හමුවේදී ප්‍රධාන තීන්දු ගණනාවක්ම ගනු ලැබීය. ලබන අඟහරැවාදා මැති සභා හමුවේදී කතානායකවරයාට විපක්ෂනායක ලෙස ඉල්ලමින් ලිපියක් භාරදීමට ඒකාබද්ධය තීන්දු කළේය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීන් 20කගේ අත්සනින් යුතුව කතානායකවරයාට තවත් ලිපියක් භාරදීමට තීන්දු කළේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත්කළ විශේෂඥයන්ගේ කමිටුව සකස් කළ වාර්තාව අනුමත කරමින් සැකසූ ලිපියේ ඇති සමහර අත්සන් හොර අත්සන් යැයි එම විශේෂඥයන් කළ හෙළිදරව්ව ගැන විමර්ශනය කරන ලෙස ඉල්ලමිනි. ඒ සඳහා වහාම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය කැඳවන ලෙස ඉල්ලා සිටීමටද ඒකාබද්ධය තීන්දු කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය. ඊට අමතරව රාජ්‍ය දේපල විකිණීම සම්බන්ධයෙන් ජාතික මට්ටමේ විරෝධතා දැක්වීම සඳහා මෙම කටයුතුවලට විරුද්ධ සියලු වෘත්තීය සංගම් එකතුකොට රාජ්‍ය දේපොල විකිණීමට එරෙහි වෘත්තීය සමිති සන්ධානයක් සැදීමටද ඒකාබද්ධ විපක්ෂය තීරණයක් ගත්තේය. දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, වාසුදේව නානායක්කාර මහත්වරුන්ට එහි වගකීම් පැවරැණු බවද කියැවේ. රාජ්‍ය දේපොල විකිණීමට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සංගම්ද ඊට එක්කර ගැනීමට නියමිතය.

මේ ආකාරයට පක්ෂනායක රැස්වීම් පවත්වා අවසාන වෙද්දී මහින්ද තීරණාත්මක කතාවකට බැස්සේය. “අපේ මන්ත්‍රීවරු සියලුම දෙනා අවධානයෙන් අහගන්න. අපි විපක්ෂය ඒකාබද්ධව එකමුතුව හොඳට ගොඩනගල තියෙද්දී පක්ෂය ඇතුළේ කළ යුතු කතා එළියට ගිහිල්ල කියන්න අපේ සමහරු දැන් පුරුදුවෙලා ඉන්න බව පේනවා. කවුරුත් මතක තියාගන්න වහාම තැන් තැන්වල අනවශ්‍ය කතා කීමෙන් වළකින්න ඕන. අපේ හිතවතුන් සහ රාජ්‍ය සේවකයො පවා දැන් අපෙන් මේව ගැන ප්‍රශ්න කරනවා. ඇතුළේ කළයුතු කතා මින් පස්සේ එළියේ කතා කරන්න බැහැ. රත්නපුරේ ප්‍රශ්නයක් තියනව නම් ඒකත් ඇතුළේ කතා කරල විසඳගමු ඒව හන්දි හන්දි ගානේ කතා කරන්න එපා...” යයි මහින්ද නම නොකියා අවවාද කළේ කුමාර වෙල්ගමට හා රන්ජිත් සොයිසාටය. මහින්දගේ සැර අවවාදය ඒ අය අසා සිටියා මිස කිසිවක් කියන්නට ආවේ නැත.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පළමු වර කියැවීම ලබන මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදුකරන බව දැනගන්නට ඇත. ඒ සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසිනි. ඒ අතර එ.ජා.පය ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයද ව්‍යවස්ථා කෙටුම්පතක් පිළියෙළ කරමින් සිටී. එහෙත් මෙම සංශෝධනය දැන්ම මැතිසබයට ගෙන ඒම අසීරුය. ඒකාබද්ධ විපක්ෂය මෙන්ම සුළු පක්ෂ ගණනාවක්ද දැනටමත් මෙයට විරැද්ධ නිසා ඊට මැතිසබයේ 2/3ක බහුතරයක්ද ලබාගැනීම පහසු නැත. කෙසේ වෙතත් එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සැරසෙමින් සිටී. පසුගියදා අග්‍රාමාත්‍යවරයා මුණගැසුණු පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී නාලක කොළොන්නේ මහතා අගමැතිවරයාගෙන් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන විමසූ විට තමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා බව අග්‍රාමාත්‍යවරයා පැවසුවේ යැයි එ.ජා.ප. ආරංචි මාර්ග කියයි. තිබෙන දේශපාලන වාසි අවාසි තක්සේරු කොට ඡන්දය ජයගන්න ආකාරය තමන් දන්නා බවද එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී කොළොන්නේ සමඟ සඳහන් කර ඇතැයි කියැවේ.

පසුගියදා කොළඹ දී සංචාරකයන් සඳහා නව ත්‍රිරෝද රථ සේවාවක් ආරම්භ කළ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය තුළින් කුඩා ආදායම් සොයන ත්‍රිරෝද රථ හිමියන්ගේ අතමිට සරු කරන්නට නව ව්‍යාපෘති දියත් කරන බවද සඳහන් කළේය. ඒ සමඟ උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ අභිවෘද්ධිය සඳහා කෙරෙන වැඩසටහන් ගණනාවකට සම්බන්ධ වීම පිණිසද අගමැතිවරයා පසුගියදා මඩකළපුවට ගියේය. එහිදීත් ඔහු සඳහන් කළේ නැගෙනහිර පළාතේ සංවර්ධනය සඳහා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නව වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කරන වගයි.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම කරුණු දෙකක් නිසා තරමක් උණුසුම් තත්ත්වයට පත් විය. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කොට සහන සැලැසීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. දුම්රිය සේවක වැටුප් වැඩි නොකළහොත් දුම්රිය සේවකයන් වර්ජනය කරන බවට තර්ජනය කිරීමත් සමඟ ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රමුඛ කමිටුවක් සාකච්ඡා කර ගත් තීන්දුව අනුව මෙම කැබිනට් පත්‍රිකාව ගෙන ආවේය. එහෙත් මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ඊට එකඟ වූයේ නැත. මංගලගේ තර්කය ප්‍රායෝගික වූ අතර ඔහු කීවේ දුම්රිය සේවයට පමණක් මෙලෙස වැටුප් වැඩි කළහොත් සෙසු සමාන්තර ශ්‍රේණිවල සේවකයන්ද වැඩි වැටුප් ඉල්ලා සටන් කරනු ඇති බවය. එලෙස වැටුප් වැඩි කරන්නට ආණ්ඩුවට සල්ලි නැතැයි මංගල තරයේම ප්‍රකාශ කළේය. ඒ නිසා තමන්ට මෙම තීන්දුවට එකඟ විය නොහැකි බව කියද්දී ජනාධිපතිවරයාද මංගලගේ යෝජනාව සත්‍ය බව පිළිගත්තේය. එහෙත් ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල සහ දුම්රිය වෘත්තිය සමිති සමඟ කතා කළ සරත් අමුණුගම හා රාජිත සේනාරත්න අමාත්‍යවරැ කීවේ දුම්රිය සේවක වර්ජනය නතර කරගත්තේ වැටුප් විෂමතා ඉවත් කරන බවට දුන් පොරොන්දුව නිසා බැවින් මෙම පොරොන්දුව ඉටුකරන්නට සිදුවන වගයි.

“ඒක ඉටුකරන්න බැහැ... ඒකට මුදල් නැහැ..” මංගල කීය.

“එහෙම කියල කොහොමද, එහෙම කළොත් මේ විභාග කාලෙ කෝච්චි ස්ට්‍රයික් කරල මහ ප්‍රශ්නයක් වේවි... ආචාර්ය අමුණුගම, රාජිත හා නිමල් අමාත්‍යවරු කීහ. එහෙත් මංගල එය පිළිගත්තේ නැත.

“ඒක කරන්න බැහැ... මේකට මුදල් නැති බව කීව... එහෙම තියෙද්දිත් මෙහෙම කරන්න කියන්නෙ රාජපක්ෂලගෙ කුමන්ත්‍රණයක් නිසයි...” මංගල කීය.

“එතකොට වර්ජනය කළොත් මොකද කරන්නෙ”... රාජිතලා ඇසූහ.

“වර්ජනය කළොත් කරන්න කියමු... එහෙම වුණොත් කෝච්චි දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කරල කරන්න පුළුවන් කෙනකුට කරන්න දෙමු”... මංගල නැවතත් කීය. එවිට ඇමැතිවරු රාජ්‍ය නිලධාරීන් හරියට වැඩ නොකරන බව කියමින් දොස් කියන්නට වූ අතර මංගල කීවේ තමන් සමඟ මුදල් අමාත්‍යාංශයේ වැඩ කරන නිලධාරීන් ඉතා හොඳින් රජයට සේවය කරන බවයි.

කෙසේ හෝ මංගලගේ විරෝධය මැද දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කරන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය. එවිට දැඩිලෙස කලකිරීමට පත් මංගල සමරවීර අමාත්‍යවරයා කීවේ “මේක කිසිම පිට කොන්දක් නැති කැබිනට් මණ්ඩලයක්. මමත් නොයෙක් ආණ්ඩුවල කැබිනට් මණ්ඩලවල කටයුතු කරල තියෙනව. නමුත් මේ වගේ කොන්දක් නැති කැබිනට් මණ්ඩලයක් නම් කවදාවත් දැකල නැහැයි” කියායි.

ඒ ආකාරයට විවාදයකින් දුම්රිය සේවක ප්‍රශ්නය හමාරවෙද්දී අර්ජුන රණතුංග සහ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරු අතර වාග් සටනක් පටන් ගත්තේ මැලේසියානු ආයෝජනයක් වන “හයිරැක්ස්” ලිහිසි තෙල් මෙරට අලෙවියට අවසර දීම ඛණිජ තෙල් අමාත්‍යාංශය වසර ගණනාවක් තිස්සෙම ප්‍රමාද කරන බව කියමිනි. ඒ ගැනද බරපතළ විවාදයක් හටගත්තේ අර්ජුන හා ෆයිසර් අතරය. ෆයිසර් ක්‍රීඩා අමාත්‍යවරයාද වන නිසා අර්ජුන සහ ෆයිසර් අතර ඒ තරම් ඇයි හොඳයියක් නැති තත්ත්වයක් පවතී. ඊට හේතුව ක්‍රිකට් නිලවරණය හා ක්‍රිකට් පාලන මණ්ඩලය ගැන අමාත්‍ය අර්ජුන රණතුංග ක්‍රීඩා ඇමැතිවරයාට කරන ලද යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොකරන බවට අර්ජුන චෝදනා නැගීම නිසාය. කෙසේ හෝ කැබිනට්ටුවේ හටගත් මෙම ආරවුල් අවසානයේ ජනාධිපතිවරයා විසින් අත්හිටුවනු ලැබීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගිය බ්‍රහස්පතින්දා තිරුපති දේවාලය වන්දනාවට ඉන්දියාව බලා පිටත් විය. ඒ වන්දනා ගමනින් පසු ආපසු චෙන්නායි නුවරට පැමිණ දැනට දැඩිලෙස රෝගාතුරව සිටින එහි හිටපු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි මහතාගේ නිවෙසට ගොස් ඔහුගේ සුවදුක් විමසීය. රනිල් කරුණානිධි බලන්නට යන්න පෙර ජනාධිපති මෛත්‍රීගේ සුබ පැතුම් පණිවුඩයක් රැගෙන කම්කරු කොංග්‍රස නායක ආරැමුගම් තොණ්ඩමන් මහතා කරුණානිධි මහතා බැලීමට ගියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සති අන්තයේ පොළොන්නරුවට ගියේ “පිබිදෙමු පොළොන්නරුව” සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි. රුපියල් කෝටි 60,000ක පමණ වියදමින් ඉදිකළ පාසල්, රෝහල්, බස් නැවතුම්පොළවල්, විද්‍යාගාර ආදී පොදු මහජන සේවා රැසක් මෙම ගමනේදී ජනතා අයිතියට පත් කැරිණි. ආණ්ඩුවට වසර 3 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම කටයුතු ආරම්භ කළ ජනාධිපතිවරයා තමා කුඩා කල තමන්ට නොලැබුණු සැප පහසුකම් දිස්ත්‍රික්කයේ ජනතාවට උරුම කරදීම “පිබිදෙමු පොළොන්නරැව” වැඩසටහනේ අරුත බව කීය. පොළොන්නරුව රාජකීය විද්‍යාලයට එනතුරු දෙපයට පාවහන් පවා නොමැතිව පාසල් ගිය තමන්ට මේ සා විශාල මහජන සේවාවක් තම ගම රටට කරන්න වාසනාව ලැබීම ගැන දැඩිලෙස සතුටට පත්වන බවද ඔහු කීය.
ඒකාබද්ධ විපක්ෂයේ පිවිතුරු හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ මූලික වී සංවිධානය කළ ජනබල සේනා විරෝධතාව පසුගිය සිකුරාදා ලිප්ටන් වටරවුමේදී පැවැත්විණි. මේ සඳහා කොළඹ දිසාවේ අදාළ පක්ෂ හිතවතුන් සහභාගී වූ අතර ඒකාබද්ධයේ මන්ත්‍රීන් මෙන්ම ළඟදී ඊට එක් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජික පිරිසක් ද එක්වූහ. මෙම පිරිස උද්ඝෝෂණයෙන් පසු කොළඹ විහාර මහා දේවි එළිමහන් ක්‍රීඩාංගණයේදී ජන රැළියක් පැවැත්වූහ. එහිදී කතා කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වත්මන් රජය රටේ දේපොල විකුණාගෙන කමින් එදා වේල පිරිමසා ගන්නා බව කීය. වත්මන් රජය ඒකාධිකත්වය කරා ගමන් කරමින් සිටින බවද කී මහින්ද තම රජයක් යටතේ දැනට විකුණා දමන සම්පත් නැවත රටට අත්පත් කර දෙන බවද කීය.

පාර්ලිමේන්තුවේ මැති ඇමැතීන්ගේ වැටුප් 215% ඉහළ නැංවීමට ගෙන ආ යෝජනාව ආන්දෝලනයට ලක්ව ඇත. මෙම යෝජනාව ගෙන ආවේ මැති ඇමැති වැටුප ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වැටුපට සමාන්තරව පවත්වාගෙන යාමට පැනවූ නීතියක් අනුව යැයි රජය සඳහන් කළේය. ලකෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කීවේ මෙම යෝජනාවට මුළු පාර්ලිමේන්තුවම කැමැති බවයි. එහෙත් මුදල් අමාත්‍ය මංගල සමරවීර කීවේ තමන් ඊට එකඟ නැත කියායි. මුදල් අමාත්‍යංශයට යෝජනාව එවූ පසු බලමු යැයි ද ඔහු මාධ්‍යයට කීය. ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මන්ත්‍රීන් ගණනාවක් ද පැවසුවේ ජනතාව දුක් විඳිද්දී මැති ඇමැතීන් වැටුප් වැඩි කර ගැනීම නුසුදුසු බැවින් ඊට විරැද්ධ බවය. 

►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00